ඡන්ද ක්‍රමය බිහිකළ අර්බුදය


රාජ්‍යයක් විවිධ අර්බුදවලට ලක්විය හැකිය. එය සාමාන්‍ය දෙයකි. එහෙත් අර්බුද හමුවේ එකී රාජ්‍යය නොසැලී පැවැතීමට නම් ඊට ස්ථාවර පාලන ක්‍රමයක් අවැසිය. අසල්වැසි ඉන්දියාව ගත්තත් යුරෝපයේ දියුණු රටවල් ගත්තත් මෙවැනි අර්බුද අලුත් නොවූ අතර ඒවාට රට ඔරොත්තු දෙන තත්ත්වයක පැවැති නිසා ප්‍රශ්නයක් වූයේ නැත. ලංකාවේ ප්‍රශ්නය වන්නේ එවැනි අවස්ථාවකට ඔරොත්තු දිය හැකි තැනක රට නොතිබීමය. ලංකාව මේ වනවිට ආර්ථික, මූල්‍ය හා සමාජීය වශයෙන් අර්බුදයකට වැටී සිටී.

මීට පෙරත් රටේ මෙවැනි විවිධ අර්බුද මතුවුණත් මෙබඳු ආර්ථික හා මූල්‍ය කඩාවැටීමකට අප මුහුණ පෑවේ නැත. දැන් තිබෙන්නේ අපේ ආයතනික ක්‍රමය ද කඩාගෙන වැටුණු තැනකය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාම කියන පරිදි සිය දේශපාලන ජයග්‍රහණයෙන් සතුටු වී පාරවල් දෙපස චිත්‍ර ඇන්ඳ තරුණයන් විදෙස්ගත වන තැනකය. අගමැතිවරයාම එවැනි ප්‍රකාශයක් කරන්නේ නම් රටේ තත්ත්වයේ බරපතළකම ගැන සැක නැත. එසේ නම් අප කළයුත්තේ රට එවැනි තැනකට වැටීමට හේතු කඩිනමින් සොයා විසඳුම් යෙදීමය.

ලංකාව නමැති රාජ්‍යයට අද එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයයි. නිදසුනකට මානව හිමිකම් ප්‍රශ්නයම ගත හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදය සාකච්ඡාවක් සඳහා ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 110කට ආරාධනා කිරීමේදී අපේ කලාපයෙන් ලංකාවේ නම නැත. මන්දයත් ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට නොසැලකෙන බැවිනි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය අර්ථකථනය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියාය. එහෙත් ලෝක සම්මතයේදී ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඒ අරුත්ගැන්වීම නොවේ නම් එය විසල් අභියෝගයකි. මේ ගැන අපි ඇමෙරිකාවට දොස් නගා පලක් නැත. මේ අතරේ යුරෝපා පාර්ලිමේන්තුවෙන් අපේ රටට එරෙහිව යෝජනාවක් සම්මත කර ඇත. එය ජී.එස්.පී ප්ලස් අපනයන වරප්‍රසාදය අපට අහිමිවීමට සෘජුවම බලපා හැකිය. එමෙන්ම අපේ සුරැකුම් දැන් තිබෙන්නේ අවදානමේය. සුරැකුම් මගින් අපට ණයක් දෙන්නට කිසිදු බැංකුවක් කැමැති නැත. ණය ගෙවීම සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ අන්තිම නරක තැනකය. මේ සියල්ල වූයේ කොවිඩ් වසංගතය නිසා යැයි පාලකයන්ට කියන්නට බැරිය.

මේ අර්බුදකාරිත්වයට අපේ දේශපාලන ක්‍රමයත් ආයතන පද්ධතියත් සෘජුව බලපායි. අපේ දේශපාලන ආයතන පද්ධතිය තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගතවය. 1978 දී ජේ.ආර් ජයවර්ධනට මේ බලය තිබුණත් ඔහු බලය මේ අයුරින් බලය පාවිච්චි කළේ නැත.

