මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිසම විසින් පසුගිය 16 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව එක් අපේක්ෂකයකු සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින සෑම ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 109ක් වන අයුරින් මෙම මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වියදම් කළ හැකිය.
මෙසේ සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකි. ඒ අනුව එක් අපේක්ෂයකු මෙවර මැතිවරණය සඳහා උපරිම වශයෙන් රුපියල් 186 කෝටියකට මදක් වැඩි මුදලක් (රුපියල් 186,82,98,586ක්) වියදම් කළ හැකිය.
එම මුදලින් සියයට හැටක් එනම් රුපියල් 112 කෝටියක් (112,09,79,151) අපේක්ෂකයා විසින් ද ඉතිරි රුපියල් කෝටි 75කට ආසන්න මුදලක් (රුපියල් 74,73,19434) අපේක්ෂකයාගේ පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා කළ ඡන්දදායකයා විසින් වියදම් කරනු ලැබිය හැකිය.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වී සිටිය ද ඒ සියලු දෙනාම මෙම මැතිවරණයේ දී රුපියල් කෝටි 186 බැගින් වියදම් කරනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස පෙනී යන ‘‘ස්වාධීන’’ අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගයේ අපේක්ෂක නාමල් රාජපක්ෂ යන සිව් දෙනා නම් මෙවැනි විශාල මුදලක් වියදම් කරනු ඇතැයි සිතිය හැකිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින නිදහස් හා සාධාරණ මැතිවරණය සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ ආයතනයේ හිටපු ප්‍රධානී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ මෙසේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණ වියදම් වශයෙන් අනුමත කරන ලද මුදල කොහොත්ම ප්‍රමාණවත් නොවන බවයි. ඔහු පවසන්නේ ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනාට රුපියල් කෝටි 700ක් බැගින් හෝ අවශ්‍ය වනු ඇති බවයි. දැනට අනුමත කරනු ලැබ ඇති මුදලින් අපේක්ෂකයකුට බස්නාහිර පළාතේ පමණක් හෝ පොස්ටර් ඇලවිය නොහැකි බව ඔහු පවසයි.
තෙන්නකෝන් මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක දීර්ඝ කාලයක් ද කටයුතු කොට ඇති හෙයින් ඔහුගේ ප්‍රකාශය ඉවත ලිය නොහැකිය. ඉන් වැටහෙන්නේ මෙරට මැතිවරණ ක්‍රියාවලිය කොතරම් නාස්තිකාරී එකක්ද යන්නයි. මෙවර අඩු තරමින් ප්‍රධාන තරගකරුවන් යැයි පෙනෙන සිව් දෙනා පමණක් මේ අනුව ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 720කට වැඩි මුදලක් වැය කරනු ඇත. අනෙක් අපේක්ෂකයන් අතර ද මේ තරමටම මුදල් වියදම් කළ හැකි කිහිප දෙනෙක් සිටින බව පෙනේ.
මෙම මුදල තීරණය කිරීමට පෙර මැතිවරණ කොමිසම මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කොට තිබිණි. එම සාකච්ඡාවේදී එක් අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දහසක් වැය කිරීමට යෝජනා කොට තිබේ. එනම් එම අපේක්ෂකයා මෙවර මැතිවරණයේ දී රුපියල් කෝටි 1710ක් වියදම් කිරීමට සුදානම්ය. ප්‍රධාන අපේක්ෂකයන් අතරින් අඩුම මුදල වන ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 120ක් යෝජනා කොට ඇත්තේ ජාතික ජන බලවේගයයි.
මැතිවරණ කොමිසම මැතිවරණයක දී අපේක්ෂකයන් වියදම් කරන මුදලට සීමා පැන වූ මුල් අවස්ථාව මෙයයි. ඒ සඳහා මුල් වරට නීතියක් සම්මත කරන ලද්දේ පසුගිය වසරේ ජනවාරි මාසයේය. ‘මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත’ යනුවෙන් හැඳින්වෙන මෙම නීතිය ගෙන එනු ලැබුවේ පළාත් පාලන මැතිවරණයක් නිවේදනය කොට තිබියදීය. ඒ එම පළාත් පාලන මැතිවරණ කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ උපක්‍රමවලින් එකක් වශයෙනි.
මෙම පනත මෙවර මුල් වරට ක්‍රියාත්මක වන හෙයින් එහි අඩුපාඩු හා ප්‍රායෝගිකත්වය පෙනෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුය. විශේෂයෙන්ම අපේක්ෂකයකු මෙම පනතේ වගන්ති උල්ලංඝනය කළහොත් සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නැත. පනතේ සඳහන් වන්නේ එසේ අපේක්ෂකයකු පනත උල්ලංඝනය කළහොත් ඔහු හෝ ඇය දඬුවම්වලට යටත්වනු ඇත යනුවෙනි. ඒ දඬුවම් මේ පනතේ සඳහන් නොවේ.
