සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ මුල් තැන දී ඇත්තේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා වූ ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට නොව රැල්ල පෙන්වා තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවක් ජනතාවට පෙන්වීමටය.
ඒ අනුව මේ දිනවල දේශපාලන කරළියේ පෙනෙන්නට තිබෙන්නේ දේශපාලන සංදර්ශන, අපූරු දේශපාලන සන්ධාන හා ප්‍රකට නළු නිළියන් හා ක්‍රීඩකයන් වැන්නන්ගේ කටයුතුය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නොව ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරයි. එජාප අපේක්ෂකයා ලෙස තරග කළහොත් ජනතාව තමන්ට ඡන්දය නොදෙනු ඇතැයි ඔහු සිතන්නේ ද? ස්වාධීන අපේක්ෂකයකු වීමෙන් ඔහුට එක ඡන්දයක හෝ අමතර වාසියක් අත් වන්නේ ද?
වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු නොවුයේ නම් තමන් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන බව කොටස් ගණනාවකට කැඩී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් කණ්ඩායමක් නියෝජනය කරන වික්‍රමසිහ මහතාගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු ද වන මහින්ද අමරවීර මහතා පසුගිය දිනෙක පවසා සිටියේය.
එහෙත් ඔහු ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම එම පක්ෂයේ නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වෙන් වූයේ ජනාධිපතිවරයා සමඟ එක්වීම නිසාය. ඒ වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු වීමට මාස ගණනාවකට පෙරය. ඔවුන් එසේ වෙන් වූයේ ඇමැති ධුර අරක්ෂා කර ගන්නටය යන්න බොහෝ දෙනා දන්නා කරුණකි.
මේ අතර වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කරන්නට ජූලි 26 වැනිදා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප තැන්පත් කිරීමෙන් පසු එජාප මූලස්ථානය වන සිරිකොතේ රැස් වූ එජාප නායකයෝ ජනාධිපතිවරණයේ දී වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට තීරණය කළ බව ජනමාධ්‍යයට පැවසූහ. වික්‍රමසිංහ මහතා ඒ වනවිට පමණක් නොව අද ද එජාප නායකයාය. ඒ අනුව සිදුවී ඇත්තේ වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට ඒ මහතාගේම පක්ෂය යෝජනා සම්මත කිරීමකි.
මෙවැනිම දෑ වෙනත් තැන්වලද සිදුවේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමඟි ජන බලවේගයේ ලකුණ යටතේ තරග කොට තවමත් එම පක්ෂයේ නායකත්වය සමග ඉතා සමීපව සිටින මුස්ලිම් හා වතුකරයේ පක්ෂ ගණනාවක් මෙවර ජනාධිපතිවරණයේ දී සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට යෝජනා සම්මත කොට තිබේ.
මේවා ඒ ඒ පක්ෂවල පරිපාලන අවශ්‍යතා විය හැකිය. එහෙත් මෙම අවස්ථාවලට ජනමාධ්‍ය කැඳවා එම තීරණවලට ප්‍රසිද්ධිය දීම ජනතාව නොමඟ යැවීමට කරන උත්සාහයකි.
වතුකරයේ විශාලම පක්ෂය වන ජීවන් තොණ්ඩමාන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය හැර එහි අනෙක් සියලු ප්‍රධාන පක්ෂ ජනාධිපතිවරණයේ දී සහාය දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය. ප්‍රේමදාස මහතා බලයට පත්වුවහොත් වතුකරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන බව කියන යෝජනා මාලාවක් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 14 වැනිදා එම පක්ෂ හා ප්‍රේමදාස මහතා අතර ගිවිසුමක් අත්සන් කෙරිණි.
එම පක්ෂ ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාස මහතාට සහාය දීම එමඟින් ප්‍රකාශයට පත් කෙරිණි. ඉන්පසු මේ මස 3 වැනිදා ප්‍රේමදාස මහතාට සහාය දෙන සියලු කණ්ඩායම් එක්ව සමඟි ජන සන්ධානය ප්‍රකාශයට පත් කෙරිණි. ඒ සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ උත්සවයක් පවත්වා ඊට විශාල ප්‍රචාරයක් දෙනු ලැබීය. එම සන්ධානයේ කැපී පෙනෙන පක්ෂ වූයේ එම වතුකරයේ පක්ෂ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.
එම උත්සවයේ දී අලුතින් සමගි ජන සන්ධානයට එක්වූ බවත් පෙනුණේ දයාසිරි ජයසේකර මහතා හා තිලංග සුමතිපාල මහතා පමණි. ඔවුන් ද නියෝජනය කරමින් පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එම පක්ෂ මේ වනවිට ප්‍රධාන කණ්ඩායම් තුනකට කැඩී ඇති හෙයින් මේ දෙදෙනාගේ ඡන්ද පදනම කොතෙක්දැයි කිසිවකුට සිතා ගත නොහැකිය. මෙම උත්සවයට සහභාගි වූ ඩලස් අලහප්පෙරුම මහතා 2022 දී පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණයේ දී තරග කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඇතිවය.
