ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තනතුරු දැරූ නිව්ටන් ගුණරත්න මහතාගේ 80 වැනි ජන්ම සංවත්සරය අදට (04) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. පනස්හත් වසරකට පෙර ජාතික ගුවන් විදුලි සේවයේ සහන නිවේදකයන් ලෙස නිව්ටන් ගුණරත්නයන් සමඟ පත්වීම ලබා ඔහු සමඟ ළබඳිව තවමත් සමීප සබඳතා පවත්වා ගෙන යනු ලබන සගයකු ලෙස මා මෙම සිහිවටන තබන්නේ ඉමහත් සතුටකිනි.
1963 වසරේදී ජාතික ගුවන් විදුලි සේවයට සහන නිවේදකයන් බඳවා ගැනීම සඳහා රජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පලකර තිබිණි. මෙරට එකම ගුවන්විදුලි සේවය වූයෙන් ඒ දැන්වීමට ප්‍රතිචාර දක්වමින් දහස් ගණනක් අයදුම් කළහ. එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ තනතුරක් හෙබවූ කීර්තිමත් සිවිල් සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ කේ..එච්.ජේ. විජේදාස මහතාණන් විසින් ඉල්ලුම් කර සිටි අයඳුම්කරුවන් අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ ගණනාවකට කැඳවා බාහිර බලපෑම්වලින් තොරව පුහුණුව සඳහා විසිපස් දෙනෙකු පමණ බඳවා ගනු ලැබීය. තෙමසක පුහුණුව අවසානයේ තවත් පරීක්ෂණයක් පවත්වා සිංහල ස්වදේශීය සේවයේ සහන නිවේදකයන් ලෙස අප පහළොස් දෙනෙක් පත්වීම් ලදිමු. එම කණ්ඩායමට නිව්ටන් ගුණරත්න, අමරබන්දු රූපසිංහ, බර්ටි ගලහිටියාව, ඩී.එස්. දයාරත්න, පාලිත පෙරේරා, නන්දසේන ලියනපටබැඳි, මලල්ගොඩ බන්දුතිලක, සේසිරි විජේසේකර සහ මම ද ඇතුළත් වීමු.
මා ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථිර රැකියාවක නියැලෙමින් සහන නිවේදකයකු ලෙස දිගටම කටයුතු කළ අතර නිව්ටන් 1971 දී ස්ථිර නිවේදකයකු ලෙස පත්විය. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය මෙන්ම සුභාවිත ගීත කලාවේ ප්‍රවර්ධන යුගය ලෙස අවිවාදිතව පිළිගනු ලබන 1973 – 1977 රිජ්වේ තිලකරත්න පාලන සමයේදී ඔහු විසින් දක්ෂතා මත තෝරාගත් මාධ්‍ය කණ්ඩායමට නිව්ටන් ගුණරත්න ද ඇතුළත් විය. ඒ අනුව නව ආරක වැඩසටහන් රැසක් නිර්මාණය කරමින් මෙහෙයවමින් කටයුතු කිරීමට නිව්ටන්ට අවස්ථා ලැබුණි. ඒ අතරින් මගේ මතකයේ තවමත් රැඳී තිබෙන වැඩසටහන් කීපයක් ලෙස ශනිදා සාදය අඩපැය, බහුජන හිතාය ප්‍රජා සත්කාරය, සොඳුරු සෙවණ, විජය රජු ලංකාවට සැපත්වුණු තම්මැන්නාව සොයා ගිය චාරිකාව, සප්තකන්‍යා ගුවන් අනතුර එහි සිට සජීවීව වාර්තා කිරීම, ආරාධිත අමුත්තා සංවාද මාලාව සිහිපත් වේ.
1977 දි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමය නිමාවීමත් සමඟම රිජ්වේ තිලකරත්නයන්ට සභාපති තනතුර අහිමිවිය. ඒ සමගම ඔහු හා සමීපව සේවය කළ කිසිදු විනය විරෝධී වරදක් නොකළ එච්.එම්. ගුණසේකර, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, ජී.එස්.බී. රාණි පෙරේරා සමඟ නිව්ටන් ගුණරත්න ද අනිවාර්ය නිවාඩු යනු ලැබූහ. මා මිත්‍ර නිව්ටන්ට එතැන් සිට උදාවූයේ නරක කල දශාවකි..
1977 සිට වසර ගණනාවක් යනතුරු වැඩ තහනම් කිරීම, රජරට සේවයට මාරුකිරීම, සේවයෙන් පහ කිරීම යන දේශපාලනික දඬුවම්වලට මුහුණ පෑමට ඔහුට සිදුවිය. මේ නිසා ඔහු අපමණක් දුක් පීඩා වින්දේය. කිසිවකින් මෙල්ල කළ නොහැකි, ධෛර්ය සම්පන්න, පසු නොබසිනා මා මිත්‍රයා අවසානයේ අධිකරණයේ පිහිට පතා ගොස් ජය ගත්තේය. නැවත රැකියාවද හිඟ වැටුප්ද ලැබුණි. ඔහුගේ නරක දසාව ද නිමවිය. එම රජය යටතේම ඔහුට පසුව වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂ ලෙස උසස්වීමක් ද ලබාගැනීමට හැකිවිය.
