ඡන්දයේදී උතුර කොයිබටද?


ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන  දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට ඉකුත් සෙනසුරාදා තීරණය කළ බවට ඉරිදා පුවත්පත්වල පළවිය.

මීට පෙර වෙනත් අතැම් දේශපාලන පක්ෂ මෙසේ යම් යම් අපේක්ෂකයන්ට සහාය දෙන්නට තීරණය කළ විට මෙන්ම මෙයද අලුත් ප්‍රවෘත්තියක් සේ ඇතැම් ජනමාධ්‍ය ගෙන හැර පානු පෙනේ.

වතුකරයේ දෙමළ ප්‍රගතශීලී පෙරමුණට අයත් පක්ෂ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය යන පක්ෂ පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට තීරණය කළේය. මෙම තීරණ පවතින දේශපාලන බල  තුලනයේ කිසිදු වෙනසක් කරන්නේ නැත. මන්දයත්  එම පක්ෂ 2019 සිටම ප්‍රේමදාස මහතාටත් ඒ මහතාගේ පක්ෂයටත් සහාය දෙමින් සිටී. මෙම තීරණ එම පක්ෂවල පරිපාලන අවශ්‍යතා සඳහාත් ජනමතයට බලපෑම් කිරීම සඳහාත් ගනු ලබන ඒවාය.

තමිල් අරසු කච්චි පක්ෂය 2019 ජනාධිපතිවරණයේදීද සහාය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේෂකයා  වූ සජිත් ප්‍රේමදාස මහතාටය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී  එම පක්ෂය තනිව තරග කළද ප්‍රේමදාස මහතා සමඟ හෝ සජබ සමඟ හෝ කිසිදු ආරවුලක් ඇති කර ගත්තේ නැත.  එහෙයින් මෙවර තමිල් අරසු  කච්චි පක්ෂය ප්‍රේමදාස මහතාට සහාය දීම අලුත් පුවතක් ලෙස සැලකීම අලුත් ප්‍රවණතාවක් සේ සැලකිය නොහැක.

මෙය අලුත්ම තත්වයක් නම් එය දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිද්ධියකි. මන්දයත් තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය කාලය පුරා දෙමළ හා මුස්ලිම් පක්ෂ අතරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් පාලනය කිරීමේ හැකියාවෙන් යුත් තනි පක්ෂය විය. මීට පෙර එනම් සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංගසයට  නායකත්වය  දෙන කාලයේදී ඡන්ද විශාල සංඛ්‍යාවක් පාලනය කළ හැකි සුළු ජාතික පක්ෂයක් විය. මේ වනවිට වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසයේ බලය විශාල වශයෙන් අඩු වී ඇ ත.

 උතුරේ ප්‍රධාන පක්ෂය ලෙස සැලකුණද තමිල් අරසු කච්චි පක්ෂයද දැන් පෙර මෙන් ප්‍රබල නැත. එය පසුගිය (2020) පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතා පැහැදිලිව පෙනෙන්ට තිබිණි. විශේෂයෙන්ම එම මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් එම පක්ෂය ඡන්ද 112,967ක්  ලබා ගන්නා විට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය (ඊ.පී.ඩී.පී) යන පක්ෂ ගත් ඡන්දවල එකතුව ලක්ෂ එකහමාරකට අධිකය. තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණය උතුරේ දෙමළ ජනතාවගේ තීරණය ලෙස හෝ එම ජනතාවගෙන් බහුතරයකගේ තීරණය ලෙස හෝ සැලකිය නොහැක්කේ එහෙයිනි.

