රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් පැහැදිලි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කොට නැති වුවද රටේ පවතින සෑම පක්ෂයක්ම නීතිය අනුව මේ වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බව පෙනේ.
එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය ලෙස පිළිගත්තද එය ණය ගැනීමේ වැඩ පිළිවෙළක් විනා ණය ගෙවා අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට මුහුණ දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ මාවතක් ලෙස නොපෙනේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය දීර්ඝ කාලීනව ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රම ගැන සාකච්ඡා කරනවා විනා එතැනට යන ක්ෂණික හා කෙටි කාලීන වැඩ පිළිවෙළක් ගැන කතා නොකරයි. මේ වසර අවසානයේ දී තමන්ට බලය ලැබුණහොත් මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වත්මන් වැඩ පිළිවෙළ කරගෙන යන්නේද? එය අත්හරින්නේ නම් ක්ෂණිකව මතුවන විදේශ විනිමය අර්බුදයට හා විදේශ ණය අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද? යනාදී ප්‍රශ්න සම්බන්ධයෙන් එම පක්ෂය රටට පැහැදිලි කළ යුතුය.
කෙසේ වෙතත් අර්බුදයට මුහුණ දීම පසෙක ලා සෑම පක්ෂයක්ම පාහේ ජනාධිපතිවරණය සඳහා සන්ධාන ගොඩනැඟීම වෙත යොමු වී ඇත.
මේ අතර මෙවර ජනාධිපතිවරණය පිළිබඳව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර විශේෂ උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනේ. මීට පෙර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම පාහේ දෙමළ පක්ෂ කළේ දකුණ පදනම් කරගත් කුමක් හෝ පක්ෂයකට සහාය දීමය. ඔවුන් ඊට වෙනස් ආකාරයකට කටයුතු කළේ 2005 ජනාධිපතිවරණයේදී පමණි. ඒ ජනාධිපතිවරණයේ දී කොටි සංවිධානයේ පෙළඹවීමෙන් උතුරු පළාතේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කළේය.
එය එවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් හා කොටි සංවිධානයේ නියෝජිතයන් අතර ඇති වූ එකඟතාවක ප්‍රතිඵලයක් බව කියවේ. එම එකඟතාව අනුව කොටි සංවිධානයට මුදල් ගෙවීම පිළිබඳව තමන් සාක්ෂිකරුවකු බව දකුණේ දේශපාලනඥයකු කළ ප්‍රකාශයක් තවමත් යූ.ටියුබ් හි සංසරණය වෙමින් පවතී.
දකුණ පදනම් කරගත් යම් යම් පක්ෂවලට හෝ අපේක්ෂකයන්ට ඡන්දය දීමේදීද උතුරේ පක්ෂ එම තීරණයට එළඹුණේ එම පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුමත කිරීම නිසා නොව බලයට පත්විය හැකි වෙනත් පක්ෂයක් හෝ අපේක්ෂකයකු පරාජය කිරීමේ අරමුණෙනි. එම අවශ්‍යතාව කෙතරම් ප්‍රබල වූයේ ද යත් යුද්ධය අවසන් වී වසරක්වත් ගතවන්නට පෙර (මාස අටකින්) එනම් 2010 ජනවාරි 26 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී දෙමළ ප්‍රධාන පක්ෂ සහාය දුන්නේ යුද්ධයේ දී කොටි සංවිධානය පරාජය කරන්නට හමුදාපති වශයෙන් නායකත්වය දුන් එවක ජෙනරාල් කෙනකු වූ සරත් ෆොන්සේකා මහතාටය.
2015 ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ සහයෝගය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මත තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාටය. මෙයද අප මුලින් සඳහන් කළ පරිදි විරෝධය පළ කිරීමේ ඡන්ද ප්‍රකාශ කිරීමකි. විරෝධය පළ කිරීමක් නොවුවද 2005 දී සිදු වූයේ අපේක්ෂයකු ජයග්‍රහණය කරවීම සඳහා නොව අපේක්ෂකයකු පරාජය කිරීම සඳහා ඡන්දය යොදා ගැනීමය. එනම් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද එය රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමකි.
දැන් උතුරේ කෙරෙන සංවාදයේ හරය වී ඇත්තේ යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීම හෝ පරාජය කිරීම හෝ යම් අපේක්ෂකයකුට විරෝධය පෑම හෝ නොව දකුණ පදනම් කරගත් සියලු අපේක්ෂකයන්ට තම බලය හා වටිනාකම පෙන්වා තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමය.
