මැතිවරණ නීති සංශෝධනයට අදාළ යෝජනා නිර්දේශ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සඳුදා (ඔක්තෝබර් 16) හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කළේය.
සුන්දරම් අරුමයිනායගම්, ජනාධිපති නීතිඥ සේනානායක අලිසන්දරලාගේ, නලින් ජයන්ත අබේසේකර, රාජිත නවින් ක්‍රිස්ටෝෆර් සේනාරත්න පෙරේරා, අහමද් ලෙබ්බේ මොහමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, එස්තර් ශ්‍රියානි නිමල්කා ප්‍රනාන්දු සහ විතාරණගේ දීපානි සමන්තා රුද්‍රිගු යන අටදෙනා කොමිසමේ අනෙක් සාමාජික සමාජිකාවෝ වෙති.
මෙම කොමිසමේ නිර්දේශවල ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් යම් යම් යෝජනා ද මෙම කොමිසම පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ. කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණ ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම අතර කාලය අඩු කිරීම, විද්‍යුත් ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීම, විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලැස්වීම, පුද්ගලයකුට පාර්ලිමේන්තුවට හා පළාත් සභාවකට ආදි වශයෙන් මහජන නියෝජිත සභා දෙකකට එකවර තරඟ කිරීමටත් ඒවා නියෝජනය කිරීමටත් ඉඩදීම ආදිය එම යෝජනාවලින් කිහිපයකි.
ජනාධිපතිවරයා එම කොමිෂන් සභාව පත්කොට දෙදිනකින් එනම් ඉකුත් බදාදා (ඔක්තෝබර් 18) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවීය.
ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ අරමුණෙන් මෙසේ මැතිවරණ නීති සංශෝධනය කිරීමේ ව්‍යාජ උත්සාහයක නිරත වන බව පවසමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එම රැස්වීම වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළද පසුව එම පක්ෂය ද මෙම රැස්වීමට සහභාගි වී තිබිණි. මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, රිෂාද් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම මෙම රැස්වීමට සහභාගිවී තිබිණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලට අනෙක් පක්ෂ හා කණ්ඩයම් එකඟ නොවූයෙන් කිසිදු එකඟතාවකින් තොරව එදින එම රැස්වීම අවසන් වී තිබිණි. විරුද්ධ පක්ෂ හා කණ්ඩායම්වල මතය වූයේ මැතිවරණ නීති සංශෝධනය විය යුතු වුවත් එය මැතිවරණ කල් දැමීම අරමුණු කරගත් එකක් නොවිය යුතු බවය.
ආණ්ඩුව එක් පැත්තකිල් පොදුවේ සියලු මැතිවරණවලට අදාළ නීති සංශෝධනය සඳහා කොමිෂන් සභාවක් පත් කොට ඒ සමඟම පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධනය කිරීමේ අරමුණෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ගැටලු සහගත බව පෙනේ. බදාදා පැවැති දේශපාලන පක්ෂ අතර වූ සාකච්ඡාවේදී එකඟතාවක් ඇති වූයේ නම් කොමිෂන් සභාවට එය දැනුම් දෙන්නේද? දැනුම් දෙන්නේ නම් එසේම කොමිෂන් සභාව එය පිළිගන්නේ නම් එම කොමිෂන් සභාවට පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ නීති පමණක් සලකා බලා සංශෝධන යෝජනා කළ හැකිය.
එසේ දැනුම්දීමක් නොකෙරෙන්නේ නම් එසේම කොමිෂන් සභාව දේශපාලන පක්ෂවල එකඟතාවට වෙනස්වූ සංශෝධන යෝජනා කළහොත් ක්‍රියාත්මක කරන්නේ කොමිසමේ යෝජනාද? නැත්නම් පක්ෂවල එකඟතාවද? යන ගැටලුව මතුවනු ඇත. කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ ආණ්ඩුවේ යෝජනාවලට එකඟ නොවූ හෙයින් දැන් එවැනි ගැටලුවක් මතු නොවනුඇතැයි සිතිය හැකිය.
එහෙත් එකම අරමුණක් සඳහා විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරන්නටත්, කොමිසමක් පත් කරන්නටත් පියවර ගෙන ඇත්තේ මන්දැයි වොවැටහේ. කොමිසම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දීමක් නොකළේ ද? එසේ වුවද කොමිසම පිළිබඳ ගැසට් පත්‍රය පළවූ විගස අගමැතිවරයාට දේශපාලන පක්ෂ සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාව අවලංගු කළ හැකිව තිබිණි. කෙසේ වෙතත් අගමැතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් නොකොට මෙම සාකච්ඡාව කැඳවූයේ යැයි සිතීම ද දුෂ්කරය.
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ මූලික පදනම ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේය. සමානුපාතික නියෝජනය, මනාප ක්‍රමය හා ජාතික ලැයිස්තුව ආදිය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සිදුවේ. එහෙත් වත්මන් ආණ්ඩුව හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මැතිවරණ ක්‍රම සංශෝධනය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එකක් නොව දෙකක් සේ සලකන බව පෙනේ. ආණ්ඩු දෙකම මැතිවරණ නීති සංශෝධනය සඳහාත් ව්‍යවස්ථා සංශෝධනය සඳහාත් යාන්ත්‍රණ දෙක බැගින් සකස් කොට තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටිය දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ යුතු යැයි එවකට අධිකරණ ඇමැතිව සිටි අලි සබ්‍රි මහතා කළ යෝජනාවක් 2020 සැප්තැම්බර් 2 වැනිදා ඇමැති මණ්ඩලයේ දී සම්මත විය. ඒ අනුව ඇමැතිවරයා ඉන් දිනකට පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීම පිණිස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් සමන්විත විශේෂඥයන්ගේ කමිටුවක් පත් කළේය.
