රට ඉතා අසීරු තත්වයකට පත්ව සිටියදී හා මහජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක වැඩවර්ජන පැවැත්වීමෙන් රට තුළ ඇතිවන භයානක ප්‍රතිඵල පිළිබඳව මෙම තීරයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කර ඇත. පසුගිය කාලවකවානුවේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන කරුණක් වන්නේ කිසිදු සීමාවක් නොමැතිව වැඩවර්ජන ක්ෂණිකව ආරම්භ කිරීමත්, රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් එමගින් නිර්මාණය කිරීමත්ය.
වැඩ කරන පන්තියේ ඉල්ලීම් දිනා ගැනීමට වඩා බොහෝ වැඩවර්ජන පිටුපස විවිධ දේශපාලන කණ්ඩායම්වල අදිසි හස්ත ක්‍රියාත්මක වන බවත්, එමගින් වැඩකරන ජනතාව දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගන්නා ආකාරයත් දැන් රටේ බහුතරයකට අවබෝධ වී ඇතැයි සිතමි.
මහජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ වැඩවර්ජන රැල්ලක් පිළිබඳ අත්දැකීම් විඳ ගැනීමට පසුගිය දිනවල රටට අවස්ථාව සැළසුණේය. අසනීප නිවාඩු වාර්තා කර එක් දින වැඩවර්ජනයක යෙදුන ගුරුවරු කොළඹදී විශාල විරෝධතාවකට සහභාගි වූහ. රජයේ ආයතන සංග්‍රහයේ සහ නිවාඩු චක්‍රලේඛ මගින් අසනීප නිවාඩු ලබාදී ඇත්තේ අසනීප වූ විට භාවිත කිරීම සඳහාය. එහෙත් රටේ බාලපරම්පරාවට මග පෙන්වන ගුරුවරුන් අසනීප නිවාඩු දමා පාසලට නොපැමිණ විරෝධතා රැලි පවත්වන විට එම අසනීප නිවාඩු හැඳින්විය යුත්තේ කුමන නමකින්දැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් වනු ඇත. එසේම අසනීප යැයි හේතු දක්වා නිවාඩු ලබාගෙන ඒ ආකාරයට හැසිරීම රටේ ගුරුවරුන්ට පමණක් නොව කවර රාජ්‍ය සේවකයෙකු සම්බන්ධයෙන් වුවද එය වාංචනික ආකාරයෙන් විශ්වාසය කඩ කිරීමක් මිස වෙනත් කවර ආකාරයකින් හැඳින්විය හැකිද? ලෙඩ නිවාඩු ලබාගෙන කරන ලද උද්ඝෝෂණයට පොලිසිය පහරදීම නිසා ඊළඟ දිනයේදී ද ගුරුවරු ලෙඩ නිවාඩු දමා පාසල් අධ්‍යාපන කටයුතු වර්ජනය කළහ.
ඉන්පසුව ඇති වූයේ සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩවර්ජනයක් දියත් කිරීමයි. මෙම වැඩවර්ජනය මෙහෙයවීමේදී මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති බව පැහැදිලිව පෙනෙන්ට තිබුණි. රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්, සංවර්ධන නිලධාරින්, රියදුරන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එම වර්ජනයට සහභාගි වී සිටි ආකාරය දැකගත හැකිවිය. මේවායින් සමහරක් වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධකම් පවතින ඒවා වූ අතර තවත් සමහරක් සමගි ජනබලවේගය සමග සම්බන්ධ වී තිබූ ඒවාය.