දැනට මේ සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන් වෙතින් යෝජනා තුනක් ඉදිරිපත් වී තිබේ. ඉන් එකක් නම් ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරනු ඇතැයි පෙනෙන අපේක්ෂකයකු සමඟ සියලු දෙමළ පක්ෂ සාකච්ඡා කොට තමන්ගේ ඉල්ලීම් එකහඬින් ඉදිරිපත් කිරීමය.
දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට දෙමළ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කරන තත්ත්වයට දකුණේ අපේක්ෂකයන් පත්කොට තමන්ගේ ඉල්ලීම් පිළිබඳව ඔවුන් සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම දෙවැනි යෝජනාවයි.
ඉතිහාසය පුරා සිංහල නායකයන් දෙමළ ජනතාව රවටා ඇති බවත් එහෙයින් දෙමළ ජනතාව තවදුරටත් සිංහල නායකයන්ට රැවටෙන්නට සුදානම් නැති බව ලෝකයට පෙන්වන්නට සියලු දෙමළ පක්ෂ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතුව බවත් තුන්වැනි යෝජනාවෙන් කියවේ.
මේ අතර උතුරේ ප්‍රධාන හා විශාලම ජනතා සහයෝගයක් ඇතැයි සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය මේ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත. ජනාධිපතිවරණය බොහෝ ඈතක තිබියදී ඒ ගැන තීරණයක් ගත යුතු නැති බවත් ජනාධිපතිවරණය ආසන්නයේදී එම තීරණය ගත හැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත.
තමිල් අරසු කච්චි හැර දෙමළ ජාතික සන්ධානයේ සිටි අනෙකුත් පක්ෂ වන ටෙලෝ, ප්ලෝට් (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති සංවිධානය) වැනි පක්ෂ දැන් වෙනත් සන්ධානයක් ගොඩ නගා ගෙන දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය, යන මතයේ සිටී.
බලයට පත්විය හැකි දකුණේ අපේක්ෂයකුට සහාය දිය යුතු යැයි යෝජනා කරන්නේ දැනට ආණ්ඩුවට සහාය දෙන ඇතැම් දෙමළ දේශපාලනඥයන්ය. උතුරේ කිසිවකු ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළද නැඟෙනහිර පළාත නියෝජනය කරන රාජ්‍ය ඇමැති එස්. වියාලේන්දිරන් මෑතකදී උතුරේ සිටින ඩග්ලස් දේවානන්ද හා අංගජන් රාමනාදන් වැනි ආණ්ඩුවට හිතවත් හා හිතවත්ව සිටි දේශපාලනඥයන්ද ඒ මතයම දරන බව සිතිය හැකිය.
දෙමළ ජනතාව මෙතෙක් කළේ පරාජය වන අපේක්ෂකයකුට සහාය දීම බවත් එය නොදුවන අශ්වයකු වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමක් බවත් එසේ කොට වෙනත් අයකු ජයග්‍රහණය කළ පසු ඔහු සමඟ සාකච්ඡා කොට දෙමළ ජනතාවට කිසිවක් කරගත නොහැකි වූ බවත් වියාලේන්දිරන් මහතා පසුගියදා පවසා තිබිණි. ජයග්‍රහණය කරනු ඇතැයි පෙනෙන අපේක්ෂකයකුට සහය දී ඔහුගෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගත යුතුය යන්න ඔහුගේ මතයයි.
ටෙලෝ, ප්ලොට්, ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) දෙමළ පක්ෂ සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදි සටන්කාමීන්ගේ පක්ෂය එක්ව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යනුවෙන් සන්ධානයක් ගොඩ නඟා ගෙන තිබේ. ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යන මතයේ ඉදිරියෙන්ම සිටින්නේ මෙම සන්ධානයි.
උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා මෙම මතය දරනවා පමණක් නොව දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ද කැමැත්ත පළකොට තිබිණි. පසුගිය සතියේ ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලු දෙමළ පක්ෂ තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් තමා දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට සූදානම් බවය.
