දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනයකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇත. පවතින ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා කැමැත්ත නිරන්තරයෙන්ම සොයා බැලීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය ඉතා වැදගත්ය. මේ කැමැත්ත සොයා බලන්නේ මැතිවරණ හරහාය.
සමානුපාතික නියෝජන ක්‍රමයට පෙර පාර්ලිමේන්තු අසුනක් හිස්වූ විට අතුරු මැතිවරණ පැවැත්වුණි. එහෙත් දැන් එවැනි මැතිවරණ නැත. එනිසා මෙරට ජනතාවට සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමට ලැබෙන්නේ අවස්ථා තුනකදීය. පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ මහ මැතිවරණ එම අවස්ථා තුනය. ඊට අමතරව ජනාධිපතිවරණයද තිබේ.
පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත කාල රාමුව සුළු නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත් තුනේද පැහැදිලිව සඳහන්ය. එකී නිශ්චිත කාලය අවසන් වූ පසු මැතිවරණ පැවැත්විය යුතුමය. ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ අවස්ථාවල විවිධ චෝදනාවලට ලක්වෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවීම ද එලෙස චෝදනාවලට ලක්වන්නකි. මේවාට පිළිතුරු සැපයුවද ඒ සම්බන්ධව බොහෝ වේලාවට සෑහීමකට පත්වන්නේ නැත. මේවා අප මතක තබා ගත යුතු කාරණාය.
යම් ආකාරයකට රටක මැතිවරණයක් කල් දමනවා නම් එසේ කළ හැක්කේ ඉතාම සීමිත අවස්ථාවලදීය. අධිකරණයක් වුව පිළිගන්නේ එවන් කාරණාය. ඉන්දියාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ මැතිවරණ කල් දැමිය හැකි අවස්ථා කීපයක් පිළිගෙන තිබේ. යම් වසංගත රෝගයක් පැතිරී යනවානම් මැතිවරණ පැවැත්විය නොහැකි බව ඉන් එක් අවස්ථාවකි. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මෙවන් අවස්ථාවක් උද්ගත වූයේය. ඒ කොරෝනා සමයේය. ඒ වගේම ස්වභාවික උවදුරකට මුහුණදී ප්‍රදේශයකට හානියක් වන්නේ නම් එවැනි භූ සාධකයක් මත මැතිවරණ පැවැත්වීමට නොහැකි වන්නට පුළුවන. යුද්ධය කාලයේදී මුදා නොගත් ප්‍රදේශවල ජනතාව මුදාගත් ප්‍රදේශවලට ගෙනැවිත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන්නට සැලසුම් කරන විට ආරක්ෂක අංශ ඉඩ දුන්නේ නැත. එහෙත් ඔවුන් තම අයිතිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට ලැබුණු නියෝගය වූයේ එම ජනතාවට එකී අයිතිය ලබාදිය යුතු බවය. එයින් පෙනෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවකදී වුවද සාධාරණ කාලයකදී ඡන්දය පැවැත්විය හැකි බවය.
1978 ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ 10 වැනි ව්‍යවස්ථාවේ ඡන්ද බලය පිළිගන්නා ආකාරය පැහැදිලිව දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය. වරින් වර මැතිවරණ පැවැත්වීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිමූර්තිමත් වන බව එම ප්‍රකාශයයි. එමෙන්ම ජනතා අදහස් අනුව ඉදිරියට යා හැක්කේ මැතිවරණ පැවැත්වීමෙන් බව කොෆී අනන් පෙන්නා දී තිබුණි. ඉහත කී අවස්ථා නිසා මැතිවරණ කල් දැමුවද ලංකාවේ මැතිවරණ කල් දැමීමේ ඉතිහාසය බොහෝ දෙනා දනිති. මෙවර පමණක් නොව මීට පෙරද මැතිවරණ කල් දමා තිබේ. 1977 පැවැති මහ මැතිවරණයේදී එක් පක්ෂයකට දැවැන්ත පරාජයක් හිමිවූයේ මැතිවරණය කල් දැමීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රායෝගික තත්ත්වය එයයි.
