ජනපතිගේ අනාගත අභියෝග


ගාලු මුවදොර පිටිය පිරෙන්න රැස්වීම්වලට සෙනඟ ගෙනාවත් මෙතෙක් මැතිවරණවල ඡන්ද ගණන් කළ විට ලක්ෂ 04 ට 05 ට වඩා ඡන්ද නොලැබුණු පක්ෂයක් මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට අමතර ලක්ෂ 60 ට වැඩියෙන් ඡන්ද එකතු කරන්නේ කෙසේදැයි පසුගිය සතියේද මේ සමාජයේ තැන් තැන්වල කතා වුණු ප්‍රශ්නයක් විය. ඒ ප්‍රශ්නය, සාධාරණ ප්‍රශ්නයක් විය. ඊට අවශ්‍ය වූයේ පිළිගත හැකි උත්තරයකි.

ඉකුත් සැප්තැම්බර 21 වැනි දා ඒ උත්තරය, අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ හවුල් කරගත් ජාතික ජන බලවේගය ලබා දුන්නේය. ඔවුන් ගන්නවා යැයි කියූ ඡන්ද කෝටිය නොතිබුණි. පළමු ගණන් කිරීමෙන් සියයට 50 ට වැඩියෙන් ගණන් හැදීමට ලක්ෂ 60 ක් ගන්නටද නොහැකි විය. එහෙත් බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද ලක්ෂ 12 ක් අනුර කුමාර ලබා ගත්තේ ය. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද 45,30,902 ට ඉහළින් ඔහු ඡන්ද 57,40,179 ක් ලබාගත්තේය. අවසන් වශයෙන් වැදගත් වන්නේ ඡන්ද ලක්ෂ ගණනට වඩා, අනුර කුමාර ජනාධිපති තරගයෙන් ජයග්‍රහණය කිරීමය.

මෙයට පෙර ජනාධිපතිවරණවලදී මෙන්ම මේ ජනාධිපතිවරණයේද, මගේ තේරීමට අනුව ඡන්දය භාවිත කිරීමට තරම් කිසිවකු නැතැයි මා තීන්දු කළද, රටේ ජනතාවගේ තේරීම අනුව නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් අනුර කුමාරට සුබ පතමින්, මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධ මගේ දේශපාලන කියැවීම මෙහි සැකෙවින් මෙසේ ගොනු කරමි.

ආරම්භයේදී කියූ පරිදිම, අනුර කුමාරගේ මේ ජයග්‍රහණයෙහි අපූර්වත්වය මා දකින්නේ, වෙනස්කම් කිහිපයක් සමගින් වූවත් 1977 මහ මැතිවරණයෙහි එ.ජා.ප නායක ජයවර්ධනගේ ජයග්‍රහණය වාගේම අපූරු ජයග්‍රහණයක් ලෙසිනි. පළමු සහ වැදගත්ම වෙනස වන්නේ ‘77 ජූලියේ ජයවර්ධනගේ ජයග්‍රහණය සමග විරුද්ධවාදීන් මෙල්ලකර තබා ගැනීමට පළමු දින කිහිපයෙහි මුදා හැරි මැර ප්‍රහාර වැනි ප්‍රතිවාදී දඩයමකට අනුර කුමාර සහ ඔහුගේ පක්ෂ නායකත්වය ඉඩ නොතැබීම ය. දෙවැන්න මා දකින්නේ, අනුර කුමාර නායකත්වය දුන්නේ එ.ජා.යේ ජයවර්ධනගේ වැනි සාම්ප්‍රදායික ප්‍රභූ පෙළැන්තියේ දේශපාලන බලයකට නොවීම ය.

ඒ සමග, ‘70 මැතිවරණයෙන් තුනෙන් දෙකක විශිෂ්ට ජයක් ලැබූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව, ජයවර්ධනගේ එ.ජා.ප නායකත්වය විසින් 1977 මැතිවරණයෙන් පරාජය කෙරුවේ මන්ත්‍රී ආසන 168 ක් තිබූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 140 ක් එ.ජා.පය සඳහා දිනා ගනිමින්ය. එය 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සිට ඉන්පසු හැම පාර්ලිමේන්තු මැතිවරණයකදීම “වමේ” මන්ත්‍රීවරුන් දුසිමක් පමණ අසුන් ගත් පාර්ලිමේන්තුවෙහි පළමු වරට එකදු වමේ මන්ත්‍රීවරයකුට හෝ ඉඩක් නොතැබූ පුදුමාකාර ජයග්‍රහණයක් විය. අනුර කුමාරගේ ජයග්‍රහණය ඊටත් වැඩි අසම්මත ජයග්‍රහණයකි. ආණ්ඩු බල මාරුවෙහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බලයට ගෙන එන මැතිවරණ දේශපාලනයෙහි මන්ත්‍රී ආසන 03 ක් සමග වූ ජ.වි.පෙ. ප්‍රධාන විපක්ෂයේ ඒ සියල්ලන් පසුකර ලක්ෂ 57 ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් සමග තම අපේක්ෂක අනුර කුමාර ජනාධිපති අසුනෙහි වාඩි කරවනු ලැබීය.

