ඡන්දය ආර්ථිකයට බාධාවක්ද?


රටේ දේශපාලනය සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇති අතර එය නිමාවට පත්වන්නේ ජනවාරි 22 දාය. සමහර පක්ෂ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කරමින් තිබේ.

තත්ත්වය මෙසේ වන නමුදු තවමත් සමහරුන් කියන්නේ ඡන්දයක් තබන්නට තරම් ස්ථාවරභාවයක් ආර්ථිකයේ නොමැති බවයි. ඒ නිසාම ඡන්දයක් පවත්වනවාට එරෙහිව හඬ නගන්නට ඔවුන් පටන් ගෙන තිබේ. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මේ කාරණය පිළිබඳවය.

2023 පළාත් පාලන මැතිවරණය

පළාත් පාලන ආයතනවල නිල කාලය නිමාවට පත්වූයේ පසුගිය වසරේය. පළාත් පාලන පනතට අනුව ඒවායේ නිලකාලය වසරක් කල් දමන්නට ඇමැතිවරයාට හැකියාව ඇත. මේ වන විට රටේ පළාත් පාලන ආයතන පවතින්නේ මේ ආකාරයෙන් ඇමැතිවරයාගේ දීර්ඝ කිරීම හරහාය. එසේ දීර්ඝ නොකළා නම් මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 2022 වර්ෂයේය.

අපේ රටේ පළාත් පාලන ආයතන ව්‍යූහය රටේ පාලනය පැත්තෙන් ඉතාමත් තීරණාත්මක එකක් බව පැවසීම නිවැරදිය. යටත්විජිත යුගයේ මේ ව්‍යූහය පැවතුණේ ගම් සභා ක්‍රමයක් වශයෙන්ය. මහනුවර රජ කාලයේත් ග්‍රාමීය පාලන ව්‍යූහයක් පැවැති අතර ඒ ව්‍යූහය කෝල්බෘක් කැමරුන් ප්‍රතිසංස්කරණ (1833) සිට ක්‍රමානුකූලව වෙනස් විය. වර්තමානයේ පවතින පළාත් පාලන ව්‍යූහය පටන් ගත්තේ 1989 එවකට සිටි රජය විසින් නව පනතක් හඳුන්වා දෙනු ලැබීමත් සමගය.

රටක පාලනයේ සුවිශේෂ ස්ථානයක් පළාත් පාලන ක්ෂේත්‍රයට හිමිවන්නේ ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සෘජුවම සම්බන්ධ වන්නේ මේ ආයතන වන නිසාය. රටේ විධායක ජනාධිපතිවරයාට පසුව සෘජු විධායක බලයක් ලබා දී ඇත්තේ නගරාධිපති හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටය.

යටත් විජිත කාලයේ ඒ අය හැදින්වූයේ His Worship කියාය. ඒ කියන්නේ අතිශයෙන්ම ගෞරවණීය තනතුරක් බවය. ඒ කාලයේ එසේ වුවත් දැන් සිටින්නේ ගෞරවණීය මිනිසුන් නොවන බව සමහරුන්ගේ අදහසය. ඒ නිසාම පළාත් පාලන ක්ෂේත්‍රය අවශ්‍ය නැතැයි සිතන අය ද සිටින බව ද සත්‍යයක්ය. එහෙත් සිදුකළ යුතු වන්නේ රටට අත්‍යාවශ්‍ය මෙම පාලන ආකෘතිය නිවැරදිව සභිකයන්ගෙන් සමන්විත කිරීමය.

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මේ වන විට නෛතික අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන ආයතන අලුතින් පත්කර නිමා කළ යුතුය. මැතිවරණ කොමිසම මෙවර පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මේ තත්ත්වය යටතේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සමහර පක්ෂ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇති අතර අලුත් සන්ධානයක් ද ඇතිවෙමින් පවතී.

මැතිවරණය ද ආර්ථිකය ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් වෙද්දී රජයේ සමහරුන් කියන්නේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමටම තරම් හොඳ තත්ත්වයක ආර්ථිකය නැති බවය. රටේ ආර්ථික මට්ටමක තත්ත්වය තිබෙන්නේ ඉතාමත් බරපතළ  බව ඒ අයගේ තර්කයයි. ඒ බරපතළ ආර්ථික තත්ත්වය පහ වී ගොස් රටේ ආර්ථිකය හොඳ තත්ත්වයකට පත්වෙන තුරු ඡන්ද නොපැවැත්විය යුතු බව ඒ අයගේ තර්කයයි.