නෛතික තත්වය දෙසද අවධානය යොමු කළ යුතුය. මැතිවරණය නොපවත්වන්නේ නම් කරන්නේ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයකු යටතට හෝ ලේකම්වරයකු හෝ යටතට පත් කිරීමය. එහෙත් එසේ පත් කිරීමෙන් මේ ආයතන පවත්වාගෙන යාමට නොහැක. ප්‍රදේශයේ තිබෙන අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩි දැනුවත්භාවයකින් සිටින්නෝ රාජ්‍ය නිලධාරීන් නොව මහජන නියෝජිතයෝය. එනිසා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය පවත්වාගෙන යාමට පළාත් පාලන මැතිවරණය අත්‍යවශ්‍යය.
නාමයෝජනා බාරගෙන මැතිවරණ දිනය පවා ප්‍රකාශ වී තිබියදී රටේ පැවැති වාතවරණය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රශ්නයක් ඉදිරියට ගෙනාවේය. එම කාරණයේදී මැතිවරණ කොමිසම අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට වඩා වෙනස් ආකාරයකට කටයුතු කළ යුතුව තිබුණි. මැතිවරණයට අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ ඇයි දැයි දැඩි ක්‍රියාමාර්ගවලට යා හැකිව තිබුණි. ඡන්ද අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි. එහෙත් ආහාර පිළිබඳ අයිතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවම එවන් පිළිගැනීමක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූයේ ඡන්ද අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබීම නිසාය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදී තිබෙන්නේද ඒ මත පදනම්වය.
මෙම තීන්දුවේදී මූලික වශයෙන් නිර්දේශ දී තිබෙන්නේ මැතිවරණ කොමිසමටය. මේ තීන්දුව ලැබීමට පෙර වුවත් මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් අදාළ පාර්ශ්වවලට තිබුණි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එම මැතිවරණය අවලංගු කළේ නැත. එනිසා එදා දුන් නාම යෝජනා අදටත් වලංගුය. දැන් තිබෙන්නේ මැතිවරණය පැවැත්වීම පමණි. මුදල් ප්‍රශ්නය මතු කළේ එක් පාර්ශ්වයකි. මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයකි. ඇතැම් විට මුදල් වියදම් කරන්නේ අත්‍යවශ්‍ය කාරණාවලටද යන ප්‍රශ්නය මතුවේ. මෙතැනදී ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා ඇත්තේ මුදල් සම්බන්ධයෙන් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබෙන මූලික අයිතිය සම්බන්ධයෙනි.
කලින් පැවැතියේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි තත්වයකි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මූලික මිනිස් අයිතිවාසිකමක් කඩවී ඇති අවස්ථාවක ඊට එරෙහිව නඩු පැවරිය හැකිය. පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලැබෙන්නේ එවන් පසුබිමකය. මෙරට මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසමක් වුවද ඉන්දියාවේ ස්වාධීන මැතිවරණ කොමිසමට මෙන් ලොකු බලතල ලැබී නැත. තිබෙන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා වූ බලයකි. මැතිවරණයට මුදල් ඉල්ලා සිටියත් එය නොලැබෙන විට අධිකරණ ක්‍රියාමාර්ගයකට හෝ නීතිපතිගේ උපදෙස් ගත යුතුව තිබුණි. එහෙත් එසේ වූයේ නැත. ඉදිරියේදී හෝ උද්ගත විය හැකි තත්වයකදී එවැනි ක්‍රියාමාර්ග තේරීමට මැතිවරණ කොමිසම උනන්දු විය යුතුය. කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඉදිරියේදී ඔනෑම මැතිවරණයක් නියමිත කාලයේදී පැවැත්විය යුතුමය. බලයේ සිටින, බලයට ඒමට බලා සිටින සියලුම දෙනාට මේ නඩු තීන්දුව බලවත් ආදර්ශයකි. ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පවා මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධව ලංකාවට චෝදනා එල්ල විය හැකිය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නඩු තීන්දුව නිසා යම් සහනයක් තිබිය හකිය. එසේ වුවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජාත්‍යන්තරව පවා බැඳී සිටින තත්වයක් මෙමගින් නිර්මාණය වී තිබේ.
පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව සතුව බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ අංක එකෙහි පැහැදිලිව දක්වා තබේ. ජනතාව සතු එකී බලය ක්‍රියාත්මක කරවා ගන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා හා ජනමත විචාරණයකිනි. තම පරමාධිපත්‍ය ජනතාව කලින් කලට පාවිච්චි කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එහි සම්මුතිවලිනුත් කියා තිබෙන්නේ එයයි. යම් කොටසකට ජනතාව යම් කාලයකට බලය දී තිබේ නම් ඔවුන් උපරිම ලෙස ඒ දෙය කළ පසු නැවතත් ජනතාවට අවස්ථාව දිය යුතුය. ඒ තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමටය. යම් පාර්ශ්වයක් එම අවස්ථාව ලබා නොදීමෙන් සිදුවන්නේ ජනතා පරමාධිපත්‍යයට අභියෝග එල්ලවීමය. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ එසේ අභියෝග එල්ල වූ අවස්ථාවකය. හේතු ඇතිව හෝ නැතිව මැතිවරණ කල් දැමීම ජනතාවගේ ඡන්ද බලයට ඍජුවම බලපෑම් කරන්නකි. පොදු රාජ්‍ය මණ්ඩලීය තීරණවලදී පවා මේ කාරණා පෙනෙන්නට තිබුණි.
ජනතා පරමාධිපත්‍යය පාවිච්චියේදී යම් යම් දූෂණ අක්‍රමිකතා සිදුවිය හැකිය. නීතිය කඩකළ විට ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරන්නට පුළුවන. බංග්ලාදේශයේද මේ තත්වය ඇති වුණි. එහෙත් ඔවුන් අඛණ්ඩව මැතිවරණ පැවැත්වූවේය. ජනතා පරමාධිපත්‍යය උදුරාගන්නට තැත් කළ අවස්ථාවලදී ජනතාව වීදි බැස්ස අත්දැකීම්ද තිබේ. එය එසේ නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක කටයුතු සිදුවෙනවා නම් අදාළ කාලරාමුවේදී ඒවා සිදුවිය යුතුය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් සහ ජනමත විචාරණයක් සම්බන්ධයෙනි. නගර සභා, මහ නගර සභා, සුළු නගර සභා සම්බන්ධව එහි සඳහන් නැත. එසේ නොකීවද ජනතා පරමාධිපත්‍යය වක්‍රාකාරයෙන් මේ තැන්වලදී ද පිළිබිඹු වෙයි. විවිධ හේතු ගෙනහැර දක්වමින් මැතිවරණ කල් දමනවාට වඩා කළ යුත්තේ අවශ්‍ය වෙනස්කම් කෙටි කාලයකදී කර මැතිවරණ පැවැත්වීමය. කුමන හෝ මැතිවරණයක් කල් දමන්නේ නම් දේශීය වශයෙන් මෙන්ම විදේශීයව ද ප්‍රශ්නවලට මුහුණදීමට අපට සිදුවනු ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව දිගින් දිගටම යෝජනා සම්මත කළහොත් ආර්ථික සම්බාධක පැනවීමට පවා හැකියාව තිබේ. එතැනින් නොනැවතී දේශපාලන සම්බාධක පැනවීමටද පුළුළුන. එනිසා නිසි කල මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටවල අවශ්‍යතාවකි. නේපාලයේ මාවෝ ගරිල්ලන් සිටියද මැතිවරණ කල් දැම්මේ නැත. ඉන්දියාවේ කුමන ප්‍රශ්න මතු වුවත් මැතිවරණ කල් දමා නැත. අප ඒවා ආදර්ශයට ගත යුතුය. ලබාදී තිබෙන නඩු තීන්දුව අනුව මැතිවරණ කොමිසමට ස්වාධීනව, බිය නොවී කටයුතු කළ හැකිය. කිසිවකුට නීතිය අතට ගත නොහැකි බව මෙයින් තහවුරු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පෙනී යන්නේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි සහ 14 වැනි වගන්ති උල්ලංඝනය වී ඇති බවය. 12 වැනි වගන්තියෙන් කියැවෙන්නේ සමානාත්මතා අයිතියයි. 14 වැනි වගන්තියෙන් කියැවෙන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියයි. මැතිවරණය නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසම ව්‍යවස්ථාවේ ඉහත වගන්ති උල්ලංඝනය කර ඇති බව පෙන්නා දී තිබේ. සුවිශේෂී කරුණු මත පළාත් පාලන මැතිවරණය කල් දැමිය හැකි වුවද දීර්ඝව එසේ කරන විට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පිළිබඳව මතුවන්නේ ගැටලුවකි.
(*** චමින්ද මුණසිංහ)