ජාතික වැඩපිළිවෙළක් තබා අරමුණක්වත් නොමැතිව කඳු ලඳු උලාකමින් තැන තැන ලගිමින් ඉබාගාතේ යන කුළු හරක් ගමන විසින් මේ රටේ ජන සමාජය ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික යන සෑම ක්‍ෂේත්‍රයකටම අදාළව කිසිවක් කරකියා ගත නොහැකි තේරුම් ගත නොහැකි තුෂ්නිම්භූත තත්ත්වයකට පත් කොට ඇත.
ඥානයක්, බුද්ධියක් සහ ඒවා මත පදනම වූ කිසිදු සදාචාරාත්මක ආමන්ත්‍රණයකට ඉඩක් නැත. ඒවාට පාලකයන්ගෙන් සක්‍රීය ප්‍රතිචාරයක් ද නැත. ලබා ඇත්තේ ඒ කිසිවක් නොමැති අබුද්දස්ස දීර්ඝ ශීත ඍතුවකි.
කල් දැමූ මැතිවරණ කල් පසුවී පවත්වති. එහෙත් වදන්නේ විකෘති පැටවුන්ය. මහ කල්ලි දෙක තුනේම චණ්ඩින් සහ හොරුන් මහජන නියෝජිතයන් ලෙස බෞතීස්ම කිරීමේ අරමුණ නම් අගේට පෙරට පැමිණ ඇත. මැතිවරණයකින් පසුව හෝ රටට වැඩ දායක යමක් සිදුවනු ඇතැයි යන මහජන විශ්වාසය උඩු සුළඟේ ගසා ගෙන ගොස් ය.
රට යන අතක් ගැන පාලකයන්ට කිසිදු දර්ශනයක් තබා අදහසක්වත් නොමැත. එහෙත් තම තමන් ගැන බඩ ජහරි බලාපොරොත්තු සහ කුටෝපායන් නම් බොහෝ ය. මොවුන් දෛනිකව සිහියෙනුත් අව සිහියෙනුත් ජප කරන මන්තරය “බල්ලො මරාලා හරි (පරම්පරා ගානකට) සල්ලි හොයාලා, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමා ලා” යන්නය. මෙවැනි පසුබිමක රටේ සිදුවෙන දේශපාලන බල උප්පරවැට්ටි ගැන කතා කිරීම තවදුරටත් ඒ තරම් තේරුමක් නැති බව මේ මොහොතේ මගේ වැටහීම ය. ඒ නිසා මේ රටේ ජනතාව සමඟ කළ යුතු යමක් ගැන කතා කිරීමට උත්සාහ ගනිමි. ඒ, ඊට ඔවුන්ගේ අදහස් සහ යෝජනාද ලබා ගැනීමේ අරමුණෙනි.
1842 සහ 1914 කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ ප්‍රකට බුද්ධිමතකු වූ ඇම්බ්‍රෝස් බි්‍රස් වරක් පැවසු අදහසකට අනුව බලන විට, තම දේශපාලන ක්‍රියාවලිය මූලධර්ම පිළිබඳ පොදු ජන තීරණයක්, සටනක්, තරගයක් නැතහොත් අරගලයක් ලෙස පෙන්නුම් කිරීමට පාලකයෝ හැම විටම උත්සාහ ගනිති. එහෙත් සත්‍ය වශයෙන්ම තීරණ ගනු ලබන්නේ පොදුජනයා වෙනුවෙන් නොවේ. ජනයා වෙනුවෙන් ගන්නා ලෙස පොදු ජනයා විසින් පාලකයන්ට බල කර කියා සිටින තීරණ ද නොවේ. පාලකයන් ගන්නා තීරණ තම තමන් වෙනුවෙන්ම ගන්නා තීරණ පමණි.
ඒ අනුව පාලකයන් තීරණ ගන්නේ, සටන් කරන්නේ, තරග කරන්නේ, අරගල කරන්නේ පොදුජනයා වෙනුවෙන් හෝ පොදුජනයා නිසා නොව ස්වකීය පෞද්ගලික වුවමනා සඳහා පමණි. සටනකි, තරගයකි, අරගලයකි. එහෙත් පාලකයන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ සියලු තීරණ සහ අරගල පොදු ජනයා වෙනුවෙන්ම ගත් ඒවා වශයෙන් පෙන්වීමට ය. ඇම්බ්‍රෝස් බි්‍රස්ට අනුව පාලකයන් සිදු කරන්නේ පෞද්ගලික වාසි සඳහා යහපාලන ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමය. සමාවෙන්න යහපාලන ජාතික ආණ්ඩුව නොව පොදු කටයුතු පවත්වාගෙන යාමය.
