ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය කර වසර 19කට පසු ඔහු තමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය සමඟ අප හමුවට ඇවිත් තිබේ. ඒ "My Red Comrade” සමගිනි. සිනමා ගුරුවරයකු, ටෙලිනාට්‍ය/සිනමා අධ්‍යක්ෂවරයකු වන ඔහු නමින් සුදත් මහදිවුල්වැව වේ. මේ ඔහුත් සමග අද පවතින සිනමාවේ තත්ත්වය පිළිබඳව කළ කතාබහක සටහනකි.
‘‘අවුරුදු 19කට පස්සේ සිනමාවට එද්දී සම්පූර්ණයෙන්ම පොළොවයි ප්‍රේක්ෂකාගාරයයි, මිනිසුන්ගේ රසවින්දනයයි, හැම දෙයක්ම වෙනස් වෙලා. පොළොව හොඳටම වෙනස් වෙලා. ඒක තමයි මම මේ දවස්වල අත්දකිමින් ඉන්නේ. ඇත්තටම මම සිනමාව කරපු කෙනෙක් වගේම සිනමාව උගන්වපු කෙනෙක්. මට දැන් මේ චිත්‍රපටය කළාට පස්සේ හිතෙනවා, සිනමා නිර්මාණයක් කරන එක තමයි සරලම දේ කියලා. මොකද චිත්‍රපටයක් කළාට පස්සේ රැඟුම් හලක මණ්ඩල සහතිකය අරගෙන, ප්‍රදර්ශන මණ්ඩලයකට පෙන්වලා මිනිස්සුන්ට පෙන්වන තැනට ගෙනියන එක තමයි මම හිතන්නේ මේ මොහොතේ ලංකාවේ සිනමාව කියලා. චිත්‍රපටයක් නිමා කරන එක මෙච්චර අමාරු නෑ. මේක අතිශයින් අමාරු හා දුෂ්කර වැඩක්.
විශේෂයෙන් ජනප්‍රිය තලයේ නොවන වෙන විදිහේ සිනමාව පාවිච්චි කරන, කිසියම් විකල්ප විදිහකට සිනමාව පාවිච්චි කරන, අපි වගේ අයට මේ මොහොතේ අතිශයින්ම අමාරුයි. එකක් තමයි ප්‍රදර්ශක මණ්ඩලයත් එක්ක අපට සිනමා ශාලා ලබා දුන්නද, ඒ දෙන වෙලාව ප්‍රශ්නයක්. දහවල් 12.00ට දීලා වැඩක් නෑ. චිත්‍රපටයක් බලන්න එන වෙලාවක් තිබෙනවා. ඒ වෙලාවන් ඔවුන් දෙන්නේ ජනප්‍රිය තලයේ චිත්‍රපටවලට. ඒ රේස් එකේ අපට දුවන්න අමාරුයි. එහෙම කියලා අපි මේ මොහොතේ එය අතහැරලා නෑ.
විශේෂයෙන් කුරුණෑගල, රත්නපුර, මාතර, මහනුවර ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර චිත්‍රපටයට තිබෙනවා. එහෙත් අවාසනාවකට අනුරාධපුර, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල අපට සිනමා ශාලාවක් ලැබී නෑ. ඒකට හේතුවක් තිබෙනවා. මොකද ඒ සමහර සිනමා ශාලා e සිනමා ශාලා වෙලා තිබෙන්නේ. මෙය අපි කතා කළ යුතුම ප්‍රශ්නයක්. ලංකාවේ චිත්‍රපටයක් හදන්න තිබෙන අන්තිම ඉහළ තාක්ෂණයකින් (8k) තමයි මගේ චිත්‍රපටය රූගත කළේ. හැබැයි අපි මුදාහරින්නේ 2k තාක්ෂණයටයි. ඒ කියන්නේ හතරෙන් එකක්. 2k පිළිබඳව මා නරක විදියට කතා කරන්නේ නෑ. 4k ලැබෙනවා නම් හොඳයි.
e සිනමාශාලා විසිගණනකට වඩා අපේ රටේ තිබෙනවා. අපි තීන්දුවක් අරගෙන තිබෙනවා ඒවාට චිත්‍රපටය දෙන්නේ නෑ කියලා. හේතුව 8k රූපගත කළ එකක් DVD වලටත් වඩා පල්ලෙහා එකකට දාන්නේ ඇයි? අපි තාක්ෂණය හොඳට දැනගෙන විනාශ කරන්නේ ඇයි? ශාලා අඩුවුණාට කමක් නෑ. e සිනමා ශාලාවලට දෙන්නේ නෑ. e සිනමාව ලංකාවෙන් වහාම අතුගා දමන්න ඕන කාරණයක්. කොහොම වුණත් e සිනමා කියන්නේ ගෙදර බලනවාටත් වඩා පල්ලෙහා මට්ටමේ එකක්.
