ජනපතිවරණය දවසේ ග‍්‍රහයන් හැසිරෙන්නේ මෙහෙමයි


   56

 

සඳේ මුදුන්වන ”අස්ලිය” නැකත සිට 2015 ජනවාරි 08 බ‍්‍රහස්පතින්දා සිරි රාහුල හිමිපාණන් වහන්සේ සැළලිහිණියට යෙදු අස්විද නැකත පවතිද්දී සඳු මුදුන්වීමට වෙනස් වුව ”අස්ලිය” නැකත යෙදී සඳු මුදුන්වීමක් 2015 ජනවාරි මස 08 වැනි දින සිදුවේ. කාර්යයට ගත් නැකත පවතිද්දී චන්ද්‍රයා අහස මුදුනේ සිටීම යම් සෞභාග්‍යමත් ගුණයකි. අස්ලිස නැකතේ දෙවන පාදයේ සඳු යෙදී සිටියදී උදාවන මෙදවස දිවා භාගය තුළ මැතිවරණය නිමවන තෙක්ම සඳු කටකයේ ස්වක්‍ෂේත‍්‍රව  සිටී. සිත මෙහෙයවන ප‍්‍රධාන ග‍්‍රහයා වශයෙන් මානව චිත්තය යහපත් අරමුණු කරා යොමු කිරීමේ ගුණය මෙදින සඳුගෙන් යෙදේ. හැටහය   පැය ඉක්මවා නැකත පවතින නිසා පොළොවට කේන්ද්‍රීයව චන්ද්‍රයා මෙදින ගමන් ගන්නේ හෙමිනි. එනම් මානව චින්තනයේ ඉක්මන්කාරී බවද වළක්වයි. ස්වක්‍ෂේත‍්‍ර චන්ද්‍රයා මෙදින මිනිස් සිත ඉක්මන් හා වැරදි තීරණ ගැනීමේ ගුණයක් ඇති නොකරන අවම කරන පදනමක සිටී.

 

1
නොවැම්බර් 18 යෙදුනේ නැකැත් බලා නොවේ. එලෙසම 20දා රාජ්‍ය නායකයාගේ ප‍්‍රකාශයද, නාම යෝජනා දෙසැම්බර් 8 දිනයට යෙදීමද, මැතිවරණය ජනවාරි 8 දිනට යෙදීම ද නැකැත් පිරික්සා කරන ලද දෑ නොව රාජ්‍ය තාන්ත‍්‍රිකව කළ යුතු පරිදි යොදන ලද දිනයන්වේ.


මේ දිනය ශ්‍රී ලාංකික ජනතාවට බලපාන ආකාරය පිළිබඳව අපට දැනෙන ශාස්ත‍්‍රීය විග‍්‍රහයකි මේ. කටකයේ 8 වැනි අංශකය තුළ සඳු යෙදීම ඉතාම විශිෂ්ටය. 22 වැනි අංශකය තුළ සඳු යෙදීම දුර්වලය. එය සඳුට මෘත්‍යුසුවාංශයකය වේ. දවස උදාවෙද්දී (හිරු උදාව දවසේ උදාවය) සඳු කටකයේ 23.20.00ද ඉක්මවා සිටී. එහෙයින් අශුභ අංශයේ හැසිරීමක් මෙදින මුළු දිවාමානය තුළම සිදු නොවේ. ඒ තත්ත්වය ඉතා සැනසිලිදායකය.

3
අස්විද ආදී නැකැත් 27 සිද්ධි, සාධ්‍ය, සුසිද්ධි ආදී පන්ති 3ට, 9 බැගින් බෙදා කටයුතු කිරීමේදී සිද්ධි පන්තිය 1ක් ලෙසත්, සාධ්‍ය පන්තිය 2ක් ලෙසත්, සුසිද්ධි පන්තිය 3 ක් ලෙසත් අගය දක්වා සලකන විට එක් තීරුවක ගුණය 6කි. එනම් තීරු 9හි ගුණ ඒකක 54ක් වේ.


