ළඟ එන ජනාධිපතිවරණයේ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ විධිමත් දැන්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින්, පොදුජන පෙරමුණේ නායකයන් බලා සිටියදී, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබේ දෝ යන්න අනුමාන කරගත් කසු කුසුවක් ඔවුන්ගේ කව තුළ වර්ධනය වෙමින් පවතී.
එවැනි මැතිවරණයක් ජනාධිපතිවරණය නිමාවූ විගස පවත්වන්නේද, නැතහොත් ඉන් පසු සතිවල පැවැත්වේද යන්න පැහැදිලි නැත. කෙසේ වුව, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ‘‘එවැනි තත්වයක් උද්ගත වුවහොත් කොමිසම ඒ ගැන සාකච්ඡා කොට සුදුසු පියවර ගන්නවා. ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව කොමිසම සතුව තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිල කාලය නොවැම්බර් 18 වැනිදායින් අවසන් වන බැවින්, මේ වන විට පැවැත්විය යුතුව ඇත්තේ ජනාධිපතිවරණයයි. වෙනත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් කොමිසමට ඒ ගැන සාකච්ඡා කොට මැතිවරණය පැවැත්විය හැකියි’’ යනුවෙනි. ඇත්තවශයෙන්ම ඔහු පිළිතුරු දුන්නේ උපකල්පනය කරනු ලැබූ ප්‍රශ්නයකටයි.
අනුමාන කිරීම සිදුවූයේ දේශපාලන වශයෙන් වැදගත් පුද්ගලයන් සිව් දෙනකු ජූලි 10 වැනිදා පැවැත්වූ උදා භෝජන සංග්‍රහයක දී ය. තමා ජනාධිපතිවරණයක් පවත්වන්නේද යන්න ජනාධිපති වික්‍රමසිංහගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂයි. තමා එසේ කරන බව සහතික කොට කී ජනාධිපතිවරයා, තවත් මැතිවරණයක් පැවැත්වීමේ අවකාශ ඔහුට අවශ්‍ය බව කියා සිටියේය. එම මැතිවරණය කුමක් දැයි රාජපක්ෂ ඇසුවේ හෝ ජනාධිපතිවරයා අනාවරණය කළේ හෝ නැත. ඊට සහභාගි වූ අනෙක් දෙදෙනා නම් ශ්‍රීලපොපෙ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකයි.
ජනාධිපතිවරණයක් පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ වෙතින් විමසා ජූලි 17 සිට යම් තරමක යල්පැනගිය ප්‍රශ්නයක් බවට පත්වේ. ඔහු සිය බලය භාවිතා කොට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් නොකළේ වුවද, ජනාධිපතිවරණ නීති බලපානු ලබන්නේ එම දිනයේ පටන්ය. මැතිවරණ කොමිසමේ ප්‍රධානි රත්නායක බදාදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මෙසේ පැවසීය.
‘‘ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වෙනවා. පළමු කාර්යය වන්නේ ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය කිරීමයි. එම නිවේදනය කළ දිනයේ පටන් දින 16ත් 21 අතර නාමයෝජනා භාර ගත යුතුයි. නාමයෝජනා භාරගත් දිනයේ පටන් සති හතරක සිට සති හයක කාලයක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා.’’
මේ සතියේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, පසු දිනක ශ්‍රීලපොපෙ සමග සාකච්ඡා කරනු ඇත. ඉන් අනතුරුව විදේශගතව සිටින කොමිසමේ සාමාජිකයන් හැර අන් අය සාකච්ඡා සඳහා රැස්වෙනු ඇත. නාමයෝජනා භාර ගැනීම සඳහාත් ජනාධිපතිවරණය සඳහාත් ඔවුන් දළ වශයෙන් දින තීරණයකට එළඹ තිබේ. ජූලි 24 හෝ 26 වැනි දින ඔවුන් නාමයෝජනා භාර ගන්නා දිනය නිල වශයෙන් නිවේදනය කරනු ඇත. නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 14 හෝ 15 දින සිදුවනු ඇත. ඒ අනුව ජනාධිපතිවරණය පවත්වනුයේ සැප්තැම්බර් 21දා ය. මෙම දිනවල වෙනසක් සිදු නොවනු ඇත.
ජනාධිපති වික්‍රමසිංහ සිය අපේක්ෂකත්වය ශ්‍රීලපො පෙරමුණට සහ සහයෝගය බලාපොරොත්තු වන අනෙකුත් පක්ෂවලට දැන්විය යුතු අවසාන දිනය නාමයෝජනා භාර දිය යුතු දිනය වේ. නාමයෝජනා දීමට පෙරාතුව, පෙර සූදානමක් ලෙස වික්‍රමසිංහ එවැනි පක්ෂවලට තමාගේ ස්වාධීන අපේක්ෂකත්වය ලිඛිතව දැනුම් දෙතැයි බලාපොරොත්තු වේ. ඔහුට සහයෝගය දෙන විශාලතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වනු ඇත. එහි අමාත්‍යවරුන් කිහිප දෙනකුත් මේ වන විටත් වික්‍රමසිංහගේ පැත්ත ගෙන තිබේ. ඒ හැරුණු කොට මේ වන විට අසංවිධිත බවක පසුවන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය කොටස්ද ඒ අතර වේ. ඉන් එකක් වන්නේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ පෙරමුණයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ගිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමග සම්බන්ධ වී තිබේ. තවත් සහයෝගය දෙන පාර්ශ්වයක් වනුයේ රිෂාද් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයයි. ජනාධිපතිවරයා, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යටතේ වූ පෞද්ගලික මුස්ලිම් විශ්වවිද්‍යාලයක තිබූ උත්සවයකට කොළඹ සිට මඩකළපුව බලා හෙලිකොප්ටරයකින් පිටත්ව ගිය පසු හිස්බුල්ලා එහිදී ජනාධිපතිවරයා හමුවූයේය. කලක් අමාත්‍යවරයකුව සිටි රවි කරුණානායක ද සහයෝගයට එක්වන්නන් අතර සිටී.
ශ්‍රීලපොපෙ නායකත්වය ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව ඉදිරියේ ජනාධිපති වික්‍රමසිංහගේ ලිපිය තබන්නට සැලසුම් කරගෙන සිටී.
අවශ්‍යතාවක් මතු වුවහොත් ඔහු පෙනී සිටින ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීම අපට කළ හැකියි. ඉන්පසුව ශ්‍රීලපොපෙ පෙනී සිටිනා මූලික ප්‍රතිපත්ති අනුගමනය කරන බවට සහතිකයක් ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. තම අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති එක් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් කියා සිටියේය.
පත්කිරීමට නියමිත නව ජනාධිපති අපගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින බව අපගේ පක්ෂයේ සෙසු සාමාජිකයන් හට එ්ත්තු ගන්වන්නටයි එවැනි ඉල්ලීමක් කරනුයේ. එය අපගේ සෙසු සාමාජිකයන්ට දෙන සහතිකයක් වෙනවා’’ යයි ඔහු කීවේය. වික්‍රමසිංහට සහයෝගය දෙන පක්ෂ හා දේශපාලන කණ්ඩායමක ඡන්ද මෙහෙයුම එළිදකිනු ඇත.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අර්බුදය
තම කැබිනට් මණ්ඩලයේ රේඛීය අමාත්‍යවරයකු අභිබවා පළමුවරට ජනාධිපති වික්‍රමසිංහ ක්‍රියා කිරීම සිකුරාදා සිදුවූ තවත් දේශපාලන වශයෙන් වැදගත් සිද්ධියකි. ව්‍යවස්ථාවට සංශෝධනයක් හඳුන්වාදීම සඳහා අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එසේ කරන ලද්දේ සිංහල මුද්‍රණයේ, ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් විය යුතුය යනුවෙන් විෂම ලෙස තිබෙන සඳහන නිවැරදි කර ගැනීම සඳහාය. කෙසේ වුවද සිංහල සහ ඉංග්‍රීසි අනුවර්තනවල එය වසර පහක් ලෙස දැක්වේ. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එවැනි පියවරක් ගනු ලබන්නේ නිවැරැදිව වාර්තාකොට තැබීමයි. එසේ වුවද මෙය ජනාධිපතිවරණය කල් තැබීමේ අරමුණෙන් කල් යල් බලා ගෙන ආ සංශෝධනයක් බවට බහුලව විවේචන මතුව තිබේ.
අමාත්‍ය රාජපක්ෂ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ව්‍යවස්ථාව සංශෝධනය කරනු පිණිස වූ පනත් කෙටුම්පතක් සේ සංස්ථාගත වන ගැසට් පත්‍රයක් ලෙස එය මුද්‍රණය නොකරන ලෙසට තම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. ඉන් අනතුරුව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනා ලියනගේ හට එය මුද්‍රණය කිරීමේ කටයුතු නොකරන ලෙසට උපදෙස් දී තිබේ. එම උපදෙස් දීමට පෙර ජනාධිපති වික්‍රමසිංහ වෙතින් උපදෙස් ලබාගෙන නොමැතිවීම පරස්පර කරුණකි. විජයදාස රාජපක්ෂට ද ළඟ එන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමට අවශ්‍යව ඇති බව දැනගන්නට ලැබී තිබේ.
ව්‍යවස්ථා සංශෝධනය පිණිස වූ 22 වැනි සංශෝධනය යනුවෙන් නම් කර ඇති පනත් කෙටුම්පත මේ වන විට ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි මෙසේ සඳහන්ය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 83 වැනි ඡේදයේ (ආ) වගන්තිය ‘සය වසරකට වැඩි’ යන වචන වෙනුවට ‘පස් වසරකට වැඩි’ යන වචන යොදමින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.
පනතේ සිංහල හා දමිල මුද්‍රණයන්හි යම් නොගැළපීමක් ඇති වන අවස්ථාවල දී සිංහල මුද්‍රණ සැලකිල්ලට ගත යුතුය.
දැන් කෙටුම්පත ගැසට් කර හමාර බැවින් තර්කානුකූලව බැලූවිට ඊළඟ පියවර විය යුත්තේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඊට පක්ෂව එය අනුමත කරමින් තුනෙන් දෙකේ ඡන්දයක් ලැබීම අවශ්‍යවේ. එම නිසා දින තුනක් ඇතුළත ජනතාවගේ මතය විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීම කළ යුතුවේ. ජනාධිපතිවරණය පවත්වන අතරතුර එවැනි කටයුත්තකට නියැළීම වික්ෂිප්ත භාවය ඇති කරන්නකි. කෙසේ වුවද රටේ ඉහළම අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රටේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් නොව පහක් බව තීන්දු කර ඇත. ඒ කෙසේ වෙතත් ජනාධිපති වික්‍රමසිංහ ද එම නිල කාලය වසර පහක් බව අනුමත කරන ස්ථාවරයට පැමිණ සිටී.
එසේ නම් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කොට ප්‍රසිද්ධ කරවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන්නේ ඇයි ?
එම සිද්ධිය සමඟ වඩාත් සමීප එකිනෙකට වෙනස් ආරංචි මාර්ග දෙකක් පවසා සිටියේ එසේ කරන ලද්දේ ජනාධිපති බලතල අධිකරණ අමාත්‍යාංශය විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳ ප්‍රබල පණිවිඩය දීම සඳහා බවයි.
ඔවුන් කියා සිටියේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම කරන ලද්දේ එය ජනාධිපති වරප්‍රසාදයක් බව පෙන්වා සිටීමට බවයි. විසි දෙවැනි (22) සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත් ඉන්පසු එය විවාදයට ගන්නා බවත් ඉන් ඔබ්බට ඒ ගැන කටයුතු කිරීමේ සැලසුම් රජයට නොමැති බවත් ඉහත කී ආරංචි මාර්ග දෙකම තහවුරු කොට කියා සිටියේය. ඔහු වසර දෙකකට පෙර ජනාධිපති ධූරයේ වැඩ භාර ගත් දා පටන් ජනාධිපති වික්‍රමසිංහ ප්‍රතිපත්තිමය කරුණක් සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයකු අභිබවා කටයුතු කළේ මේ ප්‍රථම වතාවටය. සිකුරාදා ගාල්ලේ නව අධිකරණ සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති වික්‍රමසිංහ සහභාගිවූ අවස්ථාවේ අමාත්‍ය රාජපක්ෂද පැමිණ සිටියේය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් දෙදෙනාම වගකීම දරන බව ආරංචි මාර්ග දෙක සඳහන් කළේය. මෙම කාරණය සම්බන්ධයෙන් ඇඟවීම් කරන ප්‍රකාශයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද නිකුත් කරනු ලැබුවේය. සර්වජන ඡන්ද බලය අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමේ දී ශ්‍රී ලංකාව අද්වීතීය ස්ථානයක පසුවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සුරැකීමට ඔහු ඇප කැප වෙන බවත් එම නිසා ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් බියක් ඇති කර නොගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. යනුවෙන් එහි පැවසේ. මහජනයාගේ සිත් තුළ කෙතරම් සැකයක් රදා පවතී ද යන්න ප්‍රශ්නයකි.
සිකුරාදා ගල්ලේ පැවති උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජනාධිපති වරයාගේ නිල ධුර කාලය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ විවිධ ප්‍රකාශන ස්වරූප පැවතීම ගැන වගකිව යුතු ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්නගේ පාර්ශවයෙන් සිදු වූ අඩුපාඩු ගැන ඔහු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බවයි. වික්‍රමරත්න අත්දැකීම් හා පළපුරුදු වලින් තොර අයකු බව ඔහු පැවසීය.
වික්‍රමරත්න මෙසේ කීවේය.
ඇත්ත කතාව මම කෙළින්ම කියන්නම්. ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිරිසේන විහාර මහා දේවි උද්‍යානයේ දී මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂ 49 කින් යුක්ත සංවිධානයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.
එහිදී ඔහු සියල්ලන් සමඟ එක්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ප්‍රතිඥා දුන්නා. කෙසේ වුවද ඊළඟ දිනයේම ජාතික හෙල උරුමය සමඟ ඔහු තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එහිදී කිසිම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොතබන්නට ඔහු ප්‍රතිඥා දුන්නා. කිසිම ව්‍යවස්ථාමය ප්‍රතිශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ක්‍රියාත්මක කරන බවට සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශනයේ පවා ප්‍රකාශ කොට තිබුණා.
දිවුරුම් දුන් විගස ජනාධිපති සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළා. ව්‍යවස්ථාමය කටයුතු අගමැති වික්‍රමසිංහ යටතට විෂයක් ලෙස ගැසට් කරනු ලැබුවා. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට හා අධීක්ෂණ කිරීමට අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබුවා.
සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත කමිටුව නීති කෙටුම්පත් අංශයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුගෙනුත් මා සහ තවත් නීතිඥවරයකුගෙනුත් සමන්විත වුණා. මූලික කෙටුම්පත් කිරීම සිදු කළේ එම කමිටුවෙන්. සමස්ත කෙටුම්පත් කිරීමේ කාර්යයම සිදු කළේ කෙටුම්පත අනුමත කිරීම සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු නොවේය යන පදනමෙන්. එසේ කළේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ පොරොන්දුව පවත්වා ගනිමින්. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හය සිට පහ දක්වා අඩු කරන යෝජනාවේ වගන්තිවල දී ඉහළ සීමාව වූ වසර හයට අත නොතැබුවේ එයට ජනමත විචාරණයක් අවශ්‍ය නිසයි.
ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියෙන් බලය පවරා ඇත්තේ සංශෝධන බලාපොරොත්තු වන පනත් කෙටුම්පතක් හෝ ලේඛනගත කර ඇති ව්‍යවස්ථා කරුණු හෝ ඉහත කී ඉහළ සීමාවන් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය අවශ්‍ය වන බවටයි. එසේම ජනමත විචාරණයකට අවශ්‍ය ප්‍රතිපාදන 83 වැනි වගන්තියේ ඇතුළත් කර තිබෙන බව සඳහන් කිරීම අතිශය වැදගත් වෙනවා.
‘‘සකස් කළ කෙටුම්පත් කිහිපයක් කැබිනට් අනුකමිටුවට බෙදාහැර සාකච්ඡාවට ලක් කළා. අවසානයේ කැබිනට් අනු කමිටුවෙන් අනුමත කළ කෙටුම්පත ඉන් පසු නීති කෙටුම්පත්කරු වෙත යවනු ලැබුවා. නීතියෙන් ඔහු මෙම භාර ගැනීම කළ යුතු වූ අතර ඔහු යම් යම් වෙනස් කිරීම් සිදු කළා. ඉන් අනතුරුව එය නීතිපතිවරයා වෙත යවන ලදුව විශේෂයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම ඇතුළු ඇතැම් වගන්ති උදෙසා ජනමත විචාරණයක් අවශ්‍ය යන මතය ඔහු දරුවා. අගමැති වික්‍රමසිංහ එම කාරණය සාකච්ඡා කරනු වස් නීතිපති වරයා සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. ඉන් එක් රැස්වීමකට මා සහභාගි වුණා. නීතිපති වරයා දැරූ ස්ථාවරය හේතුවෙන් කෙටුම්පතේ ඇතැම් වෙනස් කම් කළ යුතු වූවා.
අගමැති වික්‍රමසිංහ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට නීතිපතිවරයා ආණ්ඩුව වෙනුවෙන් තර්ක කරමින් කිසිම ප්‍රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීරණය කළ වගන්ති එක්කෝ පාර්ලිමේන්තුවේ දී කළ යුතු හෝ පාර්ලිමේන්තුවේ දී ඉවත් කර ගත යුතු වූවා. ඉහත කාරණා සැලකිල්ලට ගත් විට ජනාධිපති වික්‍රමසිංහට මුළුමනින් ජනාධිපති හා පාර්ලිමේන්තු නිල කාලයේ ඉහළ සීමාව අඩු නොකිරීම ගැන දොස් පැවරීම ගැන මා කනගාටු වෙනවා. ජනාධිපති සිරිසේනගේ, ජනාධිපතිවරණ පොරොන්දුව අනුව යමින්, මුළු සංශෝධන ක්‍රියා මාර්ගයම ජනමත විචාරණ මගහරින පදනමින් සකස් කළ බව මා කියා සිටිනවා.’’
වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය
තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් නොකළද ජනාධිපති වික්‍රමසිංහ යම් අයුරකින් තම ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය දියත් කර තිබේ. ඔහුගේ කතා වලදී, කලක් තමන් හා මිත්‍රපාක්ෂිව විසූ මේ වනවිට දේශපාලන එදිරිවාදියා වූ සජිත් ප්‍රේමදාසව දැඩි විවේචනයට ලක් කර තිබේ. පාසැල්වලට පරිත්‍යාග කිරීම සඳහා බස් මිලදී ගන්නට තමාට මුදල් ලැබුණේ කොහෙන් දැයි හෙළිදරව් කළ යුතු බවට ඔහු ප්‍රේමදාසට අභියෝග කර තිබේ. ඔහුට එසේ කළ හැකි නම් ප්‍රේමදාසට එරෙහිව එජාපයේ පැනවූ පක්ෂ තහනම ඉවත්කොට නැවත පක්ෂ සාමාජිකත්වය ලබාදෙන බව ජනාධිපති වික්‍රමසිංහ කීවේය.
ඔහු වෙත යැවූ පණිවිඩවලට සහ ඇමතුම්වලට සජිත් ප්‍රේමදාස ප්‍රතිචාර දැක්වූයේ නැත. එම නිසා මේ සම්බන්ධයෙන් ඔහුගේ පිළිතුරු ලබා ගත නොහැකි විය.
මේ සතියේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම් සභාපති ආර්.එම්.ඒ එල්. රත්නායක ජනාධිපතිවරණය සම්බන්ධ පැහැදිලි කාරණා කිහිපයක් දන්වා සිටියේය. පෙර නොවූ විරූ උනන්දුවක් ඒ උදෙසා පවතින බව ඔහු කීවේය. එහිදී හුවා දැක්වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
• ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේ දී අපේක්ෂකයන්ට තම මැතිවරණ කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කාලයක් තිබෙන බව අප නිෂ්චිතව දැනගත යුතුයි. අප විසින් ඊට අදාළව කළ යුතු නිල රාජකාරී පෙළක්ම තිබෙනවා. තැපැල් ඡන්දය පැවැත්වීම ද ඊට ඇතුළත්. එසේම ඡන්දය පැවැත්වෙන දිනය ඡන්ද දායකයන්ට පහසු දිනයක් වීම ද අවශ්‍යයි.
• නාමයෝජනා ලබා ගන්නා දිනය තීරණය කිරීමේ දී රාහු කාලය ආදී රටේ සාම්ප්‍රදායයන් සැලකිල්ලට ගත යුතුයි. නාමයෝජනා භාර ගැනීමට තෝරා ගන්නා වෙලාවන්හි දී රාහු කාලය මඟ හැරිය යුතුයි.
නාම යෝජනා පෙ.ව 9.00 ත් පෙ. 11.00ත් අතර භාරගනු ලබනවා. විරෝධතා දැක්වීම සඳහා පැය භාගයක් තිබෙනවා. එම නිසා සියලු කරුණු සැලකිල්ලට ගෙන, සුදුසු දිනයක් තෝරා ගන්නවා.
• ජනාධිපතිවරණ දිනය නිවේදනය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු වෙනත් කාරණා නොමැති බවට අප පැහැදිලිව දැනගත යුතුයි. ලැබෙන පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරණය නිවේදනය කිරීමට නොහැක්කේ මන්දැයි, සමාජ මාධ්‍ය සහ අනෙකුත් වාර්තාවල ප්‍රශ්න කර තිබෙනු මා දුටුවා. මෙම නිවේදනය නිකුත් කිරීමට අපට අගෝස්තු 20 දක්වා කාලය ගත හැකියි. එහෙත් මේ මාසය හමාර වෙන්නට පෙර අප එම නිවේදනය කරනවා.
• ලියාපදිංචි කළ ඡන්ද දායකයන්ගේ ලේඛනයේ මිලියන 17.1 ඡන්දදායකයන් සිටින බව අප සහතික කර තිබෙනවා. එම ලේඛනය ජනාධිපතිවරණය සඳහා භාවිත වීමට නියමිතය. 2024 වසරේ මැයි 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ඡන්ද දායකයන්ගේ ලැයිස්තුවත් ඊට ඇතුළත්.
• මැතිවරණයට සම්බන්ධ සාමාන්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කොට තිබෙනවා. අවශ්‍ය කාර්ය මණ්ඩල හා වාහන අවශ්‍යතාව පිළිබඳ සමීක්ෂණයක් අප සිදුකරමින් පවතින අතර ලංවිම හා ලංගම සමග සාකච්ඡා කරමින් වෙනත් අවශ්‍යතා සම්පාදනයෙහි ඇස්තමේන්තු සකස් කරමින් පවතිනවා. මූල්‍ය නීති ක්‍රියාත්මක කිරීමද අප පටන් ගෙන තිබෙනවා. පොලීසිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තු, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම සමග අප සාකච්ඡා පවත්වමින් සිටිනවා.
• 2015 ජනාධිපතිවරණ වියදම රුපියල් බිලියන 2.7ක් 2019 ජනාධිපතිවරණයේ වියදම රුපියල් බිලියන 4.5ක්. උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙන බැවින් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් අපට ලබා දුන්නා. එම මුදල ප්‍රමාණවත් වේ යයි අප සිතනවා. ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර අවශ්‍යතාවක දී ප්‍රතිපූර්ණය කර ගත යුතු වෙනවා.
• අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමේ උත්සාහයන් කිහිපයක් තිබෙනවා. මැතිවරණ කොමිසමද සිය ස්ථාවරය අධිකරණයට දන්වා තිබෙනවා. කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටිනවා. අප කලින්ම නීතිපතිවරයා හමුවී මෙම කාරණය පැහැදිලි කර අපගේ ස්ථාවරය දන්වා සිටියා.
• මා කලින් විස්තර කළ පරිදි ව්‍යවස්ථානුකූලව කාල රාමුව සකසා තිබෙනවා. ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනාධිපතිවරණ උදෙසා අනුගමනය කරමින් සියලු කාරණා සැලකිල්ලට ගෙන අප ජනාධිපතිවරණ දිනය නිවේදනය කරනවා.
• පෙර පැවති මැතිවරණවල දී සිදුකළා සේම අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ කැඳවනවා. ඒවා කොමිසම භාරයේ තබා ගන්නවා. අවශ්‍යතාවක් මතු වුවහොත් ඒවා පරීක්ෂා කර බැලිය හැකියි.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලතල හිමිව තිබෙනවා. එවැනි තත්වයක් උද්ගත වුවහොත් එම තත්වය ගැන කොමිසම සාකච්ඡා කොට අදාළ සුදුසු පියවර ගනු ලබනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව කොමිසමට තිබෙනවා. දැනට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි. ඊට හේතුව නොවැම්බර් 18 වැනිදා ජනාධිපතිවරයාගේ නිලකාලය අවසන් වීමයි. වෙනත් මැතිවරණයක් කැඳවුවහොත් කොමිසම සාකච්ඡා කොට එම මැතිවරණය පවත්වනවා. විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයේ දී තරඟ කිරීමට ඉඩ ඇතිමුත් ප්‍රධාන වශයෙන් ඉදිරියෙන් සිටින තරඟකරුවන් තිදෙනෙකි. තවමත් තම අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැති ජනාධිපති වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එම තිදෙනාය. අවම වශයෙන් තව සිව්දෙනකුවත් ජනාධිපතිවරණයේ දී තරග වදින බව අපේක්ෂා කළ හැකිවේ.
(***)
සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි
2024 ජුලි 21, The Sunday Times පුවත්පතේ පළවූ
Presidential Election likely on Sept. 21: EC to make announcement on July 24 or 26 Nominations on August 14 or 15
යන ලිපියේ පරිවර්තනය –
සමන් පුෂ්ප ලියනගේ