මෙය උතුරු නැගෙනහිර අනෙක් දිස්ත්‍රික්කවලද දක්නට ලැබුණ තත්වයකි. වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද 287,837 න් තමිල් අරසු කච්චි පක්ෂය ලබා ගත්තේ ඡන්ද 69,916කි. මඩකළපු දිස්ත්‍රික්කයේදී  තමිල් අරසු කච්චි පක්ෂය එහි ඡන්ද 298,012කින් ඡන්ද 79,460ක් ගත් අතර හිටපු කොටි නායකයකු හා  හිටපු ප්‍රධාන ඇමැතිවරයකු වන සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් ගේ (පිල්ලයාන්ගේ) පක්ෂය ඡන්ද 67,692ක් ලබා ගත්තේය. ත්‍රිකුණාමලය හා දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලද දෙමළ ජනතාවගෙන් අඩකගේ ඡන්ද ලබා ගන්නට ඊට නොහැකි විය.

තමිල් අරසු කච්චි පක්ෂය  මෙවර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ප්‍රකාශ කළේ එම පක්ෂය දරුණු  අභ්‍යන්තර ගැටුම් පවතින තත්වයක් තුළය. එපමණක් නොව මෙම තීරණයද එම ගැටුම් උත්සන්න කර ඇති බව පෙනේ. එසේම දෙමළ පක්ෂවල පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස තමිල් අරසු කච්චි පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පී.ආරියනේත්තිරන් මහතා ඉදිරිපත් වී සිටී.

තමිල් අරසු කච්චි පක්ෂය තුළ නායකත්වය පිළිබඳ අර්බුදයක් පැහැදිලිව ඉස්මතු වුයේ පසුගිය වසරේ අවසානයේදීය. ඒ එතෙක් එම පක්ෂයේ සභාපතිවරයා ලෙස සිටි මාවයි සේනාධි රාජා මහතා තවත් අයකුට ඉඩ දෙමින් එම ධුරයෙන් ඉවත්වීම නිසාය.

ජනවාරි 21 වැනිදා තව නායකයකු තෝරා ගැනීම සඳහා තමිල් අරසු කච්චි පක්ෂයේ මහා සභා රැස්වීමක් ත්‍රිකුණාමලයේ පැවැති අතර එහිදී යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා සභාපති ධුරයට පත්විය. ඔහුට එරෙහිව තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා ලබා ගත්තේ ඡන්ද 137ක් පමණි.

මෙය තමිල් අරසු කච්චි පක්ෂය  මතවාදීමය. වශයෙන් සිටින ස්ථානය කදිමට පෙන්වූ අවස්ථාවක් විය. තිස්වසරකට වැඩි කාලයක් පැවැති යුද්ධය අවසන්  වී වසර පහළොවකට පමණ පසු පැවැති මෙම නිලවරණයේදී එම පක්ෂයේ බහුතරය තම නායකයා වශයෙන් තෝරා ගත්තේ දකුණේ සිතුම් පැතුම් නොතකා තීරණ ගන්නා අයෙකි. පසුගිය කාලයේදී සුළුවෙන් හෝ ජාතික දේශපාලනය  වෙතට යොමු වූ සුමන්දිරන් මහතා සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය විය.

ඉන්පසු මෙම නිලවරණයට එරෙහිව පිරිසක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙබරවාරි 22 වැනිදා ත්‍රිකුණාමලය දිසා අධිකරණය ශ්‍රීධරන්  මහතා ඇතුළු පිරිසකට අතුරු තහනම් නියෝගයක් පැනවීය. කෙසේ වෙතත් මෙහි දී වැදගත් වන්නේ එම තනතුර නොව ශ්‍රීධරන් මහතා එම තනතුරට පත්වීමේදී ප්‍රකාශ  වූ තමිල් අරසු කච්චි පක්ෂයේ මතවාදයයි.