එසේ යම් අපේක්ෂකයකු වෙනුවෙන් කෙරෙන වියදමක් ඔහුගේ හෝ ඇයගේ අනුදැනුමකින් තොරව සිදු වුවකැයි එම අපේක්ෂකයා ඔප්පු කරන්නේ නම් ඔහු හෝ ඇය ඊට වගකිව යුතු නැතැයි ද පනතෙන් කියවේ. ඇත්ත වශයෙන්ම අපේක්ෂකයකුගේ අනුදැනුමකින් තොරව ඔහුට හිතවත් පිරිස් ප්‍රචාරක කටයුතු කළ හැකිය. කෙසේ වෙතත් මෙම වගන්තිය මෙම පනත උල්ලංඝනය කිරීම සඳහා ද යොදා ගත හැකිය. ඒවා අධීක්ෂණය කිරීමට මැතිවරණ කොමිසමට නිශ්චිත යාන්ත්‍රණයක් ඇති බවක් ද පෙනෙන්නේ නැත.
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මැතිවරණයක දී මේ සා විශාල මුදලක් වියදම් කළ යුතුද? අහිංසක ලෙස සිතන්නේ නම් සිදුවිය යුත්තේ අපේක්ෂකයන් තමන්ගේ අතීත දේශපාලන ක්‍රියාකාරීත්වයේ පාරිශුද්ධත්වය හා තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ සැලසුම් ජනතාවට ඉදිරිපත් කොට ඔවුන්ගෙන් ඡන්දය ඉල්ලා සිටීමය. ජනතාව ද විමසා බලන්නේ මෙම කරුණු යැයි අප අහිංසකව සිතන්නේ නම් මේ සඳහා සරල බසින් ලියා බෙදා හරිනු ලබන එක් මැතිවරණ ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත්ය.
එහෙත් ප්‍රතිපත්ති හා දේශපාලන පක්ෂවල පාරිශුද්ධත්වය පිළිබඳව උනන්දු වන්නේ ජනතාවනේ සුළු පිරිසකි. ආර්ථික අර්බුදය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 දී පැන නැගුණු ‘‘අරගල’’ හේතුවෙන් මෙම පිරිස වැඩි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කොට ගත් ජාතික ජනබලවේගයේ වර්ධනය මඟින් පෙනේ. අනෙක් පිරිසකගේ තීරණය රඳා පවතින්නේ සාම්ප්‍රදායක බැඳීම් පෞද්ගලික ලාබ ප්‍රයෝජන පිළිබඳ අපේක්ෂා හා ‘‘රැල්ල’’ මතය.
සාම්ප්‍රදායික බැඳීම් මෙවර විශාල වශයෙන් බිඳී ගොස් ඇති බව පෙනෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දී ඇති තත්වයෙනි. ආර්ථික අර්බුදය හා අරගලය විසින් ගොඩ නඟන ලද මතවාදය මීට බොහෝ සෙයින් බලපාන්නට ඇත. ඒ අනුව අපේක්ෂකයන් වැඩිම මුදලක් වෙන් කරන්නේ රැල්ල පෙන්වීමට හා කෘතිවම රැල්ල ගොඩ නැඟීමටය.
විශාල මහජන සහභාගිත්වයෙන් යුත් රැස්වීම් පැවැත්වීම තාප්ප වසා ගන්නා අයුරින් පෝස්ටර් ඇලවීම, කටවුට් තැනීම වෙනත් පක්ෂවලින් දේශපාලනඥයන් කඩාගෙන ප්‍රසිද්ධ කිරීම මුදල් දී ව්‍යාජ ජනමත සමීක්ෂණ පැවැත්වීම විශාල පිරිසක් යොදා සමාජ මාධ්‍යයන් තුළ ජනමතයක් ගොඩ නැඟීම ප්‍රකට නළු නිළියන් ක්‍රීඩකයන් සිය වේදිකාවට නැංවීම පක්ෂ විශාල සංඛ්‍යාවක් තමන්ට සහායවන බව පෙන්වීම ආදිය රැල්ල ගොඩනැඟීම සඳහා දේශපාලන පක්ෂ යොදා ගන්නා උපක්‍රමයි.
ජාතික ජනබලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් හැර අනෙක් සියලුම පක්ෂ රැස්වීම්වලට මහජන සහභාගිත්වය විශාල කොට පෙන්වීම සඳහා විශාල වශයෙන් මත්පැන්, ආහාර හා මුදල් සන්තෝසම් ආදිය යොදා ගනී. සමාජ මාධ්‍ය තුළ රැල්ල ගොඩනැඟීම සඳහා ද ඇතැම් පක්ෂ වැටුප් ගෙවා විශාල පිරිසක් යෙදවා ඇති බව කියවේ. වෙනත් පක්ෂවලින් දේශපාලනඥයන් කඩා ගැනීමේ දී ඇතැම් පක්ෂ ඔවුනට කෝටි ගණනින් අල්ලස් දෙන බව ද කියවේ.
