2024 පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එය ව්‍යවස්ථාදායකය පිළිබද බලය පාර්ලිමේන්තුවට ලබා දීම සඳහා පැවැත්වෙන මැතිවරණයකි. ලංකාවේ ජනගහණයෙන් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික ජනතාවක් මේ සඳහා ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. රටේ සාමාන්‍ය නීති හා මුදල් නීති සම්පාදනය කිරීම මෙන්ම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාරණා සාකච්ජා කිරීමේ ප්‍රධාන බලතලද් ඇතුළුව විශාල බලතල සහිත ව්‍යවස්ථාදායකයක් සකස් කර ගැනීම මෙම මැතිවරණයෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 29 දෙනාත් ඇතුළුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරාගැනීම මෙහිදී අපේක්ෂිතය. කෙසේ වෙතත් අප මේ මැතිවරණයට මුහුණ දෙන්නේ ලංකාවේ සුවිශේෂ තත්වයක් යටතේ බව කල්පනාවට ගත යුතුය. මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 17 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට මේ දක්වා අපි මෙරට පාර්ලිමේන්තු මැතිවරණ 16ක් පවත්වා ඇත්තෙමු. නිදහස ලබාගත් දා සිටම නාමකරණයෙන් විවිධ වෙනස්කම් ඇති වූවත් පාර්ලිමේන්තුව මේ දක්වාම දිගට පවත්වාගෙන යාම සිදු වී ඇත. 2022 මෙරට ඇතිවූ තරුණ ජනතා අරගලයෙන් පසු පැවැත්වෙන මුල්ම පාර්ලිමේන්තු මැතිවරණය මෙය වීමද විශේෂත්වයකි. එම ජනතා අරගලය මගින් ප්‍රකාශ වූයේ රටේ රාජ්‍ය නායකයා වගේම පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් සියලු දෙනාම පවත්නා දේශපාලන ක්‍රමයෙන් ඉවත්ව අලුත් පාර්ලිමේන්තුවක් නැතහොත් අලුත් ව්‍යවස්ථාදායකයක් ඇතිකොට ගත යුතු බවය. මෙරට තරුණ කණ්ඩායම් ඒ නැගූ හඬෙහි ප්‍රතිබිම්බයක් ලෙසද මේ පාර්ලිමේන්තු මැතිවරණය සැලකීමේ වරදක් නැත.
තවත් වැදගත් කාරණයක් වන්නේ මෙම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ මෙයට සති හතකට අටකට පෙරාතුව තේරී පත් වූ නව ජනාධිපතිවරයකු සහ තිදෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් බලයේ සිටින පරිසරයක් තුළ වීමය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන විට ආණ්ඩු බලයේ සිටින විධායකයට හා අනෙකුත් අමාත්‍ය මණ්ඩලයට එම මැතිවරණය සඳහා යම් ආකාරයේ බලපෑමක් කළ හැකි බව අප මීට පෙර මෙරටේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේ දී තේරුම් ගත් කාරණයකි. එහෙත් වර්තමාන තත්වය තුළ එම බලපෑම් ලක්ෂණය යම් ආකාරයේ වෙනස්වීමකට ලක්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. නව ජනාධිපතිවරයා සහ නව අමාත්‍ය මණ්ඩලය වරින් වර ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ ලංකාවේ පිරිසිදු පාර්ලිමේන්තුවක් ඇති කිරීමය. පවත්නා දේශපාලන ක්‍රමය පවිත්‍ර කිරීමය. ආණ්ඩුවේ එම මතය ජනතාව පිළිගන්නේද නැද්ද යන්න තීරණය වන මැතිවරණයක් ලෙස මෙම පාර්ලිමේන්තු මැතිවරණය සැලකීමට පුළුවන.
මෑතකදී පැවැති ජනාධිපතිවරණයේ දී අප දුටු තවත් ප්‍රධාන කාරණයක් නම් පැවැති දේශපාලන ක්‍රමය තුළ කැපී පෙනුණු ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ බොහොමයක් දියාරු වී යාමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඒ ඉරණම අත් වී තිබිණ. ඔවුහු පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ක්‍රියාකාරකයන් බවට පත්වීමට අසමත් වූහ. ඒ වෙනුවට ජාතික ජන බලවේගය, වෙනත් ස්වාධීන කණ්ඩායම් , සමගි ජන බලවේගය ආදී සන්ධාන පක්ෂ ඉදිරියට පැමිණ තිබුණි. බොහෝ කලක් තිස්සේ මතවාදීව ගොඩනැගුණු ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමය යම් ආකාරයකට දෙදරා ගොස් තිබීම නව දේශපාලන තත්වයක් ලෙස හඳුනාගත හැකිය. අප පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වන්නේ එවන් පරිසරයක් තිබියදීය.
