ජනපතිවරණය- උතුරේ ඡන්ද කාටද?


මෙවර ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර ජනතාව කුමන අපේක්ෂකයකුට සහයෝගය දක්වන්නේද යන කාරණය පිළිබඳවත්, උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් කවර ආකාරයක තීරණයකට එළඹෙනු ඇත්ද යන්න පිළිබඳවත් විවිධ මත ප්‍රකාශ වේ. රටේ ජනාධිපතිවරයා කවරෙක්ද යන්න තීරණය කිරීමේ දී මෙම දෙපළාතේ ඡන්ද සමහර අවස්ථාවල දී තීරණාත්මක සාධකයක් වී ඇති බව ජනාධිපතිවරණ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ.

උතුරු නැගෙනහිර දෙපළාතේ ඡන්ද  ජනාධිපතිවරණයකට සෘජුව බලපා ඇති, රටේ බොහෝ දෙනකුට මතක ඇති තීරණාත්මක අවස්ථාවක් වන්නේ 2005 ජනාධිපතිවරණය යැයි සිතමි. එම ජනපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවට ඡන්දය දීමෙන් වළකින ලෙස එල්ටීටීය නියෝග කළේය, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයට නියත වශයෙන් ම හේතු වූයේ ප්‍රභාකරන්ගේ මෙම තීරණය ලෙස සැලකේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ඡන්ද දායකයන්ගෙන් බහුතරයකට ප්‍රභාකරන්ගේ නියෝගයට අවනතවීම හැර වෙනත් විකල්පයක් නොතිබීම නිසා ඡන්ද පොළට යෑමෙන් වැළකී  සිටීමට සිදුවිය. එම ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද  180,786 කිනි.

මේ ආකාරයටම අවස්ථා කීපයකදීම ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය තීරණාත්මක ලෙස බලපා තිබේ. 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීම සඳහා තීරණාත්මක ලෙස හේතු වූයේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය යැයි ප්‍රකාශ වී ඇති අවස්ථා ද තිබේ. කෙසේ වුවද 2019 ජනාධිපතිවරණය මීට පෙර තිබූ හැම ජනාධිපතිවරණයකටම වඩා වෙනස් විය. ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයා පත් නොවන බවට පැවති මතය 2019 ජනාධිපතිවරණයේදී වෙනස් වු බවයි.

ඒ ඒ අවස්ථාවලදී ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාව අනුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය ජනාධිපතිවරණයේදී කොතරම් බලපෑමක් ඇති කරන්නේද යන්න තීරණය වනු ඇත. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කළ අවස්ථාවේදී පැවති විශාල ජන බලවේගය 2010 ජනාධිපතිවරණයේදී යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබු ජනප්‍රියතාව සහ 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබු සිංහල බෞද්ධ කැමැත්ත ආදි හේතු නිසා තීරණාත්මක වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිවිය. එවැනි අවස්ථාවක උතුරු නැගෙනහිර ඡන්දවලට  තීරණාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු බව පෙනී යයි. එසේ වුවද අනෙකුත් ජනාධිපතිවරණවලදී උතුරු නැගෙනහිර ඡන්දවලට ජනාධිපති පත්වීම කෙරෙහි තීරණාත්මකව බලපෑමක් කිරීමට අවස්ථාව සැලසී ඇති බව පෙනී යයි.

උතුරු නැගෙනහිර ජනතාව, විශේෂයෙන්ම උතුරු පළාතේ ජනතාව වෙනස්ම ආකාරයේ තීන්දුවලට එළඹුණු අවස්ථාද ජනාධිපතිවරණවලදී දක්නට ලැබේ. 1988 ජනාධිපතිවරණයේදී අනෙකුත් පළාත්වල ජනතාව ජනාධිපතිවරණ අපේක්ෂකයන් වූ රණසිංහ ප්‍රේමදාස මහතාට හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හෝ වැඩි ඡන්දයක් ලබා දුන්හ. එසේ වුවද උතුරු පළාතේ ජයග්‍රහණය හිමිව තිබුණේ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වු ඔසී අබේගුණසේකර මහතාට ය. අනෙක් අපේක්ෂකයන් දෙදෙනාටම වඩා උතුරේ ජනතාව ඔසී අබේගුණසේකර මහතාට ඡන්දය ලබාදී තිබුණි. එවර ජනාධිපතිවරණ සිතියමේ අනෙකුත් සියලු‍ම පළාත් කොළ හෝ නිල් පැහැයෙන් සලකුණු වෙද්දී උතුරු පළාත සම්පූර්ණයෙන්ම මහජන පක්ෂයේ පාටින් සටහන් වී තිබුණි.

2024 දී ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අය අතුරින් උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවගේ ඡන්දයෙන් බහුතරයක් ලබාගත හැක්කේ කවරෙකුට ද යන්න මත සමහර විට මෙවර ජනාධිපතිවරයා තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතිය හැක. පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර සමහර දේශපාලන පක්ෂවල සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය. සජිත් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙනි. රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දුන්නේය. එවැනි තත්වයක් යටතේ එම දෙදෙනාම මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් පැහැදිලි ලෙසම උතුරු නැගෙනහිර ජනතාවගේත්, එම පළාත්වල දේශපාලන පක්ෂවලත් සහාය ලබාදීම පිළිබඳව වෙනසක් ඇතිවීමට අනිවාර්යයෙන්ම ඉඩ තිබේ.

 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ ඇති රනිල්, සජිත් සහ අනුර යන අපේක්ෂකයන් තිදෙනා අතුරින් උතුරු නැගෙනහිර ජනතාව සමග සමීප සම්බන්ධතාවක් පවතින්නේ කාට ද යන්නත් එම දෙපළාතේ බහුතරයක් ජනතාව ඡන්දය ලබාදීමේ දී තම කැමැත්ත පළ කිරීමට කවරෙකු තෝරා ගනී ද යන්නත් ඉතා වැදගත් වේ. ඒ අතරම මේ දිනවල උතුරු නැගෙනහිර ජනතාව ඡන්දය දිය යුතු ආකාරය පිළිබඳව එම පළාත්වල දේශපාලන පක්ෂ අතර විවිධ මත ප්‍රකාශ වී ඇති බව පෙනේ. සමහර පක්ෂ නායකයන්ගේ මතය වී ඇත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර සිංහල අපේක්ෂකයන්ගෙන් ද්‍රවිඩ ජනතාවට සේවයක් ඉටු නොවන බව පෙන්වාදිය යුතු බවය. තවත් සමහරෙකුගේ මතය වන්නේ උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය වර්ජනය කළ යුතු බවය.

2005 වසරේ දී ප්‍රභාකරන් ඡන්ද වර්ජනය කළ යුතු යැයි නියෝග කර තිබිය දී නැගෙනහිර ජනතාවගෙන් බහුතරයක් ඔහුගේ අණ ප්‍රතික්ෂේප කර ඡන්දපොළට ගියහ. උතුරු පළාතේ ජනතාවගෙන් ද සැලකිය යුතු පිරිසක් ඡන්දය භාවිත කළහ. තුවක්කු එල්ල කර තර්ජනය කරද්දීත් එසේ ඡන්ද පොළට ගියේ නම් එවැනි තර්ජනයක් එල්ල කිරීමට නොහැකි මෙම කාලයේ දී ඡන්ද වර්ජනයක් සාර්ථක වේ යැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි යන අදහස ද එම දෙපළාතේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරන තත්වයක් ඇතිව තිබේ. මීට පෙර කුමාර් පොන්නම්බලම් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද ඔහුට ලබාගත හැකි වූයේ ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකි.

අපේක්ෂකයන් තිදෙනා අතුරින් උතුරු නැගෙනහිර ජනතාවට වඩාත් සමීප වන්නේ කවරෙක් ද යන්න මත එම දෙපළාතේ ඡන්දය තීරණය වනු ඇතැයි මම ඉහතින් සඳහන් කළෙමි. රජයේ වගකිව යුතු ඇමති ධූර හොබවා ඇති සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඉටුකර ඇති වැදගත් කාර්යයක් පිළිබඳව සඳහන් නොවේ. අනුර කුමාර දිසානායක මහතා ද ඒ ආකාරයෙන්ම එම දෙපළාතේ ජනතාවට ඉටුකළ සේවයක් පිළිබඳව වාර්තා නොවේ. එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා ඇමති ධූර හෙබ වූ අවස්ථාවල දී ද, අගමැති ධූර හෙබ වූ අවස්ථාවල දී ද එම දෙපළාතේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් ඉටුකර තිබේ. එම දෙපළාතේ සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ සතියේ එම පළාත්වල රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළ සංවර්ධන යෝජනා ක්‍රම සියල්ලක්ම පාහේ යහපාලන ආණ්ඩු කාලයේ අගමැති ලෙස ඔහු විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතී ය. ඒ ආකාරයට මෙහි සඳහන් කළ නොහැකි තරමේ දීර්ඝ සංවර්ධන ව්‍යාපෘති ලැයිස්තුවක් ඔහු එම දෙපළාතේ ඉටුකළ කාර්යයන් සම්බන්ධයෙන් පවතී.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට බලපාන ජනවාර්ගික ගැටලු‍වට තිරසාර විසඳුමක් ලබාදී රටේ ජනවාර්ගික ගැටලු‍ව විසඳාලීමට හැකි පුද්ගලයා මෙවර ඡන්දයේ දී තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති තත්වයක් පැවතීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඒ සඳහා රටේ සියලු‍ම දේශපාලන පක්ෂ සමග සාමුහික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කිරීමට කටයුතු කළේය. ඇතැම් දේශපාලන පක්ෂ එයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකිව තිබුණ ද ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව බොහෝ දේශපාලන නායකයන්ගේ පිළිගැනීම වී තිබේ. ඒ අතරම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලු‍වට විසඳුම් ලබාදීම සඳහා උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධාන, රටවල් සහ ආයතනවලට ඒ සඳහා විශ්වාසය තැබිය හැකි පුද්ගලයා වී ඇත්තේද රනිල් වික්‍රමසිංහ මහතා ය.

ඔහු දශක කීපයක් තිස්සේම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා විවිධ ප්‍රවේශ ඔස්සේ කටයුතු කර තිබේ. මෙම ගැටලු‍වට සාමකාමී සහ ප්‍රායෝගික විසඳුමක් ද්‍රවිඩ ජනතාවටත්, අනෙකුත් ජන කණ්ඩායම්වලටත් පිළිගැනීමට හැකිවන අයුරින් ලබාදිය යුතු යැයි තරයේම විශ්වාස කරන අතර, ඒ සඳහා අතීතයේ දී කැපවී ක්‍රියා කළේය. ඒ අනුව ඉදිරියේ දී ඒ සඳහා වැඩිම විශ්වාසයක් තැබිය හැක්කේ ඔහු පිළිබඳව බව, ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන සියලු‍ දෙනාගේම විශ්වාසය වී ඇති බව පෙනේ.

2005 ජනාධිපතිවරණයේ දී එය වර්ජනය කරන ලෙස ප්‍රභාකරන් තුවක්කුව පෙන්වා උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවට නියෝග කළේය. එහෙත් එම තුවක්කු පෙනි පෙනී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 5523 ක්ද, වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 65,798 ක්ද,  රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 1,967 ක්ද, වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 17,197 ක්ද ලැබී තිබුණි. මේ සතියේ උතුරු පළාතේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ විවෘත කිරීම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද සහභාගි විය. “සමහරවිට 2005 ඔබතුමාගේ පරාජයට හේතුව උතුරේ ජනතාව විය හැකියි. මම හිතන්නේ ඔවුන් දැන් ඒ ගැන යම් පසුතැවිල්ලකින් යුතුව සිහිපත් කරනවා”. යැයි ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය තුළ මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ඡන්දය පාවිච්චි කරන ආකාරය පිළිබඳව ඉඟියක් ගැබ් වී නොතිබෙන්නේ දැයි විමසිල්ලට ලක්කළ යුතුය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර