ජනපතිවරණ ජනමත කැඩපත


2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශයෙන් මෙන්ම සමාජ දේශපාලනික වශයෙනුත් ජනතාව වෙනසක් ඉල්ලන පසුබිමකය. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව 2024 ජුලි මස 26 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දින වකවානු නිවේදනය කරනු ලැබීය.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණය පෙරේදා දිනය නැති නම් 2024 සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විණි.

මෙවර ජනාධිපතිවරණය උදෙසා මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනයට අනුව අපේක්ෂකයන් 39 දෙනකු 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිවේදනය කෙරිණ. තව ද, මෙරට ලියාපදිංචි ඡන්දදායකයන් 17,140,354ක සංඛ්‍යාවක් ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී අපේක්ෂකයන්ට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා දුන්නේය. එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාව දක්වන ආකාරයට, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම් අවම මෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් පමණක් වාර්තා වී තිබේ. එහෙත්, 2024 ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීව මෙන්ම ජනතාව බොහොමයක් උනන්දුවෙන් ඡන්දය භාවිත කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරනු දැකගත හැකි විය.

කෙසේ නමුත්‌, මෙම මැතිවරණයේ ඡන්දය භාවිත කරනු ලැබූ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පැවති නමුත් එය 2019 ජනාධිපතිවරණයට වඩා ඇතැම් දිස්ත්‍රික්කවල අඩු මට්ටමක් පැවැති බවට නිරීක්ෂණය විය. කෙසේ නමුත්, අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වා දෙන්නේ, ජනතාව උදෑසන සිට තම ඡන්දය භාවිත කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන ලද බවට පෙන්වාදෙනු ලැබීය. 2024 ජනාධිපතිවරණයෙන් ලැබුණු ප්‍රතිශත සමග සංසන්දනය කිරීමේදී හඳුනාගත හැකි වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද, නැති නම් ජනතා පරමාධිපත්‍යය තුළ ඇතුළත් වන ඡන්ද බලය භාවිත කිරීමට ජනතාව උනන්දු වූ බවය.

ඕනෑම ජනාධිපතිවරණයකදී, මැතිවරණයකදී තැපැල් ඡන්දය යනු, ඉතාමත්ම වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ලබයි. විශේෂයෙන්ම, මෙය රාජ්‍ය සේවය අපේක්ෂකයන් කෙතරම් දුරට විශ්වාස කරන්නේ ද යන්න පිළිබඳව සිදු කරන්නා වූ පරීක්ෂාවක් වැනිය. මෙවර ජනාධිපතිවරණයේදී විශේෂ වන්නේ, තැපැල් ඡන්ද ජය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාගෙන තිබීමය. ඔහු විසින් ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, දිගාමඩුල්ල, බදුල්ල, මහනුවර, ගම්පහ, කොළඹ, රත්නපුර, නුවරඑළිය, මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජය තහවුරු කරගෙන ඇත. එසේම, සජිත් ප්‍රේමදාස මහතා වන්නි දිස්ත්‍රික්කය ද, රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවක මනාපය නැති නම් තැපැල් ඡන්දයේ ජය ලබාගෙන ඇති බව පෙනේ. මෙය හඳුනා ගැනීමේදී පෙනී යන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට වඩා රාජ්‍ය සේවකයන් අනුර කුමාර දිසානායක මහතා වෙත සිය මනාපය සහ විශ්වාසය ලබා දී ඇති බවය.

මෙහිදී 2019 ජනාධිපතිවරණය හා සංසන්දනය කිරීමේදී දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන්නා වූ රාජ්‍ය සේවකයන් මෙවර අනුර කුමාර දිසානායක මහතාව විශ්වාස කළ බවක් පෙනී යයි. තව ද, 2019 වසරේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා යන දෙපාර්ශ්වයම එක්ව හංසයා ලකුණින් තරග කිරීම නිසා එම තැපැල් ඡන්ද බෙදී යාමක් සිදු නොවුණත්, මෙවර 2024 ජනාධිපතිවරණයේදී දෙදෙනා වෙන් වෙන්ව තරග කිරීම නිසා ඔවුන් දෙදෙනා අතර මෙම තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඇතැම් දිස්ත්‍රික්කවල බෙදී යාමක් දැකගත හැකිවිය. එහෙත්, බහුතර දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දයේ ජය සහ සමස්ත ප්‍රතිශතයේ වාසිය ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් විය. එමෙන්ම, මෙම මොහොතේ භූමියේ පවතින්නා වූ ජනමතය සම්බන්ධ අදහසක් ද මෙම 2024 තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් කියවාගත හැකිය.

තැපැල් ඡන්ද එසේ තීරණය වන විට 2024 ජනාධිපතිවරණයේ ඡන්ද කොට්ඨාස මට්ටමෙන් ඡන්දය භාවිත කිරීම සම්බන්ධව අවධාරණය යොමු කළ යුතුය. විශේෂයෙන්ම, මෙවර ජනාධිපතිවරණයේ 2019 වසරේ ජනාධිපතිවරණයට වඩා වෙනස් වන්නේ, එවක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව සන්ධානගත වූ ප්‍රධාන පක්ෂය මෙන්ම නව පෙරමුණක් ලෙස ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ පැවැති සටනයි.

එහෙත්, මෙවර 2024 ජනාධිපතිවරණයේදී 2022 ජනතා නැගී සිටීම සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ඉවත් වීමත් සමග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද ගණන සම්බන්ධව සැලකියයුතු අවධානයක් යොමුකළ යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා, පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග එක්ව ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් විය. 2019 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වූ සජිත් ප්‍රේමදාස මහතා මෙවර ඔහුගේ පක්ෂය වන සමගි ජන බලවේගය හරහා දුරකතනය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. අනෙක් පසින් 2019 දී දැඩි පසුබෑමක සිටි අනුර කුමාර දිසානායක මහතා මෙවර ප්‍රබල ජනතා ප්‍රසාදයක් සහ ජන රැල්ලක් ද සමගින් ජාතික ජන බලවේග අපේක්ෂකයා ලෙස මාලිමාව ලකුණින් ඉදිරිපත් වීමය. එබැවින්, මෙහිදී මූල් අවස්ථාවේදීම 2019ට වඩා ඡන්ද සංඛ්‍යා බෙදී යාම හඳුනාගත හැකිය.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ ජනතා හැසිරීම බිම් මට්ටමේ සිට යම් වෙනසකට වසර ගණනාවක සිට සිදු වීම මෙහිදී පැහැදිලිවම හඳුනාගත හැකිය. විශේෂයෙන්ම, නිදසුනක් වශයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොළඹ, බොරැල්ල යන ප්‍රදේශ 2019 වසරේදී එ.ජා.ප. සන්ධානය ප්‍රමුඛ කරගත් බලකඳවුර විසින් ආරක්ෂා කර ගනු ලැබුවද, 2024 ජනාධිපතිවරණයේදී එම ඡන්ද කොට්ඨාස ද්විත්වයම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් බිඳ දමා ඇත.

තවත් නිදසුනක් වශයෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ මීගමුව ප්‍රදේශ 2019 වසරේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සන්ධානය විසින් බලය තහවුරු කරගනු ලැබුවද මෙවර 2024 ජනාධිපතිවරණයේදී එම බලය තමා සතු කරගැනීමට අනුර කුමාර දිසානායක මහතාට හැකි වී ඇත. මෙහිදී ගම්‍ය වන්නේ, ජනමතයේ වෙනස් වීම සහ භූමියේ ඡන්ද පදනමට ද යම් බලපෑමක් එල්ල වී ඇති බවය. මෙයට හේතුවක් වශයෙන් 2022 ජනතා නැගී සිටීම, සම්ප්‍රදායික දේශපාලන පක්ෂ බිඳවැටීම සහ සම්ප්‍රදායික ඡන්දදායකයාගේ මනාපය වෙත ගමන් කිරීමට අපේක්ෂකයන් අපොහොසත් වීම යන්න ද හඳුනාගත හැකිය.

2024 ජනාධිපතිවරණයට අනුව මෙතෙක් ලැබුණු ප්‍රතිඵලයට අනුව ඉදිරියෙන් සිටිනු ලබන්නේ ප්‍රගතිශීලි ලෙස ඉදිරියට පැමිණි ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාය. එසේම එහිදී ඔහු ඡන්ද 56,34,915 සංඛ්‍යාවක්ද, අනෙක් පසින් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණින් 43,63,035ක ඡන්ද සංඛ්‍යාවක් ද ගෙන පිළිවෙළින් සියයට 42.31ක හා සියයට 32.76ක ප්‍රතිශත ගෙන සිටිති. ඒ අතරම ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට සියයට 17.27ක ප්‍රතිශතයක්, එනම්, 22,99,767ක ඡන්ද සංඛ්‍යාවක් ගෙන තෙවැන්නා ලෙස සිටී. ඒ අනුව පැහැදිලිවම මෙහිදී ජනමතය සහ දේශපාලන පක්ෂ සන්ධානගත වීම නිසාවෙන් උද්ගත වූ පරම බහුතරය ගැනීමේ හැකියාව වියුක්ත වී පවතී.

තවදුරටත් මෙවර ජනාධිපතිවරණය බොහොමයක් බලකඳවුරු සෙලවුණු මෙන්ම, සම්ප්‍රදායික පක්ෂ මෙන්ම නව දේශපාලන දිශානතියක් අවශ්‍ය බව තහවුරු කරමින් සිටී. විශේෂයෙන්ම එයින් පෙනී යන්නේ ජාතික ජන බලවේග අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා වෙත ලැබෙන ඡන්ද සංඛ්‍යාව සහ ඒවායේ පදනම් ද විශ්ලේෂණය කිරීමෙනි.

මේ තත්වය හමුවේ ඉහත දැක්වූ ලෙස පරම බහුතරයක් නැති නaම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත ප්‍රකාරව සියයට 50කට වැඩියෙන් ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ලබාගැනීමට නොහැකි වීම විශ්ලේෂණය වන්නේය. එම නිසාවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් දෙවැනි හා තෙවැනි මනාප ගණන් කිරීම ද සිදු කරනා බවට නිවේදනය කර ඇත. විශේෂයෙන්ම මෙවැනි වාතාවරණයක් මෙරට ජනතාවට ඉතාමත්ම විරල සහ ප්‍රථම වරට මුහුණ දීමට සිදුවූ බව කිව හැකිය.

කෙසේ නමුත්, එසේ දෙවැනි මනාප හා තෙවැනි මනාප ගණන් කිරීම ප්‍රකාශ කිරීමෙන් පසු නිවේදනය කරනු ලැබූ ඡන්ද ප්‍රතිඵලත් සමගම පැහැදිලි ලක්ෂ 10කට වඩා ඡන්ද ගණනක් ජාතික ජන බලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාගෙන තිබීම නිසා පෙනී යන්නේ ඔහු අභිබවා යෑමට දෙවැනි මනාප ලකුණු නොවන බවය. ඒ අනුව මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමේ පදනම මේ වන විට ඇති බවට විශ්ලේෂණය කළ හැකිය.

ඒ අනුව, මෙරට ප්‍රථම වරට වාමාංශිකය නියෝජනය කරමින් තෙවැනි බලවේගයක් ලෙස සිටිමින්, ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් තෙවැනි විකල්ප ප්‍රවාහයක් ලෙස පැමිණ මෙන්ම අවම ප්‍රතිශතයක් 2019 ජනාධිපතිවරණයේදී ද ගනිමින් ක්‍රමයෙන් විධායකය වෙත ගමන් කිරීමට අනුර කුමාර මහතා ප්‍රමුඛ දේශපාලන ප්‍රවාහයට හැකියාවක් ලැබීමට ඉඩ ඇති බව මෙහිඳී හඳුනාගත හැකිය. ඒ අනුව මෙය විශේෂයෙන්ම පෙර සඳහන් කළාක් මෙන්ම ජනතා පරමාධිපත්‍යය, භූමියේ දේශපාලන හැසිරීම මෙන්ම ආර්ථික, සමාජ හා දේශපාලන බල හුවමාරුවකට ජනතාවගේ අවශ්‍යතාව මනාව විශ්ලේෂණය කළ හැකි තත්වයක් ලෙස පෙන්වා දිය හැක.

 

(***)

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදි

නෙවිශ්ක රුද්‍රිගු