ඇමැතිවරයකුට යම් විෂයක් පැවරූ පසුව අදාළ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් එනිසා ඔහුගේ ඒ විෂය පථයට ඇඟිලි නොගැසිය යුතු බවත් පරිණත නායකයකු හැටියට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා දැන සිටියේය. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? දවසින් දවස අමාත්‍යාංශ වෙනස් වේ. විෂය වෙනස් වේ. ආණ්ඩුකරණයේදී මෙය විශාල ප්‍රශ්නයකි. ජේ.ආර් ජයවර්ධන පාලනයේදී දිගටම මුදල් ඇමැතිවරයා වූයේ රොනී ද මැල් ය. ඒ.සී.එස්. හමීඩ් දීර්ඝකාලීනවම විදේශ ඇමැතිවරයාය. මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායකය. ඒ ඇමැතිවරු රටට විශාල සේවයක් කළහ. ඉන්පසු ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ යන චරිත ද රට පාලනය කළේ එහෙමය. අමාත්‍යාංශ විෂය අදාළ අයට බෙදා දුන්හ. එහෙත් මේ ආණ්ඩුකරණයේදී අපට ඒ තත්ත්වය දකින්නට නැත.

19 වැනි සංශෝධනය යටතේ බලවත් වූයේ අගමැතිවරයාය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අමාත්‍යාංශ විෂය කීපයක් වෙන්ව තිබුණි. ඒත් සංක්‍රමණික ජනපති හැටියට පෞද්ගලිකවය. නොඑසේව 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට වෙනම අමාත්‍යාංශ පවත්වාගැනීමට හැකියාවක් තිබුණේ නැත. 20 වැනි සංශෝධනයෙන් කළේ එය මුළුමනින්ම අනෙක් පැත්තට හැරවීමය.

සමානුපාතික මැතිවරණ ක්‍රමය ද සමග මනාප ක්‍රමය ආදේශ කරනු ලැබුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. එවිට දිස්ත්‍රික්කයක් තුළ දේශපාලකයාට තම ජයග්‍රහණය සලකුණු කිරීමට යුද්ධයක් කරන්නට සිදුවිය. මක්නිසාදයත් ඒ අදාළ දිස්ත්‍රික්කය තුළ තමාගේ අංකය හැකිතාක් පතුරා හැරිය යුතු නිසාය. අපේ මැතිවරණ ක්‍රමයේදී තිබෙන්නේ පොහොට්ටුව, අලියා, අත, සීනුව ආදී වශයෙන් ලාංඡනය. ඡන්දපොළට යන පුරවැසියා මේ ලාංඡනයට අමතරව ඊට යටින් ඇති අංක තුනක් ද මතක තබාගත යුතුය. මෙය පහසු සෙල්ලමක් නොවේ. මෙවැනි ක්‍රමයක් ලෝකයේ අන් කිසි රටක පවතීදැයි මට සැකය. ඡන්දදායකයාගේ හිතේ කෙටෙන හැටියට අංකය සමාජයෙහි ස්ථාපිත කරගැනීමට දේශපාලකයකු කොයිතරම් විසල් ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කළ යුතුද? මේ හැකියාව රඳා පවතින්නේ මුදල් වීසි කිරීමට ඇති ශක්තිය මතය. අවසානයේදී එකම පිරිසක් පාර්ලිමේන්තු එන්නට බලපාන්නේ ද මේ මූල්‍ය ශක්තියයි.

එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආගමනයට පෙර පැවැතියේ ආසන ක්‍රමයයි. එක් දේශපාලන කණ්ඩායමකට අසමමිතික ලෙස බලය ඒකරාශි වීම එහි දුර්වලතාව වූ අතර සමානුපාතික ක්‍රමය ගෙනආවේ ඊට විසඳුමක් වශයෙනි. ඒ අනුව මේ වනවිට ක්‍රම දෙකෙන්ම විසඳුමක් නැති බව අපට පැහැදිලිය. එම තත්ත්වය තුළ අපට ප්‍රශස්ත මාර්ගය පාදාගත හැක්කේ මෙම ආසන හා සමානුපාතික ක්‍රම දෙකේම සම්මිශ්‍රණයකිනි. පෙර පැවැති ක්‍රමයට ආසන ක්‍රමය ගෙන ආ විට මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්කය පුරා කැම්පේන් කළ යුතු නැත. ආසන යටතේ මන්ත්‍රීවරුන් 150 කුත් සෙසු මන්ත්‍රීවරුන් 75 ජාතික ලැයිස්තුව ඇතුළුව සමානුපාතික ක්‍රමයටත් තෝරාගන්නා තැනකට යා හැකි නම් අගේය. එහිදී ඡන්ද පදනම්වල වෙනස්කම් ඇති අපේක්ෂකයා පරාජයට පත් වූ පක්ෂවලටත් අසාධාරණයක් නොවේ. සමානුපාතික ක්‍රමයට කරන තෝරාගැනීම් සඳහා ආසන ක්‍රමයෙන් පරාජයට පත් වූවන් ලද ඡන්ද ගොඩ භාවිත කළ හැකිය. එවිට එහි මනාප ක්‍රමයක් ද නැත. සක්‍රීය දේශපාලනයට අකැමැති නමුත් ජාතික දේශපාලනයට අවශ්‍ය වැදගත් චරිත සඳහා ජාතික ලැයිස්තුව එහි සැබෑ අර්ථයෙන් භාවිත කිරීමට ද මෙහිදී හැකිය. මෙහි වැදගත්ම දේ වන්නේ නිරවුල් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකරගැනීමට හැකිවීමය. එසේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකරගත හැකි නම් අධික බලයකින් හෙබි විධායක ජනාධිපති ධුරයක් තවදුරටත් අවශ්‍ය වන්නේ ද නැත. ඒ පාර්ලිමේන්තුවෙන්ම ශක්තිමත් කැබිනට්ටුවක් නිර්මාණය කරගත හැකිය. සැබැවින්ම 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපට තිබුණේ මෙම ශක්තිමත් ක්‍රමයයි. එහි දෝෂයක් තිබුණේ නැත. දෝෂ අමුතුවෙන් නිර්මාණය කරගනු ලැබුවේ අප විසින්මය. 1977 දී මහමැතිවරණයෙන් විපක්ෂ නායක හැටියට තේරීපත්වුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අමිර්තලිංගම් මහතාය.

ඔවුන්ට පාර්ලිමේන්තුවට ආයුබෝවන් කියන තැනට වැඩ සිදුවුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසාය. ඊට බලපෑවේ ද විධායක ජනාධිපති ධුරයයි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එල්.ටී.ටී.ඊයට සහාය දෙන තැනට වැටුණේ ද ඔවුන් පාර්ලිමේන්තුවෙන් එලවාදැමීමය. අප අතීතයෙන් මේ පාඩම් උගෙනගත යුත්තේ ක්‍රමය වෙනස් කරගැනීමටය.

ඊළඟ වැදගත් කරුණ නම් අපේ රාජ්‍ය සේවයයි. ලක්ෂ විස්සකට ආසන්න විශාල රාජ්‍ය සේවයක් දැනට අප සතුව පවතී. එහෙත් රාජ්‍ය සේවා කොමිසමට 19 වැනි සංශෝධනය යටතේ තිබූ ස්වාධීනත්වය දැන් නැත. ඊට පත්වීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. පාර්ලිමේන්තු කවුන්සිලයට හැක්කේ එම පත්වීම් කෙරෙහි නිරීක්ෂණ දීම පමණි. පරිපාලන සේවයෙහි ඉහළ තනතුරු බොහෝමයකට හමුදා නිලධාරින් පත්කිරීම ගැන මේ වනවිට දැඩි විවේචනයක් මතුව තිබේ. සැබැවින්ම හමුදා පරිපාලනය හා සිවිල් පරිපාලනය යනු අංශ දෙකකි. හමුදා නිලධාරියකු රටේ ජනාධිපති ධුරයට පත්වී යැයි කියා පරිපාලන සේවයට හමුදා නිලධාරින් දමා ගත යුතු නැත. මෙය අනවශ්‍ය වැඩකි. එය ද ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ කරුණකි. සැබැවින්ම අපේ පරිපාලන සේවයේ මේ තනතුරුවලට ඕනෑ තරම් සුදුස්සෝ වෙති. අමාත්‍යාංශ ලේකම්ගේ සිට ඒ තනතුරුවලට පරිපාලන සේවයේ නිලධාරින්ම ජ්‍යෙෂ්ඨත්වය හා අත්දැකීම් අනුව පත්කළ හැකිය. පරිපාලන සේවයට පිටින් පුද්ගලයන් මේ තනතුරුවලට දමන ක්‍රමය ආවේ 70 දශකයෙන් පසුය. ඊට පෙර මේ සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක විය. එහිදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපාලනය ස්ථිර විධායකය විය.

