ජනපති ඩුබායි යන්න ගිය යානය ලෙඩ වුණේ කොහොමද?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 21 වැනිදා සවස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිවුදින නිල සංචාරයක් සඳහා ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබුණි. මේ අතර ජනාධිපති ආරක්ෂක අංශය විසින් ගුවන් යානයේ ඇතුළත සිදුකළ පරීක්ෂාවක දී යානයේ එන්ජිමේ දෝෂයක් ඇතැයි හෙළිකරගත් බැවින් ජනාධිපතිවරයාට වෙනත් ගුවන්යානයකින් ඩුබායි බලා යාමට සිදු වූ බව පසුගිය සතියේ වාර්තා විය.

 

දෝෂය වා සකසනයේ

ඉංජිනේරුවකුගේ වැඩ තහනම්

එදින පස්වරු තුනට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට සූදානම් කර තිබූ, මතභේදයට තුඩු දී ඇති යානය වෙනුවට වෙනත් යානාවක් යෙදවීමට සිදු වූ බැවින් ජනාධිපතිවරයාගේ ගමන පැයකින් ප‍්‍රමාද විය. ඒ සමගම එම යානයේ කාර්මික දෝෂයක් ඇතැයි ද වාර්තා වූ අතර තවත් විවිධ කට කතා රැසක් ලැව්ගින්නක් මෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියෙකුගේ වැඩ තහනම් වූ බවට ද වාර්තා විය. අදාළ ගුවන් යානයේ දෝෂයක් ඇතැයි මුලින්ම සොයාගනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක අංශ විසින් බවත් වාර්තා වූ අතර ගුවන් යානයක කාර්මික දෝෂ හඳුනාගැනීමට ආරක්ෂක අංශ දැනුම්වත් ද යන්න පිළිබඳවත් ගැටලූ පැන නැගිණි. මෙය හිතා මතා කළ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බව තවත් පිරිසක් කීය. මේ අතර ජනාධිපතිවරයාගේ ගමන පැයකින් ප‍්‍රමාද වීම පිළිබඳවද දෝෂාරෝපණ රැසක් එල්ල විය. සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා විසින් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි ද වාර්තා වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ නොසැලකිලිමත්කම නිසා මේ සිද්ධිය වූවා ද යන්න පිළිබඳව අමාත්‍යවරයා කරුණු සොයන බව ද වාර්තා විය. කෙසේ වුවත් පසුගිය සතිය උණුසුම් කරමින් කාගේත් අවධානයට මෙන්ම කසුකුසුවට ලක් වූ සිද්ධියක් බවට අවසානයේ දී මෙය පත්විය. මේ පිළිබඳව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. විශේෂයෙන්ම ප‍්‍රභූවරයෙක් යන ගුවන්යානයක් ගුවන් ගමනට පැය අටකට පමණ පෙර පරීක්ෂා කිරීම් හතරකට ලක්කර ලිඛිත ලැයිස්තුවක් ගන්නවා. සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, ගුවන් හමුදාව, ජනාධිපති ආරක්ෂක අංශය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඒ පරීක්ෂා කිරීම් හතර කරනවා. මෙම මතභේදයට තුඩුදුන් යානය ඒ සියල්ලන්ම අදාළ කාල සීමාවන්හි පරීක්ෂා කිරීම් කර තිබෙනවා. ඒ පිළිබඳව ලිඛිත ලැයිස්තු ලබා දී තිබෙනවා. ඒ වගේම අතිරේක යානයකුත් සූදානම් කර තිබෙනවා. එදා දහවල් 12.45 ට ගුවන්යානයේ එන්ජිම පණගැන් වූ විට ගුවන්නියමු කුටියේ බල්බයක් දැල්වී සංඥාවක් ලබා දී තිබෙනවා. එම සංඥාව ගුවන්යානයේ වා සකසනයේ (Air Conditioner) හුළං කාන්දුවීමක් බවට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ  ඉංජිනේරු අංශය කල් තියා හඳුනාගෙන තිබෙනවා. එවැනි දේවල් ක්ෂණිකව ඇති විය හැකියි. එවැනි දෙයක් ගුවනේ දී සිදුවූවානම් කරන්නේ සම්පූර්ණ පද්ධතියෙන් එම කාන්දුව ඇති පයිප්පය වෙන්කර සුපුරුදු පරිදි පියාසර කිරීමයි. නමුත් ගොඩබිම දී සිදුවූවානම් එම ස්ථානය සොයාගෙන එය නිවැරදි කරගෙන පියාසර කරනවා. මෙම අවස්ථාවේ අදාළ හුළං කාන්දුවන ස්ථානය සොයාගැනීම සඳහා පයිප්ප කොටස් ගලවා තිබෙනවා. ඉන්පසු දෝෂය ඇති කොටස වෙනුවට සවිකිරීමට ගබඩාවේ කොටස් ඇතිදැයි පරික්ෂා කර, නැති බැවින් වෙනත් යානයකින් අදාළ කොටස ගලවා සවි කිරීමට උත්සාහ කරද්දී ජනාධිපති ආරක්ෂක අංශ මේ පිළිබඳව විමසිලිවත් වී තිබෙනවා. ජනාධිපතිවරයා පිටත්වීමට තිබුණේ පස්වරු තුනටයි. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්මික නිලධාරීන් දහවල් 12.45 ට මෙය හඳුනාගෙන තිබුණා. මේ වෙනකොට මෙම යානයට ආහාර, වතුර බෝතල්, බැගේජ් සියල්ලම පටවා තිබුණා. මෙම  යානයම වරද නිවරැදි කරගෙන යනවාද, එසේත් නැතිනම් වෙනත් යානයක් යනවාද යන තීරණය ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට දහවල් එක වන විට දැනුම් දී තිබෙනවා.  ඉන්පසු දහවල් දෙක වනවිට ප‍්‍රධාන විධායක නිලධාරීතුමා ජනාධිපතිවරයාට  අදාළ චාරිකාව යාම සඳහා කලින් සූදානම් කර තිබූ යානය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ වෙනකොට දෝෂය ඇතිවූ යානයට බඩු පටවා තිබූ බැවින් නැවත ආපසු එම බඩු බාහිරාදිය වෙනත් යානයකට පැටවීම, ආහාර, වතුර බෝතල් පැටවීම ආදිය සිදුකිරීමට කාලයක් වැයවෙනවා. ඒ වගේම ඒ සියල්ල නැවත පරීක්ෂා කරන්න  කාලයක් ගත වෙනවා. අපි සතුටු වෙනවා පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ කාරණා සම්පූර්ණ කර ජනාධිපතිවරයාට ගමන පිටත්වීම සඳහා යානය සූදානම් කිරීමට හැකි වීම පිළිබඳව. ඒ කොහොම වුණත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට මම නියෝග කර තිබෙනවා. එහෙම කළේ, අපි සොයාගත යුතුයි යානයේ වා සැකසීමේ හුළං කාන්දුව සිදුවුනේ කොහොමද, මෙය යම් කිසි සේවකයෙකුගේ අතපසුවීමක් ද හරියට මොකක්ද මේක කියලා. මේ පිළිබඳව සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවත් එහි වාර්තාවක් ලැබුණු පසු අවශ්‍ය තීරණ ගන්නා බවත්ය. මේ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ අරඹා ඇති බවත් මේ වනවිට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් කිහිප දෙනෙකුගෙන්ම ප‍්‍රශ්න කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට කීය.
ගුවන්තොටුපොළ  දීපා අදිකාරි