ඡන්ද පොරොන්දු නීතියෙන් බැඳීමක්


ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආණ්ඩුකරණය අපේක්ෂාවෙන් සිටින පිරිසගේ ප්‍රතිපත්ති කුමක්දැයි කියා විමසිලිමත් වන ජනතාවක් අප රටේ සිටී. එම පිරිස සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්තත් එය වැදගත් බලාපොරොත්තුවකි. ප්‍රතිපත්ති ප්‍රකාශන නොබලාම ඡන්දය දෙන පිරිසකුත් අප රටේ සිටිති. ඒ අතර ප්‍රතිපත්ති ප්‍රකාශන සමාජ ශාස්ත්‍රීය උනන්දුවකින් යුතුව විචාරයට විශ්ලේෂණයට ලක් කරන පිරිසකුත් අප රටේ සිටිති.

අප රටේ පමණක් නොව මුළු ලෝකයේම ගත්තත් ප්‍රතිපත්ති ප්‍රකාශන යනු වැදගත් ලියැවිලිය. ඒවා අවතක්සේරු කිරීමේ හැකියාවක් අපට නැත. මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වී ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන කීපයක් ගත් විට ඉතා වැදගත් යැයි හැඟෙන ප්‍රතිපත්ති ප්‍රකාශන 05ක් පමණ තිබෙන බව අපට වටහා ගැනීමට අපහසු නොවේ. අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර යන ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන සමාජයේ අවධානයට ලක්ව තිබෙන බව පෙනේ.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශන 05 අතුරින් එක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අප සැලකිල්ලට ගත යුත්තේ වෙනස් ආකාරයකටය. එනම් දිලිත් ජයවීර ඉදිරිපත් කර තිබෙන උපාය මාර්ගික සැලැස්මයි. එය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා වෙනස් ලියැවිල්ලකි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සියල්ලම ගත්විට අපට  දැකිය පොදු සමානකම් කිහිපයකි. ඉන් එකක් නම් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන එකකවත් තමා හෝ තම කණ්ඩායම පිහිටා සිටින සමාජ දේශපාලනික මූලධාර්මික ස්ථාවරය පැහැදිලිව දක්වා නැත. කිසිවකුගේ සඳහනක් ද නැත. මෙම සමාජ දේශපාලනික මූලධර්ම එකිනෙකට වෙනස් වන ආකාරය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා අපට දැක බලා ගැනීමට හැකිවිය යුතුය. වාමාංශික ව්‍යාපාරවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට වඩා දක්ෂිණාංශික ප්‍රතිපත්ති ප්‍රකාශනවල වෙනසක් තිබිය යුතුය. ඒ වෙනස පටන් ගත යුත්තේ පූර්වීකාවෙනි. ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ තිබෙන ප්‍රායෝගික කාරණා ක්‍රියාවට නගන අන්දම ගැන පැහැදිලි විස්තරයක් මෙහි සඳහන් කර තිබිය යුතුය. ඒ අනුව මුලධාර්මික ස්ථාවර සෘජුව තම ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා කිසිම පක්ෂයක් ඉදිරිපත් කර නැති බව පෙනේ.

පොදුවේ අපට පෙනෙන අනෙක් සමානකම වන්නේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ම එක්තරා ආකාරයට ලිබරල් දේශපාලන සමාජ ආර්ථික ස්ථාවරයක සියලුම අපේක්ෂකයන් සිටින ආකාරයයි. එහි පරිමාව හෝ සුවිශේෂී යම්යම් වෙනස්කම් තිබිය හැකි වුවත් පොදුවේ ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරි උපාය මාර්ග  ලිබරල් ආර්ථිකයකට ගමන් කර බවයි. එය එම පක්ෂ දැන  හෝ නොදැන සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කර  තිබෙන ආකාරයයි. මෙය සුවිශේෂී සමානතාවකි.