එහෙත් පසුව 2021 වසරේ අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීම සඳහා එවක ඇමැතිවරයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. එම කාරක සභාව පසුගිය වසරේ ජුනි 22 වැනිදා රටේ පැවැති කලබලකාරිත්වය මැද්දේ සිය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පොදුවේ මැතිවරණ සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් එමගින් නිර්දේශ කෙරුණු අතර පළාත් සභා මැතිවරණ අවුල් ජාලාවක පැටලි තිබු හෙයින් පළාත් සභා මැතිවරණ සඳහා සමානුපාතික මැතිවරණ ක්‍රමය නිර්දේශ කොට තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ද එවැනිම තත්ත්වයක් දක්නට ලැබේ. පසුගිය වසරේ අගෝස්තු 3 වැනිදා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ වික්‍රමසිංහ මහතා තරුණයන්ට අවස්ථාවක් දීම සඳහා නව ආකල්පවලින් යුතුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ප්‍රධාන හා ප්‍රමුඛ කටයුත්තකැයි තමන් සිතන බව ප්‍රකාශ කළේය. මෙය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කරන ලද අදහසක් හෙයින් එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුත්තකි.
2021 දී සියලු මැතිවරණවලට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ මේ ආණ්ඩුවයි. එම තේරීම් කාරක සභාව පසුගිය වසරේ ජූනි මාසයේදී සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිය දී එම ආණ්ඩුවම ඉකුත් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට උත්සාහ කළේය.
එම දෙවැනි කාරක සභාව සම්බන්ධයෙන් එවක අගමැති වූ දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ තමන් සාකච්ඡා කළ බව එම කාරක සභාව සති දෙකකින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවත් එවිට ද අධිකරණ ඇමැතිව සිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි. දිනේෂ් ගුණවර්ධන මහතාට අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ සමඟ පසුගිය බදාදා පාර්ලිමේන්තු මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ සාකච්ඡා කොට ඇත. එසේ නම් ඔහුම සභාපතිත්වය දැරූ 2021 පත් කරන ලද කාරක සභාවේ වාර්තාව අවලංගු වීද?
විශේෂත්වය නම් 2001 දී (ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ දී) මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ද සභාපතිවරයා වූයේ ගුණවර්ධන මහතා වීමය. එම කාරක සභාවේ නිර්දේශ ද දැන් අවලංගු වී ගොස්ය.
ගුණවර්ධන මහතා සභාපතිත්වය දැරූ 2001දී හා 2021 දී පත් කරන ලද තේරීම් කාරක සභා දෙකම නිර්දේශය කළේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය යෝග්‍ය බවයි. පසුගිය සඳුදා පත්කරන ලද කොමිසමට ද දැනුම් දෙනු ලැබ ඇත්තේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන ලෙසය. පසුගිය බදාදා රැස්වීමේ දී සාකච්ඡාවට භාජන වී ඇත්තේ ද මිශ්‍ර මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී කේවල ඡන්ද ක්‍රමය අනුව හා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව කුමන අනුපාතයකට මන්ත්‍රීවරුන් තෝරන්නේ ද යන්නයි.
පසුගිය වසරේ සිටම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එල්ල වන චෝදනාව වී ඇත්තේ මැතිවරණ නීති සංශෝධනය කිරීමේ මුවාවෙන් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන්නේය යන්නයි. පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් එය පිළිගත හැක්කේ පළාත් පාලන නීති සංශෝධනය කරන්නට තේරීම් කාරක සභාවක් පත් කරන්නට ඉකුත් දෙසැම්බරයේ දී උත්සාහ කළ ආණ්ඩුව මැතිවරණය සඳහා මුදල් නොදී මැතිවරණය කල්දමා ගත් පසු එම උත්සාහය අත් හැර දැමීමම නිසාය.
නීතිය කුමක් වුවද පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2019 දී හා 2020 දී ලැබුණු ජනවරම තවදුරටත් වලංගු යැයි කිව නොහැකිය. ජනාධිපතිවරයාගේ පක්ෂයට (එක්සත් ජාතික පක්ෂයට) පසුගිය මහ මැතිවරණයේ දී සෘජු ඡන්දයෙන් එකදු ආසනයක් හෝ නොලැබිණි. ඒ තත්ත්වය යටතේ පළාත් පාලන හා පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ නිසි කලට පැවැත්විය යුතු යැයි විපක්ෂය කරන ඉල්ලීම සාධාරණය. එසේ තිබිය දී ආණ්ඩුව මැතිවරණ නීති සංශෝධනය කරන්නට යාම මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයකැයි විපක්ෂය සිතීම ද සාධාරණය.
(*** එම්.එස්.එම්. අයුබ්)