මගේ අදහස වන්නේ ඡන්දයට එරෙහිවීම ඉතාමත් බරපතළ කාරණයක් බවයි. රටේ ආර්ථිකය මූලික වශයෙන්ම අර්බුදයට ගියේ ගෙවුම් ශේෂ අර්බුදයක් (Balance of Payment)  නිසාය. රටේ විදේශ මූල්‍ය ආදායම සහ ආනයන සඳහා කරන විදේශ මූල්‍ය ගෙවීම් අතර තිබෙන පරතරයට කියන්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් කියාය. රටේ අනෙකුත් ආර්ථික අර්බුදයන්ගේ පදනම වන්නේ මේ අර්බුදය බව ඉතාමත් පැහැදිලිය.

රටේ ආර්ථිකයේ තිබෙන දෙවැනි බරපතළ කාරණය වන්නේ ආණ්ඩුවේ වියදම සමග ගැට ගැසී ඇති අය – වැය හිඟයයි. (Budget deficit)  එයින් කියන්නේ රජයේ වියදම පියවා ගැනීමට රජයේ  ආදායමෙන් බැරි බවයි. වැඩි වැඩියෙන් මුදල් අච්චු ගසමින් පසුගිය කාලයේ සියලු ආණ්ඩු උත්සාහ කළේ අය – වැය පරතරය කෘතිමව පියවා ගැනීමටය. අද අප හමුවේ තිබෙන බරපතළ උද්ධමනයට එක් හේතුවක් වන්නේ ඒ ඒ රජයන් විසින් කරන ලද මේ වැරදි ආර්ථික කළමනාකරණයය.

මේ ආර්ථික ගැටලුකාරිත්ව දෙක එනම් 1. ගෙවුම්ශේෂ අර්බුදය සහ 2. අය – වැය හිඟය විසින් අපේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාදාමයම අර්බුදයට යවා ඇති බව පැහැදිලිය. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීම ඉතාමත් අවශ්‍යය. එහෙත් ඒ අවශ්‍යතාව පෙන්නා රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනය නවතා දැමිය හැකිද? යන්න බරපතළ ආකාරයෙන් විමර්ශනය කළ යුතුය. 

සමහරුන් කියන්නේ ආර්ථිකය හරියන තුරු ඡන්ද පැවැත්විය නොහැකි බවය. එහි ඇති බරපතළකම වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහයම ඒ මගින් දැඩි ලෙස ප්‍රශ්න කරන නිසාය. රටේ ආර්ථිකය හරියන තුරු පළාත් පාලන ඡන්දය මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය කල් දමා ගතයුතු යැයි කවරෙක් හෝ තර්ක කරත් නම් ඔහු කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහය විනාශ කිරීමය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට පාර කැපීමක්ය.

1989 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවතුණේ බරපතළ ගැටුම්කාරිත්වයක් යටතේ බව ඔබට මතකය. පළමුව ඡන්දය දෙන පස්​ දෙනාම මරණ බවට එවකට ආයුධ සන්නද්ධව සිටි දකුණේ ‘විප්ලවවාදීහු’ තර්ජනය කළෝය.  එපමණක් නොව සමහරු ඡන්දය පාවිච්චි කරන්නට එන විට වෙඩි තැබුවෝය.

අද ආණ්ඩුවේ සිටින සමහරුන් එදා ආණ්ඩුවේ ප්‍රධානීන් ලෙසින් සිටියේ නම් කියනු ඇත්තේ ගැටුම් නිමාවෙන තුරු 1989 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නොපැවැත්විය යුතු බවය. එසේ වූවා නම් තත්ත්වය කුමක්ද? 1989 ආයුධ ගත් තරුණයන්ගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගැනීමට හැකි වූයේ 1989 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම නිසා මිස ඒවා කල් දැමීම නිසා නොවේ.

අද තත්ත්වයත් එයටම සමානය. එදා අනතුර පැමිණියේ ආර්ථිකයේ නොව ආරක්ෂාව පැත්තේය. අද අනතුර තිබෙන්නේ ආරක්ෂාවේ නොව ආර්ථීකයේය. මේ තීරණාත්මක සන්ධර්භය තුළ ජනතාවගේ ජනමතය පිටවෙන්නට හැරීම හරහා රට ස්ථාවරත්වයට පත්වන බව මගේ විශ්වාසයයි.

මේ වන විට රට තිබෙන්නේ පශ්චාත් අරගල අවකාශයකය. ඡන්දයෙන් පත් කළ ජනාධිපති පළවා හැර ඡන්දයෙන් පත් නොකළ හා පාර්ලිමේන්තුවෙන් පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු සිටින තත්ත්වයකය. එවැනි තත්ත්වයක රට තුළ පවතින්නේ යම් ආකාරයක අස්ථාවරත්වයක්ය. ඒ අස්ථාවරත්වයෙන් රට මුදා ගත හැක්කේ ජනතා මතය විමසා බැලීමෙන් මිස එය පසුපසට තල්ලු කිරීමෙන් නොවේ.

ඡන්දය කල්දමන අමාත්‍යංශ ලේකම්වරු

පසුගියදා සිදු වූ තවත් බරපතළ සිදුවීමක් වූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපියක් මගින් ඇප මුදල් ලබා නොගැනීමට යෝජනා කිරීමය. මෙය මෙතෙක් මෙරට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සිදු නොවූ අරුම පුදුම හා බරපතළ ක්‍රියාවක්ය. පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටි ප්‍රියන්ත මායාදුන්න මහතා හදිසියේ වෙනත් අමාත්‍යාංශයකට මාරු කර යැවූ අතර අලුතින් පත්වූ හපුහින්න ලේකම්වරයා ‘වැඩ පටන් ගත්තේ’ මේ බරපතළ ක්‍රියාව සිදුකරමින්ය.

කැබිනට් මණ්ඩලයේ තීරණයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් බැඳී සිටින බව ඉතාමත් පැහැදිලිය. (මේ ලිපිය ලියන ලේඛකයාත් අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙසින් වසර 03 සේවය කළ අයෙක්ය.) සාමාන්‍යයෙන් කැබිනට් තීරණයක් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවාට අමතරව අමාත්‍යාංශ ලේකම්වරුන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි ක්‍රියා පටිපාටින් රැකීමට ද බැදී සිටින බව විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.

රටේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ මැතිවරණ කොමිසම වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දුන් බලයක් ප්‍රකාරවය. ඒ බලය ව්‍යවස්ථාපිත සෘජු බලයක් වන අතර එය එක ආණ්ඩුවක ක්‍රියාදාමයක් හෝ විධායක බලයේ ක්‍රියාදාමයක් හෝ නොවේ. කැබිනට් මණ්ඩලයක් යනු විධායක ජනාධිපතිගේ බලය යටතේ ක්‍රියාත්මක වන ඔහුගේ අණසකට යටත් වූ දෙයක්ය. ඒ විධායක බලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටත් වී නැතිවා පමණක් නොව ඒ ඒ කොමිෂන් සභාවල බලය යටත් වී නැත.

ඒ නිසා කැබිනට් තීරණයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෘජු බලයක් (මැතිවරණ ආඥා පනත යටතේ පත්කර ඇති දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ බලය) නවතා දැමීමේ හැකියාවක් නැති බව අමාත්‍යාංශ ලේකම්වරුන් දැනගත යුතු බව මගේ අදහසය. මෙවැනි ලේකම්වරුන් සමස්ත රාජ්‍ය ​ සේවයටම කැළලක් බව ඉතාමත් පැහැදිලිය.

ආර්ථිකයේ ගැටලුකාරි තත්ත්වය පෙන්නා ප්‍රජාතන්ත්‍රවාදය නවත්වන්නට යාම යනු ‘‘රට නැවතත් ත්‍රස්ත අවකාශයකට තල්ලු කිරීමක් බව පාලකයන්ට වැටහේවා..,’’ යන පැතුම මගේ මේ සතියේ කිවිදා දැක්මය.

මහාචාර්ය චරිත හේරත්