මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
සියල්ලටම වඩා දුෂ්කර වී ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් ලැබී ඇති මහ මැතිවරණ ප්‍රතිඵල තේරුම් ගැනීමයි.
ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජය ගත්තද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ළඟ ළඟ මැතිවරණ දෙකක් පැවැත්වුණු විට පළමු මැතිවරණයේ ප්‍රතිඵල දෙවැනි මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇති කළද ජාතික ජනබලවේගය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගනු ඇත්ද යන්න පවා සැක සහිත විය.
ජනාධිපතිවරණයේදී ජාජබ ලැබූ ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදී ආසන බෙදා වෙන් කිරීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සූත්‍රයට ගළපා බැලූවිට පෙනී ගියේ ජාතික ජන බලවේගයට දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 78ක්ද ප්‍රසාද ආසන 15ක්ද ජාතික ලැයිස්තුවෙන් ආසන 12ක්ද වශයෙන් ආසන 105ක් ලබාගත හැකි බවයි. ඒ අනුව එම පක්ෂය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන ආසන 113 ක් ලබාගනු ඇත්දැයි බොහෝ දෙනා තුළ සැක පහළ වී තිබිණි.
ඇතැම් ජාජබ නායකයන් තුළ පවා මෙවැනි සැකයක් ඇතිවී තිබූ බව පෙනිණි. තමන්ට බහුතර බලයක් ලැබුණද දෙමළ හා මුස්ලිම් ජනතාවගේ නියෝජිතයන් සමග ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවන බව ඔවුන් මහ මැතිවරණ ප්‍රචාරයේ අවසාන දිනවල ප්‍රකාශ කොට තිබුණේ එනිසා විය යුතුය. එහෙත් දැන් තත්වය වෙනස්ය.
දෙමළ ජාතිකත්වයේ කේන්ද්‍රස්ථානය ලෙස හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ බලකොටුව වන යාපනය අර්ධද්වීපයේ යාපනය, කන්කසන්තුරේ හා නල්ලුර් වැනි ඡන්ද කොට්ඨාසවලින් පවා ජාතික ජනබලවේගය මුල්තැනට පත්වීම තේරුම් ගන්නේ කෙසේද? එම පක්ෂය ජනාධිපතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයට පත්ව සිටියේය. එදා මුල් පක්ෂ තුන ඡන්ද තුන් ලක්ෂ තිස් දහසක් ලබා ගනිද්දී ජාජබ ලබා ගත්තේ ඡන්ද 27,086 ක් පමණි.
එසේම නැගෙනහිර මුස්ලිම් දේශපාලනයේ කේන්ද්‍රස්ථානය වන කල්මුණේ ඡන්ද කොට්ඨාසද මහ මැතිවරණයේදී ජාජබ දිනාගෙන ඇති බව මෙම ලිපිය ලියන මොහොත වන විට වාර්තා වී තිබේ.
අපට මෙය තේරුම් ගැනීම දුෂ්කර වුවද දෙමළ හා මුස්ලිම් නායකයන්ට මෙවැන්නක ඉව වැටී තිබුණු බවත් දැන් අපට සිහිපත් වේ. දෙමළ ජාතිකත්වය දකුණේ ජනතාව ඉල්ලා සිටින වෙනස තුළ දියවී යන්නට ඉඩ දිය යුතු නැතැයි බොහෝ දෙමළ දේශපාලනඥයෝ අනතුරු ඇඟවූහ. එම ප්‍රකාශවලින් හා දැන් ලැබී ඇති ප්‍රතිඵලවලින් පෙනෙන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනස පිළිබඳ මතය පසුගිය දිනවල දෙමළ ජනතාව තුළට දැනෙන තරමට කාන්දුවී තිබී ඇති බවයි.
මෙවැනිම අදහස් මුස්ලිම් නායකයෝද පසුගිය දිනවල පළ කළහ. ඔවුන්ගේ තර්කය වූයේ වෙනෙස් නාමයෙන් මුස්ලිම් නායකත්වය දේශපාලන කරළියෙන් ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ මෙම අදහස් දෙමළ හා මුස්ලිම් සිත්වලට ඉතා සංවේදීව දැනෙන ඒවාය.
