ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරට අදාළව සකස් කරනු ලැබ ඇති ජන සංඛ්‍යා වාර්තාව අනුව මෙරට කාන්තා ජනගහනය එක්කෝටි දහතුන් ලක්ෂ හැට හත් දහසකි (11,367,000). පිරිමි ජන සංඛ්‍යාව එක් කෝටි හය ලක්ෂ හැත්තෑ දාහකි (10,670,000).ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 51.5 ක් කාන්තාවන් වන අතර පිරිමින්ගේ ප්‍රමාණය 48.5 කි. රටේ ජන සංඛ්‍යාවෙන් බහුතරය කාන්තාවන් වන බව ඉන් පැහැදිලිය. තවත් දවස් දෙකකින් (මාර්තු 08) එළැඹෙන කාන්තා දිනයේදී එම සංඛ්‍යා පිළිබඳව සමාලෝචනයක යෙදීම සඳහා අවස්ථාවක සැලසෙනු ඇතැයි සිතමි.
මේ දිනවල දේශපාලන රැලි වෙනුවෙන් කාන්තාවන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් එනිසාම ඔවුන්ගේ දේශපාලන වටිනාකම ඉහළ ගොස් ඇති බවත් පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ රටේ බොහෝ ප්‍රදේශවල කාන්තා සම්මේලන පවත්වා ඇති අතර ඒවාට කාන්තාවන් අති විශාල පිරිසක් සහභාගී වී ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. සමගි ජන බලවේගය ද ප්‍රාදේශීය කාන්තා සම්මේලන පැවැත්වීමට කටයුතු කර ඇති අතර ප්‍රථම සම්මේලනය මහනුවරදී කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ ආකාරයද මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතරම මේ දේශපාලන කාන්තා රැළි පැවැත්වීමේ දී මේ දක්වා නොතිබුණු ආකාරයේ යම් යම් වගකීම් සහ කාර්යයන් කාන්තාවන්ට පවරා තිබූ ආකාරය ද දැක ගැනීමට හැකි විය. විටෙක කාන්තාවන් ගස්වල නැගී එම රැස්වීම් සඳහා සැරසිලි කරන ආකාරය පිළිබඳ ඡායාරූප ය. තවත් විටෙක කාන්තාවන් එම රැස්වීම් සඳහා පෝස්ටර් ඇලවීම සඳහා යොදවා තිබෙන ආකාරය යි. එම රැස්වීම්වල දී කාන්තාවන් නැටුම් සහ ගීත ගායනා ආදියට සහභාගී වී සිටි ආකාරය ද විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබුණි. කාන්තාවන්ගේ දේශපාලන උනන්දුව ද දේශපාලනය සඳහා සක්‍රීය දායකත්වය ද ඇගයීමට ලක් කළ යුතු බව පෙන්වා දිය යුතුව ඇත. එසේ වුවද මැතිවරණයක දී කාන්තාවන් තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇති නිසා ඔවුන්ගේ සහාය ලබා ගැනීම පමණක් අරමුණු කරගෙන මෙම ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නම් නැවත වරක් කාන්තාවන් රැවටීමකට බඳුන්ව ඇති බව පිළිගැනීමට සිදු වේ.
ලෝකයේ අනෙක් රටවල් හා සන්සන්දනය කරන විට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, කාන්තාවන් උසස් කර සැලකීම, කාන්තාවන්ට ගෞරවනීය අයුරින් සැලකීම ආදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික පිළිවෙතක පිහිටා කටයුතු කර ඇති බවක් පෙනී යයි. තමන් අදහන දහමට අනුව මව උත්තරීතර ස්ථානයක පිහිටුවමින් ‘ගෙදර බුදුන් අම්මා’ වැනි ගෞරවනීය සහ ආදරණීය යෙදුම් කාන්තාවන් වෙනුවෙන් යොදා ගනිමින් කටයුතු කර තිබේ. ඉන්දියාවේ මෙන් සැමියා මිය ගිය විට සති පූජා පැවැත්වීම නමින් කාන්තාවන් බිල්ලට ලක් කිරීමක් හෝ මුළු ජීවිත කාලයම තනිකඩව ජීවත් වීමට සිදුවන තත්වයක් අප සමාජයේ ඇති වූයේ නැත. සැමියා අහිමි වී ගිය කාන්තාවන් රැක ගැනීමට ශ්‍රී ලාංකික සමාජය කටයුතු කළේය.
දේශපාලන බලය කාන්තාවට හිමි කර දීම සම්බන්ධයෙන් මෙන්ම කාන්තාවන් විසින් රට පාලනය කිරීම පිළිබඳව ද අපට ඇත්තේ හොඳ වාර්තාවකි. අවුරුදු දහස් ගණනකට පෙර විහාරමහා දේවී වැනි දේශපාලන බලය පිළිබඳ හසල දැනුමක් තිබූ කාන්තාවන් ද රටේ අනාගතය වෙනුවෙන් ඉමහත් පරිත්‍යාග කළ සෝමා දේවිය වැනි කාන්තාවන් ද රටේ රාජ්‍ය පදවියට පත්ව රට පාලනය කළ අනුලා බිසව වැනි කාන්තාවන්ගෙන්ද පැහැදිලි වන්නේ කාන්තාවන් පීඩනයට පත් කිරීමේ පිළිවෙතින් බැහැරව සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූ බවයි.
ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස 1960 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්කර කාන්තා දේශපාලනය පිළිබඳ නව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවට හැකි විය. රටේ විධායක ජනාධිපති ධුරයට චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පත්කර ගැනීමෙන් පෙන්නුම් කරන ලද්දේ ස්ත්‍රීත්වය රාජ්‍ය නායකත්වය දැරීම සඳහා ශ්‍රී ලංකාවේ බාධකයක්ව නොපවත්නා බවයි. එසේ වුවද අද වන විට පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ දී රටේ ජන සංඛ්‍යාවේ දක්නට ලැබෙන ස්ත්‍රී පුරුෂ සංයුතියට ආසන්න වන ආකාරයේ නියෝජනයක් හෝ කාන්තාවන් වෙත නොලැබීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් වුවද කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 12 කි. අනුපාතය පිරිමින් සියයකට කාන්තාවන් 5.3 කි.
පාර්ලිමේන්තුව සහ අනෙකුත් ආයතනවල කාන්තා නියෝජනය එකවර වැඩි කිරීමට හැකියාවක් ඇතැයි සිතිය නොහැක. එසේ වුවද නිදහසින් පසු කාල පරිච්ඡේදය තුළ එවැනි ආයතනවල කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබී තිබේදැයි පරීක්ෂා කළ යුතුව ඇත.
2016 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන ඇති කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යන සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන් පැවතිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ අවශ්‍ය නීති පැනවීමට හැකි විය. කාන්තා නියෝජනය මහජන නියෝජිත ආයතනවලට අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් අතර කාන්තාවන් විශාල පිරිසකට තේරී පත්වීම සඳහා එමඟින් අවස්ථාව සැලසිනි. කාන්තාවන්ගේ තත්වය ඉහළ නංවන බවට මෑතකදී පවත්වන ලද කාන්තා රැලිවලදී විවිධ පොරොන්දු දෙමින් ප්‍රකාශ කර තිබුණ ද කාන්තාවන්ට සාධාරණ අන්දමින් මැතිවරණ වලදී ඉඩ සලසන බවක් කිසිදු කාන්තා හෝ පුරුෂ කථිකයන් මෙම රැස්වීම්වල දී ප්‍රකාශ කළ බවක් වාර්තා වී තිබුණේ නැත. එසේ වුවද රනිල් වික්‍රමසිහ මහතා තමන්ට බලය ලැබුණු සැණින් ප්‍රථම වරට කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා වූ වැඩපිළිවෙළක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේය. ඒ තුළින් කාන්තාවන් විශාල පිරිසක් ප්‍රාදේශීය සභාවලට තෝරා පත්කර යවා කාන්තා නියෝජනය ඉහළ දැමීම යථාර්ථයක් බවට පත් කර ගත හැකි ආකාරය රටට පෙන්වා දුන්නේය.
කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2023 මාර්තු මස 08 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම ක්‍රියාකාරී සැලැස්ම 2023 සිට 2027 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජපන් රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා ආයතනයේ ආධාර ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 2000 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද 1325 යෝජනාවට අනුකූලව ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ ආරක්ෂාව සඳහා වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රියාකාරීත්ව සැලැස්මේ එක් අරමුණක් වන්නේ ආණ්ඩුකරණය සහ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී කාන්තා නියෝජනය සහ සහභාගීත්වය පුළුල් කිරීමයි.
කෙසේ වුවද මේ දිනවල කාන්තාවන් දහස් ගණනින් රැස් කරවා පවත්වන දේශපාලන රැස්වීම්වල කාන්තාවන් සවිබල ගැන්වීම හෝ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ කිසිදු විධිමත් යෝජනාවක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ වූ බවක් පෙනෙන්නට නැත. ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් හෝ කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය සපයන බව ප්‍රකාශ කිරීමෙන් හෝ මෙරට කාන්තාවන්ගේ කිසිදු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැත. සිස්ටම් චේන්ජ් කිරීම ගැන කතා කරන අය කාන්තාවන් ඇග විකිණීම නීතිගත කරන්නේ නම් එවැනි දේශපාලන පක්ෂවලින් කවරක් බලාපොරොත්තු විය හැකිද? කාන්තාවන් සවිබල ගන්වා ඔවුන්ට දෙපයින් නැගී සිටීමට හැකි තත්වයක් ඇති කිරීම වෙනුවට කය විකිණීම නීතිගත කිරීම හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය සපයන බව ප්‍රකාශ කිරීමෙන් හෝ කාන්තාවන් පිළිබඳ සමහර දේශපාලනඥයන් දරන නරුමවාදී පිළිවෙත හෙළිවේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර