මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
ප්‍රධානම වෙනස නම් මෙය කලින් ජනාධිපතිවරණ මෙන් ද්වන්ධ සටනක් නොවේ. 1982 පැවැති මෙරට පළමු ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අතර තරගයක් විය. දෙවැනි තරගය 1988 දී එජාපයේ රණසිංහ ප්‍රේමදාස මහතා හා ශ්‍රීලනිපයේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය අතර පැවැත්විණි.
ශ්‍රීලනිප ඉන්පසු තම නමින් ජනාධිපතිවරණවලට හෝ පාර්ලිමේන්තු මැතිවරණවලට හෝ ඉදිරිපත් වූයේ නැත. ඉන්පසු සිදුවූයේ එම පක්ෂය තම නායකත්වයෙන් වූ සන්ධානවල ලකුණ යටතේ මැතිවරණවලට ඉදිරිපත් වීමය.
1994 දී ශ්‍රීලනිප ජනාධිපතිවරණයට තරග කළේ එහි නායකත්වයෙන් අලුතින් ගොඩනැගුණු පොදුජන එක්සත් පෙරමුණ යටතේය. ඒ එජාපයට එරෙහිවය. 1999 දී තරගය පැවැතියේ එම පක්ෂ දෙක අතරේය. 2005 දී ශ්‍රීලනිප එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වූ අලුත් සන්ධානයක් යටතේ එජාපයට එරෙහිව තරග කළේය.
2010 හා 2015 යන වසරවල පැවැති ජනාධිපතිවරණවලදී එජනිසට තරග කරන්නට සිදුවූයේ එජාපයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එරෙහිවය. 2019 වන විට එජනිස දෙකඩ වී එහි බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟා ගෙන තිබූ අතර ඊට එරෙහිව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තරග කළේය. ශ්‍රීලනිප නමින් ඉතිරිව සිටි සුළුතරයද පොදුජන පෙරමුණට සහාය දුන්නේය.
කෙසේ වෙතත් මේ සියලු ජනාධිපතිවරණ මූලික වශයෙන් ශ්‍රීලනිප සහ එජාප අතර තරහ වූ අතර ඒවා දෙකොන් සටන් විය.
මෙවර එය වෙනස් වී තිබේ. මෙවර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වී ඇති නමුත් ජනමාධ්‍ය මගින් පක්ෂ හතරකට වැදගත් කමක් දී ඇත. දීර්ඝ කාලයක් එජාපයේ සහ ශ්‍රීලනිපයේ සාම්ප්‍රදායික ආධාරකරුවන් ලෙස සැලකුණු පිරිසකගෙන් අතිබහුතරය අද කොහේදැයි සොයා ගන්නට නොහැකි අයුරින් සීසී කඩව විසිර ගොසිනි. නිල වශයෙන් ශ්‍රීලනිප ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි සුළු පිරිසද කණ්ඩායම් තුනකට කැඩී නව කණ්ඩායම්වලට අයත් පිරිස් දැන් කුමන ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දෙන්නේදැයි සොයාගත නොහැකි ලෙස අතුරුදන් වී ගොසිනි.
ඒ අනුව ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස සලකා ජනමාධ්‍ය වැදගත්කමක් දෙන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන එජාප නායක රනිල් වික්‍රමසිංහ, 2020 දී එජාපයේ බහුතරය සමග සමගි ජන බලවේගය නමින් කටයුතු කරන එහි නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුණු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන සිව් දෙනාටය.
මෙවර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් ලෙස සැලකුවත් සිව්කොන් සටනක් ලෙස සැලකුවත් ඒ තත්වය ඇතිවූයේ 2021 දී ආරම්භ වී 2022 දී උච්ඡස්ථානයට පත් වී මතුපිටින් නොපෙනුණද තවමත් පවතින ආර්ථික අර්බුදයත් ඒ නිසා ඇතිවූ මහජන නැගිටීමත් නිසාය.
අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු එම මහජන නැගිටීම 2021 අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා පැවැතීම නිසා අරගලකරුවන් ඉස්මතු කළ දූෂණය, ක්‍රම වෙනස වැනි කරුණු තරුණ පරම්පරාවේ පමණක් නොව වැඩිහිටි පරම්පරාවේ එතරම් උගත්කමක් නැති පිරිස අතර පවා සංවාදයට ලක් විය.
