ගුවනෙන් බිමට වැටුණු ශ‍්‍රි ලංකන් ගුවන් සේවය


ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉකුත් වසර ගණනාවක් තිස්සේම පාඩු පිට පාඩු ලබමින් සිිටියි. අද වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 21 කි. එම ගුවන් යානා 21 ම කල්බදු ක‍්‍රමය යටතේ ලබා ගෙන ඇත. ඒ 320 වර්ගයේ ගුවන්යානා 7 ක්, ඒ 340 වර්ගයේ ගුවන්යානා 6ක් හා ඒ 330 වර්ගයේ ගුවන්යානා 6 ක් මේ කල්බදු මත ලබාගත් ගුවන් යානා වේ. මේ ගුවන් යානා සඳහා මාසිකව ගෙවන මුදල ඇමරිකානු ඩොලර් හැත්තෑතුන්ලක්ෂ පනස් අට දහස් හයසිය අනූතුනකි. (73,58,693) ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 120 ක් වශයෙන් ගණන් බැලූවහොත් මෙම මුදල රුපියල් අසූඅටකෝටි තිස්ලක්ෂ හතළිස් තුන් දහස් එකසිය හැටකි. (883043160) මීට අමතරව එයාර් ටැක්සි දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 2,16000 ක මුදලක් මාසිකව ගෙවනු ලබයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි පනස් නවලක්ෂ විසි දහසකි. (2,59,20,000) උපන් ගෙයි සිටම පාඩු ලබන මිහින් ලංකා ආයතනය සතු ගුවන්යානා දෙක සඳහා මාසිකව ගෙවනු ලබන කල් බදු කුලිය ඇමරිකානු ඩොලර් හාරලක්ෂ හැත්තෑපන් දහසකි. (4,75,000) එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි හැත්තෑලක්ෂයකි. (57000000) මෙතරම් අතිවිශාල මුදලක් වැය කරමින් මෙම ගුවන් සේවා රටට ලබාදුන් එකම දායාදයත් ඇත. එනම් ජාතික ගුවන් පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබාදීම පමණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාබ නොලැබීම පටන් ගත්තේ වසර ගණනාවක පටන්ය. වර්තමාන පාලන අධිකාරිය මෙම තත්ත්වයට මුළුමනින්ම වගකිව යුතු නැතත්, දශක ගණනාවක් තිස්සේ ආයතනය පවත්වා ගෙන ගිය ආකාරය පිරිහීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අයිතිය රජයට පවරා ගැනීමට පෙර එහි පරිපාලන කටයුතු සිදු කරනු ලැබුවේ එමිරේට්ස් ආයතනය මගිනි. සියයට 51 ක කොටස් ශ්‍රී ලංකා රජය සතුව තිබුණත් එහි පාලන කටයුතුවලට රජයේ ඇඟිලි ගැසීමක් නොවීය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවේ ඉතිහාසය සලකා බැලීමේදී පසුගිය දශක දෙක තුන ඇතුළත පාඩු මතම ආයතනය පවත්වාගෙන ගොස් ඇත. ප‍්‍රථම ගුවන් යානය පිළිබඳ අසා ඇත්තේ 1911 දී ය. ඒ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පාවිච්චිය සඳහා රුවන්පැලස් නෞකාවෙන් මෙරටට ගෙන්වල ලද බ්ලැරියම් වර්ගයේ ගුවන්යානය පිළිබඳවයි. ජාතික ගුවන් සේවාවක් වශයෙන් ප‍්‍රථමයෙන් ආරම්භ කෙරුණේ එයාර් සිලෝන් ආයතනයයි. ඒ 1947 දීය. ඒ ගුවන්යානා දෙකකිනි. එය ඩග්ලස් ඞී.සී. 4 වර්ගයයි. පසු කාලයකදී එයාර් සිලෝන් ආයතනය එයාර් ලංකා ආයතනය නමින් හඳුන්වනු ලැබිණි. මෙම ආයතන නිසා අධික වැය බරක් දැරීමට සිදුවීමෙන් එම ආයතනයේ කොටස් 1988 දී එමිරේට්ස් ආයතනයට පවරණ ලදී. එමිරේට්ස් ආයතනය ගුවන් යනා 9 ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගියේය. මෙම පවරාදීම එමිරේට්ස් ආයතනයට තටු ලැබීමක් විය. බදු ගත් වත්තේ සාරය උරා ගන්නා බදුකරුවා මෙන් එමිරේට්ස් ආයතනයද ලංකාවේ ජාතික ගමන් සේවයේ නමින් තම ආයතනය ක‍්‍රමයෙන් වර්ධනය කර ගෙන තිබිණි, එයාර් ලංකා යන නම ශ්‍රී ලංකන් ගුවන් සේවය නමින් යළි නම් කරනු ලැබූ අතර එම නම ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගෙන යාමට රුකුලක් කර ගෙන තිබිණි. එමිරේට්ස් සමාගමට ඇතුළත් විය නොහැකි එතෙර ගුවන් තොටුපලවලට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම භාවිත කරමින් ඔවුහු පියාසර කාලය ලබාගත්හ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුබසිද්ධියට එමිරේට්ස් ආයතනයෙන් කිසිවක් සිදු නොවීම ආයතන දෙක අතර ගිවිසුම දීර්ඝ නොකිරීමට එක් හේතුවක් විය. ඒ අනුව 2008 මාර්තු 31 වැනි දිනෙන් පසු ගිවිසුමේ කාලය දීර්ඝ කරනු නොලැබීය. රජය සතුව තිබූ සියයට 51 ක කොටස් හා එමිරේට්ස් ආයතනය සතුව තිබූ ඉතිරි කොටස් රජයේ පාලනය යටතට ගැනීම සිදුවිය. එමිරේට්ස් ආයතනය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 14 ක් පමණක් ඉතිරිකර ගිය බවද සඳහන් වේ. එම යානා සියල්ල කල්බදු ක‍්‍රමයට ලබා ගත් එවා විය. ඉන්ධන මිල ඉහළයාම හා පරිපාලන වියදම් ඉහළයාම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට කාලයක්ම පාඩු පිට පාඩු විඳීමට සිදුවිය. එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයකට පැයක කාලයක් සඳහා වැය කරන ඉන්ධන ප‍්‍රමාණය කිලෝ 2400 කි. ටොන් 77 ක් බර මෙම ගුවන් යානයකට කිලෝ ග‍්‍රෑම් 18730 ක ප‍්‍රමාණයක් එකවර ඉන්ධන ගබඩා කර ගත හැකිය. එයාර් ඒ 321 බස් යානා වර්ගය සඳහා පැයකට කිලෝ  2800 ක් ඉන්ධන වැයවන අතර, එකවර කිලෝ 21350 ක් ගබඩා කර ගත හැකිය. ගුවන් යානා ඉන්ධන ලීටරයක මිල රුපියල් 97.00 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවාව 2009/2010 වසර තුළ රැගෙන ගිය ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 2.6 කි. 2008/2009 වර්ෂවල දළ අලාභය රුපියල් මිලියන 3308 ක් වී තිබිණි.  

සී-ප්ලේන් යානා වැඩපිළිවෙළ නතර කිරීමට තීරණය කළා

අපේ ගුවන් සේවය මෙතරම් මුදලක් කල්බදු වෙනුවෙන් ගෙවන්නේ ඇයි? අපි ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට පූර්ණ අයිතිය ඇති ගුවන් යානා මිලදී ගැනීමට තරම් ප‍්‍රමාණවත් වත්කමක් නැහැ. ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. එනම් බදු ගෙවීමෙන් පසු ගුවන්යානය රටට හිමිවන ආකාරයට ගැනීමයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. වසර පහක් හයක් කල්බදු පදනම යටතේ කුලියට ගන්නා ගුවන් යානා එම කුලිය ගෙවීමෙන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් වන සේ ක‍්‍රියාත්මක වෙනවා. අපට ගුවන් සේවාව පවත්වා ගෙන යාම සඳහා දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ගුවන් යානයක් වසර 20 ක පමණ කාලයක් පාවිච්චි කළ හැකියි. එම කාලය ආසන්න වෙමින් පවත්නා ගුවන්යානා කල්බදු ගෙවීමේ කාලය අවසන් වූ වහාම යළි භාර දෙනවා. ආයතනයේ පාඩුව මගහරවා ගැනීමට දැන් පියවර ගනිමින් තිබෙනවා. සී-ප්ලේන් යානා වැඩපිළිවෙළ නතර කිරීමට අපි තීරණය කළා. බෙන්තොට, බෙන්තර, කොග්ගල, තංගල්ල, හම්බන්තොට, තිස්ස, අම්පාර, මහනුවර, වික්ටෝරියා ජලාශය, නුවරඑළිය, පෑලියගොඩ හා බේරේ වැව යන ප‍්‍රදේශවල සී-ප්ලේන් නතර කිරීමේ ස්ථාන පිහිටුවා තිබෙනවා. මෙම ගුවන් සේවාව පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කළා. කැනඩාවෙන් කල්බදු පදනම යටතේ ලබාගෙන තිබෙන සී - ප්ලේන්වල බද්ද තම මාස හතරකින් පමණ අවසන් වෙනවා. එයින් පසු පෞද්ගලික අංශයට එම කාර්යය පවරා ගුවන් සේවා ආයතනයට කිසියම් කුලියක් ගෙවන ලෙසට නියම කරනවා. මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන ආදායමේ වර්ධනය සියයට 38 ක් වී තිබෙනවා. ඇමැතිවරයා කීවේය.
සටහන - දයාසීලි ලියනගේ