මගේ ජනමාධ්‍ය මිතුරන්ගෙන් නිතර නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් ඇත. එය අද ඊයේ සිට නොවේ. බොහෝ කලකට පෙර සිටය. එය තවමත් නොනැවතී ඇසේ. වෙනසකට ඇත්තේ එය අඩු වී නොව වැඩි වී ඇසීමය. එයින් ඉඳුරා පැහැදිලි වන්නේ ව්‍යාධිය උග්‍රව ඇති බවය.
කුමක්ද මේ මැසිවිල්ල? මෙරට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය විෂය හදාරන ශිෂ්‍ය ගණයා ප්‍රායෝගික පුහුණුව සඳහා ජාතික පුවත්පත් ආයතනවලට සහ ජාතික ගුවන්විදුලි, රූපවාහිනී ආයතනවලට එවීම මීට කලකට පෙර සිටම සිදුවූවකි. මේ පරපුර සමග වැඩ කිරීමේදී පුවත්පත් කතුවරයන්ට මෙන්ම විද්‍යුත් මාධ්‍ය අංශ ප්‍රධානීන්ටද ප්‍රත්‍යක්ෂයෙන් ඒත්තු ගැන්වුණු සාධකයක් ඇත. එනම් ඔවුන්ගෙන් වැඩි දෙනකුට අදහසක් නිරවුල්ව කියැවෙන විදියට වාක්‍යයක් ගළපා ගැන්මට හැකියාවක් නොමැති බවය. ඒ අතින් ඔවුන් හා තම ආයතනවල වැඩ කරන බොහෝ අංකුර මාධ්‍යකරුවන් අතර එතරම් වෙනසක් නොපවත්නා බවද මගේ මිතුරන්ගේ එකම අත්දැකීම වෙයි. ඔවුන්ගේ කටින් මට නිතර නිතර නොනැවතී අසන්නට ලැබෙන්නේ අන් කිසිවක් නොව මේ වැකි ගැළපිය නොහැකි කම පිළිබඳ මැසිවිල්ලයි.
මේ වූකලී මේ රටේ ජාතික පාසල් පද්ධතියෙන් එකසේ බිහිව මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි පරපුරක් මිස වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි පිරිසක් නොවෙති. එසේ නම් මෙසේ එකම රෝගයකින් පෙළීමට හේතුව එකම රෝග කාරකයක බලපෑම නොවිය හැකිද?
මුලින්ම ඔවුන් සිංහල අකුරු හඳුනා ගත්තේ පාසල් තුළදීය. ඒ අකුරු නිවැරදිව හඬ නැංවීමට ඉගෙන ගත්තේ එහිදීමය. ඒ අකුරු ලියන්නේ ඒ අකුරු එක්කොට වචන ලියන්නටත් ඒ වචන ගළපා වාක්‍ය හෙවත් වැකි ලියන්නටත් පුරුදු පුහුණු වුණේත් එතැනදීමය.
එසේ නම් ඔවුන් මේ වචන ගැළපීමේ රමණීය කලාවට හුරු බුහුටි නූනේ ඇයි? මේ රටේ ජාතික පාසල් පද්ධතියේ ගුරුවරයකු හැටියටත්, පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිනිය යන තෙවැදෑරුම් මාධ්‍යවලම අත්දැකීම් ලත් මාධ්‍යකරුවකු ලෙසත්, මාධ්‍ය ගුරුවරයකු වශයෙනුත් මා මේ භාෂා කුසලතා හීන පරපුර ඇසුරෙන් පසක්කොට ගත් එක්තරා සත්‍යයක් ඇත.
එනම් මෙසේ ඉතා ශෝකජනක ලෙස ඔවුන් භාෂා කුසලතා හීනයන් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවන බවය. මෙරට පාසල් පද්ධතියේ අතීතයේ සිට සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්නූ නිර්මාණාත්මක ගුරු රසිකයා ඉන් අතුරුදන්ව යෑමම මේ අභාග්‍ය සම්පන්න ව්‍යාධිය හට ගැන්වූ රෝගකාරකය නොවුහයි කාට නම් කිය හැකිද? මෝඩගඩොල් අච්චුවක් වැනි ගුරු අත්පොතක් තුළ තම පරිකල්පනය සිරකළ ගුරුවරයා කෙරෙන් නිර්මාණාත්මක භාෂා සාහිත්‍ය රසිකයා අතුරුදන්ව යෑම කවර අරුමයක්ද? සියලුම ගුරුවරුන් ඉගැන්විය යුත්තේ ඒකාකාරී අච්චුවක සිරකරුවන් ලෙස අත් පා විලංගු ලමින් නම් මොන පරිකල්පනයක්ද? මොන නිර්මාණාත්මක ගුණයක්ද? කවර සෞන්දර්යක්ද? කවර මාධුර්යයක්ද2 කවර රසයක්ද?
මගේ වැටහීමේ හැටියට ගුරුවරයා වූ කලී සංස්කෘත නාට්‍ය ශාස්ත්‍රයේ ආදී කර්තෘ භරත මුනිවරයා නළුවා අරබයා කළ විවරණය අනුව ඊටම සමාන චර්යා පද්ධතියක් ඇත්තෙකි. කවර හෙයින් එසේ විය හැකිද? භරත මුනිවරයාගේ විග්‍රහය අනුව නළුවා කරළිය මත සිට ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන් වෙත තමා නිරූපණය කරන භූමිකා සතු භාවයන් පමුණුවා ලන්නේ සතර අභිනය මගිනි. මේ සතර අභිනයන් අතරින් ප්‍රධාන තුනක් හැඳින්වෙන්නේ වාචික, ආංගික හා සාත්වික යන නම්වලිනි. පාසල් පද්ධතියේ පෙර සිට සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්නූ ගුරුවරයා ගුරු රසිකයෙක් වූයේ තම කාරියේදී මේ සතර අභිනයම භාවිතයට ගත් හෙයිනි. ඔහු නිර්මාණාත්මක චරිතයක් වීමට ප්‍රධාන වශයෙන්ම පාදක වූයේ ෙම් නාට්‍යය ජීව ගුණයයි.
ඔහුගේ වචන භාවිතය නාට්‍යමය විය. අංග චලනය නාට්‍යමය විය. ඔහුගේ මුහුණේ ප්‍රකාශනයද නාට්‍යමය විය. ඉදින් කවර ශිෂ්‍යයෙක් ආකර්ෂණ නොවේද? කවර ශිෂ්‍යයෙක් ඔහු අබිබවා යන්නෙකු වීමට ආවේශයක් ආභාසයක් නොලබාද? මේ සියල්ලම කළ හැකි වනුයේ ඔහු තුළ පවත්නා නිර්මාණාත්මක විභාවය නිදහසේ ප්‍රකාශයට විකාශයට පත්වීමට ඉඩ ලත් කල්හිමය. ගුරු අත්පොත් මෝඩ ගඩොල් අච්චුවට සිර කළ එකාගෙන් මොන නිර්මාණ විභව ප්‍රකාශයක්ද? මොන විකාශයක්ද? ඒ නිර්මාණාත්මක ගුරු රසිකයා අතුරුදන්ව ගිය පාසල් පද්ධතියකින් බිහිවිය හැකි සිසු පරපුර ගැන කවර කතාද?
භාෂා සාහිත්‍යය ගුරුරසිකයා එදා පාසලේදී සිංහල විවරණ නීති ඉගැන්වූයේද කවියෙනි. ඔහු එමගින් සාහිත්‍යය පාඩම පමණක් නොව වියරණ පාඩමද මිහිරි කළේය. තම සිත තුළ ඇති අදහස තම හද තුළ ඇති හැඟීම නිරවුල්ව කියා පෑමට ඔහු ඉගැන්නුවේ සිසුන් පැදි පද බැඳීමට පෙළඹවීමෙනි. මේ පරම සුන්දර ගුරු රසිකයා පාසල් පද්ධතියෙන් සදහටම අතුරුදන් කර දැමූ කල භාෂා කුසලතා හීන අනාථ පරපුරක් මෙරටට උරුම වීම කවර අරුමයක්ද?
කරුණාරත්න අමරසිංහ