දැන් මතුවී තිබෙන තවත් මතයක් නම් ආණ්ඩු පක්ෂය තම ප්‍රතිපත්තිමය ස්ථාවරය ජනතාව වෙත රැගෙන යමින් තිබියදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තමන්ට ප්‍රබල විපක්ෂයක් තනාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටීමය. සමගි ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඇතුළු බොහෝ පක්ෂවල ඉල්ලීම එයයි. ඔවුන්ගේ මේ මතයෙන් වක්‍රව පෙන්නුම් කෙරෙන කාරණය නම් එක්කෝ ඔවුන් ආණ්ඩු බලය පිළිබඳ අපේක්ෂාව අමතක කිරීමය. නැත්නම් ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකියැයි කල් තබාම තීරණය කර තිබීමය. හරිනම් පාර්ලිමේන්තු මැතිවරණයකදීත් ප්‍රතිවාදියා ඉල්ලා සිටිය යුත්තේ ආණ්ඩු බලයයි. ඒ කෙසේ වුවත් ජනාධිපතිවරණයකින් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රබල පක්ෂයක් විපක්ෂයේ බලය ඉල්ලා සිටින අවස්ථාවක් මෙරට දේශපාලන ඉතිහාසය තුළ අපි දැක නැත්තෙමු.
එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දීර්ඝ කාලයක් මෙරට දේශපාලනයේ නිරත වී සිටි දේශපාලකයන් බොහෝ දෙනකු මෙවර ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනයෙන් සමුගන්නා බවට තීරණය කර තිබේ. මේ වන විටත් පළපුරුදු දේශපාලකයෝ 50කට උපකල්පනය කර අධික පිරිසක් මෙසේ දේශපාලනයෙන් සමුගෙන සිටිති. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔවුහු ස්ථිරවම ප්‍රකාශ කළහ. තමන්ට මැතිවරණයකදී තවදුරටත් ජනතා කැමැත්තෙන් ජන්ද බලයක් ලබාගත නොහැකි වනු ඇති බවට ඔවුන් තුළ ඇති විශ්වාසය මීට හේතු වී ඇතැයි සිතිය හැකිය. එය ද ඉදිරි මැතිවරණය සම්බන්ධ යම් ප්‍රතිබිම්බයක් හෙළිදරවු කරන්නකි. මේ තත්වය නිසාම ජනතාවට තම ඡන්ද බලය භාවිත කරමින් අභියෝගාත්මක තෝරාගැනීමකට එන්නට සිදු වී තිබේ. ඊට හේතුව නම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බොහෝ අපේක්ෂකයන් නවකයන්වීමයි. නවක අපේක්ෂකයන්ට ඡන්දය ලබා දී ඔවුන් පාර්ලිමේන්තුවට යවා නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන්නේද නැතිනම් දේශපාලනයේ දැනට සිටින පළපුරුදු දේශපාලකයන්ම පත් කොටගෙන පවත්නා ක්‍රමය ඉදිරියට රැගෙන යන්නේදැයි ඡන්දදායකයන් මෙම මැතිවරණයේ දී තීරණය කරනු ඇත.
මෙවර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සංසන්දනයක් කරන විට ජනාධිපතිවරණයට ජනතාව තුළ පැවැති උනන්දුව මහමැතිවරණය වන විට අඩුවී ඇති බව සමාජයේ කතා බහකට ලක්ව තිබේ. ඡන්දදායකයන්ගේ පමණක් නොව ඇතැම් ඡන්ද අපේක්ෂකයන්ගේ ද යම් උදාසීන බවක් පෙනෙන්නට ඇතැයි ඔවුන්ගේ නිරීක්ෂණයයි. මේ සඳහා කාරණා බොහොමයක් හේතු විය හැකිය. ජනතාවගේ මේ උදාසීනකම නිසාම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් ඈත් වෙමින් සිටිනවාදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. නැතහොත් ජනතාව මෙම දේශපාලන සහභාගීත්වයෙන් දුරස්වීමට ඔවුන් තුළ යම් කලකිරීමක් ඇතිදැයි කෙනකුට පෙනෙන්නට පුළුවන. මේ උදාසීනකම නිසාම ජනතාව තම පරම අයිතියක් වන ඡන්ද අයිතිය භාවිත කිරීමෙන් වැළකී සිටිනු ඇති ද යන සැකය සමාජය තුළ වර්ධනය විය හැකිය.
ජනාධිපතිවරණය යනු රටේ සියලු පුරවැසියන් එකම ජන්ද කොට්ඨාසයක් සේ සලකා මධ්‍යගත මැතිවරණයක් සේ ක්‍රියා කරන අවස්ථාවකි. සමස්ත ජනතාවගේ ම අවධානය යොමුවන්නේ ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනා කෙරෙහිය. ඒ අනුව ජනාධිපතිවරණයකට ලැබෙන ජනතා අවධානය වැඩිය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවන්නේ තම ඡන්ද කොට්ඨාසයේ තමන්ගේ නියෝජිතයා තෝරා පත්කර ගැනීමකි. එහිදී ඡන්දදායකයාගේ ප්‍රමුඛ අවධානය යොමුවන්නේ තම ඡන්ද කොට්ඨාසය පිළිබඳව පමණි. එබැවින් දැනට තිබෙනවා යැයි කියන ජනතා නිහඬතාවෙන් ජනතාවගේ උදාසීනභාවයක් හෝ ඡන්දදායකයාගේ කලකිරීමක් පිළිබඳ කාරණයක් තහවුරු වනවා යැයි නිගමනය කිරීම වැරැදිය.