අනෙක් සමානකම වන්නේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන එකකවත් පොදු මහජනතාවට අතිශයින්ම සංවේ දී අතිශයින්ම පීඩාකාරී ක්ෂේත්‍ර පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කර නොතිබීමයි. ප්‍රවාහන සේවය උදාහරණයකි. ප්‍රවාහන සේවය යනු බරපතළ ආකාරයේ ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු ක්ෂේත්‍රයකි. එසේම බරපතළ විවේචනයකට ලක්විය යුතු ක්ෂේත්‍රයකි. ඒ පිළිබඳව බරපතළ සඳහන් කිරීමක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල නොමැත. තවත් අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශනවල දක්වා නැත්තේ රාජ්‍ය සේවයයි. ලංකාවේ රාජ්‍ය සේවයේ 14 ලක්ෂයක් පමණ සිටින්නේ බල දේශපාලන හේතු නිසා මිසක ආර්ථිකයේ විශාල පිම්මක් පැනපු නිසා නොවේ. රාජ්‍ය සේවය පිළිබඳ පැහැදිලි විවේචනයක් හෝ පැහැදිලි ඉදිරිපත් කිරීමක් දකින්නට නැත. මගී ප්‍රවාහනයට අදාළ වන ත්‍රීවිල් රථ, පෞද්ගලික මගී ප්‍රවාහන සේවා ප්‍රතිසංවිධානය කරන්නේ ඇයි ද කියන කාරණාව පිළිබඳව කිසිවකු සාකච්ඡාවට භාජන කර නැත.

එසේම රටේ මහජන සෞඛ්‍ය සේවයද මේ මොහොතේ තිබෙන්නේ විශාල අර්බුදයකය. වෛද්‍ය සේවයත් එසේය. වැඩවර්ජන ඇතුළු විවිධ නොමනාකම් සිදුවන ක්ෂේත්‍රයක් ලෙස එම ක්ෂේත්‍රය ද හඳුනාගත හැකිය. විශ්වවිද්‍යාල ක්ෂේත්‍ර ගත්ත ද එසේමය. විශ්වවිද්‍යාල උසස්වීම් ඇතුළු එහි තිබෙන ගැටලු පිළිබඳ මේවායේ සඳහනක් නැත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද කිසිදු සඳහනක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල නැත. උදාහරණයක් ගතහොත් ඩොලර් ඉතා විශාල ප්‍රමාණයක් පිටරටට ඇදී යන ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. එහි එක් ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන්නේ වෛද්‍ය උපාධියයි. සෑම උපාධියක්ම වෛද්‍ය අංශයට පමණක් හිරකර තිබෙන විට ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් ගලායාම අප රටට දරා ගැනීමට නොහැකිවී තිබේ. එවැනි සමහර සංවේදී කාරණා පිළිබඳ පොදු වශයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී අවධානට ලක්කර නැත. මෙම සමානකම්වල හොඳ මෙන්ම නරකද දැකිය හැකිය. මේ හැම අපේක්ෂකයෙක්ම ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ මුනිවත රකින බව  පෙනේ. සමහර විට මේ සෑම අපේක්ෂකයකුගේම ඡන්ද පදනම එය විය හැක. ඒ පිළිබඳ බරපතළ ඡන්ද පදනම අහිමිවේය යන බිය මෙම ප්‍රධාන අපේක්ෂකයන් 05 දෙනාටම තිබෙනවා වන්නට පුළුවන.

