ඡන්මය අමතක වුණු දොස්තර පුතෙක්


sdgxdfg

dfh

 

 

දෙවැනි ඊළාම් යුද්ධයේ දෝකාංකරය වව්නියාව නගරයට දැඩිව දැනෙමින් පැවති 1995 වර්ෂයේ මාමඩුවේ සිට තිරුවේගම දක්වා පැතිර පැවැති ආරක්ෂක කුටි 160 කට අධික ආරක්ෂක වළල්ලේ ප‍්‍රධාන රාජකාරි භාර නිලධාරියා ලෙස සේවය කිරීම මාවෙත පැවරුණු රාජකාරි වගකීමක් විය. අනුරාධපුර දිස්ත‍්‍රික්ක මායිම වූ මල්වතු ඔය ඉවුරේ සිට ”තිරුවේගම” දක්වා බංකර 1000 කට වැඩියෙන් සමන්විත වූ වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ල කලාප කිහිපයකට බෙදා එම කලාපවල ආරක්ෂාව සහකාර පොලිස් අධිකාරිවරුන් සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වෙත පවරා තිබිණි. මෙම ඉදිරි ආරක්ෂක වළල්ල එයින් හැඩවීමට නිල නොවන දේශ සීමාවක් නිර්මාණය කර තිබූ අතර ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් පිහිටි ප‍්‍රදේශයේ නිල නොවන පාලකයන් වූයේ LTTE සංවිධානයයි.

 

 


ඒ අතරතුර වරින් වර LTTE ත‍්‍රස්තවාදීන් ආරක්ෂක වළල්ලට පහරදීම සිදු කරනු ලැබූ අතර සමහර අවස්ථාවල ආරක්ෂක වළල්ලට පහර දී බිඳ දමා එම ස්ථානයෙන් වළල්ල තුළට පැමිණ හමුදා සහ පොලිස් අනුඛණ්ඩවලට පහර දී ඝාතනයන් සිදු කළ අවස්ථා ද විරල නොවීය. මගේ අණසකට යටත්ව තිබූ මඩුකන්ද කලාපයේ ප‍්‍රධාන මෙහෙයුම් ස්ථානය මඩුකන්ද දළදා විහාරයට යාව තිබූ කලින් ප‍්‍රාදේශීය සභා උප කාර්යාලය පැවැති ගොඩනැගිල්ලෙහි පිහිටා තිබූ අතර, මීට කලින් උප කාර්යාලය සභාපතිගේ කාර්යාලය ලෙස භාවිත කරන ලද එකම කාමරය මගේ කාර්යාලය සහ නිදන කාමරය ලෙස ද්විත්ව කාර්යය භාරයක් ඉටු කළ අතර කාමරයට පිටින් වහලයට ඉලූක් සෙවිලි කර කොට වරිච්චි බිත්ති බැඳ බිමට මැටි යොදා තාවකාලිකව තනාගත් ”රොබින්සන් කෲසෝ” පන්නයේ ගිම්හාන කාමරයක් ද මාගේ භාවිතය වෙනුවෙන් පිළියෙළ කර ගත්තේය.


වැව් තාවලූවල දිරාගිය එහෙත් ශක්තිමත් කුඹුක් කොටවලින් අපූර්වට සකස් කරන ලද පුටු කිහිපයක් සහ ටීපෝවක් මගේ ගිම්හාන කාමරයේ ගෘහ භාණ්ඩ වූ අතර මීට අමතරව කැන්වස් රෙද්දක් යොදා සකස් කරන ලද ඉතා සුව පහසු හාන්සි පුටුවක් ද මෙම ගෘහ භාණ්ඩ අතර විය. රාජකාරියෙන් බැහැර වේලාවල මා වැඩිපුර ගිම්හාන කාමරයේ හාන්සි පුටුවට බරදී පොත් පත් සහ පත්තර කියවීම සිදු කළ අතර මෙහෙයුම් කලාපවල සේවය කරන බොහෝ නිලධාරීන් තම රාජකාරි පහසුව සඳහා සෑම විටම නිල ඇඳුමට වඩා සැහැල්ලූ කැලෑ ඇඳුමට හුරුවී සිටි පුරුද්දට බොහෝ විට කැලෑ ඇඳුමකින් සැරසී දෛනික රාජකාරිවල යෙදීම වඩාත් ප‍්‍රිය කළ බව කිවහොත් නිවැරදියි.

