ඡන්දය රටක පුරවැසියන්ගේ පරම අයිතියකි. වඩාත් වගකීම් සහගතව එම අයිතිය භාවිත කිරීම රටක සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යහපැවැත්මට අතිශයින් වැදගත් වන්නකි. මෙය මැතිවරණය හා ඡන්ද අයිතිය සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන කාලයකි. මැතිවරණවලදී පුරවැසියාගේ වගකීම කෙබඳුද? මතුදැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා සමග ඒ සම්බන්ධයෙන් කළ කතාබහක සටහනකි.
මැතිවරණ පැවැත්වෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු පුරවැසියන්ගේ යහපත සඳහා ක්‍රියාත්මක වීමට පුරවැසියන් විසින් කලින් කලට නියෝජිතයන් පත් කරගනු ලැබීම ය. මෙසේ පුරවැසියන් විසින් නියෝජිතයන් පත් කර ගනු ලැබීම මැතිවරණ සේ හැඳින්විය හැකිය. ලංකාව ගතහොත් ප්‍රධාන වශයෙන් මැතිවරණ හතරක් කෙරෙහි අවධානය යොමු වේ. එනම් ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණයයි.
මේ සෑම මැතිවරණයකින්ම කෙරෙන්නේ ජනතාව විසින් ජනතාවගේ පොදු යහපත ක්‍රියාත්මක කිරීම සදහා නියෝජිතයන් නැතහොත් නායකයන් පත් කර ගැනීමය. මේ එක් එක් මැතිවරණවලදී පත් කරගන්නා නියෝජිතයන්ගේ කාර්ය භාරය එකිනෙකට වෙනස් වේ. එහෙත් ඒ සියල්ලෙහි අවසාන අරමුණ ජනතාවගේ පොදු යහපත ය. පොදු යහපත යනු තමා ඇතුළු අන් සියල්ලන්ගේ යහපතයි. අපි මොහොතකට පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පසෙක තබා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයට අවධානය යොමු කරමු.
ජනාධිපතිවරණයෙන් පත් කර ගන්නා විධායකය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පත් කර ගන්නා ව්‍යවස්ථාදායකය ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මකවන්නේ රාජ්‍ය ආයතන සහ අධිකරණ පද්ධතිය මගිනි. එනම් අප පත් කරගන්නා ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මක විය යුත්තේ එම ආයතන මගිනි. අප පත් කරගන්නා මහජන නියෝජිතයන් ඍජුව ජනතාවට සේවය කිරීම හෝ ජනතාව ඍජුව නියෝජිතයන්ගෙන් සේවය ලබා ගැනීම හෝ අනුමත කළ නොහැක්කකි. එහෙත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ සිදුවන ක්‍රියා පිළිවෙත කිසිසේත්ම අනුමත කළ නොහැක. අද ලංකාවේ ජනතාවට දේශපාලනය එපා වී තිබේ. එසේ වී තිබෙන්නේ අප පත්කර යැවූ නියෝජිතයන් රටේ සහ ජනතාවගේ යහපතට ක්‍රියා නොකිරීම සහ ඔවුන්ගේ ක්‍රියා කලාප නිසා රටට සිදුව ඇති හානිය ගැන සිතීමෙනි. මෙය ඉතාම නරක තත්ත්වයකි. ආණ්ඩුවක් සහ මහජන නියෝජිතයන් රටේ දියුණුවට අත්‍යවශ්‍යය. පුරවැසියන් මහජන නියෝජිතයන් පත් කිරීම ඉතා පරෙස්සමින් කළ යුතු දෙයකි. ව්‍යවස්ථාදායකය මගින් තම රටට අවශ්‍ය සියලු අණපණත් නීති සහ ප්‍රතිපත්ති සකස් කර ගැනීම සහ අනුමත කර ගැනීම සිදුවේ. අප පත් කර ගත යුත්තේ ඒ සඳහා ගැලපෙන අයයි. අප පත් කරගන්නා ජනාධිපති සහ ව්‍යවස්ථාදායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විවිධ අයුරින් රාජ්‍ය ආයතන හා අධිකරණ පද්ධතියට මැදිහත් වන්නේය. ඒ සියලු මැදිහත්වීම් පද්ධතියේ දියුණුව සහ පුරවැසියන්ගේ යහපත සඳහා විය යුතුය.