1994 වසර අවසාන භාගයේදී චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය ආරම්භයත් සමඟ එ.ජා.ප. පාලන කාලයේ දේශපාලන පළිගැනීම් සේවීමට පත්කළ කොමිසමේ නිර්දේශ මත නිව්ටන්ට ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය ද පසුව ඔහුගේ කාර්යශූරත්වය නිසාම කැබිනට් මණ්ඩල අනුමැතියකින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක්ද ලැබිණි. මට ටවර් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීමක් හිමිවිය. නිව්ටන් ගුණරත්නයන් නව නිර්මාණශීලී වැඩසටහන් රැසක්ම හඳුන්වා දුන්නේය. මේ වනවිට පෞද්ගලික අංශයේ නව ගුවන් විදුලි නාලිකා කීපයක්ම කරළියට පැමිණ තිබුණු අතර ඒවායේ සරල විවෘත මාධ්‍ය භාවිතය නිසා ශ්‍රාවකයන් අතර ඒවා ජනප්‍රිය විය. මෙම තත්ත්වය හමුවේ රජයේ ගුවන් විදුලියට දැඩි තරගකාරී අභියෝගයක් එල්ල විය. මෙය කොතරම් ප්‍රබල වීද යත් ජනාධිපිතිනියට පවා ඊට මැදිහත් වීමට සිදුවිය. එතුමියගේ උපදෙස් මත මේ ගැන සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී ඊට පිළියමක් ලෙස නිව්ටන් කළ යෝජනාව පිළිගෙන ලක්හඬ ගුවන් විදුලි නාලිකාව ගුවන් විදුලි සංස්ථාව යටතේම 1966දී ආරම්භ කෙරුණි. එහි කළමාකාරීත්වයද ඔහුටම ලැබුණි.
ඒ අනුව දැනඋගත් සහජ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් තරුණ පිරිසක් ආධුනික සන්නිවේදකයන් ලෙස කිසිදු බලපෑමකින් තොරව බඳවා ගනු ලැබීය. මධ්‍යස්ථ හරවත් ගුවන් විදුලි සංස්කෘතියකට අනුරූපව ලක්හඬ හඳුන්වාදුන් නවතම වැඩසහන්වලට ආසන්නෝ කෙටිකාලයකදීම සමීප වූහ. දසවසරක කාලයක එහි ප්‍රවර්ධනයට උරදුන්නේ ද නිව්ටන්මය. ලක්හඬ අදවන විට 25 වැනිවියට ප්‍රවේශ වී ඇත.
කෙටිකලකින් ලක්හඬ ලබාගත් සාර්ථකත්වය සහ ජනප්‍රියත්වය නිසාම චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් 1997 දී අයි.ටී.එන්. රූපවාහිනී නාලිකාව ප්‍රබල තත්ත්වයකට ගෙනඒමේ වගකීම නිව්ටන් ගුණරත්නයන්ට පවරනු ලැබුවාය. ලක්හඬ ගුවන් විදුලි නාලිකාව ද ඊට අනුගත කෙරුණි. මා මනාව දන්නා පරිදි පුරා 34 වසරක් ජාතික ගුවන් විදුලියේ ඔහු ලබාගත් දැනුම, පළපුරුද්ද සහ පන්නරය නිසාම එතෙක් මන්දගාමීව කටයුතු කළ ස්වාධීන රූපවාහිනී සේවය නව ජවයකින් තරගකාරී රූපවාහිනී නාලිකා අතර පෙරමුණට ගෙන ඒමට ඔහු සමත්විය. නිව්ටන් ප්‍රකාශ කර ඇති පරිදි ඔහු හමුවේ ප්‍රබල අභියෝග දෙකක් තිබී ඇත. එකල ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශන පද්ධතිය දිවයිනේ පළාත් කීපයකට පමණක් සීමා විය. ඔහු කෙටිකලකින් කරගහතැන්න හුන්නස්ගිරිය සහ සූරියකන්ද යන කඳුශිකරවල ප්‍රබල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික රූපවාහිණිය පවා අභිභවා ගිය සමස්ත දිවයිනම ආවරණය කෙරුණු විකාශන ධාරාවක් ස්ථාපනය විය. ඔහු ජයගත් දෙවැනි අභියෝගය වූයේ දවසේ වැඩි කාලයක් තුළ විකාශය කළ හින්දි දමිළ ඉංග්‍රීසි වැඩසටහන් වෙනුවට දේශීය නිර්මාණාත්මක නැවුම් වැඩසටහන් රාශියක් හඳුන්වාදීමය. සරසවි අසපුව, පන්හිඳක ගී අසිරිය, සහෘදයකු සමග, සෝම හිමියන් සහභාගි වූ අඳුරෙන් එළියට, දුක්සැප කුමන්දා, උරගල, ජනතා අධිකරණය, ගී රසවිත, අටපට්ටම, දොරමඬලාව ආදී වැඩසටහන් ඉන් කීපයකි.
නිව්ටන්ගේ සුවේශේෂිත දායකත්වයක් වූයේ විද්‍යුත් මාධ්‍යයට ඔහු හඳුන්වා දුන් ජාතික ආපදාවන්හිදි වහා පෙරමුණු ගෙන විපතට පත් පිරිස් වෙත විවිධාකාර වූ සහනාධාර බෙදාදීමය. මැදිරිගිරිය හා මොණරාගල නියං සායෙන් පීඩා විඳි අසරණයන්ට ලොරි ගණන් වියළි ආහාරපාන සහ වෙනත් අවශ්‍ය දෑ රැගෙන ගොස් බෙදා දුන්නේය. සුනාමි ආපදාවේදී ප්‍රථමයෙන්ම විවිධ වූ සත්කාර ලබාදුන්නේ ද නිව්ටන්ගේ නායකත්වයෙනි. අමතක කළ නොහැකි තවත් සිහිවටනයක් නම් හෙළයේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන් ජීවත්ව සිටියදී අම්බලන්තොට ජරාවට පත්ව තිබූ පුරාණ වැවක් පිළිසකර කොට “අමරදෙව් වැව” ලෙස නම්කොට ජනතාවට පිදීමය. එමෙන්ම ආයතනික සංවත්සර නිමිත්තෙන් ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය වෛද්‍ය අංශයට අළුතින් දැඩිසත්කාර ඒකකයක් ද මහරගම අපේක්ෂා රෝහලට තෙමහල් ලේ බැංකු ගොඩනැගිල්ලක් පිරිනැමීම ද අපට කිසිදා අමතක කළ නොහැකිය. වන්නි හමුදා මූලස්ථානයට ඔහු ලබාදුන් පොත් දසදහසකින් සමන්විත ලක්හඬ පුස්තකාලය ද විශේෂය.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ කීපදෙනා අතර නිව්ටන් විය. මා දන්නා පරිදි නිව්ටන්ගේ ඉල්ලා සිටීමකින් තොරව ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස නිව්ටන් ගුණරත්නයන් පත්කරනු ලැබීය. එහෙත් ඔහු අත්කරගෙන තිබූ සුපතල මාධ්‍ය දැනුමෙන් ඔහුට මෙහෙයක් කිරීමට අවකාශ නොලැබුණි. බලපෑම් කිරීම් දිනෙන් දින අපමණක් විය. සන්ධ්‍යා සමයේ අපගේ හමුවීම් වලදී අප්‍රමාණ වේදනාවකින් ඒ තොරතුරු හෙළිකළ අයුරු මගේ මතකයට නැගේ. වසරක් ඉක්ම යද්දී කිසිවකුට නොදන්වා ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයාට යවා රැකියාවෙන් සමුගෙන ගෙදර ගියේය. පසුදින මෙය ආරංචි වුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔහු කැඳවා ඉල්ලා අස්වීම ගැන දොස් නැගීය. එදින සිටම ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වීමක් ලබාදුණි. ජාතික ගුවන් විදුලියේ, ස්වාධීන රූපවාහිනියේ, ලක්හඬ ගුවන් විදුලියේ සහ ජාතික රූපවාහිනියේ පුරා 43 වසරක් ඔහු කළ අද්විතීය මාධ්‍ය මෙහෙවර එලෙස අනපේක්ෂිත අයුරින් අවසන් කිරීමට සිදුවීම ඔහුට මෙන්ම ඔහු සමීපව ඇසුරු කළ අප කාටත් දරාගත නොහැකි කනගාටුදායක සිදුවීමකි.
වසර දෙකක් ඉක්ම යද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම ඔහු මියන්මාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි/රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලද ප්‍රථම තානාපති පත්වීමයි. ඔහු මියන්මාරයේ කටයුතු කළ සමයේදී ඔහු සමීපව ඇසුරු කළ මා ඇතුළු යහළුවන් ගණනාවකට ඔහුගේ ආගන්තුක සත්කාර විඳ එරට දැකබලාගැනීමට හැකිවීම අප ලත් භාග්‍යයකි.
අද දෙසැම්බර් 4 වැනිදා සිය 80 වැනි උපන් දිනය සමරන නිව්ටන් ගුණරත්න ළබැඳි කළණ මිතුරාට නිදුක් නිරෝගී සුවය සමඟ දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.
(*** ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති)