ජනතා සෞඛ්‍යයට ආර්ථිකයට ඈඳුණු බිත්තර ව්‍යාපාරය


රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ දහයක්  තත්ත්ව සහතිකය ලැබෙන තෙක් වරායේ හිර වී ඇති බව ඉකුත්දා අපගේ පුවත්පත වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 70  ක් ආනයනය කර ඇති බවද එම  පුවතේ දැක්වේ.

මෙම පමාව අකාර්යක්ෂමතාව නිසා සිදුවී නම්  ඒ උදෙසා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දොස් පැවරිය යුතු බව එක  හෙළා කිව යුතුය. එහෙත් බිත්තරවල තත්ත්ව පරීක්ෂාව වඩාත් සූක්ෂම ලෙස සිදුකළ යුතු බවට එම ආයතනයට මින් පෙර  අමාත්‍ය වරයාගෙන් උපදෙස් ලැබී තිබිණි. එසේ සැලකිල්ලෙන්  මෙම පරීක්ෂාව කළ යුතු  වීමට බලපාන කරුණු බොහෝය. 

පසුගිය දිනවල ආනයනය කළ බිත්තර පරිහරණ උපදෙස් යටතේ බේකරිවලට නිකුත් කිරීමට හේතු වූයේ ද එම තත්ත්වයයි. එහිදී බිත්තර කටු බැහැර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂිත උපදෙස් නිකුත් කෙරිණි.

මේ වන විට වරායේ සිරවී ඇති බිත්තර ලක්ෂ දහයකට අප නහයෙන් ඇඬුව ද අපි 2021 වසරේදීත්  බිත්තර මෙට්‍රික් ටොන් 171270 ක් අපනයනය කොට ඇත්තෙමු. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 284430 කි. කෙසේවුවද පත්‍රය මුද්‍රණයට යන විට මෙම සටහනේ පදනම විසඳී තිබිය හැකිය.

අපි දිනකට බිත්තර මිලියන 8ක්  පරිභෝජනයට හුරු වී සිටියෙමු. එම පරිභෝජනය පසුගිය වසරේ දෙසැම්බර් වන විට දිනකට මිලියන තුන දක්වා පහත වැටුණේ රටේ බිත්තර හිඟ වූ නිසාය. 

පාර්ලිමේන්තුවේ අනාවරණය වූ ආකාරයට ශ්‍රී ලංකාවේ මාසික බිත්තර පරිභෝජනය බිත්තර මිලියන දෙසීයක් පමණ වේ. (ඇත්තෙන්ම එම ප්‍රමාණය මසකට බිත්තර මිලියන 249- 250 ක් පමණ වූ බව තතු පරීක්ෂා කිරීමේ දී පෙනී යයි).  මෙයින් පෙනී යන්නේ පසුගිය දිනවල ආනයනය කළ බව කී බිත්තර ලක්ෂ 70, එක දිනකට වත් මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ බවයි. 

ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය 2006 වර්ෂයේ සිට සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබිණි. 2006 වසරේ මෙට්‍රික් ටොන් 52000 ක් වූ මෙරට බිත්තර නිෂ්පාදනය 2015 දී මෙ. ටොන් 115000 දක්වාත්, 2020 දී මෙට්‍රික් ටොන් 104000 දක්වා වර්ධනය වූයේය.

2021  වසරේ දී බිත්තර මිලියන 2934 ක් ව තිබූ අපගේ බිත්තර නිෂ්පාදනය 2022 වන විට සියයට 34 කින් පහත වැටී තිබිණි. දැන් තත්ත්වය ඊටත්  වඩා දරුණු ය. බිත්තරයක් වැටී බි​ෙඳන්නා සේ බිත්තර කර්මාන්තය ද බිඳ වැටිණි.

ප්‍රෝටීන  ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් බිත්තරවල අඩංගුය. විෂබීජ ඇතුළු නොවන්නට ස්වභාවික ආරක්ෂාවක් බිත්තර කටුවෙන් ඊට ලැබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලකට අඩු වියදමකින්  බිත්තර පරිභෝජනයෙන් ප්‍රෝටීන අවශ්‍යතා සපුරාගත හැකි විය.

දිනකට බිත්තර මිලියන අටක්  පරිභෝජනයට හුරුව සිටි අපට, මසකට බිත්තර ලක්ෂ හැට හැත්තෑවක් ආනයනය කොට මෙම ප්‍රශ්නය විසඳා ගත හැකි නොවන බව පැහැදිලිය. එම නිසා වඩාත් සුදුසු වන්නේ බිත්තරයක් බිඳී යන්නා සේ බිඳ වැටුණු, බිත්තර නිෂ්පාදනය නැවත පැවති තත්ත්වයට ගෙන ඒමයි.

පෙර පැවති තත්ත්වයට බිත්තර නිෂ්පාදනය ගෙන ඒම සඳහා එම නිෂ්පාදනය ඇද වැටීමට හේතු වූ කාරණා විමසා බැලිය යුතුය. 2021 වසරේ රසායනික පොහොර තහනමත් සමඟ ඒ හේතුවෙන් මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය අඩාලව ගියේය. සත්ව ආහාර හිඟ වන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.

බඩ ඉරිඟු ආනයනය සඳහා රජයේ අනුමැතිය ලැබුණත්, ආනයනය කර ගත හැකි වූයේ ඉලක්ක කළ ප්‍රමාණයෙන් සියයට 25ක් පමණි. රුපියලේ අගය පහත වැටීමත් සමග රු. 5000 මට්ටමේ පැවති කිලෝග්‍රෑම් 50 ක සත්ව ආහාර මල්ල රු. 13000 දක්වා ඉහළ ගියේය.

අතිරික්ත කල් ඉකුත් වූ වී සත්ව ආහාර ලෙස භාවිතයට ගැනීම ගැසට් නිවේදනයකින් තහනම් කිරීම නිසා  තත්ත්වය තවත් දරුණු අතට හැරුණි. රටේ විනිමය අර්බුදය හමුවේ මව් සතුන් මෙරටට ආනයනය කිරීම තහනම් කෙරිණි. මව් කිකිළියන් අසූ දහසක් අවශ්‍ය වූ විට මෙරට සිටියේ මව් කිකිළියන් 42000ක් පමණකි.

බිත්තර නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටීමට හේතු පැහැදිලි ය. නිෂ්පාදනය බිඳ වැටීමට හේතු වූ කාරණා ඉවත් කළ බව අමාත්‍යවරයා සිද්ධියේ පවසා තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බිත්තර ලක්ෂ 10 බැගින් ආනයනය කිරීමෙන් පලක් නොවන බවත්, කළ යුත්තේ බිත්තර නිෂ්පාදනය පැවැති තත්ත්වයට  ගෙන ඒම බවත් පැහැදිලිය.

(***)