එම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට ඉකුත් සෙනසුරාදා තීරණය කොට තිබුණේ ඒ පසුබිම තුළය. එම ප්‍රවෘත්තියත් සමගම එම පක්ෂයේ හිටපු සභාපති මාවයි සේනාධිරාජා මහතා කළ ප්‍රකාශයක්ද ජනමාධ්‍යවල පළවිය. ඔහු ප්‍රකාශ කොට තිබුණේ පක්ෂයේ වැදගත් නායකයන් ගණනාවක් සහභාගි නොවූ පක්ෂයේ මහා සභා රැස්වීමකදී ගන්නා ලද මෙම තීරණය පක්ෂයේ මතය නියෝජනය නොකරන බවය. එහෙත් කුමක් හෝ හේතුවකින්  පසුදාම එම මතය වෙනස් කර ගත් සේනාධිරාජා මහතා තමන්ද පක්ෂය ගත්  එම තීරණයට සහාය දක්වන බව ප්‍රකාශ කොට තිබිණි.

නායකයන් කුමක් තීරණය කළද සජිත්  ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට තමිල් අරසු කච්චි පක්ෂය ගත් තීරණයට එම පක්ෂයේ ඡන්ද පදනම තුළ කොතරම් පිළිගැනීමක් ඇත්ද යන්න දැනගත හැකිවනු ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වී සිටින එම පක්ෂයේම අරියනේත්තිරන් මහතා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුවය.

උතුරු නැගෙනහිර ජනතාව දකුණේ නායකයන්ගේ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම ලෝකයට හඬ ගා කීම  සඳහා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි ද දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි ද මත දෙකක් පසුගිය වසරේ අවසානයේ දී උතුරේ දේශපාලනඥයන් අතර මතුවිය. එයින් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යන මතය වඩා ශක්තිමත් වූ අතර ඒ සම්බන්ධයෙන් මුල් වී කටයුතු කළේ ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලෝට්, ටෙලෝ, දෙමළ ජාතික පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී සටන් කාමීන්ගේ පක්ෂය යන පක්ෂ පහේ සන්ධානය වූ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික පෙරමුණයි.

තමිල් අරසු කච්චි පක්ෂය නිල වශයෙන් මෙම අදහස ප්‍රතික්ෂේප කළද ජනවාරි මාසයේ එම පක්ෂයේ සභාපති ධුරයට පත් වූ ශ්‍රීධරන් මහතා ඇතුළු පක්ෂයේ වඩාත් ජාතිකවාදී පිරිස එම අදහසට ප්‍රසිද්ධියේ සහාය දෙන බවක් පෙනී ගියේය. ඒ අතර මෙම මතය  වෙනුවෙන් පෙනී සිටි පිරිස තමන්ගෙන් කෙනකු ඉදිරිපත් නොකොට තමිල් අරසු කච්චි පක්ෂයේ කෙනකු ඉදිරිපත් කරන්නට තීරණය කිරීමත් සමඟ එම අදහස තවදුරටත් උතුරේ ජනප්‍රිය වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ.

මේ සියලු තත්වයන් සාරාංශ කොට ගත් කල පෙනෙන තත්ත්වය මෙසේය. යුද්ධයෙන් පසු ගත වූ කාලය තුළ තමිල් අරසු කච්චි පක්ෂයේ ඡන්ද පදනම යම් තරමකට දිය වී ගොස් තිබේ. පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලවලින්  පෙනෙන්නේ එයයි. ඒ අතර එම පක්ෂය  තුළ ජාතිකවාදී කණ්ඩායම ශක්තිමත් වී සිටී. එම කණ්ඩායම දෙමළ පොදු අපේක්ෂකයාට සහාය දීමේ වැඩි ඉඩකඩක් ඇති බව පෙනේ.

ජනාධිපතිවරණවලදී තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් තීරණය ගන්නා ආකාරය සැමදාම ප්‍රශ්නකාරී විය. ඒ එවැනි සෑම අවස්ථාවකදීම ඔවුන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත සාම්ප්‍රදායික කොන්දේසි මාලාවක් ඉදිරිපත් කොට එම කොන්දේසි ඉටු නොවූ තත්වයේදී කවුරුන් හෝ ජාතික මට්ටමේ අපේක්ෂකයකු හට සහායදීම නිසාය.

යුද්ධය අවසාන වූ වහාම 2010 ජනාධිපතිවරණයේදී කොටි සංවිධානයේ පරාජය පිළිබඳව නොසතුට පළ කරමින්ම  ඔවුහු එම සංවිධානය පරාජය කිරීමෙහිලා නායකත්වය දුන් හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාට සහාය දුන්හ. එතැන දී ඔවුනට වැදගත් වූයේ සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය  කරවීම නොව ඔහු සමග තරග කළ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමයි. ඒ රාජපක්ෂ මහතා දකුණේදී යුද්ධ ජයග්‍රහණයේ කීර්තිය අත්පත් කර ගැනීමට අනුරූපව දෙමළ ජනතාව අතර  අප්‍රසාදයට ලක්ව සිටීම නිසාය.

 2015 දී මෙන්ම 2019 දීද දෙමළ හා මුස්ලිම් ජනතාවට වහ කදුරු වී සිටි රාජපක්ෂවරුන්ගෙන් කෙනකු තරග කළ  තත්වය යටතේ එම ජනතාවගේ  සහාය ලැබුණේ රාජපක්ෂ විරෝධී කඳවුරටය.

මෙවර තත්වය වෙනස්ය. මෙවරද රාජපක්ෂ පවුලේ අයකු ඉදිරිපත් වී සිටියද ඔහු ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හා ස්වාධීනව තරග කරන එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ යන තිදෙනාට වඩා පසුපසින් සිටින බව පෙනේ. ඔවුනට තීරණය ගන්නට  සිදුවූයේ ඒ තත්වය යටතේය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර දෙමළ නායකයන්ට වඩාත් සමීප වූ දකුණේ නායකයා බවට පත්වී සිටියේය. එහෙත් පසුගිය වසරේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිළිබඳව ඔහු ඉදිරිපත් කළ පරස්පර විරෝදී මත දෙමළ නායකයන්ගේ අප්‍රසාදයට ලක්විය. ආණ්ඩුව නොකඩවාම  දෙමළ ජනතාව රවටමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පසුගිය දෙසැම්බර් 21 වැනිදා ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රකාශ කළ බව දෙමළ  ජනමාධ්‍යවල පළවිය.  ජනාධිපතිවරයාගේ පාසල් මිතුරකුද වන දෙමළ ජනතා ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතාද එම අදහස මේ සතිය මුලදී ජනමාධ්‍යයට පවසා තිබිණි.

ඒකාබද්ධ වූ උතුරු නැගෙනහිර පළාත්වල ෆෙඩරල් ක්‍රමය පදනම් කරගත් විසඳුමකට තම පක්ස්‍ය සහය දෙන බව සුමන්දිරන් මහතා පසුගිය මාසයේ 23 වැනිදා ප්‍රකාශ කොට තිබිණි. එම කොන්දේසිය කිසිදු ප්‍රධාන අපේක්ෂකයකු පිළිගත්තේ නැත. ඒ අනුව ඔවුනට ඉතිරි වූයේ පොදු පේක්ෂකායා පමණි. එහෙත් සුමන්දිරන් කණ්ඩායම ඔහුට කැමැති නැත.

ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් මෑත කාලයේ දී දෙමළ නායකයන් සැලකිය යුතු විශේෂිත විවේචනයක් කළේ නැත. එහෙත් තමිල් අරසු කච්චි පක්ෂයේ ඉහළ නායකත්වයේ  පන්ති පදනම සමඟ ජාතික ජනබලවේගයේ ප්‍රකාශිත සැලසුම් ගැළපෙන්නේ නැත. ඔවුන් අවසානයේ දී තම කොන්දේසි  පිළිබඳව කිසිත් නොපවසා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට තීරණය කරන්නට ඇත්තේ ඒ අනුව විය යුතුය.

(*** එම්.එස්.එම්. අයුබ්)