මැතිවරණවල දී දේශපාලන පක්ෂවලට වැඩි වශයෙන් මුදල් වැයවෙන්නේ මේවාටය. තමන්ගේ ප්‍රශ්න හා ඒවාට විසඳුම් ඇත්තේ කවුරුන් වෙත ද යන්න පිළිබඳව පමණක් ජනතාව උනන්දු වන්නේ නම් මේ සියලු කටයුතු අවලංගු වේ. එමඟින් මැතිවරණයක දී රුපියල් කෝටි දස දහස් ගණනක් නාස්ති වීම වළකා ගත හැකිවනු ඇත.
එහෙත් එවැනි තත්වයක් රටේ නැත. ණයක් ලබාගෙන එමඟින් තෙල් හා ගෑස් ගෙන්වාගෙන තෙල් හා ගෑස් පෝලිම් නැති වූ විට එය රට ගොඩ දැමීමකැයි යන මතය සමාජගත කරන්නට ආණ්ඩුවට හැකිවී ඇත්තේ එහෙයිනි. පාලකයන් ආර්ථිකය විනාශ කරද්දී එය ප්‍රසිද්ධියේ අනුමත කරමින් සිටි පිරිස් තමන් ළඟට ගෙන ආර්ථිකය ගොඩ නගන බව ඇතැම් දේශපාලන පක්ෂ පවසන්නේ එහෙයිනි. මහා පරිමාණ දූෂණ පිළිබඳ චෝදනාවලට ලක්වූවන් හා එවැනි චෝදනාවලට ලක්වූවන් සමඟ සන්ධාන ගතවී සිටින්නන් දූෂණය පිටු දකින බවට ශපත කරන්නේ එහෙයිනි.
දේශපාලන පක්ෂවලට මෙම මුදල් ලැබෙන්නේ කොහෙන් ද? එම පක්ෂ පවසනු ඇත්තේ පක්ෂයට හිතවත් පරිත්‍යාගශීලීන්ගෙන් එම මුදල් ලැබෙන බවය. ඒ ඒ පක්ෂවල සමාජ සබඳතා අනුව අප මේ ‘‘පරිත්‍යාගශීලීන්’’ කවුරුන්දැයි අනුමාන කරගත යුතුව ඇත.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ඉහළ තලයේ ‘‘පරිත්‍යාගශීලීන්’’ මෙහිදී කරන්නේ පරිත්‍යාගයක් නොව පෞද්ගලිකව තමනට සෘජුව ප්‍රතිලාභ දෙන ආයෝජනයකි. එම මුදල් යොදාගෙන දේශපාලනඥයන් කරන්නේ ද ආයෝජනයකි. එම ‘‘පරිත්‍යාග’’ ලබා ගන්නා පක්ෂ බලයට පත් වූ පසු එම ‘‘පරිත්‍යාගශීලීන්ට’’ ඔවුන් දුන් මුදල මෙන් කිහිප ගුණයක් ලබා ගන්නට නීත්‍යානුකූල හෝ නීති විරෝධි මාර්ග පාදා දෙන්නට එම පක්ෂවලට සිදුවේ. එම ව්‍යාපාරිකයන් එසේ උපයා ගන්නා මුදල් ඔවුන් පමණක් භුක්ති විඳින්නේ නැතැයි යන්න ද පොදුවේ පිළිගත් කරුණකි.
දේශපාලනඥයන්ට මැතිවරණවල දී ලැබෙන මූල්‍යමය පරිත්‍යාග ගිණුම් වාර්තා මඟින් හෙළිදරව් කළ යුතු යැයි මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ පනතේ සඳහන් වේ. එය කළ හැකිය. එහෙත් එම ‘‘පරිත්‍යාගශීලීන්ගේ’’ අරමුණු හා ඒවා ඉටුකර ගන්නා ආකාර පිළිබඳ පාලනයක් මැතිවරණ කොමිසමට නැත.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව බලයේ සිටියදීම ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයකට තරග කළ හැකිය. එහිදී ඔහුට මැතිවරණයට අදාළව පොලීසිය ඇතුළු රජයේ ආයතන තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට ඉඩ ලැබෙනවා සේම මහජන මුදලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට ද ඉඩ ලැබේ. උදාහරණයක් වශයෙන් මැතිවරණ කටයුතු සඳහා ඔහුට තැනින් තැනට රජයේ වාහනයකින් යන්නට හැකියාව ලැබේ. ඔහුගේ ඇමැතිවරුන්ට ද එසේමය. මෙම පනතෙන් ඒවා පාලනය නොවේ. ඒවා ඔහුගේ මැතිවරණ වියදම් ලෙස සැලකෙන්නේ ද යන්න පැහැදිලි නැත.
(*** එම්.එස්.එම්. අයුබ්)