ආර්ථික අපරාධ පිළිබඳව නූතන ලංකාවේ සුලබව සාකච්ඡා වෙයි. ඊට හේතුව ඒ අපරාධවල ප්‍රතිඵල මහිමයෙන් පොදු ජනතාව පරිපීඩිතව සිටීමය. ඔවුනට මානසිකව හෝ සහනයක් ලැබේදැයි ඇත්තේ සැකයකි. මේ ඒ පිළිබඳ විමසුමකි.
මේ විග්‍රහය කරන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටුනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ නීතිඥ සංඛිතා ගුණරත්නය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී (L.L.B.) උපාධිය දිනාගෙන සිටින ඇය ‘දූෂණය සහ ආණ්ඩුකරණය’ පිළිබඳව ශාස්ත්‍රපති (M.A) උපාධිය දිනාගෙන තිබෙන්නේ එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. මතු දැක්වෙන්නේ ඇයගේ හඬයි.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එය ආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට සෘණාත්මක ලෙස නැතහොත් ආර්ථිකය කඩා වැටීමට හේතුවන අයුරින් ගන්නා තීරණ, තීන්දු සහ ක්‍රියා මාර්ගද ආර්ථික අපරාධ වශයෙන් හැඳින්විය හැකිය. අල්ලස සහ දූෂණයෙහි යෙදීමද ආර්ථික අපරාධයකි.
ආර්ථිකමය වශයෙන් ලංකාව අද සිටින්නේ අගාධයකය. ඒ අතර ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ද ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට සාකච්ඡාවක් සිදුවෙයි. මානව හිමිකම් සහ අල්ලස හා දූෂණය අතර විශාල සබඳතාවක් පවතී. යම් රටක අල්ලස හා දූෂණය ව්‍යාප්තව පවතින විට ඒ රටේ ජනතාවගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික යනාදි සියලු අයිතීන් උල්ලංඝනය වෙයි. මානව හිමිකම් කවුන්සිලය අල්ලස සහ දූෂණය ආර්ථික අපරාධයක් ලෙස දකින්නේ ඒ කෝණයෙනි. 2022 ඔක්තෝබර් 06 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත වූ යෝජනාවෙහි සඳහන් වන්නේත් ලංකාවේ සිදුවූ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීමක් තිබිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් දේශපාලනයෙහි සහ රාජ්‍ය පරිපාලනයෙහි නියුතු නිලධාරීන් වගවිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය විය යුතු බවත් මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත වූ යෝජනාවෙහි සඳහන් වෙයි. ඒ නිසා ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ලංකාවෙහි බරපතළ ලෙස සාකච්ඡාවට ලක් වෙයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයත් 2022 ජූනි 17 වැනිදා තවත් තිදෙනකු සමග ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොනු කළෙමු. රටේ ආර්ථික අර්බුදයට හේතු වුණු තීරණ සහ ක්‍රියාමාර්ගවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වගවීම අයැද සිටීම ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල අරමුණයි. එහිදී අපේ අරමුණ වන්නේ ‘අපට මෙහෙම වුණේ ඇයි’ කියන ජනතා ප්‍රශ්නයට යම් පිළිතුරක් සොයා ගැනීමටය. ප්‍රායෝගික සහායක් නැතත් මානසික ඇස්වැසිල්ලක් ලැබෙන පිළිතුරක්වත් ජනතාව අපේක්ෂා කරති.
පොදු දේපළ අයථා ලෙස භාවිත වූ සහ අවභාවිත වූ අවස්ථා සහ සිද්ධිවලදී ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ පැත්තේ සිට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අවස්ථා ගණනාවක් ලංකා ඉතිහාසයෙහි පවතී. ‘වෝටර්ස් ඒජ්’ නඩු තීන්දුව එවැන්නකි. 2022 ජූනි 17 වැනිදා අප ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නා බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ 2022 ඔක්තෝබර් 07 වැනිදාය. 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයා ව්‍යාපාරවලින් අය කරන බදු අඩු කරන බව කිව්වේ ජනාධිපතිවරණ සමයේදීය. බදු අඩු කිරීමට ගත් ඒ තීරණය සහ බදු අඩු කළ ආකාරය නීති විරෝධී බව ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයයි. තවත් පෙත්සමක් ද අධිකරණය හමුවෙහි පවතින අතර පෙත්සම් දෙකම එකවර විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාවේ ශ්‍රේණි පහළට ඇද දමද්දී ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම සහ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම රැක නොගැනීම සේම ණය ආපසු ගෙවීම කල්දමා නොගෙන දිගින් දිගටම ණය ගෙවමින් ඩොලර් සංචිත හිස් කිරීම සම්බන්ධයෙන් ද තීරණයක් දෙන්නැයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිමු. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කල් තබා නොගොස් සහන සලසා නොගැනීම සම්බන්ධයෙන් ද අපි අධිකරණයේ තීන්දුව අපේක්ෂ කරමු. අප ඉල්ලන ඒ සහන සහ තීන්දු දීමට පෙර අපේ නඩුව විභාගයට ගන්නා බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ 2022 ඔක්තෝබර් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ නියෝග කිහිපයකි. ඒ නියෝග කර තිබෙන්නේ විගණකාධිපතිවරයාට සහ මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයාටය.
ඇමෙරිකන් ඩොලරයක වටිනාකම ලංකා රුපියල් 203ක් ලෙස ස්ථාවරව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීන්දු තීරණ පිළිබඳ සියලු විස්තර 2022 නොවැම්බර් 30 වැනිදා වනවිට අධිකරණයට සපයන්නැයි විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම, 2022 ජනවාරි 18 වැනිදා ඇමෙරිකන් ඩොලර් බිලියන 500ක ණය ගෙවීමට ගත් තීරණය සහ ඒ කළ වියදම්වලින් මහ බැංකුවට වූ පාඩු සම්බන්ධයෙන් විස්තර ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ. එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලයට සේම මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන්ට මහ බැංකුවෙන් කළ නිර්දේශ සහ සන්නිවේදන සියල්ල නොවැම්බර් 30 වැනිදාට පෙර ලබා දෙන්නැයි මහ බැංකුවේ වර්තමාන අධිපති නන්දලාල් වීරසිංහ මහතාට ද අධිකරණයෙන් නියෝග කර තිබේ. ඒ විස්තර අධිකරණය හමුවට පැමිණීම තොරතුරු දැන ගැනීම පැත්තෙන් ජනතාව ලබන විශාල ජයග්‍රහණයකි. අපට මේ අපරාධය කළේ කවුද? ඔවුන් අපට කළේ වැළැක්විය හැකිව තිබූ වරදක් ද? අප වද විඳිමින් අගාධයක වැටී සිටින්නේ ඇයි කියන ජනතා ප්‍රශ්නවලට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේ දී යම් පිළිතුරක් බලාපොරොත්තු විය හැකිය. මේ නඩුව විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ මෙය ඇසීමට සුදුසු නඩුවක් ලෙස ශ්‍රේඨාධිකරණය තීරණය කර තිබෙන බවය.
පොදු දේපළ කොල්ලය සහ බලය අවභාවිත කිරීම සේම අල්ලස හා දූෂණය ද ආර්ථික අපරාධය. අල්ලසක් කියන්නේ මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් සහිත දෙයකි. පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම දූෂණයකි. ටෙන්ඩර් පටිපාටියක් ඇතුළේ මුදල් ගසා කෑමක් වන්නේ නම් එයද දූෂණයකි. ඒ සියල්ල මූල්‍යමය වටිනාකමක් සහිත අපගාමි ක්‍රියාය. ඒ සියල්ල ආර්ථික අපරාධය. තමන් දරන තනතුර අවභාවිත කිරීම සහ තමන්ගේ බැඳියාවන් අතර ගැටුමක් පැවැතීම සේම මහජන යහපත සඳහා ක්‍රියාත්මක කිරීමට තමන්ට පවරා තිබෙන බලය පොදු යහපත පැත්තක දමා තම අභිවෘද්ධිය වෙනුවෙන් පාවිච්චි කිරීම දූෂණය. එහෙත් ඒවා ආර්ථිකමය අපරාධ ලෙස නොදකියි.
වැරදි තීරණ ගැනීම හරි තීරණ නොගැනීම නිසි පියවර නිසි වෙලාවේ නොගැනීම, ගජ මිතුරන්ට අනුකම්පා කිරීම සහ සහන දීම, ගජ මිතුරන්ගේ වැරදි ක්‍රියා නොදැක්කා සේ සිටීම ද ආර්ථික අපරාධය. එය එසේ වන්නේ එමගින් රටට ජනතාවට සහ රාජ්‍ය භාණ්ඩාගාරයට අලාබ සහ පාඩු සිදුවන හෙයිනි.
පොදු දේපළ කොල්ලකා තිබේය. ඒවායෙන් විවිධ දේපළ මිලදී ගෙන හෝ ගොඩ නගා තිබේය සහ කොල්ලකෑ පොදු දේපළ රටෙන් පිටුවහල් කර තිබේය යනුවෙන් අද රටේ ජනතාව අතර පවතින විශ්වාස රැසකි.
කොල්ල කෑ පොදු දේපළවලින් ඇමෙරිකාවේ, එංගලන්තයේ, උගන්ඩාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් රටක වත්කම් මිලදී ගෙන තිබෙන බවට ද ජනතාව අතර විශ්වාස පවතී. ඒ සල්ලි යළි මෙරටට ගෙන්වා ගන්න බැරිද? ඒවා ගෙන්වා ගත්තොත් තමන් වැටී සිටින වළෙන් ගොඩ යන්න පුළුවන් වෙයිද කියා ජනතාව කල්පනා කරති. රටින් පිටට ඇද්ද ඒ සම්පත් යළි රටට ගෙන්වා ගැනීමට නුතන ලෝකයේ නොයෙක් ක්‍රමවේද පවතී. එහෙත් ඒ සඳහා අවම වශයෙන් අවුරුදු 10 ක් වත් ගතවෙයි. අනෙක එවැනි ක්‍රියාවලියකට යාමට රටේ විධායකය ඊට සම්බන්ධ විය යුතුය. ඒ කියන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය තීරණයක් ගත යුතුය. ගතයුතු ඒ තීරණය වන්නේ ‘කොල්ලකා රටින් පිටට ගෙනගිය දේපළ යළි පවරා ගන්නා බවට ජනාධිපති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය තීරණය කිරීමය. ඒ තීරණය කොල්ලකෑ සම්පත් හෝ ඉන් මිලදී ගත් දේපළ තිබෙනවාය කියා විශ්වාස කරන රටේ විධායකයට දැනුම් දිය යුතුය. ඒ රටේ නීති ක්‍රියාත්මක කරන ආයතනවලට ද දැන්විය යුතුය. එය විය යුත්තේ දේශපාලන ව්‍යුහය මගිනි. ආර්ථික අපරාධ කළ පුද්ගලයන් බලයේ සිටින්නේ නම් එවැන්නකට ඉඩ දෙතැයි සිතීම මංමුලා වීමකි.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ පස්වැනි පරිච්ඡේදයෙහි අපරාධවලින් උපයා ගත් වත්කම් නැවත සිය රටට ගෙන්වා ගැනීම ගැන සඳහන් වෙයි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි පළමුවැනි මාවත හා ඉහත කී විධායකය මගින් ක්‍රියාත්මක වීමය. දෙවැනි ක්‍රමයක් ද තිබේ. එය නම් යම් පුද්ගලයකු ඇමෙරිකාවේ, උගන්ඩාවේ හෝ වෙනත් යම් රටක පිහිටි යම් දේපළක් හෝ වත්කමක් අයථා ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගෙන තිබේ නම් හෝ අත්පත් කරගෙන තිබේ නම් අදාළ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැමිණිලි කළ හැකිය. නීතිය ක්‍රියාත්මක වන රටක් නම් ඒ රටේ අදාළ ආයතන මගින් ඒ වත්කම මිලදී ගෙන තිබෙන්නේ අයථා ලෙස උපයා ගත් ධනයෙන් ද සොයා බලයි. අනතුරුව ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඒ රටේ අදාළ ආයතනවලට හැකියාව පවතී.
කොල්ල කා රටින් පිටට ගෙන ගිය වත්කම් යළි අත්පත් කර ගැනීමේ තෙවැනි ක්‍රමයක් ද පවතී. ඒ ක්‍රමය නම් සිවිල් සංවිධානවලට ක්‍රියාත්මක වීමට තිබෙන බලයයි. උදාහරණයකට සමක ගිනියාව නමැති රටේ හිටපු උප ජනාධිපති තියඩෝරියන් ඕබ්සන් තම රටේ මූල්‍ය අපරාධ කිරීමෙන් උපයා ගත් මුදල්වලින් ප්‍රංශයේ දේපල රැසක් මිලදී ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රංශයේ සිටින සිවිල් සංවිධාන දෙකක සාමාජිකයන්ගේ එරට අධිකරණයක නඩු පැවරූහ. අවුරුදු දහයක් තිස්සේ විභාග වූ ඒ නඩුවෙන් තීරණය වී තිබෙන්නේ අපරාධවලින් උපයාගත් මුදල්වලින් අත්පත් කරගත් දේපළ ප්‍රංශ රජයට පවරාගෙන ඒවා මුදල් කර ඒ මුදල් සමග ගිනියාවට ලබාදීමටය. ඒ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් පවතී. මුල්‍ය අපරාධවලට එරෙහි ලාංකිකයන්ට එය කදිම ආදර්ශයකි. එසේම උත්තේජකයකි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ගැන දැන් ලංකාවේද සාකච්චා වෙයි. එය 2017 සිට සකස් වූවකි. එය හොඳ සේම අත්‍යවශ්‍ය නීතියකි. අල්ලස් දූෂණ වැලැක්වීමට ලංකාවේ දැනටත් ඕනෑ තරම් නීති තිබෙන බව බොහෝ දෙනා නොදනිති. ප්‍රශ්නයකට තිබෙන්නේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීමය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීනව කටයුතු නොකරන බව රටවැසියන්ගේ විශ්වාසයයි. පිළිගැනීමයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිසි පණිවුඩය ලැබිය යුත්තේ ඉහළිනි. (Tone from the top) තම හිතමිතුරන් ගජ මිතුරන්, පාක්ෂිකයන්, සහායකයන් සහ අනේවාසිකයන් වරදක් කළත් ඔවුන්ට එරෙහිව ද නීතිය නීතියේ සඳහන් අයුරින් ක්‍රියාත්මක වන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ යුතුය. එහෙත් අප දන්නා ඉතිහාසය පුරා නම් එසේ සිදුවී නැත. ඇති හැකි බලපුළුවන්කාරයන්ට එක අයුරකිනුත් නැති බැරි අසරණයන්ට තවත් ආකාරයකිනුත් නීතිය ක්‍රියාත්මක වන බව පොදු සමාජයේ පිළිගැනීමයි, විශ්වාසයයි.
මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ චෝදනා එල්ලවන්නේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටය. එය එසේවීම සහේතුක බවට තිබෙන සාක්ෂි අපමණය. මගේ දැක්ම අනුව ඔවුනට චෝදනා කර අත පිසදා ගැනීමේ හැකියාවක් රටේ ජනතාවටද නැත. ජනතාව මැතිවරණවලදී ඡන්දය දෙන ආකාරයෙන් තමන්ට හොඳ නරක ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවන බව දැන් ලංකාවේ ජනතාවට ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. වැසු දොරක් ඇතුලේ සල්ලි දැම්මාට, සේප්පු, ලාච්චු සහ බ්‍රීෆ් කේස්වල සල්ලි පුරවා දීමෙන් තමන්ට ප්‍රශ්නයක් නොවන බව මෙතෙක් ජනතාවගේ විශ්වාසය විය. එහෙත් ඒ විශ්වාසය වැරැදි සහ තමන්ට ප්‍රතිවිපාක සහිත බව දැන් ජනතාවට අවබෝධ වෙයි. තමන් ද නියැලෙන අල්ලසෙහි සහ දූෂණයෙහි නරක ප්‍රතිවිපාක තිබෙන බවද දැන් ජනතාවට වැටහෙයි. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කිරීමට පෙර බොහෝ දේවල් තුලනාත්මකව සිතා බලා බුද්ධිමත්ව තීරණ ගැනීමට ජනතාව පෙළඹිය යුතුය. එසේ නොකළොත් එහි ප්‍රතිවිපාක යළිත් විඳින්නට වන්නේ තමන්ටම බවද ජනතාව අවබෝධ කරගත යුතුය. ජනතාව ඒ අවබෝධයෙන් තෙරව හැඟීම් සහ ආවේග මත ඡන්දය පාව්චිචි කිරීමෙන් යළි යළිත් වළේම වැටෙනු නියතය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)