SLTK_16
ඉදිරි ආරක්ෂක වළල්ලේ මා විසින් පාලනය කරන ලද කොටසට එනම් මඩුකන්දේ සිට තිරුවේගම දක්වා වූ කිලෝමීටර් 06ක් දක්වා වූ ප‍්‍රදේශය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ ඉදිරි ආරක්ෂක වළල්ලේ බංකර් නොහොත් ආරක්ෂක කුටිවල රාජකාරි යෙදෙව්වෙමි. මෙම නිලධාරීන් 300 පාලනය කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකුගේ නායකත්වයෙන් යුත් කුඩා කණ්ඩායම් මුරපළවල් 05ක් කිලෝමීටර් 06ක් දුර වූ ආරක්ෂක වළල්ලේ තැනින් තැන තැබුවෙමි. මෙම සිලූම නිලධාරීන්ගේ පාලන කටයුතු මා නැවතී සිටි ප‍්‍රධාන ස්ථානය විසින් සිදු කළ අතර ආරක්ෂක කලාපයට අයත් සියලූම වාහන, අතිරේක අවි සහ උණ්ඩ සියල්ල ද මෙම ස්ථානයේ තැබුවෙමි. ආරක්ෂක වළල්ලේ ප‍්‍රධානියා වූ මා වෙනුවෙන් හය දෙනකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් රාජකාරි යෙදී සිටි අතර එම හය දෙනාට ආරක්ෂකයෝ සිව් දෙදෙනෙක් අරක්කැමියෙක් හා රියදුරෙක් අයත් වූහ. මා ඇතුළු අපේ කණ්ඩායම සඳහා වෙනමම මුළුතැන්ගෙයක් භාවිත කළ අතර වන්නියේ කැලෑවල වැවෙන තුඹ කරවිල, හේන් කැකිරි වැනි එළවළු මෙන්ම  ඕලූ හාල් ද, වැව් මාළු ද ආහාරයට ගැනීමේ අවකාශය මෙම කුඩා භෝජනාගාරය නිසා මා වෙත උදා වී තිබුණු බව සඳහන් කළ යුතුයි.


වායු සමන යන්ත‍්‍ර, කේබල් ටී. වී. වැනි සුඛෝපභෝගී පහසුකම් වලින් තොරව අවම පහසුකම් යටතේ කොයිවේලේ සතුරු ප‍්‍රහාරයක් එල්ලවේ දෝ යන සැකය මත මරණයේ සෙවණැල්ල යට දිවිගෙව්ව ද නිලධාරීන් සෙසු නිලයන් අතර නැති දැඩි සහෝදර බැඳීමකින් යුතුව මෙහෙයුම් කලාපයේ ගෙවන ලද එම සැහැල්ලූ දිවියට මම අදත් ඇලූම් කරමි.


අමිහිරි යුද්ධය හේතුවෙන් තම උන්හිටිතැන් අහිමි වූ දමිළ සරණාගතයින් දහස් ගණනක් තාවකාලිකව ලැගුම්ගෙන සිටි සරණාගත කඳවුරු රාශියක් වව්නියාව නගරය මැදිකොට මේ වන විටත් ක‍්‍රියාත්මකව පවතින ලදී. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරස් කාර්යාලයේ (UNHCR) ඍජු අධීක්ෂණයට යටත්ව පැවැති මෙම කඳුවරුවල දිවි ගෙවූවන්ගේ ජීවිතය ඉතා දුක්බර විය. තාවකාලිකව තනන ලද කූඩාරම් තුළ අවම ජල හා සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ ගාල් කර සිටි මෙම අසරණ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉතා කටුක වූ අතර, යමක් කමක් ඇති දමිළ ජනතාව සරණාගතයින් ලෙස කැනඩාව, ප‍්‍රංශය, මහා බි‍්‍රතාන්‍යය වෙත ඉගිලෙද්දී ”වලිගය නැති ගොනා” වැනි වූ මෙම අසරණයින් ගාල්වූයේ මෙවැනි සරණාගත කඳවුරු තුළටය. දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදි වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සිය දියණිය වූ ද්වර්තා සහ පුතනුවන් වන චාල්ස් ඇන්තනී සමග මුලතිව් ගණ වනය තුළ තැනුනු සුඛෝපභෝගී නිවෙසක සිට ප‍්‍රියතම ආහාරය වූ චීන කෑම වළඳමින් ක්ලින්ට් ඊස්ට්වුඞ් රඟන චිත‍්‍රපට නරඹමින් පිහිණුම් තටාකවල නිල්වන් ජලයේ පිහිනද්දී එම විමුක්තියේ හිමිකාරයින් විය යුතු මේ අසරණ ජනතාව හිසට වහලක් කුසට අහරක් නොමැතිව සරණාගත කඳවුරුවල දහදුක් විඳීම සැබෑ විමුක්ති අරගලයක ප‍්‍රතිඵලවී විය.


එවකට වව්නියාව නගරයේ පැවැති ආරක්ෂක තත්ත්වය අනුව LTTE පිස්තෝලකරුවන් ආරක්ෂක අංශ උසස් නිලධාරීන් ඉලක්ක කරගනිමින් නගරය තුළ සැරිසරන බවට ලැබී තිබූ බුද්ධි වාර්තා පදනම් කරගෙන පුරුද්දක් ලෙස ගමන් සඳහා එකම වේලාව, වාහනය, භාවිත කිරීම, නිශ්චිත ස්ථානවල රැුඳීසිටීම වැනි ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටීමට අප වෙත උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී තිබූ අතර එම උපදෙස් අකුරටම පිළිපදිමින් ”අනුන් බේරා තමන් බේරී පරෙස්සම්වීම මැනවි” යන සංකල්පයේ පිහිටා අපි සැමවිටම ක‍්‍රියා කළෙමු. මේ හේතුවෙන් කොණ්ඩය කැපීම වැනි කටයුතු සඳහා නගරයේ පිහිටි ”බාබර් සාප්පු” වෙත යාම කිිසිවකු සිදු නොකළ අතර ආරක්ෂක හමුදා කඳවුරු තුළ කරණවෑමියන් සේවය කළ නිසා ආරක්ෂක හමුදා සගයන්ට මෙය ප‍්‍රශ්නයක් නොවූ නමුත් පොලිස් නිලධාරීහූ මේ සඳහා ”දුවන බාබර් සාප්පු” නොහොත් ''Mobil Saloon˜ වල සේවය ලබා ගත්හ. දහස් ගණනක් වූ පොලිස් නිලධාරීන්ගේ කොණ්ඩය කැපීමෙන් පමණක් තම ජීවිකාව සරිකරගත් ජංගම බාබර්වරුන් රාශියක් වව්නියාව නගරය තුළ සිටි අතර එම බාබර්වරුන්ගෙන් බොහෝමයක් සරණාගතයින් ලෙස වව්නියාව නගරය අවට පිහිටි සරණගාත කඳවුරු තුළ පදිංචිව සිටි අය වීම විශේෂිත කරුණක් විය.


මඩුකන්ද ඉදිරි ආරක්ෂක වළල්ලේ නොනිල කරණවෑමියාව සිටියේ අසල පිහිටි සිදම්බරපුරම් සරණාගත කඳවුරේ නැවතී සිටි ”සින්නදොරේ” නැමැත්තෙකි. තරමක් මිටි සිහින් සිරුරක් සහ බොකුටු ගැසුණු කොණ්ඩයකට උරුමකම් කියූ  ”සින්නදොරේ” නිතරම පියකරු සිනාවක් මුවඟ රැුඳි ප‍්‍රසන්න පුද්ගලයෙක් විය. කුරිරු යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස මාන්කුලම් ප‍්‍රදේශයේ සිට වව්නියාවට සරණාගතයකු ලෙස සිය බිරිඳ සහ තරුණ දියණිය සමග පැමිණ සිටි ”සින්නදොරේ” ඉතා හොඳින් සිංහල භාෂාව හැසිරවිය හැකි කෙනෙක් විය. බොහෝ පාරිභෝගිකයන් පුරුද්දක් ලෙස සිදු කරන පරිද්දෙන්ම මමද කොණ්ඩය කපන තුරුම සින්නදොරේ සමග දොඩමළු වීම පුරුද්දක් ලෙස සිදු කෙළෙමි.


ශ්‍රී ලංකාවේ ඉපිද දකුණු ඉන්දීය සංගීත ක්ෂේත‍්‍රය ඒකාලෝක කළ ”මොහොමඞ් රාෆි” ද ගායකයකු වීමට මුල් වූ හේතුව වී ඇත්තේ ඔහු කරණවෑමියකුව සිටියදී වයෝවෘද්ධ සංගීතඥයකුගේ කොණ්ඩය කපද්දී ”රාෆි” විසින් මුමුණන ලද ගීයක් සංගීතඥයාගේ සවනට වැකීමෙන් සංගීතඥයා රාෆිගේ සහජ කුසලතාවය හඳුනාගෙන ඔහු ගායකයකු කළ බව කටකතාවක් ලෙස මා අසා ඇත. මා සින්නදොරේ සමග දොඩමළු වූ බොහෝ අවස්ථාවල මාතෘකාව වී තිබුණේ සරණාගත කඳවුරේ සිදුවන සිද්ධීන්, ප‍්‍රදේශය පුරා පැතිරෙන කට කතා, එවකට වව්නියාවේ සිවිල් පාලනයට රජය සමග සම්බන්ධව සිටි ප්ලොට් සහ ටෙලෝ ක‍්‍රියාකාරීන් සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවන් වැනි මාතෘකා ගැනය. දිනක් මාගේ කොණ්ඩය කපමින් සිටියදී අප වෙත පැමිණි මාගේ කාර්යාලයේ පොලිස් නිලධාරියකු දන්වා සිටියේ එවකට වව්නියාව ප‍්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සින්නදොරේ ගැන කාර්යාලයෙන් විමසූ බවත්, ඔහු මෙම ස්ථානයේ සිටී නම් ඔහුව රැුගෙන යාම සඳහා වාහනයක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාල විසින් එවන ලද බවය. මෙම පණිවිඩය හේතුවෙන් සින්නදොරේ හොඳටම බියපත්ව සිටි අතර හදිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරන ලද දැනුම් දීම හේතුවෙන් මා තුළ ද තරමක කුකුසක් ඇති විය.


මේ වකවානුවේ සරණාගත කඳවුරු තුළ පවා LTTE ඔත්තුකරුවන් රැඳී සිට අත්අඩංගුවට පත්ව සිටි අතර     ”සින්නදොරේ ද” එවැනි පුද්ගලයකු වුවහොත් එවැන්නකු කරණවෑමියකු ලෙස සේවයේ යොදවා ගැනීම හේතුවෙන් මාද උසස් නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්වේ යන සිතුවිල්ලක් මා වෙත නැගුනේ නිරායාසයෙනි. කරණවෑමි කාර්යය අවසන් වූ පසු මා සින්නදොරේ අමතා ඔහු වැරදි වැඩක් කර නොමැති නම් කිසි විටෙක බිය නොවන ලෙසත් යමක් විමසූවිට දන්නා ඇත්ත ප‍්‍රකාශ කරන ලෙසත් දන්වා ඒ වන විටත් ”සින්නදොරේ” ව රැුගෙන යාම සඳහා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් එවා තිබූ ජීප් රථයෙන් ඔහු පිටත් කර මම මාගේ සුපුරුදු කටයුතුවල නිරත වුනෙමි.


මෙම සිද්ධිය සිදු වූ දිනට පසු දින මා නියමිත දින 05ක විවේකය ලබා නිවසට ගිය අතර නිවාඩු අවසන් ව මා නැවතත් කාර්යාලයට පැමිණි දින ”සින්නදොරේ” සුපුරුදු පරිදි තනිකඩ භට නිවාසය ඉදිරිපිට තිබූ දැවැන්ත සියඹලා ගස යට සිය ජංගම බාබර් සාප්පුව යමින් සිටියේය.         ”සින්නදොරේ” දැකීමෙන් පෙර දින සිදු වූ සිද්ධිය නැවත මා සිත තුළට පිවිසුණු අතර වැඩ කටයුුතු අවසන්ව කාර්යාලයට පැමිණ මා මුණ ගැසෙන ලෙසට නිලධාරියකු අතර සින්නදොරේ වෙත පණිවිඩයක් යවා මම සුපුරුදු රාජකාරි කටයුතුවලයෙදී සිටියෙමි. කාර්යාලයේ වැඩ අවසන්ව සුපුරුදු පරිදි මාගේ ගිම්හාන කාමරයේ හාන්සි පුටුවට බර දී දවසේ පුවත්පත් කියවමින් සිටියදී ”සින්නදොරේ” සුපුරුදු ලෙන්ගතු සිනාවෙන් යුතුව මා මුණ ගැසීමට පැමිණියේය.
”මොකද සින්නදොරේ, එදා ඞී. අයි. ජී. මහත්තයා හදිසියේ එන්න කිව්වේ”


”පොඩි ප‍්‍රශ්නයකට සර්”
”මොකක් සම්බන්ධවද?”
”නෑ සර්, මගේ පවුලේ ප‍්‍රශ්නයක්, ඒක ටිකක් දිග කතාවක්”
”කමක් නෑ කියනවාකෝ”
”සර්ට කරදරයක් නැත්නම් මම ඒ විස්තරේ කියන්නම්”


සින්නදොරේට මා අසල තිබූ අසුන පෙන්වා අසුන් ගැනීමට ඉල්ලා සිටිය ද ඔහු මා ඉදිරියේ සිටගෙන ඔහුගේ කතාව දිග හැරියේය.


”සර් මම මෙහෙම හිටියාට මට නුවර ටවුන් එකේ බාබර් සාප්පු 03ක් තිබුණා. හොඳ Businessman කෙනෙක් මට නුවර අනිවත්තේ හොඳ ගේකුත් තිබුණා. 83 කලබලවලදී මගේ බාබර් සාප්පු 03යි ගේයි සේරම පිච්චුවා. මම දරුවෝ තුන් දෙනයි. ගෑනියි එක්ක පාරට වැටුණා. අපි ඒ වෙලාවේ ජීවිතේ බේරා ගත්තේ පුදුම අමාරුවකින්. මාසයක් විතර නුවර කඳවුරක ඉඳලා අපි කිලිනොච්චියට ගෙනාවා. එහේ කඳවුරක මාස ගණනක් හිටියට පස්සේ NGO එකකින් මාන්කුලම්වල පුංචි ගෙවල් හදා අපිව එහේ පදිංචි කළා. මාගේ දරුවෝ තුන්දෙනාගෙන් පිරිමි දරුවෝ දෙන්නම ගියේ නුවර ටි‍්‍රනිටි කොලේජ් එකට. දුව ඒ වෙනකොට ස්කෝලේ ගියේ නෑ. එයා පොඩියි. මේ සිද්ධිය හින්ද මාගේ මුළු පවුලම අනාථ වුණා. මගේ ලොකු පුතාට එතකොට අවුරුදු 14ක් විතර ඇති.

එයා ඉගෙන ගන්ඩ හරිම දක්ෂයි. කලබල අඩුවුණාම මම නුවර ගිහිල්ලා බාබර් සාප්පු 03යි ගෙයයි හුඟක් අඩුවට මම දන්න සිංහල මුදලාලි කෙනකුට විකුණුවා. ඒකෙන් ලැබිච්ච සල්ලි ටික අරගෙන ලොකු පුතාව කොළඹ හින්දු කොලේජ් එකට දාලා කොළඹ ඉන්න පවුලේ නෑදෑයෙක් ළඟ නැවැත්තුවා. අපි පුළුවන් වේලාවට මාස 02කට තුනකට සැරයක් එයාව බලන්න ගියා. ඛඔඔෑ එකෙන් තරුණ ළමයි බලෙන් පැහැරගන්න හින්දා අපි එයාට කවදාවත් මාන්කුලම්වලට එන්න දුන්නේ නැහැ. මාගේ දෙවෙනි පුතා ඉගෙන ගත්තේ මාන්කුලම් ස්කෝලේ, එයා ටිකක් දඟයි. යාළුවෝ ගොඩක් හිටියා. එයා දහවෙනි පන්තියේ ඉඳිද්දි මට ආරංචි වුණා ඛඔඔෑ එකට සම්බන්ධ අයත් එක්ක ආස්සරේ කරනවා කියලා. මම එයාට අවවාද කළා. ඒත් එයා ඒවා ගණන් ගත්තේ නැහැ.