එනම් පෞද්ගලික වාසි සඳහා පොදු කටයුතු පවත්වාගෙන යෑම ය. එසේම පොදු ජන මූල ධර්ම කොඩි ඔසවා තැබීමය. එනම් රටේ නිදහස, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාව වැනි මුලධර්ම කොඩි ඔසවා තැබීම ය. මේ ආකාර දේශපාලනයක් ඇති අපේ රටේ ජනයා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඉහත කී යථාර්ථය නිසිලෙස තේරුම් ගැනීමය. දෙවනුව කළ යුත්තේ අප වැනි රටක් ගොඩගත හැකි බුද්ධිය සහ සද්ගුණය සහිත පාලකයන් තෝරා බේරා ගැනීමට කටයුතු කිරීමය.
රාජ්‍යයක් නිසිලෙස පාලනය කළ යුත්තේ ප්‍රඥාව සහ සද්ගුණය ට අනුවය යන්න ප්‍රකාශ කළේ ග්‍රීක දාර්ශනිකයකු වූ ප්ලේටෝ ය. එක්කෝ ප්‍රඥාවට දේශපාලන බලය අත්පත් කරගත යුතුය. නැතහොත් දේශපාලන බලය අත්පත් කරගත් අය ප්‍රඥාවට ආදරය කළ යුතු ය. ප්ලේටෝ වඩාත් හැඟීම්බරව ප්‍රකාශ කළේ ප්‍රඥාවට ආදරය කරන්නන් දේශපාලන බලය අත්පත් කර ගන්නාතුරු හෝ දේශපාලන බලය අත්පත් කර ගත් අය ප්‍රඥාවට ආදරය කරන තුරු මානව වර්ගයාට කරදර හිරිහැරවලින් නම් නිමාවක් නැත යනුවෙන් ය. ඥානය සහ සද් ගුණය එක ලෙසම වැදගත් බව නැතහොත් එකට බැඳී තිබිය යුතු බව නම් අප වටහා ගත යුතුමය.
රාජ්‍යයක නැතහොත් දේශපාලන සමාජයක අරමුණ ජනයාට යුක්තිය, තෘප්තිය සහ යහපත සැලසීම ය. ප්ලේටෝ සද්ගුණ සහිත ප්‍රඥාවන්තයන් පාලනය සඳහා යෝජනා කරන්නේ එහෙයිනි. ඔහු යෝජනා කරන පරමාදර්ශීය රාජ්‍යයේ පාලකයන් යන වචනය වෙනුවට භාවිතකොට ඇත්තේ භාරකාරයන් යන්න ය. භාරකාරයන් ප්‍රඥාවේ සද්ගුණය අනුගමනය කළ යුතුය.
මිනිසා නියත වශයෙන්ම දේශපාලන සත්වයෙකි යැයි කීවේ ඇරිස්ටෝටල් ය. ඔහු ප්ලේටෝගේ සිසුවෙකි. අරෑරිස්ටෝටල් එසේ කීවේ මානව වර්ගයාට යහපත් ජීවිතයක් ගත කළ හැක්කේ දේශපාලන සමාජයක් තුළ පමණි යන අදහසිනි. ඒ අනුව දේශපාලනය යනු යුක්තිසහගත සමාජයක් නිර්මාණය කළ හැකි ආචාර ධාර්මික ක්‍රියාවකි.
එහෙත් අපේ දේශපාලනය සහ පාලකයන් දෙස බලන විට ප්ලේටෝ කී ප්‍රඥාව සමඟ වූ සද් ගුණයත් ඇරිස්ටෝටල් කී යුක්ති සහගත සමාජයක් සඳහා වූ ආචාරධාර්මික ක්‍රියාවලිත් තිබෙන්නේ පාලකයන්ට ළඟාවිය නොහැකි ඈත දුරකින් ය. දේශපාලන බිම මුළුමනින්ම පාහේ අත්පත් කරගෙන ඇත්තේ අර ඇම්බ්‍රෝස් බි්‍රස් කියූ ආකාරයේ පොදු ජන මුලධර්ම පෙන්නා තම පෞද්ගලික වාසි ලාභ සඳහා ක්‍රියාකරන චණ්ඩි සහ චෞර පුද්ගලයෝය.
එවැනි තත්ත්වයක් මේ රටේ නිර්මාණය වූයේ ජනයාගේ අනුදැනුමකින් තොරව ද? යන්න අප මඳක් විමසා බැලිය යුතු ය. අප වැනි රටවල දේශපාලනය කාලකණ්ණි සහ විනාශකාරී ක්‍රියාවලියක් බවට පත් වූයේ වැඩිහිටි සර්වජන ඡන්ද බල අයිතිය ක්‍රියාත්මක වීම නිසාය යන මතය කාලයක සිට ප්‍රබලව පවතින මතයකි. විශේෂයෙන්ම ඒ මතයේ වයස ඩොනොමෝර් ආණ්ඩු ක්‍රමය ස්ථාපිත කිරීමේ අවධිය දක්වා දිව යයි.
වැඩිහිටි සර්ව ජන ඡන්ද බල අයිතිය මෙරට ජනයාට ප්‍රදානය කිරීමට ඩොනොමෝර් කොමිසම උත්සාහ කළ අවස්ථාවේ ඇතිවූ සංවාදය විමර්ශනය කරන්නකුට එය පැහැදිලිව තේරුම් ගත හැකිය. ඡන්ද අයිතිය දීමට විරුද්ධ වන්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ වැඩවසම් බැමිවලින් හිරවී ඇති නූගත් සහ දිළිඳු ජනයාට ඡන්ද බලය දීමෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂිත ප්‍රතිපල ලබා ගත නොහැකි බවය. ඔවුන්ගේ ඡන්ද බල අයිතිය අවභාවිත විය හැකි බවය.
ලංකාවේ ජනයාට වැඩිහිටි සර්ව ජන ඡන්ද අයිතිය ලැබී අවුරුදු අසූහතකි. ඒ කාලය තුළ මැතිවරණයෙන් මැතිවරණයට වැඩි වුණේ රටේ ඡන්ද ප්‍රමාණයේ ඔළුගෙඩි ගණන මිස ඡන්දය අයිති මිනිසුන්ගේ ඔළුගෙඩිවල ප්‍රඥාව නම් නොවේ. එසේම මන්ත්‍රණ සභා, පාර්ලිමේන්තු, රාජ්‍ය සභා, පළාත් සභා, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යනාදියෙහි පාලක ඔළුගෙඩි ගණන වැඩි වුණා මිස වැඩි වුණේ ඒ පාලකයන්ගේ ඔළුවල ප්‍රඥාව සහ සද්ගුණය නම් නොවේ. ප්‍රඥාව නොව මූලික දේශපාලන සාක්ෂරතාවවත් නැති මිනිස් කන්දරාවකින් මැතිවරණයකින් මැතිවරණයකදී ඡන්දපොළවල් පිරී ඉතිරී යයි.
එහි ප්‍රතිපලයක් ලෙස කිසිදු ප්‍රඥාවක්, සද්ගුණයක් සහ මූලික දේශපාලන සාක්ෂරතාවක් නොමැති මිනිසුන්ගෙන් පාර්ලිමේන්තු සහ විවිධාකාරයේ සභා පිරී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු රටම අමුම අමු විකාරයක් බවට පත් වී තිබෙයි. නම ගිය මදාවියෝ, පාතාලයෝ, සොරු, ජාවාරම්කරුවෝ ප්‍රතිපත්ති සම්පාදක ආයතනවලත් ක්‍රියාත්මක කරන ආයතනවලත් සියලු දෑ තීරණය කරති. අනිත් ආයතන ඒවාට ආවඩා ආයිබෝවේවා කියයි. වරද කාගෙ ද?
වරද දේශපාලකයන් මත පමණක් පටවා අත් සෝදා ගත නොහැකි බව මගේ හැඟීම යි. ප්‍රඥාවෙන් සහ සද් ගුණයෙන් වර්ධනය නොවූ ඡන්දදායකයන් මේ වරදට වැඩි වශයෙන් වගකිව යුතුය.
එසේ නම් කළ යුත්තේ ප්‍රඥාව සහ සද්ගුණය ඇති අයට පමණක් දේශපාලන බිම භාර දීමය. ඒ සඳහා ඡන්ද බල අයිතිය දිය යුත්තේ අඩුම තරමින් ප්‍රඥාව කෙසේ වෙතත් මූලික දේශපාලන සාක්ෂරතාව ඇති අයට පමණක් ය. ඊට අදාළ සුදුසුකම් මැනීමේ නිර්ණායක සකසා ගත යුතු ය. ඡන්දදායකයා ප්‍රඥාවන්ත නොවී ප්‍රඥාවන්ත පාලකයන් තෝරාගැනීම සිදු කළ නොහැක. එසේම ප්‍රඥාව නොව අඩුම තරමින් මූලික දේශපාලන සාක්ෂරතාවවත් තිබෙන අයට පමණක් පාලකයන් ලෙස ඉදිරිපත් වීමට හැකිවන අයුරින් නීති සහ නිර්ණායක සකසා ගැනීමට ජනයා බලකළ යුතුය.
ඡන්ද අයිතිය සහ පාලකයන් වීමේ අයිතිය මතු කී සුදුසුකම සැපිරූ අයට පමණක්ම සීමාවිය යුතුය. ඒ තැනට ඒමට අවැසි අයෙක් වේ නම් ඒ සුදුසුකම සපුරා ගත යුතුමය. මා යෝජනා කරන්නේ සීමිත ඡන්ද බල අයිතියක් සහ සීමිත පාලක/ නියෝජිත/ භාරකාර අයිතියක් සහිත දේශපාලන ක්‍රමයකි. එවැනි පසුබිමක් නිර්මාණය කර නොගතහොත් මේ දේශපාලන කරුමයෙන් මේ රටට කවදාවත්ම ගැලවීමක් නම් නැත. මහා ප්‍රජාතන්ත්‍රවාදීන් මගේ යෝජනාවට එකඟ නොවන බව මම දනිමි. එහෙත් මම ඔවුන්ගෙන් සමාව නො ඉල්ලමි.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක