ජනතාවට කන්නත් නැති රටේ ජනාධිපතිගේ සුපිරි උපන්දින සාදය


5_SLT_P_14-new   

 

රටේ ජනතාවගෙන් සියයට අනූවක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙද්දී ඩොලර් මිලියනයක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 14 කට ආසන්න) වැය කොට සිය උපන්දිනය සමරන රාජ්‍ය නායකයකු සිටී නම් එම රටේ ජනතාවට දැනෙන හැඟීම කෙසේ දැයි යන්න සිතා ගැනීමට ඔබට අපහසු නොවේ. 

f
මෙවැනි රාජ්‍ය නායකයකු ජීවත්වන්නේ අප්‍රිකා මහාද්වීපයේ සිම්බාබ්වේ රාජ්‍යයේය.ආර්ථික දුෂ්කරතා සහ නියඟය හේතුවෙන් රටේ බහුතරයක් දුක් පීඩා විඳිද්දී තම වයස අවුරුදු 92කට සාපේක්ෂ වෙමින් කිලෝ 92ක් බරැති කේක් ගෙඩියක් කපා ඩොලර් මිලියන ගණනින් වැය කොට උපන්දින සාද පවත්වන මොහු, වසර තිස්හයකට වැඩි කාලයක් සිම්බාබ්වේ පාලක ජනාධිපතිවරයා වන අනූ දෙහැවිරිදි රොබට් මුගාබේය.


කොතරම් කලක් බලයේ සිටියත් කවදා හෝ එය අත්හරින්නට සිදුවීම යාථාර්ථය වුවද සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එය ලෙහෙසියෙන් අත්හරින්නට සූදානම් නැත. අප්‍රිකා රාජ්‍ය නායකයන් අතරින් ඉතාමත් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ඒකාධිපති පාලකයකු ලෙස ඔහු ප්‍රසිද්ධය.
ගරිල්ලා නායකයකුව සිටි පසුව එනම් 1980දී  ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවට අනුගත වූ මුගාබේ, එකල රොඬේෂියාව නම් වූ තම නිජබිම සුදු පාලකයන්ගෙන් මුදා ගැනීමේ සටනේ පුරෝගාමියෙක් වූයේය. එතැන් පටන් වසර හතක් යන තුරු සිම්බාබ්වේ හෙවත් රොඬේෂියාවේ අගමැති ලෙසින් තේරී පත් වීය. ඉන්පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් 1987දී එරට ප්‍රථම සහ වර්තමානය වන විට එරටින් බිහි වූ එකම විධායක ජනාධිපතිවරයා ලෙසින් වැජඹෙන්නේ තම ජනයා ගැන නොසිතමිනි.


තමා විසින්ම මාක්ස්වාදියකු වශයෙන් තමාව හඳුන්වා ගනු ලබන මුගාබේ, එරට විරුද්ධ පක්ෂ අබිබවමින් වසර ගණනාවක් තිස්සේ එරට පැවති මහ මැතිවරණවලින් තමන්ට රිසි පරිදි ජයග්‍රහණය හිමිකර ගන්නෙකි. එක්තරා කාලයක නැගෙනහිර අප්‍රිකාවේ ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලබා සිටි සිම්බාබ්වේ රාජ්‍යය, පසුගිය වසර කිහිපය තුළදී ආහාර හිඟයකින් හා සාගතයක් නිසා දැඩි ලෙස බැටකමින් සිටී.


දැනටමත් සිමබාබ්වේ ජනයාගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විදිද්දීත්, රටේ මූල්‍ය ඒකකයේ අගය පහළ බැස උද්ධමනය සියයට 200කින් ඉහළ නැඟ, විරැකියාව ඉතාමත් උග්‍රව, විදේශ ආදායම් මාර්ග බොහොමයක් වැසී ගොස් තිබියදීත් මුගාබේ ගේ මුග්ධ පාලනයට විරෝධය දක්වමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පනවා තිබියදීත් රොබට් මුගාබේ ඩොලර් මිලියන ගණන් වැයකොට  කිලෝ අනූ දෙකක් බරැති කේක් ගෙඩියක් කැපූ ජනාධිපතිවරයා විය. සිය උපන්දිනයේදී ප්‍රකාශ කළේ තම රට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ බටහිර කුමන්ත්‍රණයක් නිසා බවය.


බි්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පත වාර්තා කර ඇති අන්දමට රොබට් මුගාබේගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ ඉකුත් පෙබරවාරි 22 වැනිදාය.නමුත් ඒ සම්බන්ධයෙන් ඡායාරූප සහ පුවත් විදෙස් පුවත් සේවාවලින් ප්‍රසිද්ධියට පත් වූයේ ඉකුත් 28 වැනිදාය. රොබට් මුගාබේගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මන්දිරයේත් තවත් ස්ථාන කිහිපයකත් සාද පැවැත්වූ අතර, කිලෝ 92ක් බරැති කේක් ගෙඩියට අමතරව තවත් විවිධාකාරයේ උපන්දින කේක් නිර්මාණය කර තිබිණි. හරාරේ අගනුවර පිහිටි ජනපති මන්දිරයේ පැවති සාදය වෙනුවෙන් සෑදූ කිලෝ 92ක දැවැන්ත කේක් ගෙඩිය කපා සිය උපන්දිනය සැමරීමට ජනපති මුගාබේ ගේ බිරිය වූ ග්‍රේස්, දියණියන් පුතණුවන් වන බෝනා සහ චටුන්ගා ද සහභාගී වූ බව ඬේලි මේල් පුවත්පත වාර්තා කර තිබිණි.

dh
ජනපති මන්දිරයේ සාදයට අමතරව තවත් උපන්දින සාදයක් සිම්බාබ්වේහි නටබුන් පිහිටි භූමිය අසලදී පැවැත්විණි. යුනෙස්කෝ ලෝක උරුමයක් හා සංචාරක ආකර්ෂණයකින් යුතු මෙම ස්ථානයේ දී තම අනූ දෙවැනි උපන්දිනය සමරමින් අප්‍රිකා මහාද්වීපයේ හැඩයෙන් යුතු කේක් ගෙඩියක් කපා උපන්දිනය සැමරීමට මුගාබේ අමතක නොකළේය. සිය බිරිඳ සමඟ එම සාදයට සහභාගී වූ මුගාබේ සාදයට පැමිණි දහසකට අධික සිම්බාබ්වේ වැසියන්ට සංග්‍රහ කිරීමටද අමතක නොකළේය. එම අවස්ථාවට පැමිණි මුගාබේගේ අනුගාමිකයෝ I  LOVE YOU BOB යනුවෙන් සඳහන් වූ ටීෂර්ට්, ධජ සහ තොප්පි පැලඳ සිය පක්ෂපාතීත්වය පළ කර සිටියහ. BOB යනු රොබට් මුගාබේ හඳුන්වන සුරතල් නාමය වේ.


පැමිණ සිටි ජනයා හමුවේ රටේ අභිමානය ගැන වර්ණනා කරමින් පැයක් පුරා දිගු දේශනයක්ද කිරීමට මුගාබේ අමතක නොකළේය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විවේචනය කළ ඔහු කියා සිටියේ බටහිරයේ උවමනාවන්ට සමලිංගික අයිතිය ලබාදීමට තමන් කිසිසේත්ම සූදානම් නොවන බවය. එසේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන මිලියන තුනක ජනතාව නියඟයෙන් පීඩා වින්දද විවිධ කොන්දේසි යටතේ හෝ එවැනි නීතීන් ස්ථාපනය කිරීමට කටයුතු නොකරන බවද මුගාබේ කියා සිටියේය. විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගීවු සිය උපන්දින සාදයේදී විවිධ සංස්කෘතික සැණකෙළි නැරඹීමට අමුත්තන්ට ඉඩ සලසා දුන්නේය. අවසානයේ අනූ දෙවැනි ජීවිත කඩඉම පසු කරමින්, උපන්දින ප්‍රීතිය නිමිත්තෙන් බැලූන 92ක්ද ගුවනට මුසු කිරීමට අමතක නොකළේය.


මෙලෙස උපන්දින සාද දැමීමට මුගාබේගේ උපන්දින සාද සංවිධායකවරුන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන වැසියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් බලහත්කාරයෙන් මූල්‍ය ආධාර ලබා ගත් බව එරට දේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි. පවතින දැඩි ආහාර හිඟය හා නියඟය නිසා පීඩාවට පත් වූවන් වෙනුවෙන් සිම්බාබ්වේ ඩොලර් බිලියන 1.6ක මූල්‍ය ආධාර ඉල්ලා සිටියද, මුගාබේගේ දැඩි හිතුවක්කාරී ප්‍රතිපත්තිමය දේශපාලනය හා ඔහුගේ දැඩි කොන්දේසි අනුමත නොකරමින් කිසිදු රටක් හෝ ආයතනයක් මේ සඳහා ආධාර ලබා දීමට ඉදිරිපත් වී නැත.