”අපිට මේ සේරම කරදර අති කළේ සිංහල මිනිස්සු. මට  ඕනැ LTTE එකට බැඳිලා උන්ගෙන් පළිගන්න” එයා නිතරම කිව්වා. දවසක් එයා ස්කෝලේ ගිය ගමන් ආපහු ආවේ නැහැ. මම හැම තැනම හෙව්වා. පස්සෙ දැන ගත්තා ඛඔඔෑ එකට බැඳිලා පුහුණුවට මුලතිව් කැලයට ගියා කියලා. මමයි පවුලයි දවස් ගාණක් ඇඬූ කඳුළෙන් හිටියා. අපි මෙහෙට එන්න මාස 02කට විතර කලින් අපට දැන ගන්න ලැබුණා මගේ පොඩි පුතා සුන්දරරාජ් එළිෆන්ට්පාස්වලදී ඇටෑක් එකකට මැදිවෙලා මරුණා කියලා. එයාගේ මරණය දන්වලා අපේ පවුල රණවිරු පවුලක් කරන්න. LTTE ලොක්කෝ මාව සොයාගෙන ආවා.
දරුවා නැතිවෙලා මොන ”රණවිරුකම් ද” සර්, මම ඒවා සේරම එපා කිව්වා. ”සිවම්” කොළඹට වෙලා හොඳට ඉගෙන ගත්තා. මෙඩිකල් කොලේජ් එකට තේරුණා. මමයි පවුලයි දුවයි පුලූවන් වේලාවට කොළඹ ගිහින් ”සිවම්”ව බැලූවා. අවශ්‍ය වියහියදම් පුලූවන් විදිහට දුන්නා.


කොහොම හරි ”සිවම්” දොස්තර කෙනෙක් වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ පුහුණු වෙද්දි දවසක් මම පවුලත් එක්ක බොහොම අමාරුවෙන් එයා බලන්න කොළඹ ගියා. මේ වෙනකොට මාන්කුලම් ඉඳලා කොළඹ යන එක හරිම අමාරුයි. LTTE එකෙන් පර්මිෂන් අරගෙන වව්නියාවට ඇවිල්ලා දවස් ගාණක් ඉඳලා පාස් එක ලැබුණාහම තමයි කොළඹ යන්න පුලූවන් වුණේ. ඒ සේමර දහදුක් විඳලා කොළඹ ගියත් අපිට ”සිවම්” දකින්න ලැබුණේ නැහැ. මේ වෙනකොට එයා මුලින් නැවතිලා හිටිය අපේ නැදෑ ගෙදරිනුත් ගිහිල්ලා හිටියේ. ඒ ගොල්ලො දැන ගෙන හිටියේ නැහැ ”සිවම්” අලූතින් ඉන්න තැන. ඒත් ”සිවම්” ගේ යාළුවෙක් කියලා තිබුණ ”සිවම්” ගොඩක් සල්ලි තියෙන ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා එයාව බඳින්න යනවා කියලා.


අන්තිමේදී අපි දැන ගත්තා ”සිවම්” අපිව මග හරින කාරනය. එයා බය වුණා අපි ගැන අර ගෑණු ළමයාගේ දෙමව්පියෝ දැන ගත්තොත් එයාට කසාදය කරගන්න ලැබෙන එකක් නෑ කියලා. මමයි පවුලයි හරියට දුක්වුණා. මේවා දැන ගත්තම එක පුතෙක් LTTE එකට ගියා අපිව දාලා. අනික් පුතාත් අපිට නැති වුණා කියලා අපි දවස් ගාණක් කඳුළු බීවා. ඒත් අන්තිමේදී අපි ළඟ ඉන්න දුව ගැන හිතලා හිත හදාගත්තා. මාස ගණනකට පස්සේ අපිට ආරංචි වුණා. ”සිවම්” අර ගෑණු ළමයාව බැඳලා දෙන්න රට ගියා කියලා. එයින් පස්සෙ එයාලා ගැන අපිට කිසිම ආරංචියක් නැහැ.


”සිවම්” බැඳලා ඉන්න නෝනා මෙහේ ඞී. අයි. ජී. මහත්තයාගේ ළඟම ඥාතියෙක්. එදා ඞී. අයි. ජී. මහත්තය මට එන්න කියල තිබුණෙ ”සිවම්” එයාගේ යාළුවෙක් අතේ එවල තිබ්බ මුදල් වගයක් දෙන්න. මම ඞී. අයි. ජී. මහත්තය හම්බවෙන්න යද්දි ”සිවම්”ගේ යාලූව එයාගෙ ලස්සන නෝනත් එක්ක ඞී. අයි. ජී මහත්තයගෙ කාමරයේ හිටියා.”


”සින්නදොරේගේ පුතෙක් ඩොක්ටර් කෙනෙක් ඉන්නවාද එංගලන්තේ” ඞී. අයි. ජී. මහත්තයා මගෙන් ඇහුවා”
”හිටියා සර්, ඒත් දැන් කොහේ ඉන්නවාද කියලා දන්නේ නැහැ”


ඒ පුතා මේ මාගේ දුව අතේ සින්නදොරේට දෙන්න කියලා රුපියල් ලක්ෂ 05ක් එවලා තියෙනවා. ඒක බාර දෙන්නයි මම එන්න කිව්වේ”
”ඞී. අයි. ජී. මහත්තයා ඉස්සරහා හිටිය මහත්තයා සන්ග්ලාස් එකක් දාලා මුහුණ බිමට හරවාගෙනයි හිටියේ. ඒත් සර් මගේ පුතා මට අඳුනගන්න බැරිද. ලේ සුවඳින්, ඒ හිටියේ මගේ පුතා ”සිවම්” එයාගේ ලස්සන නෝනත් එක්ක. මට මගේ පපුව වාවන්නේ නැතිව ගියා සර්. මම ඞී. අයි. ජී. මහත්තයා ඉස්සරහා හයියෙන් කෑ ගහලා ඇඬුවා.”


”සර් මේ කවුරුත් නොවේ. මගේ පුතා ”සිවම්” එයාට දැන් ලජ්ජ ඇති මට තාත්තා කියන්න. මම කෑ ගහලා අඬන ගමන් අර සල්ලි මිටිය ”සිවම්” ගේ මූණට විසි කරලා ඞී. අයි. ජී. මහත්තයාගේ කාමරයෙන් එළියට ආවා. මට සල්ලි මොකටද සර් දරුවෝ නැතිව. පස්සේ ඞී. අයි. ජී. මහත්තයාටත් තේරුණා කතාව. එයා කමරයෙන් එළියට ඇවිත් මා සනසලා ආපහු ජීප් එකෙන් කෑම්ප් එකට ගෙනත් දැම්මා.”


”සින්නදොරේ” කතාව අවසන් කරමින් නැගී සිටියේ දෙනෙතින් රූරා වැටෙන කඳුළු ඔහු හැඳසිටි කමිසයේ කෙළවරින් පිස දමමිනි. කතාව අසා සිටි මගේ දෙනෙත් ද කඳුළින් පිරී ගිය අතර සැමදා ලෙන්ගතු සිනාවෙන් මුව සරසාගෙන සිටින ”සින්නදොරේ” බිමට යොමුවුණ දෑසින් යුතුව මා වෙතින් නික්ම යනවා මා බලා සිටියේ බොඳ වූ සිත්තමක් ලෙසය.


”ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජකරවා”


අබේවර්ධන බාලසූරිය සූරීන්ගේ ගීතයක් යාබද නිවසක ගුවන් විදුලියේ නික්ම දෙසවන් පතිත වෙද්දී මට පිටුපා යන ”සින්නදොරේගේ” රුව දෙස මම හිස් බැල්මෙන් යුතුව බලා සිටියෙමි.