ඒ සමග 1930 ආරම්භයේදී මේ රටේ දේශපාලනයට පිවිසි උගත් වාමවාදී නායකයන් වූ ඇන්.ඇම්. කොල්වින්, ලෙස්ලි, සහ එස්.ඒ. වික්‍රමසිංහ, කේනමන් වැනි ප්‍රතාපවත් නායකයන්ට කළ නොහැකි වූවක් අනුර කුමාර සහ වත්මන් ජ.වි.පෙ. නායකත්වය කළහ. පැරණි වමේ නායකයන් ප්‍රධාන දේශපාලන ධාරාවෙහි තීරණාත්මක තෙවැනි දේශපාලන බලයක් වූවත් මැතිවරණ දේශපාලනයෙහි තනිව බලය ගැනීමට ඔවුන්ට නොහැකි විය. එනිසා ඔවුන්ගේ දේශපාලනය බණ්ඩාරනායක දේශපාලනයේ හවුල්කරුවන් ලෙස 1977 මැතිවරණයෙන් අවලංගු විය. ජ.වි.පෙ. දෙවැනි ත්‍රස්තවාදී කැරැල්ලෙන් විජේවීරගේ නායකත්වය 1990 දී කුරිරු ලෙස අවසන් වූ පසු හෙමින් සීරුවේ ජ.වි.පෙ දේශපාලන නායකත්වයට පැමිණි අනුර සහ සගයන් චන්ද්‍රිකා කුමාරතුංග සමගත් මහින්ද රාජපක්ෂ සමගත් පසුව මෛත්‍රීපාල-වික්‍රමසිංහ සමගත් හවුල් දේශපාලනයෙහි සිටියත් ඔවුන්ට ඔවුන්ගේ ස්වාධීන ගමනක් වෙනුවෙන් කොයි ආකාරයෙන් හෝ පාර කපා ගැනීමෙහි හැකියාවක් තිබිණ. එබැවින් පැරණි වමේ නායකයන්ට තුන්වැනි දේශපාලන ප්‍රවාහය ලෙස අත්පත් කර ගැනීමට නොහැකි වූ අවසන් ජයග්‍රහණය මෙදා අනුර ගේ නායකත්වයෙන් ජ.වි.පෙ ලබා ගත්තේය. “පැරණි සාම්ප්‍රදායික වම, ජ.වි.පෙ. සහ පාර්ලිමේන්තු දේශපාලනය” වෙනම කතා කළ යුතු වැදගත් මාතෘකාවකි. මෙහි සරළව සැසඳුවද, එය එකිනෙකට සහමුලින් වෙනස් සමාජ-ආර්ථික සන්දර්භ සහිත යුග දෙකක කතාවකි.

මේ රටේ අනාගතය සඳහා වැදගත් වන්නේ එවැනි සමාන අසමානකම් නොවේ. මේ රටේ අනාගතයට වැදගත් වන්නේ 1977 න් ආරම්භ වූ ජයවර්ධන දේශපාලනයෙහි ප්‍රධාන පදනමට වෙනස් වූ ජනතා කේන්ද්‍රීය දේශපාලනයකි. ජයවර්ධනගේ දේශපාලනය පදනම් වන මූලික සාධක කිහිපයක් ඇත. පළමුවැන්න, විවෘත වෙළෙඳපොළ ආර්ථිකය සමග ජාවාරම්කාර පෙළැන්තියක ලාබය වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය හැඩ ගසා තැබීමය. දෙවැන්න, ඒ විවෘත තරගකාරී වෙළෙඳපොළ වෙනුවෙන් මහ ජාතිවාදය බලහත්කාර, ප්‍රචණ්ඩ සමාජ බලයක් ලෙස තහවුරු කිරීමය. තෙවැන්න, තනි පුද්ගලයකු අත ගොනු කළ අසීමිත විධායක බලය ව්‍යවස්ථාගත කිරීමය. සිව්වැන්න, දිස්ත්‍රික්ක පදනමින් වන අනුපාත ඡන්ද ක්‍රමය නීතිගත කිරීමය.

“ධර්මිෂ්ට සමාජයක් සමග ඇට අටක් දෙන්නට” පොරොන්දු වී බලයට පැමිණි ජයවර්ධන, බලය ගත් විගස ක්‍රියාත්මක කළ මේ කිසිවක් වෙනස් කරන්නට මෙතෙක් අවුරුදු 45 ක කාලයෙහි කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 1994 අගෝස්තු මැතිවරණයට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් වූයේ ජයවර්ධනගේ දූෂිත විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට “මානූෂීය මුහුණුවරක්” දීමට සහ උතුරු-නැගෙනහිර යුද්ධයක් දක්වා තල්ලු කළ ජයවර්ධනගේ සිංහල-බෞද්ධ වර්ගවාදය වෙනුවට දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සඳහා සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීමට ය. එහෙත් ඒ කිසිවක් නොවුණි. ඉන්පසු ජනතාව විසින් තෝරා පත් කෙරුණු ජනාධිපතිවරුන් හා ආණ්ඩු සියල්ල, ජයවර්ධනගේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකය හා මහජාතිවාදී දේශපාලනය ඉදිරියට ගෙන යන්නට වූයේ දූෂණ වංචා කඳු ගසමින් ය. එසේ නොවන විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින්නටද නොහැක.

අපේ නාගරික මැදපන්තික දේශපාලනයෙහි 2022 වන විට කතා කරන්නට වූයේ ජයවර්ධනගේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි වූ ආවේණික දූෂණ ගැන නොවේ. දේශපාලකයන්ගේ මහ පරිමාන දූෂණය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටුණි යැයි සමාජ මතයක් හැදීමේ කතාය. ඒ සමාජ ආර්ථික බිඳවැටීමේ සියලු දොස් රාජපක්ෂවරුන් වෙත පවරනු ලැබීය. එහි දේශපාලන වාසිය ගැනීම වෙනුවෙන් 2010 ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රධාන විපක්ෂය විසින් සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්නට වූයේ පොදු විපක්ෂයක් වශයෙනි. එයට විශාල වශයෙන් ජ.වි.පෙ. නායකත්වය දායක විය. අනුර ප්‍රමුඛ ඔවුහු, 2014 වන විට රාජපක්ෂ විරෝධී දේශපාලනයෙහි දූෂණයට එරෙහි ඉදිරි පෙළ මතවාදී දායකයෝ වූහ. නාගරික මැදපන්තියේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයට වඩා හොඳින් මේ යුගයේ මැදපන්තික මානසිකත්වය, ජ.වි.පෙ. කියවා ගෙන තිබුණි. ඔවුන්ට එය පහසු වූයේ රාජපක්ෂ යුගය සමග විවෘත වෙ​ෙළඳපොළ ආර්ථිකයෙහි ප්‍රසාරණය වූ නාගරික මැදපන්තියෙහි සංස්කෘතිමය වශයෙන් නාගරික නොවුණු අලුත් සිංහල-බෞද්ධ මැදපන්තියක් තහවුරුවීමය. එය පෙන්නුම් කෙරෙන්නේ ජාතික ජන බලවේගයෙහි හවුල්කාර පිරිස් අතුරින් පමණක් නොව, අනුර කුමාරට කොළඹින් පිටත මහනුවර, ගාල්ල, කුරුණෑගල, බදුල්ල වැනි ප්‍රධාන නගරවල පළමුවැනියා වන්නට සහ කඩුවෙල, හෝමාගම, මහරගම සහ කැස්බෑව ආසන වලින් සියයට 55 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබීමෙනි. තවත් සාක්ෂියක් නම්, මැදපන්තික ආදායම් ලබන නමුත් පසුගාමී, ආත්මාර්ථකාමී මානසිකත්වයකින් පෙළෙන ගුරු, ලිපිකරු වැනි රජයේ සේවාවේ බහුතරය ලබාදුන් තැපැල් ඡන්ද ප්‍රතිශතය වන්නේ ය.

ජයවර්ධනගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් අවුරුදු 47 ට පසු මේ මැතිවරණ ජයග්‍රණයෙහි දේශපාලනික සමානකම ඇත්තේ ඒවායේ පමණක්ම නොවේ. එය ඇත්තේ භූගෝලීය සිතියමෙහි ය. ජයවර්ධනගේ මැතිවරණ ජයග්‍රහණ සිතියම බැලූ විට දැකිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 168 න් ඔහු දිනා ගත් ආසන 140 ම උතුරු-නැගෙනහිරෙන් පිටත, සිංහල දකුණේ වන බව ය. ජා.ජ.බ. මෙවර ලබා ගත් ජනාධිපතිවරණ ජයග්‍රහණයේ භූගෝලීය සිතියමද එවැනිම ය. ඔවුන්ට ජයවර්ධනගේ සිතියමෙහි වන මධ්‍යම පළාතේ වැවිලිකරයේ දෙමළ කම්කරු ඡන්ද හෝ ලැබී නැත.

ජයග්‍රහණයෙහි හැඩ රුව ගැන කතාවෙන් ඔබ්බට ගිය විට ඊළඟට හමුවන්නේ මේ වසර අග නියත වශයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙහි ජ.වි.පෙ. සහ ජා.ජ.බය ජනාධිපති අනුර කුමාරගේ නායකත්වයෙන් කෙසේ ස්ථානගත වනු ඇතිද යන්න ය. පළමුව අවධාරණය කළ යුත්තේ, ඔවුන් ජයවර්ධනගේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙන් වෙනස්වීමක් ගැන හෝ ඔවුන්ම ඉදිරිපත් කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන හෝ කතා කරන්නේ නැත. ඒවා ගැන කතා නැතත් කිසිදු සැකයකින් තොරව කිව හැක්කේ, ඔවුන් නිසැකවම බහුතර ආණ්ඩුවක් පිහිටුවන්නට හැකි අයුරු ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු කරනු ඇති බවය.

මැතිවරණ ප්‍රචාරණයේ මූලික සිද්ධාන්තය වන “දිනන්නේ අපි” යැයි තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම, අකුරට සමාජගත කෙරුවේ අනුරගේ මැතිවරණ ප්‍රචාරණයෙහි ය. ඊට අභියෝග කරන්නට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ස.ජ.බට නොහැකි විය. කිසිදු සැලසුමක් නොමැතිව, තමන්ගේ හිතුමතයට වේදිකා මත තමන්ගේ මනාපයට කතා කළ පමණින් මැතිවරණ දිනිය නොහැකි බැව් සජිත් තේරුම්ගත යුතුය. ස.ජ.බයේ අවාසනාව නම්, එය තම සංවිධානයෙහි නිල මණ්ඩලවල කතා කිරීමට සූදානම් කිසිවකු නොමැති වීමත් දේශපාලනයෙහි පාඩම් ඉගෙන ගැනීමට සජිත් සූදානම් නොවීමත් ය.

පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ඉදිරි මාස 03 ක පමණ කාලයේ අනුරගේ ජනාධිපතිත්වයෙන් සුළු ජනප්‍රිය පියවර කිහිපයක් ගන්නවාට වඩා ලොකු වැඩ කළ නොහැක. එනිසා ඔහුගෙන් මේ ඉදිරි මාස කිහිපයේ ලොකු වැඩ ඉල්ලා සිටීම, අසාධාරණ ය. ලබා දුන් පොරොන්දු ඉටු කරන්නේදැයි බැලිය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඔහුගේ ස්ථාවර ආණ්ඩුව පත් කෙරුණු පසුව ය. අතීතයෙහි විශාල ජනතා අපේක්ෂා පුබුදුවා බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම ඒ කිසිත් ඉටු කරන්නට නොහැකිව, ජනතා අපවාදයට අප්‍රසාදයට පත් වූ හැටි අපි දැක ඇත්තෙමු. එය ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් තිබූ ආණ්ඩුවේ සිට හැම ආණ්ඩුවක්ම මුහුණ දුන් ඛේදවාචකයකි. මේ විවෘත වෙ​ෙළඳපොළ ආර්ථිකයෙන් ඉවත් නොවී, ඊට මොන ලේබලයක් අලවා ගත්තත් අනුර කුමාරගේ ආණ්ඩුවටද ඒ අභියෝගයට මුහුණ දෙන්නට සිදුවනු ඇත. විවිධ ලේබල් අලවා ගත්තාට ඉන් ඉවත් වන්නට, මැතිවරණ ව්‍යාපාරයට දායකවූ ව්‍යාපාරිකයන් මෙතෙක් කිසිදු ආණ්ඩුවකට ඉඩ දී නැත.

එනිසා මගේ එකම බලාපොරොත්තුව අනුරගේ ආණ්ඩුවට ඒ අභියෝගයට මුහුණ දෙන්නට හැකියාවක් ශක්තියක් ලැබෙනු ඇත යන්නය. අවසන් වශයෙන් එකක් කිව යුතුය. රනිල් වික්‍රමසිංහ ගොඩ වූ වැල් පාලමට නම්, අනුර ගොඩ නොවිය යුතු ය. මේ සමාජ ආර්ථික බිඳ වැටීමෙන් එගොඩ වන්නට, සමාජයට වගකියන්නාවූ පාරදෘශ්‍යභාවයක් සහිත වෙනත් ශක්තිමත් පාලමක් හදා ගත යුතුය.

(*** කුසල් පෙරේරා)