ලංකාව රටක් හැටියට ගත් විට ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ යහපත සඳහා ජනාධිපති, ව්‍යවස්ථාදායකය, පළාත් සභාව, නගර සභා සහ ප්‍රාදේශීය සභා පත් කර ගැනේ. මේ හැමෙකක්ම ක්‍රියාත්මක වන්නේ විවිධ අයුරින් පොදු යහපත ඉටු කිරීමට ය. මෙසේ රටේ සියලු අයගේ පොදු යහපත සඳහා තෝරා පත් වී සිටින අය ඇත්තටම පොදු යහපත සඳහා ක්‍රියාත්මක වන්නේද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇත. ඒ වෙනුවට බොහෝවිට ඔවුන් ක්‍රියාත්මකවන්නේ තම තමන්ගේ පෞද්ගලික යහපත සඳහා බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත. අද අප රටක් ලෙස මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට හේතු වී ඇත්තේ මෙම කාරණයයි. අප හැමවිටම නිවැරැදි අයම නියෝජිතයන් ලෙස පත්කොට යැවිය යුත්තේ ඒ නිසාය.
ජනාධිපති ඇතුළු සියලු ආයතන ක්‍රියාත්මක විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ නීතියට අනුවය. එකිනෙකා නිවැරැදිව ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට ජනතාව ඇතුළු ඉහත කී සියලු ආයතනවලට අයිතියක් හා හැකියාවක් තිබේ. අධිකරණය ක්‍රියාත්මක වන්නේ සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහාය. විපක්ෂය අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පරීක්ෂාවට හා අවශ්‍ය අවස්ථාවලදී අභියෝගයට ලක් කිරීමට ය. රටකට ජනමාධ්‍ය අවශ්‍යවන්නේ සියලු දේ නොබියව සහ ස්වාධීනව විමර්ශනය කිරීමට හා වාර්තා කිරීමටය. ජනතාව වෙනුවෙන් තිබෙන ආයතන හා නියෝජිතයන් නිවැරැදිව කටයුතු නොකරන්නේ නම් ඒ සඳහා හඬනැගීමට හා මැදිහත් වීමට ජනතාවට අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍ය යනු ජනතාවට පාලනයට සම්බන්ධ වීමට ඇති බලය, නියෝජිතයන් පත් කර ගැනීමට ඇති බලය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ අයිතියයි.
මේ දිනවල නාම යෝජනා කැඳවා තිබෙන ජනාධිපතිවරණය සම්බන්ධව අවධානය යොමු කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියා ද වෙයි. එසේම ඔහු සන්නද්ධ සේනාවන්හි සේනාධිපතිවරයා ද වෙයි. ජනාධිපතිවරයාට ඉහත කී සියලු ආයතනවලට මැදිහත් විය හැකි විශාල බලයක් ව්‍යවස්ථාව මගින් ලැබී තිබේ. පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීම හා ආරම්භ කිරීම, අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම, අග විනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීම, තානාපතිවරුන්, විවිධ ආයතන ප්‍රධානීන්, කොමිෂන් සභා පත්කිරීම ඇතුළු මෙකී නොකී විශාල බලයක් ජනාධිපතිවරයා සතු වෙයි.
එසේ නම් රටේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී ජනතාව ඉතා පරෙස්සම් විය යුතුය. නුසුදුසු ජනාධිපතිවරයකු බලයට පත්වුවහොත් එය සියලු ආයතනවලට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට මෙන්ම රටේ ආර්ථිකයටද නරක අන්දමින් බලපාන්නකි. අපේ රටේ ජනතාවට මේ සම්බන්ධ විශාල නරක අත්දැකීම් ඇත. මගේ විශ්වාසය අනුව නම් පත් කරන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, රටේ නීතිය සහ ජනතාවට ගරු කරන සදාචාරසම්පන්න ගුණ ධර්මවලින් පිරි බුද්ධිමත්, කාර්යශූර, අත්දැකීම් පිරි, ආධ්‍යාත්මික පදනමක් සහිත නායකයකු විය යුතුය. ආධ්‍යාත්මික පදනමක් සහිත නායකයා යනු ධනය බලය කීර්තිය වැනි බාහිර දේවල්වලට ගිජු නොවී සැබෑ පරමාර්ථයට නැතහොත් පොදු යහපත සඳහා කටයුතු කිරීමෙන් තෘප්තිමත් වන නායකයෙකි. එහෙත් අපේ රටේ බොහෝ දෙනා මහජන නියෝජිතයන් වීමට උත්සාහගන්නේ එමගින් ලැබෙන ධනය, බලය, කීර්තිය ආදී බාහිර දේවල් බලාපොරොත්තු වෙමිනි.
හොඳ නායකයකු තෝරා ගැනීමට නම් සලකා බලන පුද්ගලයා තම ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය අත්පත් කර ගනිමින් සැබෑ පරමාර්ථය වන පොදු යහපත සඳහා ක්‍රියා කර තිබිය යුතුය. එසේම ඔවුන් මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් වන්නේ ලෝභ, ද්වේශ, මෝහ මූලයන් පදනම් කරගෙන දැයි හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. අද මේ රටේ බොහෝ අය මහජන නියෝජිතයන් වීමට උත්සාහගන්නේ ධනය, බලය, කීර්තිය සඳහා ලෝභ සහගතවය. නැත්නම් ද්වේශ සහගතවය. බොහෝ දෙනා මෝහයෙන් අන්ධ වී සිටිති. බලයේ ඉන්න අය බලය රැක ගන්නත් බලය නැති අය කෙසේ හෝ ලබාගන්නත් නොකළ යුතු දේ කරති. හොරකම් සහ දූෂණ නොකර සිටින බව ප්‍රකාශ කිරීම හෝ එසේ කරන අය විවේචනය කිරීම හෝ බලය ලැබුණු පසු හොරකම් දූෂණ නොකර සිටින බවට සහතිකයක් නොවේ. ඇත්තෙන්ම මෙහිදී බැලිය යුත්තේ අවස්ථා ලැබී හෝ නොලැබී දූෂණ සහ අක්‍රමිකතා නොකර කාර්යක්ෂමව පොදු යහපත සඳහා කොපමණ වැඩ කර තිබේ දැයි බැලීමය. අද බොහෝ අය බලාපොරොත්තුවන්නේ පවත්නා ක්‍රමවේදයන්හී වෙනස්කම්ය. පොදු යහපත සඳහා ආණ්ඩුකරණයේ, රාජ්‍ය තන්ත්‍රයේ සහ ආර්ථික ක්‍රමයේ වෙනස්කම්ය. අප බලාපොරොත්තුවන සැබෑ වෙනස ලබාගතහැකි වන්නේ නියෝජිතයන් සහ ක්‍රමවේදයන්හී පමණක් නොව පුරවැසියන්ද වෙනස්වීම තුළින් පමණි.
සීමිත සම්පත් සහිත තරගකාරී සමාජයන්හි හැම කෙනෙක්ම පාහේ බොහෝ විට සිතන්නේ සහ ක්‍රියාකරන්නේ තමන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරය අනුවය. තමන්ට ප්‍රමුඛතාව ලැබෙන ආකාරය අනුවය. එය සෑම අවස්ථාවකදීම සිදුවිය හැක්කකි. එවිට තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ තවකෙකුට අකටයුත්තක් හෝ අසාධාරණයක් සිදුවිය හැකිය. රටක පුරවැසියන් හොඳින් තේරුම් ගත යුත්තේ සෑම ආයතනයකම, සෑම ක්‍රමවේදයකම සැබෑ පරමාර්ථය වන පොදු යහපත බවයි. අප සැබෑ පරමාර්ථ සඳහා ක්‍රියාත්මක වූවොත් පද්ධතියත් ආරක්ෂා වන අතර අපද වඩා හොඳින් ආරක්ෂා වේ. එබැවින් මහජන නියෝජිතයනුත්, පුරවැසියනුත් මේ දෙපාර්ශ්වයම සැබෑ පරමාර්ථ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට වෙනස් විය යුතුය. පුරවැසියන් මහජන නියෝජිතයන්ගෙන් ඍජු ප්‍රතිලාභ අපේක්ෂා නොකළ යුතුය. අප සියලු දෙනාම කළ යුත්තේ පද්ධතිය සහ ක්‍රමවේද හොඳින් දියුණු කිරීමට සහ පවත්වාගෙන යාමට කටයුතු කිරීමය. පද්ධතිය හා ක්‍රමවේද හොඳින් ක්‍රියාත්මක වුවහොත් අප සියලු දෙනාටම හොඳින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රටක පුරවැසියන් විශ්වාසය ඇති කර ගත යුත්තේ පක්ෂපාත විය යුත්තේ දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන්ට නොව පද්ධතියට සහ ක්‍රමවේදවලටය. මහජන නියෝජිතයන් වීමට බලාපොරොත්තු වන අය වගේම සියලු පුරවැසියන් නැවත නැවතත් හොඳ සිහියෙන් සිතා බැලිය යුත්තේ තමා ක්‍රියාත්මකවන්නේ පෞද්ගලික ප්‍රතිලාභ සඳහා ලෝබයෙන්ද නැතහොත් ද්වේශයෙන්ද මෝහයෙන්ද යන්නය. පුරවැසියන් පක්ෂවලට හෝ පුද්ගලයන්ට පක්ෂපාත නොවී හොඳ සිහි බුද්ධියෙන් ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුය. එසේ නොවුණහොත් අප කබළෙන් ළිපට වැටීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය.
හොඳ පුරවැසියකු යනු තම වගකීම පමණක් ඉටුකර නිහඬව සිටින පුද්ගලයෙකු නොවේ. එනම් තම රාජකාරිය හෝ වෘත්තීය ජීවිතය ගත කරමින් බදු ගෙවමින් නීතියට අනුව ජීවත්වීම පමණක් නොවේ. හොඳ පුරවැසියා නියෝජිතයන් සහ ආයතන පිළිබඳ, ඒවායේ අඩු පාඩු පිළිබඳ හොඳින් දැනුවත් වී ඒවා නිවැරැදි කරගැනීමට කටයුතු කරන්නෙකි. අවශ්‍ය අවස්ථාවලදී අයුක්තිය සහ අසාධාරණය සඳහා පුරවැසියා පෙනී සිටිය යුතුය. හඬ නැගිය යුතුය. උද්ඝෝෂණ සහ විරෝධතාවලට සහභාගී විය යුතුය. පොදු යහපත සඳහා ක්‍රියාකාරිකයකු විය යුතුය. පරිසරය පිළිබඳ සංවේදී විය යුතුය. දරුවන්ට, වැඩිහිටියන්ට, සතා සීපාවාට කාරුණික විය යුතුය. අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. බෙදා හදා ගැනීමට පුරුදු විය යුතුය. එසේ නොවුණහොත් අපි සැබෑ පුරවැසියෝ නොවෙමු. මේ වෙනස අප පුරවැසියන් ලෙස ඇතිකර නොගතහොත් කොතරම් මැතිවරණ පැවැත්වූවද කොතරම් නියෝජිතයන් පත් කර ගත්තද කොතරම් ක්‍රමවේදයන්හී වෙනස්කම් කළ ද අප අපේක්ෂා කරන රට ගොඩනැගීමට නොහැකිවනු ඇත. සියලු පුරවැසියන් එකතු වී සියල්ලන්ගේ පොදු යහපත සඳහා ක්‍රියාත්මක වී රට තිරසාරව ගොඩනගා ගැනීමට අප කැප විය යුතුය.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)