ඩලස් අලහප්පෙරුම මහතාගේ නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වූ මහාචාර්ය ජී.එල්. පීරිස් කලින්ම ප්‍රේමදාස මහතාට සහාය පළ කරන්නට පැමිණියේය. එහෙත් ඔහු තවදුරටත් නිදහස ජනතා සභාවේ ද සිටියේය. එසේ වුව ද සමගි ජන සන්ධානය ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේ පක්ෂ නම් කිරීමේ දී පිරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවද නියෝජනය කරන බව කියවිණි.
පෙබරවාරි මාසයේ දී ඉදිරි ආණ්ඩුවක දී වතුකරයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා සමඟ ගිවිසුමක් අත්සන් කොට මෙසේ සමගි ජන සන්ධානයේදී ද එකඟතා ගිවිසුමක් අත්සන් කළ වතුකරයේ පක්ෂ ඉන්පසු පසුගිය 12 වැනිදා යළිත් ප්‍රේමදාස මහතා සමග කරුණු 48කින් යුත් ගිවිසුමක් අත්සන් කළේය. ඒ සියල්ලට විශාල ජනමාධ්‍ය ප්‍රචාරයක් ද ලැබිණි.
මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් වතුකරය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන බව පෙනේ. 2012 වනවිට වතුකරයේ පමණක් නොව මුළු රටේම ජීවත් වූ ඉන්දීය සම්භවයෙන් පැවැත එන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ අටහමාරක් (8 1/2) පමණ වෙයි. වතුකරයෙන් පිටස්තරව ජීවත් වන එම ජනතාවගේ ඡන්දය දීමේ රටාව වතුකරයට වඩා වෙනස්ය. වතුකරයේ ඡන්දදායකයන් සංඛ්‍යාව ලක්ෂ තුනකට මදක් වැඩි බව අතැම් වාර්තාවල දැක්වේ.
මෙම ඡන්ද දිනා ගැනීමට ප්‍රේමදාස මහතා මෙසේ ගිවිසුම් පිට ගිවිසුම් අත්සන් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කොට එම ඡන්ද දිනා ගැනීමට උත්සාහ කරයි. ඔහු මුලින් වතු සමාගම් සමග එකඟතාවකට නොපැමිණ කම්කරු කොමසාරිස්වරයාගේ නමින් පළ කරන ලද ගැසට් පත්‍රයක් මඟින් ඉකුත් අප්‍රේල් 30 වැනිදා එම වැටුප් රුපියල් 1700දක්වා වැඩි කළේය.
වතුහිමියන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකින් අනතුරුව අධිකරණය ඊට අතුරු තහනම් නියෝගයක් පැනවීය. පසුව පඩි පාලක සභාවේ ඇති කර ගන්නා ලද එකඟතාවක් අනුව යළිත් එම ගැසට් පත්‍රය ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. කිසිවකුට මීට එරෙහි විය නොහැක.
කෙසේ වෙතත් මෙය බලපාන්නේ ලක්ෂ තුනක් පමණ වන පිරිසකටය. එම පිරිස් ද මෙවැනි සහන මඟින් වෙනස් කළ නොහැකි අයුරින් දේශපාලන වශයෙන් බෙදී සිටිති. බොහෝ විට සිදුවිය හැක්කේ මෙම ගැසට් පත්‍රය නිකුත් කළත් නැතත් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ බලපෑමට ලක්වූ කම්කරුවන්ගේ ඡන්දය පමණක් ස්ථිරවම ලබා ගැනීමට හැකිවීමය. කෙසේ වෙතත් කම්කරුවන්ට සැබවින්ම මින් යහපතක් වූයේ නම් එය සතුටුවිය හැකි කරුණකි.
බලය බෙදීමේ ප්‍රශ්නයේ දී දශක දෙකකට පමණ පෙර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට විසඳා ගැනීමට ප්‍රශ්නයක් තිබිණි. ඒ බලය බෙදීමේ දී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කෙරුණහොත් තමන් සුළු ජාතියක් තුළ තවත් සුළු ජාතියක් බවට පත්වීමේ අනතුරයි. ඒ නිසා ඔවුහු එදා නැගෙනහිර පළාතේ මුස්ලිම් පළාත් සභාවක් ඉල්ලා සිටියහ. දැන් එම අනතුර බොහෝ දුරට පහව ගොස් ඇති හෙයින් ඔවුනට ඉදිරිපත් කරන්නට දේශපාලන ඉල්ලීමක් නැත.
දැන් මුස්ලිම් දේශපාලන පක්ෂවල පැවැත්ම සාධාරණීකරණය කළ හැක්කේ ඉඳහිට මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ජාතිවාදී ප්‍රහාරවල දී ජාතිකයැයි කියා ගන්නා ප්‍රධාන පක්ෂවල නායකයන් එම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් නොවන හෙයින් එම කටයුත්ත සඳහා මුස්ලිම් පක්ෂ ඉදිරිපත් වීම මඟින් පමණි.