ඇමැතිවරයා මාරු වුවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මාරු කළේ නැත. එම තනතුර නිත්‍ය ලේකම් හැටියට හැඳින්වූයේත් ඒ නිසාය. අයි.ඒ.එස් හෙවත් ඉන්දියානු පරිපාලන සේවය අදටත් ක්‍රියාත්මක වන්නේ මේ න්‍යායටය. දේශපාලකයා හා සමාන බලයකින් ඔවුහු කටයුතු කරති. ඉන්දියාවේ පවතින වියවුල් දේශපාලන පරිසරයෙහි පවා පරිපාලන සේවය කොන්ද කෙළින් තබාගෙන වැඩකිරීමේ පුදුමසහගත ක්‍රියාකාරිත්වය නිර්මාණය වන්නේ මේ පසුබිමෙනි. ඒ තනතුරුවලට හමුදාවේ කිසිවකු ඔබන්නට පරිපාලන සේවය ඉඩදෙන්නේ නැත. යම් හෙයකින් කිසියම් දේශපාලකයකු එවැන්නට උත්සාහ කළහොත් ඉන්දියාවේ මහා විප්ලවයකට පාර කැපෙනු ඇත. දේශපාලන ආරාවුල් මැද වුවද ඉන්දීය රාජ්‍ය ස්ථාවර වන්නේ එහෙයිනි. මෙම පසුබිමෙහි ආණ්ඩුවක් කෙටි කලෙකින් බිඳවැටී නව ආණ්ඩු බිහිවුණත් පරිපාලනයට එය ප්‍රශ්නයක් නොවේ.

එහෙත් ලංකාවේදී සිදුවන්නේ කුමක්ද? ආණ්ඩුවක් මාරු වූ විට අමාත්‍යාංශ ලේකම්ලා සියලු දෙනා ඉවත් කෙරේ. ඒ වෙනුවට නව ආණ්ඩුවේ හෙන්චයියලා ඒවාට පත්කෙරෙති. තමාට තනතුර තිබෙන්නේ අවුරුදු පහ බව ලේකම් දනී. ඉතින් ඔවුන්ට වගකීමක් නැත. ඊට පහළින් සිටින්නෝ ද තමන්ට කවදාවත් ඉහළ තනතුරට යන්නට නොහැකි බව දනිති. එවිට ඔවුන් උත්සාහ කරන්නේ ද තනතුරේ බලයෙන් කීයක් හරි හොයාගන්නටය. රාජ්‍ය ආදායමින් අඩකට වඩා වැයවන්නේ මෙසේ අසතුටුව සේවය කරන රාජ්‍ය සේවකයන්ගේම වැටුප් ගෙවන්නටය. රාජ්‍ය සේවය කෙළින් කරගැනීමට නම් ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් අනුව ඉහළටම යා හැකි ක්‍රමයක් එහි ස්ථාපිත කළ යුතුය. ඔවුන් පාලනය කෙරෙන රාජ්‍ය සේවා කොමිසම ද ස්වාධීන කරගත යුතුය. එහෙන් මෙහෙන් අහුලාගත් තැනැත්තන් නොදා රාජ්‍ය සේවයේ විශ්‍රාමික කීර්තිමත් නිලධාරින් ඊට යෙදිය යුතුය. මම වසර 41ක් රාජ්‍ය සේවයේ කටයුතු කළෙමි. අධිකරණ සේවයේ ඉහළ පරිපාලන කටයුතු කිරීමේදී මා හට බලපෑවේ ඒ අත්දැකීම්ය. යම් හෙයකින් පිටින් අයකු ඒ තනතුරුවලට පත්කළේ නම් එය සාර්ථක වන්නේ නැත.