මෙවර ජනාධිපතිවරණයේ දක්නට ඇති තවත් වැදගත් වෙනසක් නම් පෙර ජනාධිපතිවරණවලදී මෙන් මෙවර මැතිවරණ වේදිකාවල ජාතිය හා ආගම ඉස්මතු නොවීමයි. 1988 සිට 2010 දක්වා පැවැති ජනාධිපතිවරණවලදී දෙමළ බෙදුම්වාදී යුද්ධය ආශ්‍රිත කරුණු ප්‍රධාන මැතිවරණ තේමාව විය. 2015 දීද එය එක්තරා දුරකට මැතිවරණ වේදිකාවල සාකච්ඡාවට ලක් විය.
2019 දී අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දින මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ස්ථාන හතක මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමෙන් පසු එම වසරේ නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන් ප්‍රධාන මාතෘකාව වූ අතර ඇතැම් දේශපාලකයන් සහ ඇතැම් ජනමාධ්‍ය දෙමළ මුස්ලිම් විරෝධයක් පැතිර වූ අතර එය මැතිවරණ ප්‍රතිඵල තීරණය කළ ප්‍රධාන සාධකයක්ද විය.
මෙවර ජාතිය, ආගම වැනි කරුණු ප්‍රධාන වේදිකාවලින් අසන්නට ලැබුණේ හැකි තරම්ය. කුඩා කණ්ඩායමක් පමණක් එවැනි කරුණු කරළියට ගෙන ඒමට උත්සාහ කළ ද එය එතරම් සාර්ථක නොවීය. එහෙත් උතුරේදී ‘‘ජාතිය’’ පෙරට වඩා උද් යෝගයකින් කරළියට පැමිණ තිබේ. ඒ එහි දේශපාලන පක්ෂ කිහිපයක් දෙමළ පොදු ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම නිසාය. කෙසේ වෙතත් ඉහත කී කුඩා කණ්ඩායමට අමතරව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දින තුන තුළදී එක් ප්‍රධාන පක්ෂයක් ආගම කරළියට ගන්නට තරමක් උත්සාහයක් දැරුවද එය ද සාර්ථක වූයේ නැත. එය යහපත් තත්වයකි.
මෙයද ආර්ථික අර්බුදයේ හා අරගලයේ ප්‍රතිඵලයකැයි සිතිය හැකිය. ආර්ථික අර්බුදය විසින් සමාජය තුළ ඇති කරන ලද කම්පනය යටපත් කරන්නට වැනි කිසිදු සාධකයක් සමත් වී නැත. එසේම මාස හතරක අරගලය තුළදී ජාතික සමගිය දැඩි ලෙස අවධාරණය කෙරිණි. සමහර විට මෙයින්ද සමාජයට බලපෑමක් ඇතිවූවා විය හැකිය.
මෙවර සමාජ මාධ්‍යවල බල පෑමද මින් පෙර මැතිවරණවලදී දකින්නට ලැබුණාට වඩා වැඩිය. එහෙත් එහිදී සිදුවූයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ බුද්ධිමය සංවාදයකට වඩා අවලාද, අපහාස උපහාසය කරුණු විකෘති කිරීම් ප්‍රකෝප කිරීම් නොමග යැවීම් ආදිය පැතිරවීමයි. උගතුන්, බුද්ධිමතුන් ලෙස සැලකෙන පුද්ගලයන් පවා තමන්ගේ දේශපාලන රුචියට ගැළපෙන අයුරින් මේවා තෝරා ගෙන ප්‍රචාරය කරනු දක්නට ලැබිණි.
එහෙත් සාමාන්‍යයෙන් අපහාස, උපහාසවලින් කෙනකුගේ දේශපාලන නැඹුරුව වෙනස් කළ නොහැකිය. සිදුවන්නේ ඒවායින් ප්‍රහාරයට ලක්වන පුද්ගලයා තව තවත් තමන් සිටින ස්ථානයේම සිටීමයි. සමාජ මාධ්‍යවල බලපෑම ඇති වන්නේ අඩුවෙන් වුවද සිදුවූ දේශපාලන සංවාද මගිනි. විටෙක ඒවා අපහාස උපහාස ලෙස පෙනී ගියද ඒවායේ හරයක් තිබිණි.
දේශපාලන පක්ෂ තම මැතිවරණ ප්‍රකාශන ප්‍රකාශයට පත් කළේ තැපැල් ඡන්ද විමසීම් අභියසදීය. එහෙයින් ඒවායින් වත්මන් දේශපාලන පෙළ ගැස්ම සකස් කරන්නට එතරම් සේවයක් වූවායැයි සිතිය නොහැකිය. මන්දයත් ආර්ථික අර්බුදය හා අරගලයේ මතවාද විසින් ඒ වන විටත් මෙම පෙළගැස්ම සකස් කරනු ලැබ තිබීමයි.
