මෙවර ජනාධිපතිවරණයට සූදානම් වන දේශපාලන පක්ෂ විසින් ගන්නා ලද වඩාත්ම කැපී පෙනෙන තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා වශයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ගත් තීරණය විය යුතුය.
එහෙත් එම තීරණය නිසා දේශපාලන පොර පිටියේ මෙතෙක් ඇති වී තිබෙන පෙළ ගැසීම්වල සැලකිය යුතු වෙනසක් සිදුවේ යැයි සිතිය නොහැකිය. සමහරවිට කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. එම තීරණය නිසා පොදුජන පෙරමුණ තුළ අමුතු ප්‍රබෝධයක් හෝ අනෙක් පක්ෂ තුළ අමුතු තිගැස්මක් හෝ ඇති වූ බවක් ද නොපෙනෙන්නේ එනිසාය.
එසේම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එම තීරණයේ සැලකිය යුතු බලපෑමක් ඇති වනු ඇති බවක් ද නොපෙනේ. ජනතාව තුළ එම තීරණය සම්බන්ධයෙන් දක්නට ඇති උදාසීන ආකල්පයෙන් කියවෙන්නේ එයයි.
කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ පැවැත්ම සම්බන්ධයෙන් නම් මේ තීරණය හොඳම තීරණය විය හැකිය. අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වෙන 2022 මහජනතාව නැඟිටීමෙන් පසු මහා පරිමාණ සෝදාපාළුවකට ලක් වූ බව පෙනෙන පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට නැවත බලපෑමක් එල්ල වන්නට පටන් ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් තමන් වෙතට නම්මා ගැනීමත් සමඟය. එම ප්‍රවණතාව සුළුවෙන් හෝ අඩුකර ගැනීමට නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උපකාරී විය හැකිය.
පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිපත් වන්නට අපේක්ෂා කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට එවැනි බලපෑමක් කළ හැකිවේ යැයි සිතිය නොහැකිය. එම පෙරමුණ මෙම තීරණය පසුගිය වසරේ අවසානයේ දී පමණ ගත්ත නම් අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ එම පෙරමුණේ සෝදාපාළුව යළි හරවන්නට නොහැකි වුවද ජනාධිපතිවරයා එම පෙරමුණේ මන්ත්‍රීවරුන් කඩා ගැනීම සුළුවෙන් හෝ අඩුකර ගත හැකි වන්නට ඉඩ තිබිණි.
පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්නේ නම් එය එම පෙරමුණේ අවසානය වන්නට පුළුවන. විශේෂයෙන්ම වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී දෙවැනි ස්ථානයට හෝ පත් වූයේ නම් පොදුජන පෙරමුණෙන් වෙන් වී ජනාධිපතිවරයා සමඟ එක්වූ මන්ත්‍රීවරුන් පිරිස ඉන්පසු එක්සත් ජාතික පක්ෂය තුළම තම ස්ථානය තහවුරු කර ගන්නට උත්සාහ කළ හැකිය.
අනෙක් අතට පොදුජන පෙරමුණ මෙවර තරග නොකළේ නම් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රාජපක්ෂ නාමය තවදුරටත් ඉතිරිවේද? යන්නද සැක සහිතය. එසේ ඉතිරි වුවද රාජපක්ෂවරුනට විශේෂ වැදගත් කමක් නොලැබෙන්නට ද පුළුවන. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඒ මහතා ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් පොදුජන පෙරමුණ රැක ගැනීමටත්, රාජපක්ෂවරුන්ගේ නායකත්වය රැක ගැනීමටත් උපකාරී වනු ඇතැයි ද එහෙයින් මෙම තීරණය එම පෙරමුණේ ඇසින් හොඳම තීරණය යැයි ද සිතන්නේ ඒ අනුවය. මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරීව සිටිය දී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නායකත්ව ප්‍රතිරූපයක් ගොඩනැඟීම පහසුය.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව දිනා ගැනීමට වැඩියෙන්ම දුෂ්කර වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය අතුරින් පොදුජන පෙරමුණටය. ඒ භාණ්ඩ හිඟය හා පෝලිම් මේ වනවිට සමාජ මාතෘකා අතර නැති වුවද 2021/22 කාල වකවානුවේ ආරම්භ වූ ආර්ථික අර්බුදයේ දරුණු බලපෑම ඒ ආකාරයෙන්ම තවමත් බිම් මට්ටමේ පවතින හෙයිනි. එම කාලයේ තුන් ගුණයකින් ඉහළ ගිය භාණ්ඩ මිල තවමත් ඒ මට්ටමේම පවතී. අඩු වූයේ නම් භාණ්ඩ සුළු සංඛ්‍යාවක ඉතා සුළුවෙනි.
එහෙයින් අනෙක් පක්ෂවල හිස් බොරු පොරොන්දුවලට යම් වලංගු භාවයක් තිබෙන්නට හැකියාවක් ඇතත් පොදුජන පෙරමුණ දෙන පොරොන්දුවලට එවැනි වලංගුභාවයක් ලැබෙන්නේදැයි සැක සහිතය.
දැන් සිදුවී ඇත්තේ බලයේ සිටිය දී මහින්ද රාජපක්ෂ මහතා එජාප ඇතුළු වෙනත් පක්ෂ කඩා එම පක්ෂවලට කළ දේ දැන් රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන පොදුජන පෙරමුණට ද කිරීමය. ආර්ථික අර්බුදයත් අරගලයත් හේතුවෙන් ද එම පෙරමුණේ නායකයන්ගේ මහා පරිමාණ දූෂණ පිළිබඳව ජනතාව තුළ පැලපදියම් වී ඇති මතවාද හේතුවෙන්ද පොදුජන පෙරමුණ දැඩි ලෙස අප්‍රසාදයට ලක්වී ඇත. මෙවැනි පසුබිමක එම පෙරමුණ කඩා ඉහිරවීම එම පෙරමුණට දරා ගැනීමට නොහැකි තරමේ ප්‍රහාරයකි.
එහෙත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂකමම නොවේ. ඔහු කළේ දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක් වී ජනතාව හමුවට ගොස් අඩු තරමින් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි කියා හෝ ජනතාවට කියන්නට නොහැකිව පොදුජන පෙරමුණ සිටි තත්වය යටතේ තම අනාගතය ගැන අවිනිශ්චිතතාවක සිටින එම පෙරමුණේ මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද හා වරදාන පෙන්වා ඔවුන් තමන්ගේ ගොඩට දමා ගැනීමය.
එහෙත් තමන් එසේ පිල් මාරු කරන්නේ වරදාන හා වරප්‍රසාද සඳහා යැයි එම මන්ත්‍රීවරුන් කියනු ඇතැයි අප අපේක්ෂා කළ යුතු නැත. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගත් බවත් රට ගොඩනගන්නට වැඩ පිළිවෙළක් ඇත්තේ ඔහුට පමණක් බවත්ය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහයෙන් විවිධ විදේශ ආයතනවලින් අලුතින් ගන්නා ලද ණයවලින් පොලිය නැති කළත් 2027 න් පසු ජනාධිපතිවරයා විදේශ ණය ගෙවන්නට යන්නේ කෙසේ දැයි යමෙක් ඔවුන්නේ ඇසුවහොත් ඔවුන් කුමක් කියනු ඇත්ද?
ඔවුන්ගේ එම ප්‍රකාශ සමාන වන්නේ යුද්ධය පැවති කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට යැයි කියමින් එජාප මන්ත්‍රීවරුන් වරදාන, වරප්‍රසාදවලට ඉව අල්ලමින් රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමටය.
නාමල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය තදින්ම දැනෙනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. සමගි ජන බලවේගය 2020 දී එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගියේ එජාපයේ ආසන්න වශයෙන් සමස්ත ඡන්ද පදනම රැගෙනය. 2020 මහ මැතිවරණයේදී එජාපයට ඉතිරි වූයේ ඡන්ද තුන් ලක්ෂයකටත් අඩු සංඛ්‍යාවකි. දැඩි මහජන අප්‍රසාදයට ලක්වූ පොදුජන පෙරමුණේ සහයෝගයෙන් ජනාධිපතිධුරයට පත්වී එම පෙරමුණේ සහයෝගයෙන් සහයෝගයෙන්ම පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගැනීම වික්‍රමසිංහ මහතාගේ ඡන්ද පදනමට හිතකර අයුරින් බලපෑවේ යැයි සිතිය නොහැකිය.
එසේම බදු ප්‍රශ්නය, මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත වැනි මර්දන නීති, පළාත් පාලන මැතිවරණ කල් දැමීම අධිකරණයට අභියෝග කිරීම වැනි කාරණා උගත් හා මාධ්‍යම පන්තියේ කාණ්ඩායම්වල ප්‍රසාදයට හේතු නොවීය. මේ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණු වශයෙන් රාජපක්ෂවරුන් සමඟ තවදුරටත් රැඳී සිටින ඡන්දදායකයා දිනා ගැනීම අනිවාර්යය වී තිබේ.
වික්‍රමසිංහ මහතා 2022 සිටම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් වෙතට නම්මා ගැනීමට පෙළඹුණේ මේ තත්වය යටතේය. එම මන්ත්‍රීවරුන් සමඟ සෘජුව සබඳතා නොපවත්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය වසරේදී වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවට වාර්තා පළ වුයේද මේ පසුබිම තුළය. මෙහිදී වඩා වැදගත් ප්‍රශ්නය නම් ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක් වුවද එම මන්ත්‍රීවරුන්ගේ ඡන්ද කොට්ඨාසවල ජනතාව ඔවුන් සමඟම ජනාධිපතිවරයාට සහාය දෙන්නට ඉදිරිපත් වන්නේ ද යන්නයි.
ඡන්දදායකයන්ගෙන් පිරිසක් ජනාධිපතිවරණයක දී හා මහ මැතිවරණයක දී වෙනස් පක්ෂවලට පවා ඡන්දය දෙන්නට පෙළඹෙන බව පසුගිය වසර කීපය තුළ ඇතැම් ආයතන කළ ජනමත සමීක්ෂණවල දී පෙනී ගොස් තිබේ. එම සමීක්ෂණවල නිරවද්‍යතාව පිළිබඳව මේ වවිට බරපතළ සැක පහළ වී තිබුණ ද පිරිසක් මහ මැතිවරණයක දී හා ජනාධිපතිවරණයක දී වෙනස් ආකාරයට හැසිරීමේ තර්කානුකූල බවත් තිබේ. ඒ ඔවුන් හා ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයන් අතර ඇති බැඳීමේ ප්‍රමාණය අනුවය.
ඒ අනුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ ඡන්දදායකයන් පිරිසක්ද වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට ඉදිරිපත් විය හැකිය. අනෙක් අතට ආර්ථික අර්බුදය හමුවේ සොරොව්ව ඇරියා සේ පාක්ෂිකයන් පොදුජන පෙරමුණ අතහැර යද්දී යම් පිරිසක් එම පෙරමුණ අත්හැර නොගියේ නම් ඒ ඔවුනට ආර්ථික අර්බුදයෙන් බලපෑමක් ඇති නොවීම නිසා නොව පක්ෂයේ ජාතික හා ප්‍රාදේශය නායකත්වය කෙරෙහි වූ අන්ධ භක්තිය නිසා විය යුතුය. එම පිරිසකගෙන් කොටසක් තවදුරටත් රාජපක්ෂවරුන් සමගම සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මෙම සාධක හැර රට ගොඩගත හැක්කේ වික්‍රමසිංහ මහතාට පමණකැයි පොදුජන පෙරමුණ අත්හැර වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට යන මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශවලින් මෙම ඡන්දදායකයන්ට කිසිදු බලපෑමක් සිදු නොවේ.
එජාප හා පොදුජන පෙරමුණ සහ පක්ෂ දෙකේම ඡන්ද පදනම දිය වී ගොස් තිබූ තත්වය යටතේ එම පක්ෂ දෙක එක්වී ජනාධිපතිවරණයට මුහුණ දෙනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් එවැනි සුහද ගනු දෙනුවකට ජනාධිපතිවරයා සූදානම් වූ බවත් මුල පටන්ම පෙනුණේ නැත. ඔහු පොදු පෙරමුණ ඉල්ලා සිටි පරිදි එම පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර දුන්නේ නැත.
මන්ත්‍රීවරුන් කඩා ගැනීම කෙරීගෙන යද්දී පොදුජන පෙරමුණේ පසුගිය මාසයේ පිරිසක් නායකත්වයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයේ දී වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කළහ. පසුව එය රැල්ලක් බවට පත්විය. ඉන්පසු ජූලි 26 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබූ සැණින් පොදුජන පෙරමුණ සමග කිසිදු සාකච්ඡාවක් නොකොට එම ජනාධිපතිවරණයේ දී තරග කිරීම සඳහා වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණි. මේ නිසා පක්ෂයක් වශයෙන් පොදු පෙරමුණ වික්‍රමසිංහ මහතාට සහාය දීම පස්සෙන් යෑමක් මෙන් විය.
මෙයින් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සිත් පෑරුණා විය හැකිය. ඔවුන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම එක් අතකින් ඊට එකටෙක කිරීමක් වැනිය.
දැන් අපූරු සිදුවීම් මාලාවක් සිදුවේ. වික්‍රමසිංහ මහතා තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. එජාප තරග කරන්නට තරම් හොඳ පක්ෂයක් නොවේ යැයි ඔහු සිතන්නේ ද? ඔහු ස්වාධීනව තරග කරන්නේ එජාපයෙන් ඉල්ලා අස්වීද?
තමන් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ ඔහු ස්වාධීනව තරග කරන නිසා යැයි බෙදුණු ශ්‍රීලනිපයේ එක් කණ්ඩායමක මන්ත්‍රීවරයකු වන මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රීලනිපය කැඩුණේ ද අමරවීර මහතා ඇතුළු පිරිසක් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට ඉදිරිපත් වීම නිසාය යන්න රටම දනී.
මේ අතර 2022 සිට වික්‍රමසිංහ මහතාට සහාය දෙන මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂ වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දෙන බවටත් සමඟි ජන බලවේගයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බවටත් යෝජනා සම්මත කොට ඇත. දේශපාලන පක්ෂවල නිල රාජකාරියක් වශයෙන් මෙසේ කළ යුතු විය හැකිය. එහෙත් ඒවායින් ඡන්දදායකයාගේ මනසට බලපෑම් කළ නොහැකිය.
ඡන්දදායකයාට අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩගෙන 2027න් පසු ණය ගෙවිය හැකි නීතියට ගරු කරන, දූෂණයට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකි, ජාතික සමගිය ශක්තිමත් කළ හැකි පරිපාලනමය යාන්ත්‍රණයකි. එය යථාර්ථයක් කර ගන්නට ජනතාව දැනුවත් වේද බුද්ධිමත් වේද යන්න හා එවැන්නක් කළ හැකි ද යන්න කාලයට බාරය.
(*** එම්.එස්.එම්. අයුබ්)