ජන දුක හඳුනාගත් රාජ්‍ය නිලධාරියා - ලයනල් ප්‍රනාන්දු


විමලරත්න කුමාරගම කවියා වන්නියේ දුප්පත් අසරණ ජනතාව අතර ජීවත් වෙමින් ඔවුන්ගේ දුක සැප හඳුනා ගනිමින් ඔවුන්ගේ ජීවිත තම නිර්මාණ සඳහා විෂය කරගත් රාජ්‍ය නිලධාරියකු ලෙස ප්‍රකටය. ඔහු ප්‍රාදේශීය ආදායම් නිලධාරියෙක් වූයේය.

ඔහු මෙන්ම ප්‍රාදේශීය ආදායම් නිලධාරියකු ලෙස තම වෘත්තීය ජීවිතය අරඹමින් ජනතාව අතර ජීවත්වෙමින් රාජ්‍ය නිලධාරියා වූ කලී ජනතාවට සේවය කරන්නකු බව තම වෘත්තීය ජීවිතය තුළ ක්‍රියාවෙන් ඔප්පු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු තම දිවි සැරිය නිම කළේ නොබෝදා ය.

ලයනල් ප්‍රනාන්දු නම් වූ ඔහුගේ අභාවය ජූලි මස හයවන දා සිදු වූ අතර අවසන් කටයුතු ඊයේ සවස් යාමයේ කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුවිය. ඩී.ආර්.ඕ. පත්වීමේ සිට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දක්වා ද රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස විදේශ දූත සේවයේ ද තම යුතුකම් මනාව ඉටු කළ ලයනල් ප්‍රනාන්දු නම් දෙටු රාජ්‍ය නිලධාරියා වැනි ක්‍රියාශීලීන් වර්තමාන රාජ්‍ය සේවය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි.

පානදුර ඩික්මන් ප්‍රනාන්දු හා ඇඩෙලින් ෆොන්සේකා යන මවුපියන්ට දාව 1936 පෙබරවාරි 17 දා මහනුවර දී උපත ලබන ලයනල් ප්‍රනාන්දු තම මූලික අධ්‍යාපනය අම්පිටියේ දේවස්ථානයට අයත් පාසලින් ද පසුව උසස් අධ්‍යාපනය මහනුවර සාන්ත සිල්වෙස්ටර් විදුහලින් ද ලැබූ බව කියැවේ. ලයනල් ප්‍රනාන්දු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ 1956 වසරේ දී ය. 1956 වර්ෂය මෙරට සිංහල නාට්‍ය වංශ කතාවේ අසිරිමත් යුගයක ආරම්භය සිදු වූ වසර ලෙස සටහන් වී තිබෙනවා පමණක් නොව එකී ඓතිහාසික  නාට්‍ය නිර්මාණයෙහි රංගනයට එක්වන්නට ද ලයනල් ප්‍රනාන්දු වාසනාවන්ත වූයේය.

1956 නොවැම්බර් 3 දා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ප්‍රථම වරට කරළියට පැමිණි මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයෙහි ප්‍රධාන චරිතයක් වූ වැදිදෙටු චරිතය වසර ගණනාවක් පණ ගැන්වූයේ 1956 දී සරසවි ශිෂ්‍ය මානවකයකු වූ සරසවියෙන් පිට වී සිවිල් සේවා විභාගය සමත් වූ විද්‍යාර්ථියාම බව බොහෝ දෙනා නොදන්නා පුවතකි. මනමේ වැදි දෙටු භූමිකාවට ඔහු පණ දුන්න ද පළමුවෙන් මහැදුරු සරච්චන්ද්‍ර ලයනල් ප්‍රනාන්දු මනමේ කුමාර භූමිකාවට තෝරාගෙන සිටි පුවත මා දැන ගත්තේ 7 ඉරිදා උදෑසන ආචාර්ය සරත් අමුණුගම ලයනල් ප්‍රනාන්දුගේ අවමඟුල් කටයුතු සිදු කෙරෙන දිනය පිළිබඳව විමසමින් දුරකතනයෙන් මා ඇමතූ අවස්ථාවෙහිය. ඔහු පැවසූ ලෙස ලයනල් ප්‍රනාන්දු ඔහුට ද වඩා ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථියෙකි. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.

රාජ්‍ය නිලධාරී ලයනල් ප්‍රනාන්දුගේ දිවි සැරියෙහි තතු සොයා යන්නට පෙර මනමේ නාටකය හා සම්බන්ධ වී පසු කාලයක සිංහල වේදිකාව සිනමාව වැනි සෞන්දර්ය ක්ෂේත්‍ර තුළ හමු වූ ලයනල් ප්‍රනාන්දු නම් රසවතා, සහෘදයා පිළිබඳ තොරතුරු බිඳක් සටහන් කළ යුතු යයි සිතමි. මා ලයනල් ප්‍රනාන්දු නම් රාජ්‍ය නිලධාරියා හඳුනාගන්නේ 1969 දී මනමේ තෙවන නිෂ්පාදනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්, උපාධිධාරීන් සම්බන්ධ කරගනිමින් රැඟු‍ම් ආරම්භ කළ අවස්ථාවේ සිටය. මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ මැදිහත්වීමෙන් විදුදය අපට සරච්චන්ද්‍රගේ මනමේ නාටකයට එක්වන්නට වාසනාව ලද බව සිහිපත් කළ යුතුය. 1969 ඔක්තෝබර් 25 සිට 29 දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහල ශාලාව අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේ මනමේ නාටකයෙහි 56 නිෂ්පාදනයෙහි නළු නිළියන් සියල්ල ම සහභාගී වූ බැවිනි. ශ්‍යාමන් ජයසිංහ, බෙන් සිරිමාන්න, ට්‍රෙලීෂියා ගුණවර්ධන, එඩ්මන්ඩ් විජේසිංහ හා ලයනල් ප්‍රනාන්දු ආදී වූ සියල්ලන්ම රඟ පෑ මේ නිෂ්පාදනයෙහි කලාත්මක අධ්‍යක්ෂණය භාරව සිටියේ පද්මකුමාර එදිරිවීර කලාකරුවාය. මා හට පැවරුණු රාජකාරිය වූයේ නාට්‍යයෙහි රංග භූමි පාලකයකු ලෙස කටයුතු කිරීමයි. ඉතා කෙටි කලකින් අංග රචනා සහායක තනතුර ලැබීමෙන් නළු නිළියන් සියල්ල සමග කටයුතු කිරීමට හා ඇසුරට වාසනාවන්ත වීමි.

ලයනල් ප්‍රනාන්දු රංගවේදියා, ලයනල් අයියා ලෙස මා දැන හඳුනාගන්නේ එතැන් පටන් ය. ඒ ඇසුර ඔහු, බිරිඳ සොන්තා (සෝමලතා සුබසිංහ) දියණි කෞශල්‍යා බෑනණු චන්දන ආදීන් දක්වා අද වන තෙක්ම නොබිඳී පවතින්නක් බව කිව යුතුය. අප අතර නොවන සෝමලතා සුබසිංහගේ කතන්දර දෙකක්, පුංචි අපට දැන් තේරෙයි, තොප්පි වෙළෙන්දා වැනි ළමා නාට්‍ය නිෂ්පාදන සඳහා මා එක්ව සිටි යුගයේ දී ලයනල් අයියාගේ භූමිකාව තුළ මා දුටුවේ කාල කළමනාකරණයට මුල්තැන දෙමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරී භූමිකාවමය. උදෑසන 8.30 ට ලයනල් වෙන්ඩ්ට් හි පවැත්වෙන පාසල් දර්ශන සඳහා උදෑසනින්ම ජුබිලි කණුව ජයමංගල මාවතෙන් බොහෝ අවස්ථාවල මා එකතුකොට ගත්තේ ලයනල් අයියා ම බව මතකයෙහි වේ. මනමෙ වැදි දෙටු වේදිකා රංගනයට අමතරව ඔහුගේ සෞන්දර්ය චාරිකාවේ දී අපට ලයනල් ප්‍රනාන්දු හමු වූ චිත්‍රපට කීපයක් පිළිබඳව ද මතකයට එයි. අමරනාත් ජයතිලකගේ ‘තිලක හා තිලකා’, තිස්ස අබේසේකරගේ ‘මහගෙදර’ හා එස්.ජී. සමරසිංහගේ ‘පරසතුරෝ’ ඒ චිත්‍රපට වේ. මෑත කාලයේ දී ලයනල් ප්‍රනාන්දු ටවර් රඟහල පදනම අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර ද දරමින් ඔහුගේ සෞන්දර්ය චාරිකාවෙහි සක්‍රීය දායකත්වය පළ කළ බව මතක ය. වරක් සරසවිය සිනමා උලෙළ ජූරි සභාපතිවරයා ලෙස ද විනිශ්චයට එක්ව සිටි ලයනල් ප්‍රනාන්දු සහෘදයා නිලධාරී භූමිකාව රඟපාමින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සභාපති ධූරය ද හෙබ වූ බව ඉතිහාසයට එක්වී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය දිනූ ලයනල් ප්‍රනාන්දු තරුණයා එවකට රාජ්‍ය සේවයේ ඉහළම තනතුර සේ සැලකුණු සිවිල් සේවා විභාගය සමත් වී හෙබ වූ රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා තනතුරු නාමාවලිය නිලධාරියකු ලෙස ඔහුගේ පරිපාලන දැනුම, කාර්යක්ෂමතාව පිළිබඳ කැඩපතක් යයි හඟිමි. රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ හා ලංකා නැව් සංස්ථාව සභාපතිත්වය දැරූ ලයනල් ප්‍රනාන්දු ජාතික රක්ෂණ සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා වූයේය. අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරයා ලෙස කටයුතු කළ ලයනල් ප්‍රනාන්දු විදේශ අමාත්‍යාංශයෙහි හා ජනමාධ්‍ය, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කොට ඇත්තේ විවිධ ජනාධිපතිවරුන්ගේ පාලන සමය තුළය.

රාජකාරිය හා දේශපාලනය එකිනෙක පටලවා ගැනීම නොකළ ලයනල් ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසුව පවා විවිධ රාජ්‍ය කමිටු හා මණ්ඩල කටයුතුවලට ආරාධනා ලද්දේ ඔහුගේ පුළුල් රාජ්‍ය පරිපාලන දැනුම් හා අත්දැකීම් සම්භාරය හේතුකොටගෙනය. සිවිල් සේවයේ හා රාජ්‍ය පරිපාලන සේවයේ දීර්ඝකාලීන අත්දැකීම් සතු වූ ලයනල් ප්‍රනාන්දු විදේශ දූත සේවයේ ශ්‍රී ලාංකික තනාපතිවරයා ලෙස පත්වීම් ලද්දේ වරක් නොවේ. දෙවතාවකි. පළමුව නෙදර්ලන්ත තානාපති ලෙස ද දෙවනුව ප්‍රංශයේ තානාපති ලෙස ද ලයනල් ප්‍රනාන්දු තානාපතිවරයාගේ නම ලියැවේ. දෛවයේ සරදමක් ලෙස ලයනල් ප්‍රනාන්දු උතුර නැගෙනහිර ආණ්ඩුකාර ධූරය හොබවන්නේ 80 දශකයේ යාපනය මහ දිසාපති ලෙස ඔහුගේ සේවය තවමත් එහි ජනයා විසින් සිහි කරද්දීය.

ලයනල් ප්‍රනාන්දු නම් වූ රාජ්‍ය නිලධාරියා ජනතාව සමග එක්ව ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු හඳුනාගෙන කටයුතු කළ යුතු පුද්ගලයකු බව විශ්වාස කළේය. 80 දශකයේ ඔහු යාපනයේ මහ දිසාපති ලෙස සේවය කළ වකවානුව ඔහුගේ රාජකාරි ජීවිතයේ ස්වර්ණමය යුගයක් යැයි සිතමි. ජනතා ප්‍රශ්න හඳුනා ගැනීමට ඔහු තම බල ප්‍රදේශය පුරා ඇවිද්දේය. අද මෙන් තාක්ෂණ දියුණුව නොතිබූ සමයක එහි වැසියන්ගේ උප්පැන්න සහතික ලබා ගැනීමේ දීර්ඝ කාලීන ප්‍රශ්නය විසඳූ බව යාපන වැසියන්ට මතකය. සැබෑ රාජ්‍ය නිලධාරියකු හඳුනා ගැනීමට ඔහුගේ බලප්‍රදේශයේ වැසියන්ට එතරම් කාලයක් අවශ්‍ය නොවේ. ලයනල් ප්‍රනාන්දු නම් සැබෑ රාජ්‍ය නිලධාරියා හඳුනාගෙන ඔහුට කෘතගුණ දැක්වූ ජනතාවක් යාපනයේ සිටි බවට අපූරු සාක්ෂිය සැපයෙන්නේ දිසාපති ලයනල් ප්‍රනාන්දුගේ මව රෝගීව සිට යාපනයේ දී මියගිය අවස්ථාවයි. මවගේ අවසන් කටයුතු කොළඹ දී සිදු කිරීමට අවශ්‍යව තිබුණත් යාපන වැසියෝ ඊට තදින්ම විරුද්ධවී ඒ කටයුතු යාපනයේ දීම කිරීමට තීරණය කළහ. ලයනල් ප්‍රනාන්දු දිසාපතිවරයා කුමාරගම මෙන්ම ජනතාව අතර ජීවත් වූ සැබෑ මිනිසෙක් බවට සාක්ෂි සපයමින් කොළඹ සිට අවමඟු‍ලට යාපනයට දුම්රියෙන් හා බසයෙන් පැමිණි සියල්ලන්ට නොමිලයේ කුලී රිය සේවාවක් විවෘත කොට තිබූ බව සත්‍යයකි. එපමණක් නොව යාපන කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූ අවමඟු‍ල් උත්සවයේ දී තරුණයන් විසින් සැතපුම් කිහිපයක්ම මෘත දේහය ඔසවා ගෙන ගිය බවද කියැවේ. මේ කෘතවේදීත්වය කුමට ද? ජනතාව සමග සිටි ජනතා ප්‍රශ්න හඳුනාගත් සැබෑ රාජ්‍ය නිලධාරියකු සඳහා නොවේ ද? දේශපාලනඥයකුට කිසිදා ලැබේ යයි සිතන්නට නොහැකි ආදරයක් ජනතාව සමග සිටි නිලධාරියකුට ලබාගත හැකි බව සනාථ කරමින් ඊයේ සැන්දෑ යාමයේ ජනතාවගෙන් සමුගත් ජනතාව ආදරය කළ ලයනල් ප්‍රනාන්දු නම් මිනිසාට ඔහු පැතූ යහපත් ලොවක දොරටු විවර වන්නට ඇතැයි විශ්වාස කරමි. ඔහුට සුබ නින්දක්!

(*** බුද්ධදාස ගලප්පත්ති )