ආර්ථික දුෂ්කරතා සහ නියඟය හේතුවෙන් රටේ බහුතරයක් දුක්පීඩා විඳිද්දී ජනපති මුගාබේගේ උපන්දින සැමරුම් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැඩි විවේචනයට හා උදහසට ලක්විණි. ඔවුන් ඊට විරුද්ධව මස්වන්ගෝ ප්‍රදේශයේ විරෝධතා පවත්වමින් කියා සිටියේ කුඩා ළමුන් මන්දපෝෂණයෙන් මියෙද්දී උපන්දින සාද අනවශ්‍ය බවය. මේ වන විට තමන් ඇතුළු රටේ ජනතාවට උපන්දින සාද අනවශ්‍ය බවත් අවශ්‍යව ඇත්තේ රැකියා බවත් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයෝ විරෝධතා වලදී එක හඬින් ප්‍රකාශ කළහ. දුර්භික්ෂයකින් පීඩා විඳිමින් කුසට ආහාර නොමැතිව සිම්බාබ්වේ වැසියන් සියයට 90 ක් පීඩා විඳිමින් සිටිද්දී රටේ ජනාධිපතිවරයා මේ අයුරින් උපන්දිනය සැමරීම අප්‍රිකා කලාපයේ බොහෝ දෙනාගේ ද විවේචනයට ලක්වී ඇත.


තමා රටේ ජනාධිපති ධූරය අත්හරින්නේ මැරුණාම බවත්, නිරන්තරයෙන්ම මුමුණන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ කාගේවත් උපදෙසක් පිළිනොපදින රාජ්‍ය නායකයෙකි. ඉකුත්දා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා මුගාබේ ජනාධිපතිවරයා ප්‍රමුඛ අප්‍රිකා නායකයන්ගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ බලය බදා ගෙන දීර්ඝ කාලයක් බලයේ රැඳී නොසිටින ලෙස දන්වමිනි .ඊට පිළිතුරු ලෙසින් ඔහු තම රටේ ජනරැලිවලදී කියා සිටියේ “මා ධූරයෙන් සමුගන්නේ දෙවියන් වහන්සේ මට කතා කළාට පසුව යැයි කියමිනි.


මුගාබේට තම රටේ වැසියන්ගේ උවමනා එපාකම් පිළිබඳ කිසිදු ගැටලුවක් නැත්තේ අනූ දෙහැවිරිදි වුවද තවමත් අමරණීය පාලකයකු වීමේ දැඩි චේතනාවකින් සිටින නිසාය. රත්රන්වලට දැඩි ලෙස ප්‍රිය කරන රොබට් මුගාබේ 2013දී යෙදුණු ඔහුගේ 89 වැනි උපන්දින සාදයට රත්රන් කාසි 6ක් මුද්‍රණය කළ අතර, එක් කාසියක් නිමැවීමට ඔහු කළ වියදම යූරෝ ලක්ෂ පහක් බව කියැවිණි.ඉන් පසුව පැවති 90 වැනි උපන්දිනයටද මුගාබේ ටොන් එකක බරැති රන් හා දියමන්ති එබ්බවූ රාජාසනයක් ඉදි කර ගැනීමට පියවර ගත්තේය. එම ආසනයට කිඹුලන්ගේ සම්, දිවියන්ගේ හා සිංහයන්ගේ සිනිදු රෝම සහ හකුද ඊට යෙදවූ බව කියැවේ.


රටේ ග්‍රාමීය ජනතාවගෙන් සියයට අනූවක් පමණ කුසගින්නෙන් පීඩා විඳිද්දී, සරණාගතයන් ලෙස රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් දේශ සීමා පසුකොට අසල්වැසි රටවල් වෙත පලා යද්දීත්, රටේ විදේශ මූල්‍ය සංචිත සිඳී යද්දීත්, අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලට ලබා ගන්නට ජනතාව පෝලිම්වල පොරකද්දීත්, රටේ නායකත්වය ජනතා හිතවාදී කුමන හෝ පියවරක් දෙසට ගමන් කරනු ඇතැයි බටහිර රටවල් හැමවිටම අපේක්ෂා කරද්දී වසර තිස්හයක් ගතවුවද එය තවමත් සිතුවිල්ලක් පමණක්ම වී ඇත.


ඉයන් ස්මිත්ගේ වර්ගවාදී පාලනයට එරෙහිව දශකයකට අධික කාලයක් සටන් කොට සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස් දිනා දුන් රොබට් මුගාබේ තවත් වර්ගවාදී රාජ්‍යයක් ස්ථාපිත වීම වැළැක්වීමෙන් සිම්බාබ්වේ වැසියන්ට ඉහළ සේවයක් ඉටු කළද, දිනා ගත් නිදහස තම හිතමිතුරන්ගේ සුඛවිහරණයට හා අවශ්‍යතාවට අනුව මෙහයවීමෙන්  සිදු කරන්නේ තමන් විසින් තම වර්ගයා පරිහානියට පත් කරනු ලැබීම පමණකි.
ඬේලිමේල් වෙබ් අඩවියට ජෙනී ස්ටැන්ටොන් ලියූ ලිපයක් ඇසුරෙනි.

m