මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් විවිධ අර්බුදවලට මුහුණ දෙමින් සිටින සමයකය.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 38 දෙනෙක් නිල වශයෙන් ඉදිරිපත් වී සිටිති. මිලියන 17ක පමණ ජන්ද දායකයෝ පිරිසක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුමක් ලබා සිටිති. මේ වනවිට ප්‍රධාන අපේක්ෂකයන් බහුතරයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. අනෙක් පැත්තෙන් ඔවුහු විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ද තම ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කරමින් තම අදහස් මතවාද ඉදිරිපත් කරමින් ඒවා සාකච්ජා කරමින් සිටිති.
මෙම පසුබිමේ දී ජනාධිපති අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අතර සම්බන්ධය අවබෝධය තේරුම් ගැනීම වැදගත් කාරණයකි. නූතන යුගය වනවිට එක් පැත්තකින් දේශපාලන තන්ත්‍රයත් අනෙක් පැත්තෙන් රටේ පරමාධිපත්‍ය නියෝජනය කරන මහජනතාවත් අතර පවත්නා දුරස්ථභාවය පරස්පරතාව එන්න එන්නම වර්ධනය වන ප්‍රවණතාවක් දැකිය හැකිය. පොදුවේ ගත් විට එය ලෝකය පුරාම දැකිය හැකි තත්වයකි. ගෝලීය දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පොදු මහජනතාවගෙන් වේගයෙන් ඈත් වෙමින් තිබේ. අපේ රට වැනි ජාතික රාජ්‍යයක් ගත්තත් එහි කටයුතු කරන ප්‍රභූ දේශපාලන පැලැන්තිය හා පොදු ජනතාව අතර පරතරය වේගයෙන් වැඩිවන සැටි දැකිය හැකිය. එය මෑත කාලීනව මැතිවරණ පැවැත්වෙන කාල වකවානුවල පමණක් නොව මැතිවරණ නොපැවැත්වෙන කාලවලදීද වර්ධනය වූ තත්වයකි. මැතිවරණ සමයක දී අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රකාශනවලින් පැහැදිලිව පෙනෙන්නේ කුමක්ද? බිම් මට්ටමේ සිටින පොදු ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඕනෑ එපාකම් ඔවුන් මුහුණ පා ඇති සැබෑ ජීවන ගැටලු එක් පැත්තක තිබෙන අතර පාලක පන්තිය මුහුණ පාන ගැටලු තවත් පැත්තක තිබෙන බවය. මේ ක්ෂේත්‍ර දෙක අතර වෙනස්කම් දැකිය හැකිය. මැතිවරණ සමයකදී අපේක්ෂකයන් කරන ජනතා ආමන්ත්‍රණවලදී මේ තත්වය පැහැදිලිව දක්නට ඇත. මහජනතාවගේ ප්‍රශ්න පාදක කරගෙන එම ප්‍රශ්නවලට අමතන ස්වරූපයෙන් බොහෝ දේශපාලකයන් ඇත්තෙන්ම කතාකරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයි. එනම් දේශපාලන පන්තිය මුහුණ දී සිටින ප්‍රශ්නයි.
මේ අවස්ථාවේ ජනමාධ්‍යවල හැසිරීම් ප්‍රධාන තල දෙකකින් හඳුනා ගන්නට පුළුවන. එක් පැත්තකින් රටක ජනමතය තහවුරු කරන්නට සමාජයේ ජීවත්වන සාමාන්‍ය ජනාතාවගේ ප්‍රශ්න සාකච්ජා කරන වේදිකාවක් ගොඩනගන මාධ්‍ය භාවිතය ඉන් එකකි. ඒ සඳහා මේ මොහොතේ ජනමාධ්‍ය තුළ කොපමණ ඉඩක් වෙන් වී තිබෙනවාද? ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ එම ගැටලු කොතෙක් දුරට නියෝජනය වෙනවාද? යන ප්‍රශ්නය විමසිය යුතුය. අනෙක් පැත්තෙන් දේශපාලන පන්තිය මාධ්‍යවලින් ඉදිරිපත් කරන ප්‍රශ්න හා විසඳුම් යෝජනා මගින් සමාජයේ ඇතිවන මතවාදයයි. එය සංහතික මතය ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් මේ මත දෙක අතර පුළුල් වෙනසක් දැකිය හැකිය. එහි පෙනෙන්නට තිබෙන්නේ එකිනෙකට වෙනස් මතවාද දෙකකි. පළමුවැනි මතය තුළ තිබෙන්නේ සැබෑ ජනතාවගේ ප්‍රශ්නයි. ඒවා ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල සැබෑ ලෙසම දක්නට ලැබෙනවාද? යන කාරණය සමාජය තුළ සාකච්ජාවට ලක් විය යුතුව තිබේ. ජනතාව සැබෑ ලෙසින් අත් විඳින බඩු මිල, බදු බර, වැටුප්, ජීවන වියදම, සෞඛ්‍යය, වෘත්තීය, අධ්‍යාපන ආදි ප්‍රශ්න සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යාපාරික වශයෙන් මුහුණ දී තිබෙන ප්‍රශ්න, ආදිය නිරාකරණය කරගැනීම සඳහා බලපෑමක් දේශපාලකයන්ගේ පොරොන්දු ප්‍රතිපත්තිවලින් කොතෙක් දුරට සිදුවන්නේද යන්න විමසා බැලීම වටී. වැදගත් වන්නේ සැබෑ ජන මතයේ බිම් මට්ටමේ දැකිය හැකි ඇත්ත ප්‍රශ්නය හඳුනා ගැනීමය. පසුගිය කාලයේ කඩාවැටීමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක විය යුතු මූල්‍ය හා ණය ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් වූ බවක් පෙනෙන්නට නැත. එයින් සිදු වූයේ හැකිළෙන ආර්ථිකයක් නිර්මාණය වීමය. දේශපාලන ප්‍රභූ පැලැන්තිය තුළ ද පැවැතියේ මේ අදහසය. මෙවැනි බිම් මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් දේශපාලකයන් දේශපාලන වේදිකාවල යම් යම් අදහස් ප්‍රකාශ කළත් ඊට විකල්ප ඉදිරිපත් කළ හැකි සැබෑ වැඩපිළිවෙළක් දැකිය නොහැකිය. මෙයින් පැහැදිලිවන්නේ ජන මතයට ලොකු ඉඩක් නොලැබී ඇති බවය. මේ ජනාධිපතිවරණ සමය තුළ සැබෑ ජනමතය හුදෙකලා වූ තත්වයක් දැකිය හැකිය. බිම් මට්ටමේ ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරන සැබෑ ජනමතය අභිබවා සංහතික මතය මතුවී තිබේ. බොහෝ අපේක්ෂකයන්ගේ කතාවලින් මතුවන්නේ පාලක පන්තියේ ප්‍රශ්න ය.
මැතිවරණ සමය තුළ ජනතා මතය යටපත් වී දේශපාලන ප්‍රභූත්වය සහ එම ප්‍රභූත්වයට අයත් විවිධ කණ්ඩායම් අතර රාජ්‍ය බලය සඳහා වූ අරගලය තීව්‍ර වෙමින් පවතී. එම නිසා සැබෑ ජනමතය තව දුරටත් ඈතට යනු ඇත. ඒ වෙනුවට ව්‍යාජ සංහතික මතයක් සමාජ ගත වීම සිදු වේ. මේ වනවිට අපේ සමාජයේ ජන්දදායකයන්ගේ මානසිකත්වය මතවාදී නැඹුරුව මනෝභාවය හැඩ ගැසී ඇත්තේ ඒ ව්‍යාජ සංහතික මතයට ගැලපෙන පරිදිය. සැප්තැම්බර් 21 දා තීරණය වන්නේ බොහෝ විට ජන මතය තුළින් මතුවන සැබෑ අවශ්‍යතා නොව දේශපාලන තන්ත්‍රය මගින් මහජනතාවට ආරෝපණය කරන ලද සංහතික මතයයි. එතැනට ජනමතය සකස් කිරීම රටකට කෙතරම් යථාර්ථවාදීව ගලපා ගත හැකිද යන්න විමසිය යුත්තකි.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන බලය සහ සන්නිවේදන මාධ්‍ය අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් පවතී. දේශපාලන බලය හැඩ ගැසීමේ පවත්වාගෙන යෑමේ මූලිකම යාන්ත්‍රණයක් හා ක්ෂේත්‍රයක් හැටියට මාධ්‍ය ක්‍රියා කරයි. මාධ්‍යයේ අප අර කලින් කී ද්විත්ව ක්‍රියාකාරීත්වය අපේ රටේ පමණක් නොව ලෝකයේ තවත් රටවල දැකිය හැකි තත්වයකි. ජනාධිපතිවරණයට අදාළ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කේන්ද්‍රීය සාකච්ජාවක් ලෙසට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීම දැක්විය හැකිය. ආණ්ඩු පක්ෂය එම සංවාදය මූලිකව රැගෙන ආ බව දැකිය හැකිය. එම කාරණය සාධාරණීකරණය කිරීම ප්‍රබල අන්දමින් සිදු කිරීම පසුගිය කාලය පුරාම පෙනෙන්නට විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන යෝජනාවලින් තොර විකල්පයක් නැති බව ආණ්ඩුවේ බොහෝ දෙනා අවධාරණය කළහ. මුලදී විපක්ෂ කණ්ඩායම් මෙම මතය ප්‍රතික්ෂේප කළත් ඔවුන් ද දැන් ක්‍රමානුකූලව පාලක පන්තියේ මූලික අදහසට එකඟ වී ඇති බව පෙනේ. ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන මගම යායුතු බවත් එය එකම විකල්පය බවත් මේ වනවිට ප්‍රධාන පෙළේ සියලුම ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රකාශ කරමින් සිටිති. මේ කාරණයේදී ද ඉස්මතු වන්නේ බිම් මට්ටමේ සැබෑ ජනමතය එයින් නියෝජනය නොවන බවය.
රට තුළ පවත්නේ ආර්ථික විවිධත්වයකි. ජනතාව විවිධ ආර්ථික මට්ටම්වල සිටිති. ඔවුන්ගේ එම ආර්ථික අවශ්‍යතාවලට සාධාරණය ඉෂ්ට කරන නිෂ්පාදන ආර්ථිකයක් රටට අවශ්‍ය වේ. එහෙත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඊට පටහැණි බිම් මට්ටමට දුරස් එකකි. ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නැතැයි ප්‍රකාශ කරමින් සිටින්නේ එවන් පසුබිමක් තුළය. එයින් පැහැදිලි වන්නේ වඩාත් ඉස්මතු වන්නේ සැබෑ ජනමතය නොව පාලක පන්තිය සමාජයට ලබා දී ඇති මතය බවයි. මේ මැතිවරණ සන්දර්භය තුළ ජනතාවගේත් රටේත් මූලික අවශ්‍යතා හා සැබෑ වුවමනාවන් වෙනුවට ගෝලීය උපරි ආර්ථිකයට ඕනෑ ආකාරයට ජාතික ආර්ථිකයේ පවත්නා තත්වයන් වෙනස් කිරීමට හැකි ආකාරයේ යම් යම් ප්‍රතිපත්තිවලට ඇතැම් අපේක්ෂකයන්ම තම ආර්ථික ප්‍රතිපත්ති තුළ නිල හෝ නොනිල එකඟතාවලට පැමිණෙමින් සිටින බව පෙනේ.
දේශපාලනික වශයෙන් මෙබඳු කාරණාවල ඇත්තේ විශාල පරස්පරතාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳිය හැකිය යන මිථ්‍යාව, අදූරදර්ශී ආර්ථික දෘෂ්ටිය දේශපාලකයන් තව දුරටත් සමාජ ගත කිරීම දීර්ඝ කාලීනව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට විශාල බාධාවකි. මේ සම්බන්ධ කතිකාව යම් ප්‍රමාණයකට ජනමාධ්‍ය තුළ මතු වුවත් විනිවිදභාවයෙන් යුතු ගැඹුරු කතිකාවක් ඊට අවශ්‍යය. ඊට ජනමාධ්‍ය සහ දේශපාලකයන් පමණක් නොව පොදු මහජනතාවද සංවේදී විය යුතුය. එසේ නොමැති වුවහොත් එය අපේ සමාජයේ නියම ආර්ථික දේශපාලන හා සමාජ යථාර්ථය නිරූපණය කරන මතයක් නොවනු ඇත.
ජනාධිපති අපේක්ෂකයන් බහුතරය තුළ දැකිය හැක්කේ වාචික හා මතවාදී ප්‍රකාශ වේ. එහෙත් කිසිවකුගේ නිසි අවධානයට ලක් නොවූ ඉතා වැදගත් කරුණු කිහිපයක් වෙයි. පසුගිය වසර දෙක තුන තුළ ලෝකයේ සිදුවූ භූ ආර්ථික දේශපාලනික වෙනස්කම් හා එයින් ඇතිවූ ලෝක ආර්ථික යථාර්ථය තේරුම් ගැනීම ඉන් එකකි. පැරණි ආර්ථික මොඩලයේ පවත්නා අකාර්යක්ෂමතාව එයින් ඇති වූ අර්බුද හා ඊට විකල්ප කවරේද යන ප්‍රශ්නවලට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සැබෑ අදහසක් මතුවන බවක් නොපෙනේ. බොහෝ දේශපාලකයන් තවමත් කල්පනා කරන බව පෙනෙන්නේ මේ අලුත් තත්වය තුළත් පැරැණි ආර්ථික මොඩලයම භාවිත කිරීම ගැනය. එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආදියට යම් යම් විකල්ප ආසියානු කලාපය තුළ පවා දැන් නිර්මාණය වී ඇත. එය ලෝකයේ නව ප්‍රවණතාවකි. මුළු ලෝකය පුරාම දේශපාලනික හා ආර්ථික ව්‍යුහය වෙනස් වෙමින් පවතී. පසුගිය වසර පනහ තුළ ක්‍රියාත්මක වූ භූ තාක්ෂණික ක්‍රමවේද වෙනස් වෙමින් පවතී. මේ නව යථාර්ථය මෙරට දේශපාලකයන් හොඳින් තේරුම් ගත යුතුව ඇත.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)