ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක


ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රදායික දේශපාලන බැඳීම් සුනු විසුනු වී ඇති තත්වය යටතේ ළඟ එන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව අනුමාන කිරීම පවා දුෂ්කර වී තිබේ.

ආර්ථික අර්බුදය  හේතුවෙන් තම තමන්ගේ නිවෙස්වල මතු වූ දැඩි දුෂ්කරතා හා අසහනකාරීත්වයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් වීදි  බට ලක්ෂ ගණන් ජනයා නැඟූ සටන් පාඨත් හේතුවෙන් රටේ අතිබහුතරයක් තුළ අලුත් දේශපාලන මතවාද ගොඩනැඟී ඇති බවක් ද පෙනේ.

 ආර්ථික දුෂ්කරතා හා අරගල යන සාධක දෙකේ බලපෑම කෙසේද යත් ඉකුත් ජනාධිපතිවරණයේ දී සියට 52.25ක බහුතර ඡන්දයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය වසරේ මුල සිටම ප්‍රකාශයට පත්වූ ජනමත විමසුම් ප්‍රතිඵලවලදී සියට 10ක ජන ප්‍රසාදයක් හෝ දිනා ගැනීමට නොහැකිව ප්‍රධාන පක්ෂ අතරින් පහළම තැනට වැටී ඇත. පොදුජන පෙරමුණ මෙතෙක් මෙම ජනමත විමසුම් අභියෝගයට ලක් නොකිරීම ද විශේෂ තත්වයකි.

අනෙක් අතට ඉකුත් ජනාධිපතිවරණයේ දී සියයට තුනක් තරම් පහළ ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් වූ ජාතික ජන බලවේගය මෙම ජනමත විමසුම්වලදී ජන ප්‍රසාදයක් දිනා ඉදිරියෙන් සිටීම ද ආර්ථික අර්බුදය කළ බලපෑමේ තරම කියා පායි. මෙම ජනමත විමසුම් පූර්ණ වශයෙන් නිවැරැදි යැයි පිළිගත නොහැකි වුවද ජනතාව සිය සාම්ප්‍රදායික දේශපාලන  බැඳීම් පුපුරුවා හැර ඇති බව නම් ඉතාම පැහැදිලි ය.

කෙසේ වෙතත් රටේ පොදු දේශපාලන නැඹුරුව  තවමත් අවිනිශ්චිතය යන්න ආරක්ෂාකාරී නිගමනයකි. මේ නිසා රටේ සෑම ජන කණ්ඩායමක්ම ඉතාම වැදගත් බව සෑම පක්ෂයක්ම සිතන බව පෙනේ.

ආර්ථික අර්බුදයේ  කුරිරු පීඩාව දකුණට මෙන්ම උතුරු, නැගෙනහිර පළාත්වලට ද දැනුණ ද එමගින් දකුණේ ඇතිවූ අරගලය ද ඇතුළු දේශපාලනයේ බලපෑම උතුරු, නැගෙනහිර පළාත්වලට විශේෂයෙන්ම උතුරු පළාතට දැනුණා නම් ඒ ඉතාමත් මඳ වශයෙනි. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී දකුණේ ලක්ෂ ගණන් ජනතාව ‘‘ගෝඨා ගෝ හෝම්’’ කියමින් කළ දේශපාලන අරගලයෙන් උතුරේ ජනතාවගේ සිත් කම්පනය වූ බවක් පෙනුණේ නැත.

උතුරේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව මහා ජනතා නැඟිටීම හා එම ජනතාව එහිදී අවධාරණය කළ ‘‘සිස්ටම් චේන්ජ්’’ ඉල්ලීම සිරිත් පරිදි ජනවාර්ගික ප්‍රශ්නයට ගැට ගසා ඒවාට ප්‍රතිචාර දැක්වූහ. ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවැති සමයේ තමන් පමණක් මුහුණ දුන් මේ හා සමාන වූ ආර්ථික දුෂ්කරතා දකුණේ ජනතාව දුෂ්කරතා නොතකා හැරීම සිහිපත් කරමින් ඔවුහු දකුණේ උද්ඝෝෂණවලින් ඈත් වී සිටියහ.

එහෙයින් දේශපාලන වශයෙන් අලුතෙන් සිතන්නට, සාම්ප්‍රදායික දේශපාලන බැඳීම්වලින් ඈත්වන්නට දකුණේ ජනතාවට ඇති වූ පෙළඹවීම උතුරේ ජනතාවට කුමන හෝ බලපෑමක් කළ බවක් පෙනෙන්නට නොතිබිණි. දෙමළ ජනමතය ගොඩ නගන, එසේම එම ජනමතය ලෝකයට ගෙන හැර පාන දෙමළ ජනමාධ්‍ය දෙස බලන විට පෙනෙන්නේ දෙමළ ජනතාව දකුණේ දේශපාලනයෙන් වෙන් වී සිටියා පමණක් නොව එසේ වෙන්වී සිටින බව ලෝකයට පෙන්වීමටද උනන්දුවක් දැක්වූ බවකි.

 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය දෙසද ඔවුන් බලන්නේ මෙම ආකල්පයෙනි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සියලු සිංහල (උතුරු නැගෙනහිර නොවන) අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන්නට ඔවුන් පොදු එකඟතාවකට පැමිණ ඇති බවක් පෙනේ. මෙය උතුරේ  දේශපාලන පක්ෂ ඔවුන් අතර සාකච්ඡා පවත්වා ඇතිකර ගත් නිල එකඟතාවක් නොවේ. එහෙත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් දක්වන අදහස්වල හරයේ එවැනි එකඟතාවක් පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරණයේ දී සිංහල අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියන ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිති. ජයග්‍රහණය කිරීම කොහෙත්ම ප්‍රායෝගික නොවූවද සියලු, දෙමළ පක්ෂ එක්ව ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතය එක් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. අනෙක් කණ්ඩායමේ මතය වී ඇත්තේ සියලු දෙමළ පක්ෂ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවය.

වර්ජනය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණයි. එම පක්ෂය මෙම මතය ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය නොවේ. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා  ආණ්ඩුවට උපරිම බලපෑමක් කළ හැක්කේ මෙමගින් යැයි පොන්නම්බලම් මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් ජයගන්නා කිසිදු සිංහල අපේක්ෂකයකු ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම, යුද්ධය පැවැති කාලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් වගවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දෙමළ නිජ බිමේ සිංහලකරණය, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි කිසිදු ප්‍රශ්නයක දී දෙමළ ජනතාව සමග සිටගන්නේ නැතැයි ඔහු පවසයි. එහෙයින් සිංහල අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමේ හොඳම ක්‍රමය  මැතිවරණය වර්ජනය කිරීමයි යන්න ඔහුගේ මතය වී තිබේ.

දෙමළ පොදු  අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතය දරන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඊළම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), තමිල් ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ), තමිල් ඊළම් ජනතා විමුක්ති  සංවිධානය (ප්ලොට්), දෙමළ ජාතික පක්ෂය හා හිටපු කොටි සාමාජිකයන් පිරිසකගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවෝ සංවිධානය යන සංවිධාන සන්ධානගතව පිහිටුවා ගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික පෙරමුණයි.

මෙවර කිසිදු සිංහල අපේක්ෂකයකුට ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය සඳහා ව්‍යවස්ථානුකූලව ලබාගත යුතු සියයට 50ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගත නොහැකි යැයිද එහෙයින් දෙමළ  පක්ෂ එක්ව දෙමළ ඡන්දදායකයන් හය ලක්ෂයක දී සහය ලබාගත හැකි දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මඟින් සිංහල අපේක්ෂකයන් දෙමළ ජනතාවගේ න්‍යාය පත්‍රය වෙතට කැඳවා ගත හැකියැයි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේශ්වරන් මහතා දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන්න අනුමත කරනවා පමණක් නොව එම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට ද සූදානමින් සිටී.

කෙසේ වෙතත් ප්‍රධාන දෙමළ පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය මේ සතිය මුල දක්වාම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  නිල ස්ථාවරයක් ගෙන තිබුණේ නැත. දෙමළ පොදු අපේක්ෂකයෙක් ද වර්ජනය ද යන කාරණය පිළිබඳ විවාදය ආරම්භ වූ පසුගිය දෙසැම්බර් මාසයේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබූ පසු තමන් ඒ ගැන තීරණයක් ගන්නා බවයි.

එහෙත් එම මාසයේම තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පැවසුවේ දෙමළ පොදු අපේක්ෂකයකු පිළිබඳ යෝජනාව පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවයි. වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණ සමග එක්ව  තරග කිරීම හැර වෙනත් විකල්පයක් නැති තත්වය යටතේ දෙමළ ඡන්ද තමන්ට නොලැබෙන බව වික්‍රමසිංහ මහතා දනී. එහෙයින් තමන්ට නොලැබෙන දෙමළ ඡන්ද තමන්ගේ ප්‍රධාන තරගකරුවන්ට ද නොලැබෙන අයුරින් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයකු පිළිබඳ මතය ඉදිරියට දමා ඇති බව පෙනේ යැයි රාසමානික්කම් මහතා පවසා තිබිණි.

 තමිල් අරසු කච්චි පක්ෂයේම තවත් නායකයකු වන උතුරු පළාත් සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා දෙමළ පොදු අපේක්ෂකයකු අඩු තරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දවලින් සියයට පනහක් හෝ ලබාගත හැකි තරමේ පෞරුෂයකින් යුත් අයකු විය යුතු යැයිද එය දෙමළ ජනතාවට අම්ල පරීක්ෂාවක් වනු ඇතැයිද පවසා තිබේ. ඔහු අනියමින් පවසන්නේ දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බවයි.

තමිල් අරසුකච්චි පක්ෂයේ නායක (සභාපති) වශයෙන් පසුගියදා පත්ව අධිකරණ නියෝගයකින් එම තනතුර අත්හිටුවනු ලැබ සිටින යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී  එස් ශ්‍රීධරන් මහතා වෙනම දෙමළ අපේක්ෂයකු තරග බිමට යැවීමෙන් දෙමළ ජනයා හා ආණ්ඩුව අතර සබඳතාව පිළිබඳව ප්‍රබල  පණිවිඩයක් ජාත්‍යන්තර ප්‍රජාවට දිය හැකියැයි පවසයි.

කෙසේ වෙතත්,දෙමළ අපේක්ෂකයකු පිළිබඳව හා මැතිවරණය වර්ජනය කිරීම පිළිබඳව අදහස් දක්වන දෙමළ නායකයන්ගේ අනම්‍ය ස්වභාවය නිසා මැතිවරණයට පෙර ඔවුන් අතර මෙම කාරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වේයැයි සිතිය නොහැකිය. එහෙයින් මැතිවරණය ආසන්නයේ දී ඒ දෙපාර්ශවයම තම තමන්ගේ මතයට දෙමළ ජනතාව නම්මා ගැනීමට උත්සාහ කළ හැකිය.

යම් විදියකින් දෙමළ පොදු අපේක්ෂකයකු පිළිබඳ දෙමළ නායකයන් අතර එකඟතාවක් ඇති වුවහොත් උතුරේ ඡන්ද මධ්‍යස්ථාන පාළුවට නොයන හෙයින් එහි දකුණේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන පිරිසට ද ඡන්ද මධ්‍යස්ථානවලට ඒමට හැකියාව ලැබේ. ඒ අනුව දෙමළ පොදු අපේක්ෂකයා සාමාන්‍ය කාලයක දී දෙමළ ජාතික සන්ධානය උතුරෙන් ලබාගන්නා  ඡන්ද සංඛ්‍යාව වැනි  ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නට ඉඩ තිබේ. එමඟින් ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන්  විශාල බලපෑමක් ඇති වේ යැයි සිතිය නොහැකිය.

 එහෙත් මැතිවරණය වර්ජනය කිරීමට පොදු එකඟතාවක් ඇති වී ඡන්ද මධ්‍යස්ථාන පාළුවට ගියහොත් දකුණේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන්නන් ඡන්ද මධ්‍යස්ථානයට එන්නට අදිමදි කරනු ඇත. මුළු උතුරේම ඡන්ද මධ්‍යස්ථාන පාළුවට ගියහොත් එය ජාත්‍යන්තර වශයෙන්ද විශාල බලපෑමක් ඇති කරනු ඇත.

එසේ වුවද තමන්ට උතුරේ දෙමළ ඡන්ද නොලැබෙනු ඇතැයි සිතන දකුණේ අපේක්ෂකයන් කැමැති වනු ඇත්තේ 2005 මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයේ  ඡන්ද වර්ජනයකට කැමැති වූවා සේ ඡන්ද වර්ජනයකටය. මන්දයත් උතුරේ ජනතාව කාහට ඡන්දය දුන්න ද පළමු වටයේ ඡන්ද ගණනය කිරීමේදීම අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම සඳහා ලබාගත යුතු සියයට පනහේ ඡන්ද සංඛ්‍යාව ඉහළ යන බැවිනි.

එහෙත් පළමු වටයේ ඡන්ද ගණනය කිරීමේදී කිසිම අපේක්ෂකයකු වලංගු ඡන්දවලින් සියයට පනහක් ලබා නොගත්තේ නම් අපගේ මෙම තර්කය වලංගු නොවේ. මන්දයත් පසුව කෙරෙන දෙවැනි හා තුන්වැනි මනාප ගණනය කිරීමෙන් පසු  අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීම සඳහා සියයට පනහක ඡන්ද ප්‍රතිශතය අදාළ නොවන හෙයිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)