ඒ අනුව අනෙකුත් කාලවල දී මුස්ලිම් පක්ෂ පවතින්නේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොව එම පක්ෂවල නායකයන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙනි. කොටින්ම ඔවුන්ට තනතුරු ලබා ගැනීම සඳහාය. නිශ්චිත මන්ත්‍රීන්ගෙන් ප්‍රයෝජනයක් ඇතත් නැතත් සංඛ්‍යාත්මක මුස්ලිම් නියෝජය පිළිබඳව මුස්ලිම් ජනතාව සංවේදී වන හෙයින් ඔවුනට එයද සාධාරණීකරණය කළ හැකිය. ප්‍රතිපත්ති ගරුක දේශපාලනය සඳහා ඔවුන්ට යන්නට ද තැනක් නැත.
උතුරු නැගෙනහිර දෙමළ නායකයෝ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කණ්ඩායම් තුනකට බෙදී සිටිති. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජනතාව මෙම මැතිවරණය වර්ජනය කළ යුතු යැයි කියයි. තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් හා වෙනත් පක්ෂ දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යන නමින් ගොනු වී මෙම මැතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි කියයි.
ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලෝට්, ටොලෝ යන ප්‍රධාන පක්ෂ දෙමළ ජාතික පක්ෂය හා හිටපු කොටි සාමාජිකයන් ගොඩනඟා ගෙන ඇති ප්‍රජාතන්ත්‍රාවදී සටන්කරුවන්ගේ පක්ෂය සමග එක්ව මෙසේ පවසනවා පමණක් නොව උතුරේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජාතික පෙරමුණ සමඟ එක්ව දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්තිරන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කළහ. පසුගිය දෙසැම්බර් මාසයේ සිටම විග්නේශ්වරන් මහතා පොදු අපේක්ෂකයා වන්නට ආශා කරන බව පෙනිණි.
එහෙත් තමිල් අරසු කච්චි තවමත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත. එහි ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා සිය x ගිණුමේ සටහනකින් පවසා තිබුණේ ඒකාබද්ධ උතුරු නැනෙහිර පළාත්වල ෆෙඩරල් ක්‍රමය පදනම් කරගත් බලය බෙදීමකට එකඟ දකුණේ අපේක්ෂකයකුට තමන් සහාය දෙන බවය. ඔවුන් මෙම ස්ථාවරයේ තදින්ම සිටියහොත් මෙවර ඔවුනට ද සිදුවන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නුවන් බෝපගේ මහතාට ඡන්දය දීමටය. නැත්නම් ඡන්දත් දීමෙන් වැළකී සිටීමටය. නැත්නම් දෙමළ පොදු අපේක්ෂකයාට ඡන්දය දීමටය. මන්දයත් මෙම කොන්දේසිය පිළි ගන්නා දකුණේ එකම අපේක්ෂකයා බෝපගේ මහතා පමණි.
දෙමළ පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීප සබඳතා පවත්වා ඇත. ඉංග්‍රීසියෙන් කතා කරන ඇතැම් දෙමළ නායකයන්ගේ පන්ති පදනම අනුව ඔවුනට එය පහසු කටයුත්තකි. එහෙත් වික්‍රමසිංහ මහතා තමන් රැවටු බව තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයෝ පසුගිය වසරේ කිහිප වතාවක්ම චෝදනා කළහ.
සජිත් ප්‍රේමදාස මහතා මෑතක දී උතුරේ සංචාරය කළ අතර දෙමළ නායකයන් ද මුණ ගැසුණේය. එම මුණ ගැසීම්වලින් පසු ඇතැම් දෙමළ නායකයන් පවසා තිබුණේ ප්‍රේමදාස මහතාට ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති බවය.
අනුර කුමාර දිසානායක මහතා ද මෑතක දී උතුරේ සංචාරය කරමින් දෙමළ නායකයන් මුණ ගැසුණේය. එම සාකච්ඡා සම්බන්ධයෙන් එම නායකයන් විශේෂ යමක් නොකීවද ඔවුන්ගේ දෙමළ නායකයන්ගේ ඉල්ලීම් පිළිබඳව එකඟතාවක් ඇති වී තිබුණේ නැත.
ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිවකු සමග එකඟ විය නොහැකි වුවත් දෙමළ නායකයන්ට රටේ අර්ථිකය සම්බන්ධයෙන් සිතා දුෂණයෙන් තොර පාලනයක් පිළිබඳව තීරණයක් ගන්නට සිදුවනු ඇත. මන්දයත් එය කිසිදු භේදයකින් තොරව කාහටත් බලපාන ප්‍රශ්නයක් වන නිසාය.
(***)
එම්.එස්.එම්. අයුබ්