රටක පොදු ජනතාව සමස්තයක් ලෙස සලකන විට මේ නැකැත් 27 තුළ සමව වාගේ සිටී. ජන්ම දායාදය ලැබීම මත, සාමාන්‍යයෙන් ඒ ඒ නැකැත් හිමියන් සමව සිටින ලෙස සැලකීම නිවරදය. එනම් ශ්‍රී ලංකා ජනතාවගෙන් 27ට බෙදු එක් පංගුවක් එකම නැකතකට අයත් වූවන් සේ සලකා ගත හැකිය. ඒ ඒ නැකැත් හිමියන් ”අස්ලිස” නැකත යෙදුණු දිනයේ ලැබිය හැකි ඵලය ද දළ වශයෙන් තක්සේරු කිරීම අපගේ වෑයම වේ. (අස්ලිස නැකත පාප නැකතක් වුවද ජන්මියාගේ නැකත අනුව ස්ථානය එකී ගුණයෙන් යුතුවේ).

2
රජය විභාගයක් පවත්වන්නේ කිසියම් දිනෙක ද ඒ විභාගයෙන් කොටසක් අනිවාර්යව අසමත් බව ලබති. කොටසක් ඌණ සාමාර්ථයද, කොටසක් පන්ති කීපයක සාමාර්ථයන්ද, අනුපිළිවෙලින් ලබන අතර විශිෂ්ඨ සමතුන් කීපදෙනකු ද සමග අති විශිෂ්ඨ එක් අයකු ද සිටී. ඇතැමෙකු විභාගයට පෙනී ද නොසිටී. එලෙසම මැතිවරණයේදී ද එක් විශිෂ්ඨයකුත්, කිසියම් පදනමක ඡන්ද ලබන්නන් සහ ඉතා දුර්වල පදනමක ජන්ද ලබන්නන් ද ඇතිවේ. එලෙස වෙන්නේ නැකැත් ගුණය මත ජන්මීන් ලබන ඵලය අනුවය.


2015.01.08 වැනි බ‍්‍රහස්පතින්දා (කොළඹ නගරයට) ප.ව. 1.41 - 3.07 තෙක් රාහු කාලයයි. (මෙහි දක්වන ඔරලෝසු කාල මානයන් සියල්ලම අනෙක් ප‍්‍රදේශවලදී කොළඹට පෙරාතුව හිරු උදාවන කාල පරාසය අනුව අඩු කර තම ස්ථානයට සංශෝධනය කර ගන්න) මෙදින හිරු උදාවට  පෙර 6.12 - 6.24 තෙක් සන්ධ්‍යා දෝෂයයි. නැවත දහවල් 12.02 - 12.28 තෙක් දෙවැනි සන්ධ්‍යා දෝෂයයි. මේ අවස්ථා ශුභ නොවේ. උදේ 8.36 - 9.20 දක්වා නන්දන මුහුර්තයද, සවස 3.12 - 3.56 දක්වා අභිජිත් මුහුර්තය ද යන 16 විධ මුහුර්ත නියමයේ ගුණාත්මක අවස්ථාවන්ය.


6.14.04 තෙක් ධනු ලග්නය පැවැතී එතැන් සිට 8.38.30 තෙක් මකරය ද, එතැන් සිට 10.25.39 තෙක් කුම්භය ද එතැන් සිට 12.08.44තෙක් මීනයද, එතැන් සිට 2.01.20 තෙක් මේෂයද එතැන් සිට 4.06.10 තෙක් වෘෂභයද යන ලග්න උදාව පවතී. (දේශාන්තර වෙනසට අමතරව අක්ෂ භේදය ද අනුව මේ ලග්න උදා වේලාවල තත්පර කීපයක්වත් අඩු හෝ වැඩි බවක් ස්ථාන ස්ථාන ගතව පවතින බව කාරුණිකව සලකන්න). තමන්ගේ ලග්නයට 12 වැනි ලග්නය වන ලග්නයෙන් කටයුතු කිරීම ඵල ශුණය බව පළ කරයි. එනම් මකර ලග්න හිමියා ධනු ලග්නය පවතිද්දී ද කුම්භ ලග්න හිමියා මකර ලග්නය පවතිද්දී ද යන පිළිවෙලට පවතින ලග්නය තමාගේ ලග්නයට 12 වැන්න නම් කටයුතු කිරීමෙන් වැලැකී සිටීම මැනැවි.


මේ ආකාරයට නැකත කවරක් වුවත් ලග්නය කවරක් වුවත් වෙනත් බාධක ද යෙදුනත් පොදුවේ දවසෙහි බලපාන නැකැත් ගුණය මත වියහැකි ඵලය පිළිබඳව දිය හැකි නිගමන මෙසේය.


නැකැත් 3ක් හිමියන්ට මෙදින ලබන ඵලය ශුන්‍යය. එනම් 54න් 6 ගුණයකි. අස්ලිස නැකැතේ 2 වැනි පාදය උදාවී ඇති නිසා මේ අශුභ බව අවම 4ක් ලෙස ද උපරිම 8ක් ලෙසද පදනම් 3ක පවතී. ඒ අනුව 1,55,00000ක් පමණ වන ඡුන්ද හිමියන්ගෙන් එකී කොටස ඡන්දය දීමෙන් වළකිනවා ඇත. නැතහොත් ඡන්දය අපතේ හරිනවා ඇත.


අප ගණනය කරන පදනම අනුව නැකැත් පන්ති 5ක ඒකක 6 බැගින් වන අනුපාත ප‍්‍රමාණයක ජනතාව ජයග‍්‍රාහකයින් වීමේ ඉඩ ඇත. එනම් 54න් 30කි. මෙයද උපරිමය විය හැකි අතර උදා නැකැත් පාදය අනුව මෙයින් පංගු 2ක් අඩුවිය හැකිය. එනම් 54න් 28ක් අවම වශයෙන්  ජයග‍්‍රාහක පදනමක සිටිය හැකිය. පරාජිත පිරිස 20ක ලාභී බවක පැවැතිය හැකිය. මේ දවසේ නැකැත් ගුණය අනුව ජන්මීන්ගේ ප‍්‍රතිලාභ පදනමය.


මේ ගණනය අනුව අවම ලක්ෂ 17ක් ඡුන්දය දීමෙන් වළකී. පරාජිත පිරිස උපරිම ලක්ෂ 56ක සිටී. ජයග‍්‍රාහක ලක්ෂ, අවම 68 හෝ උපරිම 80ට ආසන්නව සිටී. තවද 2,3,4 ස්ථාන යම් සමාන පදනමකද, 5,6,7 ස්ථාන ලාභීන් ඉන් අඩක් වූ සමාන පදනමක ද (සාමාන්‍ය) 8,9,10 ස්ථාන ලාභීන් එයිනුත් අඩක් වන සාමාන්‍ය පදනමකද ඡුන්ද පතනයක සිටිය හැකි අතර සෙස්සෝ ඉතාම හීන ඡුන්ද පදනමක සිටිය හැකිය.


තමාට විය හැකි බාධක වළකා ගැනීමද, තමාට උදාවිය හැකි ජය සංවර්ධනය කර ගැනීම හෝ උනන්දු නොවීම මත වළකා ගැනීම ද හෝ ජන්මියාටම අයත් දෙයකි. චිත්ත සමාධිය යහපත් නම් නැකැත් තරුවලට කවරක් කළ හැකිද? (වරදක් කළ නොහැක) යන අදහස බුදු හිමියන් වදාළ සේක. ශුභ හෝ අශුභ මෙලෙසම වෙනවාම යැයි මේ සතර ජනිත කළ ඉසිවරුන්ද දක්වා නැත. අප දක්වන්නේ  අප දන්නා තරමින්  වන ශාස්ත‍්‍රීය විග‍්‍රහයයි. එය පරිවර්තනය කර ගැනීම ඔබ සතුවේ.


තමන්ගේ ඡන්දය දීම තමන්ට හැකි තරම් ගුණදායකව සුදුසු අවස්ථා තෝරාගෙන සිදු කරන්න.