හෙද සේවාව, වෛද්‍ය සේවාව, පරිපාලන සේවා ආදිය වර්ජනයට සහභාගි වූයේ නැත. ජුලි 08 සහ 09 දෙදින වැඩවර්ජනය නැවැත්වීම සඳහා රජය දැඩි පියවර ගැනීමක් සිදුකළේද නැත. ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා රාජ්‍ය සේවාවන්ගේ වර්ජනය පිළිබඳව තම මුහුණු පොතේ තබා තිබු සටහන බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඔහු ප්‍රශ්න කර තිබුණේ කිසිඳු වැඩක් නොකරන ඉතා අකාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නඩත්තු කිරීමට සිදුවීම මහා අපරාධයක් ය වැනි අදහසකි. වර්ජනය නිසා අපහසුතාවට පත්වන්නේ රජය නොව මහජනතාවය. වැඩ වර්ජකයන් වැඩට නොපැමිණ සිටින්නේ අසනීප නිවාඩු දමාය. වැඩවර්ජනය කරනු ලැබුව ද ඔවුන්ට නියමිත වැටුප අනිවාර්යයෙන් ලැබේ. වර්ජනය හේතුවෙන් ඔවුන්ට කිසිඳු දුෂ්කාරතාවක් ඇති වන්නේද නැත. මහජනතාව වර්ජන හේතුවෙන් දුක් විඳිති. රජය වර්ජකයන්ට වැටුප් ගෙවයි. ඒ මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වලිනි. ලංකාවේ වෘත්තීය සමිති සංස්කෘතිය එවැනි තත්ත්වයකට පත්ව ඇති අතර වැඩවර්ජනය කළද රජයේ වැටුප් ගෙවන නිසා නිරන්තරයෙන්ම වැඩවර්ජන පවත්වාගෙන යෑමට වෘත්තීය සමිතිවලට හැකිවී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ කම්කරු ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම්වලට බාධා පැමිණවීමට කිසිවිටෙක කටයුතු කළේ නැත. රට අසීරු අවස්ථාවකට පත්වී සිටින විට වැඩවර්ජන පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බව ඔහු පෙන්වා දුන් අතර රට ඉදිරියට ගෙන යෑම සඳහා සැමගේ සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය. රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටිය ද සියලුම රජයේ සේවකයන්ගේ වැටුප රු.10,000/- කින් වැඩි කළේය. ඔහු විසින් 2015 යහපාලන රජය කාලය තුළදී ලබාදුන් රු. 10,000/- වැටුප් වැඩිවීමට පසුව ලබාදුන් විශාලතම වැටුප් වැඩිවීම එයයි. නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයේ සේවකයන්ගේ විශාලතම වැටුප් වැඩිවීම් දෙකම ලබාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඔහු පෙන්වා දුන්නේ තවදුරටත් වැටුප් වැඩි කිරීමට හැකි තත්වයක රට නොපවතින බවයි.
එම වැඩවර්ජනය අවසන්වීමත් සමග තවත් වැඩවර්ජනයක් ආරම්භ විය. ඒ දුම්රිය වැඩවර්ජනයයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙහෙයවන ලද මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට අසීරු තත්ත්වයක් ඇතිවිය. වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන සිටි දහස් සංඛ්‍යාත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියාවට ඒමට සහ ආපසු ඒමට වෙනත් ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමට සිදුවිය. රජයේ ආයතන පෞද්ගලීකරණය කිරිම පිළිබඳව සමහරු දැඩි විරෝධතාවක් දක්වති. එසේ වුවද රජයේ ආයතන වලින් ඉක්මණින්ම පෞද්ගලීකරණය කළ යුත්තේ කුමන ආයතනය දැයි විමසුවහොත් දුම්රිය සේවය යන්න පෞද්ගලීකරණයට කැමති අකැමැති සියලු දෙනාටම පිළිතුර වීමට ඉඩ තිබේ. ඊට හේතුව නිරන්තරයෙන්ම දුම්රිය සේවාවේ පවත්නා වර්ජන හේතුවෙන් එය මගී ජනතාවගේ අප්‍රසන්නතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්ව තිබීම හේතුවෙනි.
දුම්රිය වර්ජනය ආරම්භවීමට පෙර රජය එය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කළේය. ඒ අනුව වර්ජනය කර ඇති සේවකයන් එදින දහවල් 12 ට පෙර සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය අතහැර ගියා සේ සැළකෙන ලිපි නිකුත් කරන බව ද නිවේදනය කර තිබුණි. ඒ අනුව ලිපි නිකුත් කිරීමට සූදානම් වෙද්දී එදින රාත්‍රී 12 ට දුම්රිය වර්ජනය අවසන් කර එම සේවකයෝ සේවයට වාර්තා කළෝය. එම වර්ජනය අවසන් විය. ඊට පසු දින 70කට ආසන්න කාලයක් වර්ජනයක නිරතව සිටි විශ්වවිද්‍යාල අනධ්‍යයන නිලධාරීහු ද තම වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කළහ. විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝද තම වර්ජනය අවසන් කර සේවයට වාර්තා කළහ. මේ වනවිට කිසිදු වර්ජනයකින් තොරව රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන තත්වයක් ඇතිව තිබේ.
ඒ අතරම මෙම වර්ජනවලට මූලිකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ විසින් තවදුරටත් වර්ජන පවත්වාගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ ඉඩක් නොලැබෙන බව අවබෝධ කර ගෙන ඇති බවක් ද පෙනෙන්නට ඇත. මින්පසු වැඩවර්ජන දියත් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව හැඟවෙන ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් ඉදිරිපත් කිරීමෙන් ඒ බව තහවුරු වේ. එම පක්ෂයේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයා වන ලාල්කාන්ත මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය කර තිබුණි. “කුමන ආකාරයේ වෘත්තීය අරගල සිදු කළත් මේ ක්ෂේත්‍රවල අඛණ්ඩ වර්ජන කරන්න ගියොත් අනිවාර්යයෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවැති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මවුපියන්, ගුරු විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා. දැන් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වගේම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන ආරම්භ කර තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වෙනවා. මේවා අපට පිළිගන්න බෑ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩකරන්න කියන එකයි”.
දුම්රිය වර්ජනය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබු පියවර හේතුවෙන් රටේත්, රටේ දේශපාලන ක්ෂේත්‍රයේත් උද්ගතව තිබෙන වෙනස එම ප්‍රකාශවලින් පැහැදිලි වේ. ආරම්භ වීමට ගිය වැඩවර්ජන රැල්ල රජය නවතා දැමුවේය. වැඩවර්ජනයට නායකත්වය දුන් පක්ෂවලට ඉදිරියේදී වර්ජන අතහැර දැමීම හැර වෙනත් විකල්පයක් නැත. රජය විසින් ගනු ලබන මෙවැනි පියවර පිළිබඳව මහජනතාව අවදියෙන් සිටින බව සියලු දේශපාලන පක්ෂ අවබෝධ කරගත යුතුව ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී රජයේ වැඩපිළිවෙල අනුමත කරන්න සියයට 7 ක් වැනි පිරිසක් බව ජනමත සමීක්ෂණ වාර්තා අනුව ප්‍රකාශයට පත් කළ වෙරිටේ පර්‌යේෂණ ආයතනය ජුලි මාසය වනවිට රජයේ වැඩපිළිවෙළ අනුමත කරන පිරිස සියයට 24 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ. වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට පෙබරවාරි මාසයේ පිළිගත්තේ සියයට 9ක පිරිසක් වුවද ජුලි මාසයේදී එය සියයට 28 දක්වා වැඩිවී ඇතැයි ද දක්වා තිබේ. රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවත්නා බව පෙරවාරි මාසයේදී විශ්වාස කළේ සියයට 9 ක පිරිසක් වුවද ජුලි මාසය වනවිට එය සියයට 30 දක්වා තුන් ගුණයකින් වැඩිවී ඇති බව ද එම ආයතනය ප්‍රකාශ කරයි.
මහජනතාවට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් ජීවිතයේ දී මුහුණදුන් දරුණුතම අර්බුදය වූ ආර්ථික අර්බුදයෙන් අත්මිදීමටය. තම ජීවිත ස්ථාවර කර ගැනීමටය. නැවත වරක් රටත්, ජීවිතයත් ව්‍යාකූල වන තත්වයකට ගොදුරුවීම වළක්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බව තේරුම් නොගන්නේ දේශපාලනයේ යථාර්ථය හොඳින් වටහා නොගත් අය බව කිව යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර