ගෞරවනීය සේවාවට අවමාන කරන අමනයෝ


රත්නපුර නගරයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි සේවිකාවක අත්අඩංගුවට ගන්නා බවට බිය ගන්වා ඇය සතුව තිබූ රුපියල් තුන්දාහක මුදලක් පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් පුවතක් පහළොස් වැනිදා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූයේය.

මෙම අත්අඩංගුවට ගැනීමත් ඒ පිළිබඳ වාර්තා කිරීමත් පොලිසිය විසින්ම සිදුකරන ලද නිසා පොලිසිය තුළ ඉන්නා දුර්ජනයන් තෝරා ඒ අයගෙන් සිදුවන සමාජ පීඩාව නැවැත්වීමට පොලිසිය ගන්නා උත්සාහය පිළිබඳව මුලින්ම පැසසිය යුතුය. මෙරට පොලිස් සේවයේ ඉතිහාසය ලන්දේසි පාලන අවධිය දක්වාම දිවයන්නකි. 1797 දී කොළඹ පොලිස් සේවා කටයුතු පිළිබඳ වගකීම, ෆ්‍රෙඩ්‍රික් බැරන් මයිලියස්, ෆිස්කල් සේවාවට පත් කිරීමෙන් ආරම්භ වෙයි. ඉන් අනතුරුව 1806 දී අංක 6 දරන රෙගුලාසිය අනුව සෑම නගරයකම හෝ ගමකටම විදානෙ ආරච්චිවරයකු පත් කිරීම සිදුවිය.

එසේ පත්කරන ලද්දේ ගම්බද ප්‍රදේශවල අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමට හා ඒවා වළක්වා ගැනීමේ අරමුණෙනි. මෑත කාලයේ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් අන්තර්ජාතික මෙහෙයුම් කටයුතුවල උපදේශකයන් හෝ නිරීක්ෂකයන් ලෙස පත්වීම දක්වා පොලිස් සේවාව දියුණුවිය. එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කටයුතු උදෙසා ද පොලිස් නිලධාරීහු ද්විතීය පත්වීම් ලැබූහ. මෙරට පිස්කල් සේවාවෙන් ඇරඹි පොලිසියට අදාළ කටයුතු ඒ ආකාරයෙන් ජාත්‍යන්තර තලය දක්වා වර්ධනය වූයේ රාජකාරිය දේවකාරිය සේ සැලකූ පොලිස් නිලධාරීන් එම සේවයේ යෙදී සිටි නිසාය. එම නිසාම මහජනයාට සුළු ආරවුලකට මුහුණ දීමට සිදුවෙන තැන පටන් මහා අපරාධයක් දක්වා පැමිණිලි කොට සහනයක් ලබාගත හැකි හෝ යුක්තිය ඉටු කිරීමට අදාළ රාජකාරියට මුලපුරන ආයතනයක් ලෙස මේ දක්වා ඉතිහාසය පුරා මහජන විශ්වාසය දිනා ගැනීමට පොලිස් සේවාව සමත් වී තිබේ. මීට වෙනස් තත්ත්ව ඉඳහිට කලාතුරකින් සිදු වුවද මහජන විශ්වාසය අඛණ්ඩව දිනා ගැනීමට පොලිස් සේවය සමත් විය.

ඉහත කී ආකාරයේ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන පොලිසියේ කීර්තිනාමයට හානි වන සිදුවීම් එසැණින්ම වළක්වාලීමට පියවර ගැනීම වඩාත් යෝග්‍ය වේ. පොලිසියට සමාජය තුළ පවත්නා බලාධිකාරියත්, සමාජ පිළිගැනීමක් දඩමීමා කරගෙන අයථා ක්‍රියාවල නිරත වන පොලිස් නිලධාරීන් ගැන පුවත් පසුගිය කාලයේ නිතර වාර්තා විය. සම්බාහන මධ්‍යස්ථානයක සේවිකාවක බිය ගන්වා මුදල් පැහැර ගැනීම එවැනි එක් සිද්ධියකි. එම ක්‍රියාව තුළ කාන්තාවන්ට එරෙහිව මුදාහරින ප්‍රචණ්ඩත්වයක් ද දිස්වෙයි. පොලිස් නිලධාරීන් රාජකාරිය කරන මුවාවෙන් සිදුකරන එවැනි අශ්ලීල ක්‍රියාවන් මුළු මහත් පොලිස් සේවාවටම නිග්‍රහයකි. එය වංචාවට එහා ගිය අපරාධයකි.

මෙරට සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කරනුයේ 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේය. මෙලෙස ලියාපදිංචි කොට බලපත්‍ර සහිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයකට ආයුර්වේද පනතේ 4 වැනි වගන්ති යටතේ බලය පවරන ලද නියෝජ්‍ය කොමසාරිස්වරයකු හෝ ආයුර්වේද පනතේ 4 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් බලය පැවරූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට හැර වෙනත් කිසිදු පුද්ගලයකුට ඒවා පරීක්ෂා කිරීම සඳහා ඇතුල්වීමට බලයක් නැති බව නීතියේ සඳහන්ය. පොලිස් නිලධාරීන්ට මෙවැනි ස්ථානයක ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුණහොත් එම පරිශ්‍රය පරීක්ෂා කිරීම පිණිස අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් ලබාගතහොත් මිසක එවැනි ස්ථානයකට ඇතුළු වීමේ නීතිමය බලයක් නැති බවද වාර්තා වේ.

ඉහත කී ආකාරයට ලියාපදිංචි කරන ලද සම්බාහන මධ්‍යස්ථාන වෙත යුවතියන් සේවයට එන්නේ රැකියා නැතිකම නිසා මිස ඔවුන්ගේ අශ්ලීලකම නිසා නොවේ. තෙරපිවරියන් බඳවාගන්නා බවට කරන දැන්වීම් ජාතික මට්ටමේ පුවත්පත්වල ද දක්නට ලැබේ.

මෑත කාලයේ දී වීඩියෝගත කරන්නවුන් ද පිරිවරාගෙන ගණිකා නිවාස වටලන ආකාරයෙන් සම්බාහන මධ්‍යස්ථාන පොලිසියෙන් වටලන ආකාරය දැක ගන්නට ලැබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිමය තීරණ මත නොව නීතිය හරි හැටි පරීක්ෂා නොකොට, මෙවැනි ස්ථානවල සේවයේ යෙදෙන අසරණ ළඳුන් අපහසුවට පත්කොට සදාචාරයේ නාමයෙන් කීයක් ​හෝ සොයා ගන්නට ඇතැම් පොලිස් නිලධාරීන් උත්සාහ කරන සෙයක් සමහර සිද්ධීන් ගෙන් පෙනී යයි.

මුලින් කී ආකාරයේ කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකා පොලිස් සේවාවට ඇත. උස්තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන නිලධාරීන් එවැනි කීර්තිමත් සේවයකට කොහෙත්ම නොගැලපෙන බව පොලිසිය තේරුම් ගැනීම සතුටට කරුණකි.

(***)