1994 සිටම බලයට පැමිණි ජනාධිපතිවරුන් පොරොන්දු දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටය. එහෙත් අවසානයේදී සිදුව ඇත්තේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විටින් විට සංශෝධනය කර ජේ.ආර්. ජයවර්ධනගේම විධායක ජනාධිපති ධූරය ශක්තිමත්ව ප්‍රතිස්ථාපනයයි. ජනාධිපතිගේ කාර්යන්ට පිටින් ගොස් ජනාධිපතිවරයා අමාත්‍යාංශවල කාර්යන්වලට පවා අත දමන තැනට තත්ත්වය නරක්වූයේ ඒ අනුවය. වත්මන් ජනාධිපතිවරයා සෑම කටයුත්තක් සඳහාම ජනාධිපති කාර්ය සාධක බළකා පත්කිරීම ඊට නිදසුනකි. ලංකාවට එක නීතියක් තිබියදී ඥානසාර හිමියන් පත්කර එක නීතියක් හදන්නට යෑමෙන් නැති අවුලක් හදාගැනීම එහි ආසන්නතම ප්‍රකාශනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ කාර්යසාධක බලකා වැඩේ ජනාධිපතිවරයාට අයිති වැඩක් නොවේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා ඇත. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරණතුංග යන හිටපු ජනාධිපතිවරුන් කිසිවෙක් මේ කාර්යසාධක බලකා පත්නොකළේ ඒ නිසාය. මහින්ද රාජපක්ෂ මහතා කිසියම් අවස්ථාවක පත්කිරීමක් කළ නමුත් එය ද කළේ උපක්‍රමික පියවරක් වශයෙනි. කොරෝනාවට බඩගින්නට නීතියට ආදී වශයෙන් හැමදේටම කාර්යසාධක බලකා පත්කළ විට කැබිනට්ටුව හා ආණ්ඩුකරණය අතර පෑහීමක් ඇතිවන්නේ නැත. සිදුවන්නේ කුමක්දැයි කාටවත් පැහැදිලි නැත.

ගෝලීය දේශපාලනයෙහි ලංකාවට ඇලවී ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී ලේබලය ගලවාගැනීම රට වෙනස් මගකට ගැනීමේදී පළමු පියවර විය යුතුය. ඒ සඳහා අප කළයුත්තේ ප්‍රජාතාන්ත්‍රික ස්වරූපයේ සංශෝධන ගෙනඒමය. එහි මුල් පියවරක් හැටියට මා දකින්නේ මේ විධායක ජනාධිපති ධුරයේ බලය අඩුකිරීමය. අඩුම තරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණු තැනටවත් මේ ආණ්ඩුකරණය ගෙන ආ යුතුය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිවරයාටත් ස්වාධීන කොමිෂන් සභාවලටත් තිබූ බලය දැන් තිබෙන්නේ ජනාධිපතිවරයාට පවරාදීය. අඩුම තරමින් 19 වැනි සංශෝධනය තිබූ තැනට ආපස්සට යන්නට අපට හැකි නම් රට ප්‍රජාතාන්ත්‍රිකකරණය වෙමින් ඇති බව ජාත්‍යන්තරය හඳුනාගනු ඇත. ඒ නව ගමනට වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් දක්වා වූ දේශපාලන ප්‍රතිසංස්කරණය එහි අවසානය විය යුතුය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)