ඇත්තටම මගේ චිත්‍රපටය රිලීස් කරන්න තිබුණේ 3 වැනිදා. හැබැයි එදාම ජනප්‍රිය තලයේ චිත්‍රපටයක් තිරගත කරන්න කටයුතු කළා. ඒ තරගයට මගේ චිත්‍රපටය දාන්න සූදානම් වුණේ නෑ. මොකද අපේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මට හොඳ අදහසක් තිබෙනවා. මේ වනවිට ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය තලයේ චිත්‍රපට දෙකක් තිරගත වෙද්දී, ලංකාවේ පෝලිමේ සිට සියලුම සිනමාකරුවෝ චිත්‍රපට අකුලාගනිද්දී, මේ චිත්‍රපට දෙක එක්ක තරග කරන්න බයවුණා. ඒත් මම ඒ තරගයට මුහුණ දුන්නා. මොකද මට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඒකෙදි මම අද ඉන්න තැන පිළිබඳව මට හරිම සතුටුයි. සාපේක්ෂව සතුටුයි. ඒක නොවෙයි අපේ ඉලක්කය.
චිත්‍රපට නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයට වියදම් කරලා, ප්‍රචාරණයට වියදම් කරලා, ඊළඟට ශාලාව ළඟට ගෙනියනකම්ම වියදම් දරනවා. අපි පොඩි කාලේ චිත්‍රපට ශාලාවලින් ගොඩක් උදව් දුන්නා. අද ඒ කිසි දෙයක් නෑ. හැබැයි ලාබය බෙදාගන්නකොට දෙගුණයකට බෙදා ගන්නවා. මේ ක්‍රමයේ වෙනසක් විය යුතුමයි. ඒ සිනමාවේ සිටින හැමෝම කතා කළ යුතු දෙයක්. නැත්නම් මේක ගිහින් ගිහින් එක තැනක නතර වෙනවා.
අපේ චිත්‍රපටයට මේ වනවිට ජාත්‍යන්තරව, රටවල් ගණනාවක විශාල ඉල්ලුමක් පවතිනවා. මට අවශ්‍ය මේක ලංකාවේ පෙන්වලා, මේ රටේ මිනිසුන් සමග කතිකාවකට යන්නයි. ඒ අර්ථයෙන් නම් චිත්‍රපටය බලලා ඒක ප්‍රේක්ෂකයන්ගේ අදහසින් තමයි මේ සාකච්ඡාව එන්න ඕනේ. ඒකට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මේවා සඳහා අධ්‍යක්ෂවරයකුට, නිෂ්පාදකවරයකුට තීන්දු තීරණ ගන්න බැහැ.
අපට මේ මොහොතේ වැදගත්ම කාරණය තමයි චිත්‍රපට අරමුදලක අවශ්‍යතාව. අධ්‍යක්ෂවරයා සුරක්ෂිත කරනවා වගේම නිර්මාණයත් සුරක්ෂිත කරනවා. අරමුදල විසින් තීරණය කරනවා ලංකාවට හැදෙන්න ඕනේ මොනවගේ චිත්‍රපටද කියලා. චිත්‍රපට සංස්ථාවේ තිබෙන සංවර්ධන අරමුදල ගැන නොවෙයි මේ කතා කරන්නේ. මෙය ලෝකයේ බොහෝ රටවල්වල තිබෙන චිත්‍රපට අරමුදල ගැනයි. වාණිජ, කලාත්මක, පර්යේෂණාත්මක වගේම වෙනත් ධාරාවේ චිත්‍රපටද මේ අරමුදල මගින් සුරක්ෂිත වෙනවා. චිත්‍රපටයක අර්ථ හරිම වෙනස්. චිත්‍රපටයකට පුළුවන් විවිධ විදිහට, තානාපති කෙනෙක් හැටියට යන්න, මුදල් හොයන්න. සංස්කෘතික බැඳීමකට යන්න පුළුවන්. මම කියන්නේ අරමුදල විසින් තීන්දු, තීරණ ගන්නවා. ඒ අරමුදලට මණ්ඩලයක් ඉන්නවා. එයින් තමයි තීරණය වෙන්නේ. රටක සිනමා සංස්කෘතිය හරිම වැදගත්. මේ මොහොතේ එහෙම දෙයක් නෑ. එය සිදුවන්නේ ශාස්ත්‍රානුකූලව ඒ පිළිබඳව ගැඹුරු කතාබහක් කෙරෙද්දී විතරයි. චිත්‍රපට අරමුදලෙන් විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ. සිනමා ශාලා ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. ඒවාත් නඩත්තු වෙන්න ඕනේ. චිත්‍රපට කියන එක විවිධ පාරවල් ඔස්සේ ගමන් කරන්නේ. මම කියන්නේ එය තනි පාරකට ආවොත් මීට වඩා සිනමා කර්මාන්තය කියන එකත් සංස්කෘතිය කියන එකත්, සිනමා සාක්ෂරතාවයත් එක්ක යන ශාස්ත්‍රානුකූල කියන කාරණා ටික ඔක්කොම රවුමකට යා කරන්න පුළුවන් නම්, මීට වඩා යහපත් සිනමාවක් අපට දකින්න පුළුවන් වෙයි.’’
(*** - සමන්ත යහම්පත්)