අනෙක් අතින් ජනාධිපතිවරණයේ දී භාවිත කළ ප්‍රධාන තේමාවන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බොහෝ විට භාවිත කෙරෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ නිසා අලුතින් සාකච්ජාවන දේශපාලනික කාරණා පොරොන්දු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවම වී තිබේ. බොහෝ විට වෙනත් මැතිවරණවලට වඩා අපේක්ෂකයන් හා ජනතාව අතර ජාතික වශයෙන් වැදගත් වන දේශපාලනික කාරණා හා පොරොන්දු දෙස අවධානය යොමු වී ඇති වගක් දැකිය හැකිය. දූෂණය අවම කිරීම, නාස්තිය අඩුකර ගැනීම, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම, ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම ආදි කාරණා ඒ අතර ප්‍රධාන වේ.
එසේම ජනමාධ්‍ය ඉලක්ක කරගන්නා කාරණා කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ හැකිය. ඇතැම්විට ජාතික මට්ටමේ ජනමාධ්‍යයට වඩා සමාජ මාධ්‍යයේ මතය ක්‍රියාකාරී වී තිබේ. දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ද බහුල වශයෙන් ප්‍රධාන පක්ෂ බොහොමයක් සමාජ මාධ්‍ය යොදාගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ යම් යම් දේශපාලනික සංවාද පැවැත්වීම ද පිටත සමාජයේ දේශපාලන සාකච්ජා අවමවීමට හේතු විය හැකිය. එය ජනතාව උදාසීනවීමක් නොවේ.
ජනතාවගේ වැඩි අවධානය යොමු නොවුණත් මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ද අවධානය යොමුවියයුතු අතර, එම ක්‍රියාකලාප ද ඇතැම් විට සමාජයට බලපෑම් සහගතය. මීට පෙර මැතිවරණවලට වඩා විශේෂ වූ නීති සමුදායක් මැතිවරණ කොමිසම මෙම මැතිවරණයේ දී ඉදිරිපත් කර තිබීම වැදගත් කරුණකි. මැතිවරණ වියදම් පනත ආදිය නිසි ලෙස බලාත්මක කළ බවක් මෙවර ජනාධිපතිවරණයේදී පවා අපි දුටුවෙමු. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද ප්‍රචාරණ වියදම් සීමා කිරීම, අනුග්‍රහ දැක්වීම අවම කිරීම, අනුමත රාමුවෙන් පිටතට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ඉඩ ලබා නොදීම,මැතිවරණයෙන් පසු සියලු අපේක්ෂකයන් වියදම් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ආදී සීමා නිසා මැතිවරණ කොමිසමෙන් මෙවර පනවා ඇති නිසා හේතුවක් නැතිව අනවශ්‍ය ලෙස යම් යම් වරප්‍රසාද ලබා දී ජනතාව පෙළඹවීමට හෝ රැස්කරවීමට දේශපාලකයන්ට ඇති අවස්ථා අවම වී තිබේ. එය දේශපාලනික වශයෙන් යහපත් ප්‍රවණතාවකි.
පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ වාර්තාව අනුව ඉතාම යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. එය තව දුරටත් වර්ධනය කරගැනීම රටේ යහපත් දේශපාලන සංස්කෘතිය ලෝකය හමුවට රැගෙන යාමට ඇති වැදගත් අවස්ථාවකි. බොහෝ කලක පටන් ජනතාව කතා කරන අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක්, ජනතාවගේ පාලනයට සම්බන්ධ වන ව්‍යවස්ථාදායකයක්, තමන්ගේ පාලන කටයුතු සම්බන්ධයෙන් වගවීමක් සහිත පාලන තන්ත්‍රයක්, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජ ක්‍රමයක්, දූෂණ විරෝධී ජනතා ආකල්ප ස්ථාපිතවූ ක්‍රමයක් නිර්මාණය කිරීම මැතිවරණ ව්‍යාපාරවල ප්‍රමුඛ අරමුණ විය යුතු බව අවධානයට ගත යුතුය. එය කවර දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් වුවද සාධාරණ විය යුතුය. මේ තත්වය වගා දිගා කොට ගැනීමට නම් ජනතාව සක්‍රීය ලෙස දේශපාලන ව්‍යාපාරයට හවුල්වීම වැදගත් ය. ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඡන්දය අපතේ නොයන ලෙස බුද්ධිමත්ව එය භාවිත කිරීමේ වගකීම ඡන්දදායකයා සතුව ඇත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)