සියලු දෙනාම ලිබරල් ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණයක් අපේක්ෂා කරනවිට අඩුම වශයෙන් මාලිමාවේ හෝ මෙය වෙනස් විය යුතුය යන්න සමහර අයගේ මතයවී ඇති බව පෙනේ. මාලිමාව යනු විවිධ දේශපාලන කණ්ඩායම් පුද්ගලයන් ගොඩනගා ගත් සංවිධානයක් වුවත් ජවිපෙ යනු කේඩර මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයකි. කේඩර යනු ජවිපෙටම වෙන් වූ නිශ්චිත පිරිසක් සිටින සංවිධානයකි. එම සමාජිකයන් තීරණාත්මකය. එහෙත් ජවිපෙ ප්‍රමුඛව මාලිමාව පසුගිය කාලයේ බහුජන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය. අද වනවිට ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ නොවේ. එයට අද වනවිට විවිධාකාර පිරිස් සම්බන්ධ වී සිටිති. ඒ නිසා ඒ අයට පැහැදිලි වාමාංශික ස්ථාවරයක් නඩත්තු කරගෙන යාමේ හැකියාවක් ලැබී නැත. පෙරටුගාමින් ඇතුළු මාලිමාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන සියල්ලෝම මෙම චෝදනාව ඉදිරිපත් කරති. මෙම විවේචන එක්තරා ආකාරයකට සාධනීයව බාර ගැනීමට අපට සිදුවේ. රටක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවට බහුතරයක් විශ්වාස කරති. එසේම ලෝකයේ ඉහළට ගිය පංතුෂ්ඨ දර්ශකයේ ඉහළට ගිය රටවල් බොහෝ විට පදනම් වී තිබෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මතය. සමාජවාදය සමහර විටක අප රටේ අවමන් සහගත වචනයක් ලෙස සමහරු හැඳින්වූවාට සමාජවාදය යනු මානවවාදයේ යහපත උදෙසා ඉදිරිපත් වූ සමාජ දේශපාලන දර්ශනයකි. එසේ තිබිය දී සියලුම අපේක්ෂකයන් ලිබරල් ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. ජනතාව බලාපොරොත්තු වන්නේ ද එයයි. ලංකාවේ මෙතෙක් බලයට පත් වූ කිසිදු දේශපාලන කණ්ඩායමක් මෙරටේ සිදුවීමට අවශ්‍ය ලිබරල් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර නැත. එය විශාල අඩුවකි. අප රටේ අධ්‍යාපනය, සුබසාධනය වැනි ලිබරල් රටක තිබිය යුතු ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබුණේ  බලයට පත්ව සිටි පාලකයන් විසිනි. අද දෙගොල්ලන්ට තම ප්‍රතිපත්ති හරහා මේ කාරණයම ඉස්මතු කිරීමට සිදුව තිබේ. මේ සම්බන්ධව ලංකාවේ සියලුම දේශපාලන කණ්ඩායම් දැන හෝ නොදැන එක්තරා ආකාරයේ එකඟත්වයකට පැමිණ සිටිනු දැකිය හැකිය.

මේ දෙකොට්ඨාසයම පොදුවේ  එකඟවී තිබෙන කරුණු වන්නේ ලිබරල්, ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ මෙතෙක් සිදුවී නැත යන්නයි. අනෙක් කාරණය වන්නේ ඒ දේ කළ යුතුය යන්නයි. මේ කාරණා දෙකම වැදගත්ය. බලයට පත් වන්නෝ කවරහුද? මේ කාරණාවලට වඩා මේවා ඉටුවීම වැදගත්ය. සමාජ සුබසාධන ප්‍රතිපත්ති දේශපාලන වසංගතයක් බවට පත්වී තිබෙනවා මිසක එය තැනට හා නිසි කෙනාට ලැබෙන තත්වයට පත් වී නැත. අධ්‍යාපනය සෞඛ්‍යය, ගොවිතැන ආදි සියලු ක්ෂේත්‍රවල වැදගත් ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු විය යුතුය.

ලෝකයේම තිබෙන ව්‍යසනයක් වන්නේ මැතිවරණයක් ආරම්භයේ දී පොරොන්දු මල්ලක් ලබා දීමයි. ඒ පොරොන්දුවලින් රටක තත්වය ද මැන බැලිය හැකිය. කිසියම් අපේක්ෂකයෙක් ආහාර වේලක් ලබා දෙනවා යැයි පොරොන්දු වුවහොත් රටේ දරිද්‍රතාව පිළිබඳ දළ අවබෝධයක් ලබාගත හැකිය. අපේක්ෂකයන් ඒ ලබාදෙන පොරොන්දු වලින් අපේ රට කෙතරම් නරා වළකට වැටිලා ද යන්න අවබෝධ කරගත හැකිවේ. පොරොන්දු දුන්නාට මැතිවරණයෙන් පසු අපේක්ෂකයන්ට ඒවා මතක නැත. මෙම පොරොන්දුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතිමය ආවරණයක් ලබාදිය යුතුය. අපේක්ෂකයන්ට පොරොන්දු දී  පැත්තකට වීමට ජනතාව ලෙස අප ඉඩ ලබා නොදිය යුතුය. පොරොන්දුවල තිබෙන වැදගත්කම අපේ රටේ දේශපාලකයන් තවම හඳුනාගෙන නැත.

ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බලන විට සියලුම අපේක්ෂකයන් IMF පිළිබඳ කතා කරන බව පෙනේ. මේ මොහොතේ රටේ තිබෙන ආර්ථික අර්බුදය ඇතුළු සියලු අර්බුද කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර සාධක හා ජාත්‍යන්තර ආයතන සමග යම්කිසි ගනුදෙනුවක් කළ යුතුය යන්න බොහෝ දෙනා පිළිගන්නා කාරණාවකි. බලයට පත්වන ඕනෑම කණ්ඩායමකට IMF සමග ඉදිරියට යා යුතුය. එම ගනුදෙනුව රටට හා ජනයාට හිතකර ලෙස ගෙන යා යුතු ආකාරය පිළිබඳ උපාය මාර්ගික වැඩපිළිවෙළක් දේශපාලන කණ්ඩායම්වලට තිබිය යුතුය. ලෝකයේ සෑම රටක්ම ජාත්‍යන්තර පද්ධතිය සමග බැඳී සිටී. අපට ඉදිරියට යා හැකි වන්නේ ජාත්‍යන්තරයේ රාජ්‍යයක් ලෙස මිසක හුදකලා දූපතක් ලෙස නොවේ.

ජනතාව බැලිය යුත්තේ මෙවැනි වැඩපිළිවෙළක් කිසි ආකාරව මෙහෙයවිය හැක්කේ කවර නායකයකුට ද හා කවර කණ්ඩායමකට ද යන්නයි.

සිවිල් සමාජය මේ මොහොතේ කළ යුත්තේ සියලු අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ හැකි  පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීමයි. මෙය ක්‍රියාවට නැගීම සඳහා අපේක්ෂකයන්ගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඉන් පසු විමසා බැලිය යුතුය.

දැන් අපේක්ෂකයන් අතර බෙදීමක් නැත. ඉන්පසු ජනතාව තේරුම් ගත යුත්තේ වඩාත් හොඳ උපාය මාර්ගික වැඩපිළිවෙළකට තම සහයෝගය ලබාදීමයි. හොඳටම කරනවා යැයි අපේක්ෂා කරන්නාට ඕන නම් පළමු මනාපය ද ඕන නම් ඊට වඩා අඩුවෙන් කරන්නන්ට දෙවැනි මනාපය ද දිය හැකිය. ඡන්ද ක්‍රමයටත් එය පහසු කටයුත්තකි. අන් අයගේ ප්‍රතිපත්ති ගැන විවේචන ඉදිරිපත් කරනවාට වඩා එය හොඳ ක්‍රමයකි. ජනාධිපති අපේක්ෂකයන් අතර පවත්වන විවාද සංස්කෘතියක් අප රටේ නැත. ඒ අය ඒවා මග හරින්නේ ඒ නිසා විය යුතුය. ඒ නිසා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකිනම් ඒ කණ්ඩායමට මේ රටේ පාලනය බාර දීම සුදුසුය.

(*** අමිල චින්තක ගමගේ)