චෙකෝෆ්ගේ කෙටිකතාවල වචනයක් කැපුවොත් ලේ ගලනවා


නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සහ අනුවාද කෘති කිහිපයක්ම සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම මෙරට සාහිත්‍යයට දායාද කොට ඇති ප්‍රවීණ ලේඛක ආචාර්ය පාලිත ගනේවත්ත මහතාගේ නවතම කෘති ද්විත්වය පළවී ඇත්තේද සුප්‍රකට රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ හා ජීවිතය පදනම් කොට ගෙනය. ගනේවත්ත මහතා මීට පෙර කළ අනුවාද කෘති බොහොමයක්ද චෙකෝෆ්ගේ චරිතය හා බැඳේ. ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ සමකාලිනයන්ගේ සැමරුම් සටහන් ඇන්ටන් චෙකෝෆ්ගේ ලියුම් මේ නව කෘති දෙකයි.

එම කෘති ද්විත්වය එළිදැක්වීමේ උළෙල මෙම මස 28 වැනිදා බදාදා සවස 3.00ට කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වේ. ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා, ප්‍රවිණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ, අාචාර්ය ගුණදාස අමරසේකර මෙහි දෙසුම් පවත්වති. මෙම සංවාදය ගනේවත්ත මහතා සමඟ සිදු කෙරෙන්නේ ඔහුගේ නව කෘති දෙක පදනම් කොටගෙනය. 

• සුප්‍රකට රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් ස්වයං ලිඛිත චරිතාපාදනයක් ලියා නැතත් චොකොෆ් පිළිබඳ ඔහු සම්පාදනය කළ මෙම කෘති දෙක අධ්‍යාපනයේදී ඔහුගේ ජීවිතය හා ලේඛනය සමඟ බැදුණු බොහෝ තොරතුරු මුණ ගැසෙනවා. මෙබඳු කෘති දෙකක අවශ්‍යතාව ඔබට දැනුනේ ඇයි?

මා හිතනවා ඔබේ ප්‍රශ්නය තුළම එයට පිළිතුර තිබෙනවා කියා. චෙකෝෆ්  චරිතාපාදනයක් ලිව්වේ නෑ. එහෙත් චෙකෝෆ්ගේ ලියුම් තුළින් හා ඔහුගේ සමකාලීනයන් ඔහු ගැන ලියූ මතක සටහන්වලින් අපට චෙකෝෆ්ගේ චරිතය හොඳාකාරවම වටහා ගන්ට පුළුවන්. ඒ නිසාම තමයි මෙවැනි පොත් දෙකක් නිර්මාණය කරන්ට මම අදහස් කළේ. මම දැන් වසර ගණනාවකම ඉඳන් චෙකෝෆ් ගැන අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස මම ඔහුගේ කෙටිකතා සංග්‍රහ දෙකක් එළි දැක්වූවා. අනිත් පොත ‘ඇනා ගෙල පැළඳ සහ තවත් කතා’ නමින් 2019 දී. රුසියානු මුල් බසින් මේ පොත් තුනම පරිවර්තනය කිරීමේදී මට පෙනී ගියා  චෙකෝෆ්ගේ පෞද්ගලික අත්දැකීම් රාශීයක් ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගතව තිබෙන බව.

ඒ නිසා තමන්ග්ම චරිතාපාදනයක් නොලීවත් ඔහු එදිනෙදා ලියූ ලියුම්වලින් අපිට ඉතාම හොඳට මැවී පෙනෙනවා චොකෝෆ්ගේ චරිතය. සෝවියට් සංගමය පළ කළ චෙකොෆ්ගේ එකතු කළ කෘති වෙළුම් 32න් 12ක්ම ඔහුගේ ලියුම්. ඒ ලියුම් ඉතා රසවත්. ඒ වගේම හරිම අවංකව අදහස් පළ කරපු, බෙහෙවින් පෞද්ගලික තොරතුරු පවා හෙළිකරපු ලියුම්. ඉතින් මට හිතුණා මේ ලියුම්  තුළින් තමයි අපට චෙකෝෆ් කියන පුහුදුන් මිනිසා හමුවන්නේ කියලා.

මේ ලියුම්වල තිබූ බොහෝ තොරතුරු වසන් කරලා,වාරණය කරලා තමයි සෝවියට් බලධාරීන් ඔහුගේ ලියුම් මුද්‍රණයෙන් පළකළේ. ඒ අය හිතුවා එවැනි දේ විශේෂයෙන්ම චෙකෝෆ් නොයෙක් කාන්තාවන් සමඟ පැවති ප්‍රේම සම්බන්ධතා හෙළිවෙන ලියුම් පළ කළොත් ඔහුගේ කීර්ති නාමයට කැළලක් වෙයි කියලා. ඒත් චෙකෝෆ් එක් අවස්ථාවකදී කිව්වා ඔහු ලියූ කිසිවක් ගැන ඔහු ලැජ්ජාවට පත්වන්නේ නෑ. ඒ සියල්ලම පාඨකයාට කියවන්ට ලබා දිය යුතු බව. 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පස්සේ රුසියානු ලේඛනාගාර සහමුලින්ම විවෘත කළා. ඒ අනුව 2004 දී චොකෝෆ්ගේ ලියුම් කිසිම වාරණයක් නැතිව ඔහු ලියූ ආකාරයෙන්ම පාඨකයාට කියවන්ට අවස්ථාව ලැබුණා. ඒ වාරණයට ලක්වුණු ලියුම් කිහිපයක් මම ඇතුළත් කළා මගේ පොතට. 

• ලෝක ප්‍රකට බොහෝ ලේඛකයන් ස්වයං ලිඛිත චරිතාපාදන ලියා ඇතත් මෙතෙක් එවැන්නක් ලිවීමට භීතියෙන් පසුවූ බව චෙකෝෆ්ගේ මිතුරකුට ලියූ ලිපියකින් හෙළිවෙනවා. මේ සඳහා කවර කරුණු හේතුවන්නට ඇද්ද?

ඔහු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත් මිතුරකුට ලියා යැව්වේ තමන් ‘ස්වයං චරිතාපදාන භීතිකාවෙන්’ පෙළෙන බවයි. මෙයට ස්ථිරවම හේතුවක් සොයන්ට අමාරුයි. ඒත් චෙකෝෆ්ගේ චරිතයේ සමහර ලක්ෂණ නිරීක්ෂණය කිරීමේදී මෙයට හේතු සොයා ගන්ට පුළුවන්. බොහෝ අය සමඟ ගැටුණත්, විශාල වශයෙන් සමාජ සම්බන්ධතා තිබුණත් ඔහුට කිසිම කෙනෙක් ළඟම යාළුවෙක් කියල කියන්ට පුළුවන් කෙනෙක් හිටියේ නැහැ,  බොහෝ විට ඔහු හුදකලාව ඉන්ට කැමති වුණේ, තමන්ගේ අභ්‍යන්තර ලෝකයට කිසිවෙකුට ඇතුළු වෙන්ට බැරි විදියට.

ඇතුළු හදටම ඇරුණු හදවතක් ඔහුට තිබුණේ. ඔහු කිසියම් බියකින් පසුවුණා වගේ තමන්ගේ අභ්‍යන්තර ලෝකය හෙළි කරන්නට. ඒත් අනිත් පැත්තෙන් ඔහු තමාගේ ඉතා හිතවත් අයට ලියූ  ලියුම්වලින් තම හැඟීම් නොසඟවා හෙළි කළා. චෙකෝෆ්ගේ චරිතයේ ප්‍රතිවිරෝධතා ලක්ෂණයක් හැටියට මෙය සලකන්ට පුළුවන්. මේ හේතුව නිසා වෙන්ට ඇති ඔහු තමන්ගේ චරිතාපදානයක් ලියන්ට අදිමදි කළේ.

• ඇන්ටන් චෙකෝෆ් විචාරකයන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ යථාර්ථවාදී කෙටිකතාවේ පියා ලෙසයි. ඔහුගේ කෙටිකතාවල ඔබ දකින සුවිශේෂතා මොනවාද?

 චෙකෝෆ් ඇත්තටම යථාර්ථවාදී කෙටිකතාව පළමුවරට හඳුන්වා දුන් ලේඛකයෙක්. ඔහුගේ කෙටිකතාවල විශේෂත්ව කීපයක් තිබෙනවා. බටහිර විචාරකයන් විසින් හඳුන්වාදී තිබුණු කෙටිකතා ආකෘතිය. ඒ කියන්නේ කෙටිකතාවට ආරම්භයක් හා අවසානයක් තිබිය යුතුය. ආරම්භයේ සිට කතා ශරීරය වර්ධනය කර කතාවේ උච්චස්ථානය කරා, එනම් අවසානය කරා ළඟා විය යුතුයි කියා පිළි අරගෙන තිබුණු සම්මතය පළමු වරට සහමුලින්ම බිඳ හෙළු‍වේ චෙකෝෆ්.

චෙකොෆ්ගේ සමහර කෙටිකතා හිටි ගමන් ගහෙන් ගෙඩියක් වැටෙනවා වගේ පටන් ගන්නේ, එසේම එක පාරටම අවසන් කරනවා. තමන් ලියන කෙටිකතාවක එකම අනවශ්‍ය වචනයක්වත් ඇතුළු කරන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ සංක්ෂිප්ත බව තමයි ඔහුගේ කතාවල ඇති එක විශේෂත්වයක්. චෙකෝෆ්  වරක් කිව්වා තමන්ගේ කෙටිකතාවකින් එක වචනයක් ඉවත් කළොත් එතනින් ලේ ගලනවා  කියල. ඇත්තටම ඒක එහෙම තමයි. ඔහුගේ කෙටිකතාවක එක වචනයක්වත් ඉවත් කරන්න බෑ. කතාවට හානි වෙනවා. එය ලේ ගැලීමක් තමයි. එයින් ඔහු අදහස් කළේ කතාවේ ඔහු යෙදූ හැම වචනයක්ම ඉතා වැදගත් බව. 

චෙකොෆ්ගේ භාෂාව ඉතාම සරලයි. සරලව ලියන එක තමයි ඉතා අමාරු. ඒ සරල බෙවම තමයි චෙකොෆ්ගේ කතාවල අගය, නැත්නම් සුන්දරත්වය තියෙන්නේ. තවත් වැදගත් විශේෂත්වක් තමයි චෙකෝෆ්ගේ සරල භාෂාවේ ඇති ගීතවත් බව. ඔහුගේ කතාවල සමහර වැකි කාව්‍යමය ස්වරූපයකින් ලියල තියෙන්නේ. විශේෂයෙන්ම මුල් රුසියානු බසින් කියවීමේදී මට හොඳින් වැටහී ගිය දෙයක් තමයි එය. ටෝල්ස්ටෝයි වරක් කිව්වා චෙකෝෆ්  කියන්නෙ රුසියානු ගද්‍යයට පිවිසි පුෂ්කින් කියල. රුසියානු මහා කවි පුෂ්කින් පද්‍යයේ දක්වපු හපන්කම් චෙකෝෆ් ගද්‍යයෙන් දැක්වූ බවයි එයින් ටෝල්ස්ටෝයි අදහස් කළේ.

• ඔබේ අනුවර්තන කෘති නාමාවලිය බැලුවොත් ඒ සියල්ලම චොකෝෆ් සම්බන්ධයෙන් පළ කළ ඒවා. මීට කිසියම් විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. රුසියානු ගත් කතුවරයන්ගෙන් චෙකෝෆ් තමයි මගේ ප්‍රියතම ලේඛකයා. මම රුසියාවේදී සාහිත්‍යයට තියෙන ආශාව නිසාම භාෂාව දැන ගත්ත ගමන්ම සම්භාව්‍ය රුසියානු ගත් කතුවරුන්ගේ නිර්මාණ කියවන්ට පටන් ගත්තා. ඒත් දොස්තයෙව්ස්කි ගේ පොත් කියවීම භාෂාව දැනගෙන හිටියත් අමාරු වුණා, ඔහු ලියපු භාෂාව නිසා. ගොගොල්, ටෝල්ස්ටෝයි වගේ දැවැන්තයන්ගේ පොත් ඉතා ආසාවෙන් කියෙව්වේ. ඒත් චෙකොෆ් කියවන්ට ගත්තහම මට හිතුණා අමුතු ලෝකයකට ඇතුළු වුණා කියල. ඔහුගේ කතාවක් කියවන්ට පටන් ගත්ත විට අවසානය තෙක් කියවල ඉවර කරනකම් නවත්වන්ට හිතුණේ නෑ. මේ නිසා මම ඔහුගේ කෙටිකතා හා නාට්‍ය සියල්ලම වගේ ආසාවෙන් හැදෑරුවා. මේ නිසා වෙන්ට ඇති මම චෙකොෆ්ගේම කතා පරිවර්තනය කරන්ට යොමු වුණේ.

• එදා සිටම චෙකෝෆ්ගේ කතා කලාව අපේ ලේඛකයන්ට බලපෑවා. චෙකෝෆ්ගේ කතා  කලාව අදට ගැළපෙනවාද? එය මෙරට නූතන රචකයන් හා රසිකයන් අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

 මම හිතනවා චෙකෝෆ්ගේ කතා කලාව කිසිදාකට වඩා අදට ගැලපෙන බව. අද නොයෙක් අලු‍ත් සාහිත්‍යය ප්‍රවණතා තිබෙනවා. ඒවා බොහොමයක් බටහිර රටවල ඇතිවුණු අලු‍ත් සාහිත්‍ය ව්‍යාපාර. මේවයින් අපේ සමාජයට හා සංස්කෘතියට ගැලපෙන දේවල් තෝරා බේරා ගැනීම ඉතා වැදගත්. නැත්නම් ලේඛනයට පෙළඹෙන නවකයන් නොමග යන්ට පුළුවන්. මම හිතනවා සාහිත්‍යකරණයට යොමුවන නවකයන් චෙකෝෆ් වගේ සම්භාව්‍ය ලේඛකයන්ගේ නිර්මාණ හොඳින් පරිශීලනය කළොත් ඔවුන් නිවැරදි සාහිත්‍ය මාර්ගයට යොමුවෙලා අතරමං වීම වලක්වාගන්ට පුළුවන් වේය කියා.


සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ ලේඛක, ආචාර්ය පාලිත ගනේවත්ත