‘‘වත්මන් තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල ජනයාගේ ඡන්ද සිංහල අපේක්ෂකයන් ගණනාවක් අතර බෙදී ඒ කිසිම අපේක්ෂයකුට නීතියෙන් අවශ්‍ය කරන පරිදි වලංගු ඡන්දවලින් සියයට 50ක් ලබා ගැනීම දුෂ්කර බවක් පෙනේ. මේ පසුබිම යටතේ දෙමළ ජනතාව එක්සත්ව තමන් සතු ලක්ෂ හයකට වැඩි ඡන්ද සංඛ්‍යාව කේවල් කිරීමේ අවියක් ලෙස යොදාගෙන දකුණේ මෙම අපේක්ෂකයන් ලවා යම් යම් අයිතිවාසිකිම් හෝ ඉටුකර ගත යුතුය.’’යනුවෙන් දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි කියන ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ඉකුත් සතියේ නිකුත් කළ නිවේදනයකින් යෝජනා කොට තිබිණි.
දෙමළ ජනතාව කිසිදු සිංහල අපේක්ෂකයකු නොපිළිගන්නා බව ලෝකයට පෙන්විය යුතු යැයි එක් අතකින් යෝජනා කරන ඔහු අනෙක් අතින් දෙමළ ඡන්ද බේදි නොයන අයුරින් කටයුතු කිරීමෙන් සිංහල අපේක්ෂකයන් දෙමළ ජනතාවගේ න්‍යාය පත්‍රය වෙතට කැඳවා ගත යුතු යැයි ද යෝජනා කරයි.
දෙමළ ජනතාව සිංහල අපේක්ෂකයන් නොපිළිගන්නා බව ලෝකයට පෙන්වන්නට නම් දෙමළ ජනතාව දෙමළ පොදු අපේක්ෂකයාට පමණක් ඡන්දය දිය යුතුය. එසේ කිරීමෙන් සිංහල අපේක්ෂකයන් දෙමළ ජනයාගේ න්‍යාය පත්‍රය වෙතට ගෙන්වා ගන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කොට නැත.
ජනාධිපතිවරණය වර්ජනය කළ යුතුය යන මතයේ ඉදිරියෙන්ම සිටින්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණයි. කිසිදු සිංහල අපේක්ෂකයකු ජයග්‍රහණයෙන් පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් නොවන බවත් එහෙයින් සිංහල නායකයන්ට දෙමළ ජනතාව තවදුරටත් රැවටෙන්නට සූදානම් නැති බව ලෝකයට පෙන්වීමට ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවත් පොන්නම්බලම් මහතා දෙසැම්බර් 27 වැනිදා මඩකලපුවේ පැවැති ජනමාධ්‍ය හමුවක දී පැවසීය.
මෙය අපූරු තත්ත්වයකි. දෙමළ ජනතාව තව දුරටත් රැවටෙන්නට සූදානම් නැතැයි පෙන්වීමට දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි පිරිසක් කියති. එයම ලෝකයට පෙන්වීමට ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි තවත් පිරිසක් කියති.
ඉලංගයි තමිල් අරුසු කච්චි පක්ෂය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැති වුව ද එම පක්ෂයේ ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා දෙමළ පොදු අපේක්ෂකයකු පිළිබඳ යෝජනාව පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව සැක කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට අපේක්ෂා කරන රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දෙමළ මුස්ලිම් හා වතුකරයේ ඡන්ද තමන්ට නොලැබෙන බව දනී. එහෙයින් එම ඡන්ද වෙනත් ජනාධිපති සිංහල අපේක්ෂකයකුට යෑම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම දෙමළ පොදු අපේක්ෂක යෝජනාව කෙසේ හෝ දෙමළ නායකයන් මගින්ම ඉදිරිපත් කරන්නට ඇතැයි ඔහු තර්ක කරයි.
කෙසේ වෙතත් දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කොට එමඟින් සිංහල අපේක්ෂකයන් දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කරන්නට පොළඹවා ගත්තද දෙමළ පක්ෂවල ඉල්ලීම් ඉටු කරන්නට සිංහල අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නැත. ඒ එම ඉල්ලීම් ඉටු කරන්නට යාම දකුණේ ඡන්ද නැති කර ගැනීමක් වන හෙයිනි.
සමහර විට මැතිවරණයට පෙර සිංහල නායකයන් එවැනි පොරොන්දු දුන්නද ඒවා ඉටු නොවේ. 2019ජනාධිපතිවරණයට පෙර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ද (තර්ටීන් ප්ලස්) යන්නට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය. එහෙත් බලයට පත් වී මාසයක් යන්නටත් පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය බෙදීමේ සංකල්පයට තමන් විරුද්ධ බව පැවසීය. එහෙයින් මෙය දෙමළ නායකයන් අතර කෙරෙන හිස් සංවාදයක් පමණි.
(*** එම්.එස්.එම්. අයුබ්)