ජනපති නිලකාල විවරණයක්


ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව තහවුරු නොවන්නේ ද යන කාරණා පිළිබඳව අවිනිශ්චිතභාවයක් හටගෙන ඇති බවක් දිස් වේ. මෙම පසුබිමේ මේ ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරය සහ පදනම කුමක්ද යන්න විමසීම අවශ්‍ය වේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමේ අරමුණින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කෙරිණි. ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමේ සාකච්ඡාව තවත් ඉදිරියට ගෙන යමින් එම ධුරයේ නිල කාලය පවා අඩු කළ යුතු බවට එවක දී අදහස් ඉදිරිපත් විය. ඒ අනුව, පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට අමතරව ජනාධිපති පදවියේ ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තුවේ ධුර කාලය ද වසර 6 සිට 5 දක්වා පහත හෙළන ලදී. එහිදී ජනාධිපති ධුරයේ කාලය අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියයි.

“ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ජනාධිපතිවරයෙක් සිටින්නේය එකී ජනාධිපතිවරයා විසින් වසර 6 ක් ධුරය දරන්නේය” යනුවෙන් එම වගන්තියෙහි සඳහන් වේ. පාර්ලිමේන්තුවේ ධුර කාලය සම්බන්ධයෙන් බලපැවැත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) උපවගන්තියයි. එහි දැක්වෙන්නේ කලින් විසුරුවා හැරීමක් සිදු නොකළ හොත් පාර්ලිමේන්තුව පළමු රැස්වීමේ දිනයේ පටන් වසර 6 ක කාලයක් පවතින්නේය යනුවෙනි.

එය සාරාංශ කළහොත් ව්‍යවස්ථාවේ 30 (2) සහ 62 (2) යන උපවගන්තිවල පිළිවෙළින් සඳහන් වෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාල වසර 6 ක් වෙන බවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරන ලද්දේ එම වගන්ති සංශෝධනය කර ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 දක්වා අඩු කිරීමය. ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූදා සිට ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 කි. ඒවා නිශ්චිතය.

පසුව සම්මත කෙරුණු 20 හෝ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ හෝ ධුර කාල සම්බන්ධයෙන් නැවත වෙනස් කිරීම් නොකෙරිණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, එවකදී ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර 5 කින් පසුව ධුරයෙන් ඉවත්වීමට සිදුවිය. ඊට ප්‍රථමයෙන් ඔහු ජනාධිපති ධුරයේ නිල කාලය වසර 5 ක් ද 6 ක් යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් දැනුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තහවුරු කර ඇති පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවය.

මෙපරිදි ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දී ජනාධිපති ධුරයේ නිල කාලය වසර 5 ක් බවට තීන්දු ලබා දී තිබියදීත් නැවතත් ඒ සම්බන්ධයෙන් අර්බුදයක් මතුවීමට බලපා තිබෙන හේතු මොනවාදැයි හඳුනාගත යුතුය. එහිදී රජය සහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මතු කරන කාරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවට අදාළය. එම වගන්තියෙහි සඳහන් වෙන්නේ ජනමත විචාරණයකින් පමණක් අනුමත කළ යුතු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ගැනය.

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ එහි වගන්තියක් හෝ වගන්ති කිහිපයක් හෝ සංශෝධනය කරන විට ඒවා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකිනි. ඒ අනුව, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. සාමාන්‍ය පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි වුව ද එවැනි සාමාන්‍ය පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය අධිකරණය හමුවේ විමසා බැලීමක දී එවැන්නක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන වගන්ති ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් හෝ එයට අමතරව ජනමත විචාරණයක දී ජනතා අනුමැතිය අවශ්‍ය බවට ද තීන්දු කළ හැකිය.

ඉහතදී දැක්වූ පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියෙහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු ප්‍රතිපාදනය. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11 යන වගන්ති සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ කැමැත්ත ද අවශ්‍ය වේ. එමෙන්ම 83 (ආ) වගන්තියෙහි දැක්වෙන්නේ 30 (2) සහ 62 (2) සංශෝධනය කරන්නේ නම්, ඒ සඳහා ද ඉහත පටිපාටිය අනුගමනය කළ යුතු බවය. 30 (2) වගන්තියෙහි සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 ක් බවය. එසේම 62 (2) වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවය. එහෙත් 83 වැනි වගන්තියෙහි එක්තැනක සඳහන් වෙන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කට වඩා දීර්ඝ කරන්නේ නම් එම වෙනස්කම් කිරීම සඳහා ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ද අවශ්‍ය බවය. එසේවුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 කි. එසේවුව ද ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කට වඩා දිගු කරන්නේ නම් ජනමත විචාරණයක් ද පැවැත්විය යුතුය.

මේ දෙක අතර ගැටුමක් ඇති වෙන්නේය යන පදනම මත එය නිවැරදි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියෙහි ඇතුළත් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කට වඩා දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍යය යන ප්‍රතිපාදනය “ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 කට වඩා දිගු කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍යය” යනාදී ලෙස වෙනස් කිරීම 22 වැනි සංශෝධනයෙන් අපේක්ෂිත අරමුණයි. එයින් එම වගන්ති දෙක අතර පැවැති ගැටුම ඉවත් කිරීමත් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්ය යන ප්‍රතිපාදනය නියතයක් බවට පත්වීමත් සිදුවෙන බව ආණ්ඩුවේ තර්කයයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැකසීමට මුල් වූ විද්වතකු වෙන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මේ තත්වය සම්බන්ධයෙන් ඉකුත් දිනෙක පැහැදිලි කිරීමක් කළේය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මතු කරන අදාළ පරස්පරය ඇති වීමට හේතුව පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට තුඩු දෙන ප්‍රතිපාදනවලින් බැහැරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් සම්මත කළ හැකි වන පරිදි සකස් කළ යුතුය යන මූලික එකඟතාව ඊට හේතු වූ බවයි. ඒ අනුව, එම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ මූලික අභිප්‍රාය වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම ය.

ආණ්ඩුව ගැසට් කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා කෙරෙන්නේ ඉහත සඳහන් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියෙහි එක් ප්‍රතිපාදනයක් වෙනස් කිරීමට ය. එසේනම්, මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර කැමැත්ත මෙන්ම ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමතය ද අවශ්‍ය වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මතභේදයට තුඩු දෙන බරපතළ එකක් වී තිබෙන්නේ ඒ සන්දර්භයේ ය. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආසන්න කාලයක ජනමත විචාරණයකට තුඩු දිය හැකි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ගෙන ඒමෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා මතු විය හැකි බවට සමාජයේ ප්‍රබල මතයක් නිර්මාණය වී ඇත.

මෙහිදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රතිවිපාක කවරක්ද යන්න අප විසින් විමසනු ලැබිය යුතුය. මෙයින් අපේක්ෂා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය සංශෝධනය කිරීම බැවින් එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තට අමතරව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතුය. ඒ අනුව, මෙවැනි අවස්ථාවක ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ගැටලුවක් මතුවීමේ ඉඩක් පවතී. ආණ්ඩුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පසු කළ යුතු කඩුලු දෙකක් තිබේ. එකක්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමය. දෙවැන්න, එසේ ලබා ගැනීමට හැකිවුවහොත් ජනමත විචාරණයකදී ජනතාවගේ සියයට 50 කට වැඩි අනුමැතියක් ලබාගැනීමය. යම් හෙයකින් මේ සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගත නොහැකි වුවහොත් එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී අවසන් වේ.

මෙහිදී මතුවෙන ගැටලුව නම්, මෙම ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ අවශ්‍ය ද යන්නය. යම් හෙයකින් ජනමත විචාරණයක් කැඳවුවහොත් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයට එයින් බලපෑමක් එල්ල වේද යන්න දෙවැන්නයි. එකවර ජනමත විචරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම හෝ පළමුව ජනමත විචාරණය පවත්වා ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්වීම හෝ නැතහොත් ජනමත විචාරණයක් පවත්වා එහි තීන්දුව ලැබෙන තෙක් ජනාධිපතිවරණය කල්දැමීම යන ගැටලුවට මුහුණ දීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වේ. මෙවැනි සන්දර්භයක මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කල්දැමිය හැකි ද යන්න ප්‍රශ්න සහගතය. මන්දයත්, ඒ සම්බන්ධයෙන් පූර්වාදර්ශ නැති හෙයිනි. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 ද 6 ද යන්න ජනමත විචාරණයක් මගින් නිශ්චය කරන තෙක් ජනාධිපතිවරණය කැඳවීම නුසුදුසුය යන්න මැතිවරණ කොමිෂන් සභාවෙන් මේ සම්බන්ධව ඉදිරිපත් විය හැකි ස්ථාවරය වන්නට පිළිවන. යම් හෙයකින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කල්දැමුව හොත් මූලික අයිතිවාසිකම් නඩුකරයක් මගින් රටේ ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකිය. ජනාධිපතිවරණය කල්දැමීම වෙනත් සාමාන්‍ය මැතිවරණයක් කල්දැමීමකට වඩා බරපතළ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද වෙයි. මැතිවරණ කල්දැමීම පිළිබඳව මෑත හා ඈත ඉතිහාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නඩු තීන්දු අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙන්නේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් අධිකරණය සෑම විටම පෙනී සිට ඇති බවය. එබැවින් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමුවහොත් ඊට එරෙහි නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීමට වැඩි ඉඩක් තිබේ.

මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු අනෙක් කාරණය නම්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් නොකර ජනාධිපතිවරණය පැවැත්වීමට අවකාශ නැද්ද යන්න ය. ඒ සම්බන්ධ මාගේ ස්ථාවරය වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්විය හැකි බවය. මන්ද, මෙය එක්තරා දුරකට ඉලක්කම් මත පමණක් පදනම් වෙන කාරණයක් වෙන බැවිනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ මත දැක්වීම්වල දී ජනාධිපති ධුරයේ නිල කාලය වසර 5 ක් බව පැහැදිලි කර ඇත. මේ අනුව, ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියෙහි සඳහන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ඉක්මවා යන්නේ නම් ජනමත විචරණයක් පැවැත්විය යුතුය යන ප්‍රතිපාදනය හා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්ය යනුවෙන් දැක්වෙන ප්‍රතිපාදනය අතර ගැටුමක් පවතින්නේ ද යන්න විමසිය යුතුය. එක් තැනක වසර 6 ක් හා තව තැනෙක වසර 5 ක් ලෙස පැවතීමෙන් ඒ දෙක අතර යම් ඝට්ටනයක් ඇතැයි හැඟුණ ද හරයාත්මකව බැලීමේදී එවැනි ගැටුමක් මතු වෙන්නේ නැත. 83 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කට වඩා දීර්ඝ කරන්නේ නම් එය සම්මත වීම සඳහා ජනමත විචරණයක් පැවැත්විය යුතුය. එයින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්ය යන නියතයට බලපෑමක් එල්ල වෙන්නේ නැත. එහි අර්ථය වසර 5 ක නිල කාලයකට පත්ව සිටින ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගත හැකි නම් ජනමත විචාරණයකින් තොරව තමන්ගේ ධුර කාලය වසර 6 දක්වා දීර්ඝ කර ගැනීමට පිළිවන් බවය. එහෙත් වසර 6 කට වඩා නිල කාලය දිගු කර ගත නොහැකිය. එසේ කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුය.

(***)

සටහන - උපුල් වික්‍රමසිංහ