එපමණක් නොව ඇතැම් මුස්ලිම් නායකයෝ බරපතළ ලෙස මුස්ලිම් ජනතාවට දැනෙන පරිදි ඇතැම් අසත්‍ය සමාජගත කළහ. 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කරමින් අනුර කුමාර දිසානායක මහතා ‘‘මේ අන්තවාදය බිහිවී ඇත්තේ මුස්ලිම් සමාජය කියන ගර්භාෂය තුළයි’’ යනුවෙන් පැවසීය. එය ‘‘සෑම මුස්ලිම් කාන්තාවකගේම ගර්භාෂයේ අන්තවාදය බිහිවී ඇත’’යි යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළ බවට මෙම මුස්ලිම් නායකයෝ විකෘති කොට ප්‍රචාරය කළහ. ඒවා මහ මැතිවරණ දිනය දක්වාම සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි.
ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් අතර සිංහල ජනතාව තුළ ඇතිවූ වෙනස ප්‍රමාණාත්මක එකකි. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනතාව තුළ ඇතිවී තිබෙන්නේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වෙනසකි. ප්‍රධාන වශයෙන්ම ගුණාත්මක වෙනසකි.
දෙමළ ජනතාව මේ අන්දමින් ජාතික ජන බලවේගයට ඡන්දය දීම දැඩි ලෙස සැලකිල්ලට ලක් කළ යුත්තකි. ඔවුන් මෙසේ ඡන්දය දී ඇත්තේ එම පක්ෂය, ෆෙඩරල් පාලන ක්‍රමය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම වැනි දෙමළ නායකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් කිසිවකට එකඟතාව පළ නොකොට තිබියදීය. එසේම ඒකාබද්ධ කරනු ලැබ තිබූ උතුරු හා නැගෙනහිර පළාත් 2006 දී අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් වෙන් කළේ ජනතා විමුක්ති පෙරමුණයි යනුවෙන් චෝදනාවක් බැරෑරුම් ලෙස දෙමළ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙමින් පවතිද්දීය.
මීට පෙරද වෙනත් පක්ෂ උතුරු, නැගෙනහිර ජනතාවගේ සහාය ඇතිව හෝ නැතිව මෙවැනි විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණ ලබා තිබේ. එහෙත් මෙවැනි ජයග්‍රහණයක් වෙනුවෙන් දශක හයකට ආසන්න කාලයක් ලෙයින්, කඳුළින් හා දහඩියෙන් මහා කැපකිරීමක් හා පරිත්‍යාගයක් කළ එකම පක්ෂය ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සඳහා අතීතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු දෙකක් ජීවිත 70,000 ක් පමණ බිලි ගැනීමම එම පරිත්‍යාගයේ බැරෑරුම් බව හා විශාලත්වය පෙන්නුම් කරයි.
ජවිපෙ නායකයන් මැතිවරණවලට ඉදිරිපත් වෙමින් දේශපාලනය කරද්දී පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 දී ජනමත විචාරණයක් පැවැත්විය. එය මෙතෙක් ඉතිහාසයේද දූෂිතම ඡන්ද විමසීමයි. රෝහණ විජේවීර මහතා එම ජනමත විචාරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ ආදීන්ගේ ආණ්ඩුව ඊට මුහුණ දුන්නේ ජවිපෙ 1983 දෙමළ විරෝධී කෝලහාලවලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියකින් තොරව චෝදනා කරමින් එම පක්ෂය තහනම් කිරීමෙනි.
වසර තුනකට අධික කාලයක් එම තහනම ඉවත් කර ගැනීම සඳහා විවිධාකාරයෙන් නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගත් ජවිපෙ එම උත්සාහය ව්‍යර්ථ වූ තැන 1986 දී පමණ යළිත් පෙරළා පහරදීමට තීරණය කළේය. 1988/89 මහා රාජ්‍ය මර්දනය එහි ප්‍රතිඵලයයි. එහිදී 60,000කට අධික පිරිසක් රජයට හිතවත් නිල හා නිල නොවන හමුදා විසින් ඝාතනය කරනු ලැබූ බව කියවේ.
මෙම මර්දනය අතරතුරුම කේ.සී. සේනානායක නම් වූ පුද්ගලයකුට රැවටුණු ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මහතා 1988 මැයි 10 වැනිදා ජවිපෙ තහනම ඉවත් කළේය. ඒ නිසා 1991 ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජවිපෙට යළිත් කලඑළියට විත් දේශපාලනය කළ හැකි විය.
