ශ්‍රී ලංකාව සංචාරකයන්ට පාරදීසයකි. ඒ බව ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතායතනවල පිළිගැනීමය. එසේ නම් එම පාරාදීසයට ඇතුළු වන ස්ථානය අපායේ දොරකඩක් බවට පත්විය යුතු නැත. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළේ පසුගිය බ්‍රහස්පතින්දා (02) උද්ගතව තිබුණේ අපායක තත්වයකි. වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් විදේශීය සංචාරකයන්ට බලවත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවීම ඒ තත්වයට හේතු වී තිබිණි.
කොවිඩ් තත්වය හේතුවෙන් ලොවපුරා සංචාරක ව්‍යාපාරය බින්දුවට බැසීමේ පීඩනයට ශ්‍රී ලංකාවද ගොදුරු විය. පසුව ලොවේ සෙසු රටවල් සාමාන්‍ය තත්වයට පත්වීමේදී එම තත්වය පහව ගිය අතර ශ්‍රී ලංකාව තුළ අරගලයත්, ආර්ථික අර්බුදයත් මතුවීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට යළිත් පහර වැදුණි. එහෙත් පසුව එම තත්වය සමනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ පියවර හේතුවෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයද යළි හිස එසවීමට පටන් ගත්තේය. මෙරටට පැමිණෙන ඇතැම් රටවල් සඳහා ගාස්තුවකින් තොරව වීසා නිකුත් කිරීමේ පහසුකම්ද ක්‍රියාත්මක කෙරුණේ එසේ වර්ධනය වන සංචාරකයන්ට තවදුරටත් රුකුල්දීමක් වශයෙනි.
එසේම කටුනායක ගුවන් තොටුපොළේදී විසා නිකුත් කිරීමේ ක්‍රමයද ආරම්භ කරනු ලැබුවේ සංචාරකයන්ගේ පහසුව සඳහාය. එම වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගමකට බාර දී තිබූ අතර එම ක්‍රියාවලිය තුළ දැඩි ප්‍රමාදයක් ඇතිවීමෙන් සංචාරකයන් බලවත් අසීරුතාවකට පත්ව සිටි බවද වාර්තා විය. පැය කිහිපයක් තුළදී එම තත්වය තවදුරටත් බැරෑරුම් අතට හැරීම නිසා එකී රාජකාරිය අදාළ සමාගමෙන් ඉවත් කර ආගමන විගමන නිලධාරීන්ටම යළිත් පැවරීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. එම පියවර ගැනීමෙන් රටේ ප්‍රතිරූපයට සිදුවිය හැකිව තිබූ බරපතළ හානියක් වැළකී ගියේය.
ලොකුම ගැටලුව මතුවන්නේ මෙතැනදීය. එනම් මෙතෙක් කාලයක් ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු කිසිදු ප්‍රමාදයකින් සහ චෝදනාවකින් තොරව සිදුකරමින් සිටි ආගමන විගමන නිලධාරීන්ගෙන් එය ගලවා විදේශීය සමාගමකට පැවරීමය. එය සිදුවූයේ කාගේ වුවමනාවකටද කුමන හේතුවකටද යන්න සොයා බැලිය යුතු නොවේද? සංචාරකයන්ගේ වඩාත් ආකර්ශනයට ලක්විය යුතු සේවාවක් මේ ආකාරයට ඔවුන්ගේ විකර්ශනයට පාත්‍රවන අන්දමේ බාල තත්වයකට ඇද දැමීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවට හැකියාවක් නැත. සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවද පරීක්ෂණයක් අරඹා ඇති බව ප්‍රකාශ වුණත් වඩාත් වැදගත් වන්නේ එමගින් නිවැරදිව සොයා ගන්නා තොරතුරු මත ගන්නා පියවර බව පෙන්වා දිය යුතුය.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන්ට වීසා අයැදුම් කිරීමට පහසුකම් සැලැස්වීමෙන් ආණ්ඩුව කර ඇත්තේ යහපත් ක්‍රියාවකි. එහෙත් එම සංචාරකයන් ශ්‍රී ලංකාවට පා තබන විට වීසා නිකුත් කිරීම ප්‍රමාද වන්නේ නම් එකී පහසුකමෙන් ප්‍රයෝජනයක් නොලැබේ. පෞද්ගලික සමාගමකට මේ බැරෑරුම් කාර්යය පවරා දෙන විට අදාළ සමාගමට සිය වගකීම ඉටුකිරීමට තිබෙන හැකියාව පිළිබඳ පැහැදිලි තක්සේරුවක් තිබිය යුතුය. මේ අවස්ථාවේදී පෙනී යන්නේ එම සමාගම ජාත්‍යන්තර වශයෙන් රටවල් 60කට අධික සංඛ්‍යාවකට සේවය සලසන ආයතනයක් යැයි ප්‍රකාශ වුවද ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගේ අවශ්‍යතා පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් තිබී නැති බවය. කොතනක හෝ වැරැද්දක් සිදුව තිබෙන බව රජයේ බලධාරීන් ද තේරුම් ගත යුතුව තිබේ.
මෙහිදී තවත් මතු කෙරෙන කාරණාවක් වන්නේ පෞද්ගලික සමාගම මේ සේවා සඳහා අමතර ගාස්තු අය කිරීමය. ඒ හේතුවෙන් සංචාරකයන්ට වීසා ගාස්තුවලට අමතරව තවත් ගාස්තුවක් ද ගෙවීමට සිදුව ඇති බවත් සඳහන් වෙයි. මේ සියලු කරුණු වහාම විමර්ශනය කර අප්‍රමාදව සිදුවූ වැරදි නිවැරදි කරගත යුතු බව පෙන්වා දෙමු.
(***)