මැතිවරණ ප්‍රකාශනවලින් මෙම පෙළගැස්ම හා බල තුලනය වෙනස් නොවුවද දේශපාලන පක්ෂවල ප්‍රචාරක උපක්‍රමවලින් නම් ඒවා එක්තරා දුරකට වෙනස් වී ඇති බව මාස දෙකකට පෙර පැවැති තත්වය හා වත්මන් තත්වය සැසඳීමේදී පෙනේ. මේ කාලය තුළ ඇතැම් පක්ෂ වේගයෙන් ඉදිරියට පැමිණ තිබේ. එහිදී මෙම උපක්‍රම නීත්‍යානුකූලද නැද්ද, සදාචාරාත්මකද නැද්ද, ඒවා සමාජට හිතරකද නැද්ද යන්න වෙනම සලකා බැලිය යුත්තකි.
මෙවර මැතිවරණය බොහෝ දුරට තුන්කොන් සටනක් වීම නිසා මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට ඡන්ද පත්‍රිකාවල ඇති දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීමට සිදු විය හැකිය. ඒ මෙරට නීතිය අනුව වැඩිම ඡන්ද ගන්නා අපේක්ෂකයා එක්වරම ජයග්‍රහණය ලෙස තෝරා ප්‍රකාශයට පත් නොකෙරෙන බවට විශ්වාසයක් සමහර පාර්ශවවල ගොඩගැසී ඇති හෙයිනි.
පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී ඡන්දදායකයන් මනාප සලකුණු කළ යුත්තේ එකම පක්ෂයේ අපේක්ෂකයන්ටය. එහෙත් ජනාධිපතිවරණයේදී මනාප සලකුණු කෙරෙන්නේ විවිධ පක්ෂවල අපේක්ෂකයන් වෙනුවෙනි. මෙය ඡන්දදායකයන්ගෙන් කොතරම් පිරිසක් තේරුම් ගෙන ඇත්දැයි සිතාගත නොහැකිය. මීට පෙර ජනාධිපතිවරණවලදී මනාප ගැන කිසිවෙක් කතා නොකිරීම නිසාද මේ අනුව අවබෝධය බොහෝ දෙනකු තුළ තිබිය හැකිය.
ජනාධිපතිවරණයකදී ඡන්දදායකයකු තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය දී වෙනත් පක්ෂවල අපේක්ෂකයන්ට දෙවැනි තුන්වැනි මනාප දිය හැකිය. එහෙත් ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම එක් අපේක්ෂකයකු වලංගු ඡන්දවලින් සියයට පනහකට වඩා ඡන්ද ලබා තිබුණේ නම් ඔහු ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කෙරෙන අතර මනාප ගණන් කිරීමක් සිදු නොවේ.
කිසිදු අපේක්ෂකයකු සියයට පනහකට වඩා ඡන්ද ලබා නොතිබුණ හොත් වැඩිම ඡන්ද ලබා ගත් දෙදෙනාගේ ඡන්ද පැත්තකින් තබා අනෙක් අපේක්ෂකයන්ට 1 ලකුණු කොට මේ දෙදෙනාට 2 වැනි මනාපය ලකුණු කොට ඇත්දැයි පරීක්ෂා කොට එසේ සලකුණු කොට ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්දවලට එකතු කරනු ලැබේ.
එහිදී ද ඒ දෙදෙනාගෙන් කිසිවකු සියයට පනහක් ලබා නොගත්තේ නම් අනෙක් අපේක්ෂකයන්ගේ ඉතිරි ඡන්ද පත්‍රිකාවල මේ දෙදෙනාට තුන්වැනි මනාපය සලකුණු කොට තිබේදැයි පරීක්ෂා කොට එසේ ලකුණු කොට ඇත්නම් ඒකද අර දෙදෙනාගෙන් අදාළ අපේක්ෂකයාගේ ඡන්දවලට එකතු කෙරේ. ඉන්පසු වැඩි ඡන්ද හා මනාප හිමියා ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. තුන්වැනි මනාපයද අදාළ අපේක්ෂකයන්ගේ ගොඩට දැමීමෙන් පසු සියයට පනහක් නොතිබුණද වැඩි ඡන්ද හා මනාප හිමියා ජයග්‍රාහකයා වේ.
වඩා වැදගත් කාරණය නම් හැඟීම්වලට වහල් නොවී බුද්ධිමය වශයෙන් සලකා බලා වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා තෝරා ගැනීමට මෙරට බහුතර ජනතාව දැනුම්වත් ද යන්නයි.
(*** එම්.එස්.එම්. අයුබ්)