එහෙත් ජවිපෙට ඉන්පසු මැතිවරණවලදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්විය නොහැකි විය. එය ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් නොව, දිනන පැත්තේ සිටගැනීමට ඡන්දදායකයන් දක්වන කැමැත්තේ ප්‍රතිඵලයක් විය. 2004 දී එක්සත් ජාතික නිදහස් සන්ධානය යටතේ තරග කරමින් ඔවුන් පාර්ලිමේන්තු ආසන 41ක් දිනා ගැනීමෙන්ද ඔවුන්ගේ අපේක්ෂකයන් සෑම දිස්ත්‍රික්කයකම පාහේ ශ්‍රීලනිප අපේක්ෂකයන් අභිභවා මනාප ඡන්ද ලබා ගැනීමෙන්ද මෙය තේරුම් ගත හැකිය.
ඉන්පසු ආරම්භ වූයේ ජවිපෙ බහින කලාවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජවිපෙට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේය. ඔහුගේ ක්‍රියාමාර්ග නිසා ආර්ථික අර්බුදයක් ඇති විය. එනිසා ඇති වූ පෙර නොවූ විරූ පීඩනය හේතුවෙන් ජනතාව තම සාම්ප්‍රදායික දේශපාලන බැඳීම් පුපුරුවා හැර දේශපාලනය පිළිබඳව යළි සිතා බලන්නට වූහ. ගාලුමුවදොර පිටියට රැස්වූ අරගලකරුවන්ගේ සටන්පාඨද ඔවුනට මග පෙන්වීය. ඒ අනුව සාම්ප්‍රදායික බැඳීම් සියලු ජනතාව තමන්ට ගොනුවීම සඳහා සුදුසුම ස්ථානය ලෙස ජවිපෙ තේරා ගත්හ.
ඒ වනවිට ජවිපෙ සිය ප්‍රතිපත්ති රාමුවද වෙනස්කරගෙන තිබිණි. ඒ ක්ෂණික ඉලක්කය ලෙස සමාජවාදය වෙනුවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ආදේශ කිරීමෙනි. ඒ අනුව මාක්ස්වාදය හා සමාජවාදය පිළිනොගන්නා පිරිස්ද සමග එක්ව 2019 දී ජාතික ජනබලවේගය ගොඩනැගිණි.
ආර්ථික අර්බුදය නිසා තම ආදායම අඩුවී වියදම් වැඩිවුවද තම බත්පතට ගැටලුවක් නොවූයෙන් ඇතැම් බුද්ධිමතුන්ට හා විචාරකයන්ට ජනතාවගේ සාම්ප්‍රදායික දේශපාලන බැඳීම් පිපිරී සිඳ බිඳ යාම වටහා ගත නොහැකි විය. සියයට තුන සියයට පනහට නගින්නේ කෙසේදැයි ඔවුන් තර්ක කරමින් සිටියේ එහෙයිනි.
2020 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතුවේ නම් ජාජබ ජයග්‍රහණය තවත් බොහෝ ඈතට යන්නට ඉඩ තිබිණි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා විසින් උප්පරවැට්ටි මගින් පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණ කල් නොදැමුවේ නම් ජාජබ ජයග්‍රහණය ඉක්මන් වන්නට ඉඩ තිබිණි. එසේ වූයේ නම් මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ගණනය කිරීමේ අවශ්‍යතාවක් නොවන්නට ඉඩ තිබිණි.
කෙසේ වුවද ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව හමුවේ ඇත්තේ අසීරු අභියෝගයක්ය යන්න මෙම මැතිවරණ ජයග්‍රහණයෙන් වසං කළ නොහැකිය. 2028 න් පසු විශාල විදේශ ණය බරක් ගෙවන්නට සිදුව තිබේ. එය කළ යුත්තේ උතුරේත් දකුණේත් ජනතාවගේ අපේක්ෂාද ඉටු කරමිනි. ලැබූ මැතිවරණ ජයග්‍රහණයේ විශාලත්වයට අනුරූපව එම අපේක්ෂා ඉටු කිරීම සඳහා වූ ආණ්ඩුවේ වගකීමද වැඩිවේ.
දූෂණය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවයි. දූෂණය හා අකාර්යක්ෂමතාව තම එදිනෙදා ජීවින පැවැත්මකොටගත් සමාජයක සාමාජිකයන් යොදාගෙනම එම දූෂණය තුරන් කිරීම කියන තරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය නොකළහොත් සිදුවිය හැකි දේද ඉතාමත් පැහැදිලිය.
(*** එම්.එස්.එම්. අයුබ්)