ඡන්ද අපේක්ෂක වියදම් පාලනයට දැඩි නීති ඕනෑ


මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පාලනය සඳහා නව නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට රජය තීන්දුවක් ගෙන තිබේ. අදාළ තීන්දුව පිළිබඳ දැනුම් දෙමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබුණේ රජයේ යෝජනාව මගින් මැතිවරණ වියදම් පාලනයට යෝජිත සංශෝධන සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරෙනු ඇති බවය.

මෙය යහපත් යෝජනාවක් බව සඳහන් කළ යුතුය. මැතිවරණ වියදම් කපා හැරීම සඳහා වන උද්‍යෝගය සහ උනන්දුව බොහොමයක් දේශපාලනඥයන් තුළ පවතින්නේ ඔවුන් විපක්ෂයේ අසුන්ගෙන සිටියදීය. එහෙත් මේ අවස්ථාවේදී මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් කපාහැරීම සඳහා නීති රීති සකස් කළ යුතු යැයි ප්‍රකාශ කරන්නෙත් ඒ සඳහා උනන්දුව දක්වන්නෙත් පවතින ආණ්ඩුව වීම සුවිශේෂ වෙනසකි. ඇමැතිවරයාම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබූ ආකාරයට බල්ලන් මරා හෝ මුදල් සොයා පළාත් පාලන ආයතනයකට, පළාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවට ඇතුළුවීමට බොහෝ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් කටයුතු කිරීමෙන් වළක්වා ගැනීම මේ තීරණයේ අරමුණ වෙයි. එය යහපත් අරමුණකි.

මේ සඳහා මුලින්ම කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබුණේ 2017 වර්ෂයේදී එවකට තිබූ රජය මගිනි. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාත් සිවිල් සංවිධාන සහ බොහෝ දේශපාලන පක්ෂත් මතුකළ විශාල හඬට කන්දීමක් වශයෙන් 2017 වසරේදී කැබිනට් මණ්ඩලය මගින් මේ යෝජනාව අනුමත කර තිබිණි. වත්මන් ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව ඉදිරිපත් කළේ එහි ඉදිරි සහ අවසන් පියවර වශයෙන් බවත් සාධාරණ මැතිවරණයක් නමැති සටන් පාඨය කුළුගැන්වීමට අවශ්‍ය පසුබිම මේ තීන්දුවෙන් නිර්මාණය වනු ඇති බවටත් ඇමැතිවරයා විශ්වාසය පළකර තිබිණි. එය එසේම විය යුතු බවට අපිද එකඟ වෙමු. එය සාර්ථක කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම පක්ෂවල සහාය ලැබෙනු ඇතැයි යන්න අපගේද ප්‍රාර්ථනයයි.

කෙසේ වුවද අදාළ නීති රීති සැකසීමේදී එය රටේ සියලු‍ දේශපාලන පක්ෂවලට සාධාරණ වන ලෙස කිරීමට රජය ඇප කැප විය යුතුය. බොහොමයක් කාලවලදී අප දැක ඇත්තේ බලයේ සිටින රජයට වාසි සැලසෙන සේ එසේත් නැතිනම් තමන්ට සදාකල් බලයේ රැඳී සිටීමට හැකිවන සේ නීති රීති සම්පාදනය කර ගැනීමය. එය හැත්තෑව දශකයේදී පමණක් නොව 2000ට පසුවද අවස්ථා ගණනාවකදී සිදුවිය. අදටත් පළාත් පාලන හෝ පළාත් සභා හෝ මැතිවරණ පවත්වා ගැනීමට නොහැකි වන සේ නීතිමය බාධා ඇති වී තිබෙන්නේ එවැනි ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙනි. මැතිවරණ අපේක්ෂක වියදම් පාලනය කෙරෙන නව නීති හඳුන්වාදීමේදී එම වැරැද්ද සිදුනොවන තැනට වගබලා ගැනීම රජයේ වගකීමය.

මැතිවරණ අපේක්ෂකයන් අඹ කොළ, කොස් කොළ විසි කරන ආකාරයට සල්ලි කොළ විසි කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළින්ද දැඩි විරෝධයක් මතු වී තිබිණි. එය සාධාරණ මැතිවරණයට දැඩිව බලපෑම් ඇති කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් පවා පෙන්වා දෙනු ලැබීය. මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා මහජනතාවගෙන්ද මැතිවරණ නිරීක්ෂණ සහ විවිධ මාධ්‍ය සංවිධානවලින්ද නැගුණු හඬ එක මිටට ගෙන පැවැති රජයට සෑහෙන බලපෑමක් එල්ල කළ බවද මෙහිදී සඳහන් කළ යුතුය. වත්මන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ද අදාළ නීති කෙටුම්පත් කිරීමේදී අවශ්‍ය සියලු‍ සහාය රජයට ලබාදෙනු ඇති බවට සැකයක් නැත. ඊළඟ මැතිවරණයට පෙර මේ නීති හඳුන්වා දිය හැකි නම් එය රටේ දේශපාලනයේ කැපී පෙනෙන පරිවර්තනයක්, වෙනසක් වනු ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් යන්න වඩාත් අර්ථවත් කිරීමටද එය හේතුවනු ඇත.

නීති රීති කොතරම් හඳුන්වා දුන්නත් රිංගා යා හැකි හිල් තිබේ නම් ඒවායින් පැන ගැනීමට උපන් හපන්කම් ඇති අපේක්ෂකයන් මේ රටේ හිඟ නැත. විශේෂයෙන් තුන්වැනි පාර්ශ්වයක් හරහා අපේක්ෂකයකුට ලැබෙන ‘ප්‍රතිපාදන’ වලට තමන් වග නොකියන බව මැතිවරණ අපේක්ෂකයෝ කියති. මුදල් වශයෙන් පමණක් නොව වෙනත් ආකාරයේ තෑගිබෝග ද ඇතැම් අපේක්ෂකයන් ලෝබ නැතුව තම ඡන්දදායකයන්ට බෙදාදෙන්නේ ඒ අනුවය. එපමණක් නොව කළු මුදල් පවා මැතිවරණවලදී එහෙ මෙහෙ විසි කෙරෙන බවද ප්‍රසිද්ධ රහසකි. මෙවැනි සියලු‍ අකටයුතුකම් වළක්වන්න තරම් අලු‍තින් හඳුන්වා දෙන නීති රීති ශක්තිමත් විය යුතුය. අවශ්‍ය තරමට නවාගත හැකි නීති රීති කොපමණ හඳුන්වා දුන්නත් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි බව යථාර්ථයයි.

මෙහිදී වෙනත් රටවල් හඳුන්වා දී ඇති නීති රීති අධ්‍යයනය කිරීමද ප්‍රයෝජනවත් වන බවද පෙන්වා දිය යුතුය. ඒ ඇතැම් රටවල නීති රීතිවලට අනුව මැතිවරණ අපේක්ෂකයන්ට ආධාරකරුවන්ගෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදන ඒ ඒ දේශපාලන පක්ෂවලින් ප්‍රකාශයට පත්කළ යුතු වෙයි. ශ්‍රී ලංකාවේද තේරී පත්වන මන්ත්‍රීවරුන් සිය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වුවද මැතිවරණවලදී කළ වියදම් සම්බන්ධයෙන් වගකීමක් නැත. අලු‍ත් නීති රීති හඳුන්වා දීමෙන් පසුව හෝ මන්ත්‍රීවරුන් එම වගකීමෙන් බැඳෙනු ඇතැයි අපේක්ෂා කරමු.