රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර දෙකක් හෝ ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකි වන අයුරින් ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය අඟහරුවාදා කියා සිටියේය.
මෙම ප්‍රකාශයෙන් සියලු දේශපාලන පක්ෂ කැළඹී ඇති බව පෙනේ. අනෙක් අතට ඔහුගේ ප්‍රකාශය ඔහුගේ පක්ෂයේම නායකයා ඇතුළු කිසිවකු පිළිගන්නා බවක් ද නොපෙනේ.
සියලු දේශපාලන පක්ෂ මෙම ප්‍රකාශයෙන් කැළඹී ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තද එක්සත් ජාතික පක්ෂය මෙම මතය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මෙම අදහස මුලින්ම ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර දොළහක් මේ රට පාලනය කළොත් මේ රටෙන් ගෘහ සේවිකාවන් වෙනත් රටවලට යනවා වෙනුවට යුරෝපයේ ගෘහ සේවිකාවන් මෙරටට පැමිණෙනු ඇතැයි වරක් ප්‍රකාශ කළේ ද එජාපයේම සභාපති වජිර අබේවර්ධන මහතාය.
ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පවත්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාලය දීර්ඝ කළ යුතු යැයි අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේ ජූනි මාසයේ 14 වැනිදා ගාල්ලේ පැවැති රැස්වීමකදීය. එහෙත් එම ප්‍රකාශය එදා දේශපාලන පක්ෂවල වැඩි අවධානයට ලක් නොවීය.
රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය එජාපයේම නායකයන් ප්‍රතික්ෂේප කොට තිබිණි. ඔහු එම ප්‍රකාශය කළ දිනයේම රවි කරුණානායක මහතා එය පක්ෂයේ මතය නොව බණ්ඩාර මහතාගේ මතය යැයි කීවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද බ්‍රහස්පතින්දා ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපතිවරණය නියමිත කාලයේ දී පැවැත්වෙනු ඇති බවය.
එසේ නම් එජාපයේ සාමාන්‍ය සාමාජිකයන් නොව එහි සභාපතිවරයාත් ලේකම්වරයාත් විටින් විට ජනාධිපතිවරණයක් නොපවත්වා ජනාධිපතිවරයාගේ ධුර කාලය දික් කළ යුතු යැයි ප්‍රකාශ කරන්නේ ඇයි? මෙම කාරණය පිළිබඳව එජාපයේ නායකයන් අතර හෝ එකඟතාවක් නැති ද?
රට ගොඩ නගන්නේ කෙසේ දැයි වෙනත් පක්ෂවල නායකයන් වෙත කිසිඳු අදහසක් නැති තත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා නිතරගයෙන් යළිත් ජනාධිපති ධුරයට පත්කර ගත යුතු යැයි අබේවර්ධන මහතා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී කියා සිටියේය. එම වසරේ ජුනි මාසයේ දී ජනමත විචාරණයකින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දික් කළ යුතු යැයි ඔහු කීවේය. වික්‍රමසිංහ මහතා නිතරගයෙන් ජනාධිපතිධූරයට පත්කර ගතහොත් ජනාධිපතිවරණයට වැයවන රුපියල් කෝටි 1300 විදුලි බිල අඩු කිරීම සඳහා යොදාගත හැකි යැයි ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේ දී කීවේය.
එජාපයේ සභාපතිවරයාත් මහ ලේකම්වරයාත් මෙසේ දිගින් දිගටම ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු යැයි පවසන්නේ නායකත්වයේ එකඟතාවක් නැතිව ද? එසේ සිතිය නොහැකිය. බොහෝ දුරට අනුමාන කළ හැක්කේ මෙම අදහස නායකත්වය වෙතින්ම එන බවය. ඔවුන් විටින් විට එය ඉදිරිපත් කරන්නේ එය සාමාන්‍ය දෙයක් බවට පත්කොට සමාජගත කිරීම සඳහා යැයි සිතිය හැකිය.
ඔවුන්ගේ මෙම අදහස පිටුපස ඇත්තේ ඔවුන් පවසන ආකාරයට රට ගොඩනැඟීමට වෙනත් කෙනකු නැතැයි යන්න හෝ ජනාධිපතිවරණයක් සඳහා විශාල වියදමක් දැරිය යුතුය යන්න හෝ නොව ඡන්ද පදනමක් නැතිව මැතිවරණයකට මුහුණ දීමට ඇති බියයි.
ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට එජාපයට වැඩ පිළිවෙළක් නැත. දැන් සිදුවී ඇත්තේ ආර්ථික විනාශය කරා අවසාන වශයෙන් හා වැඩි වේගයෙන් ඇදගෙන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කල් පසුවී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම අරමුදල ශ්‍රී ලංකාව සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය. ඒ අනුව ශ්‍රී ලංකාවට එම අරමුදලෙන් ද ලෝක බැංකුවෙන් ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ද විදේශ විනිමය යම් ප්‍රමාණයක් ණය වශයෙන් ලැබී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාව ආනයන සීමා කොට තිබේ. විදේශ ණය යම් ප්‍රමාණයක් ගෙවීම නතර කර තිබේ.
මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්ධන හා ගෑස් ගෙන්වා ගැනීමට හැකිවී තිබේ. එහෙයින් පෝලිම් දකින්නට නැත. වෙනත් කෙනකු ජනාධිපතිවී සිටියද මේ වනවිට සිදුවන්නේ මෙයමය. එහෙත් අර්බුදයේ උච්ච අවස්ථාවේ දී තුන් ගුණයකින් ඉහළ ගිය බඩු මිල පහත බැස්සේ නැත. එසේම අර්බුදයට පෙර ගත් ණය පමණක් නොව දැන් ගන්නා ණයත් ගෙවන්නට රජයට වැඩ පිළිවෙළක් ඇති බවක් ද නොපෙනේ. එහෙයින් එජාපය රට ගොඩ ගත්තේ යැයි කීම මුසාවකි. එහෙයින් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයක් නොපවත්වා තවදුරටත් ජනාධිපතිධුරයේ තබා ගත යුතු යැයි කීමද තර්කානුකූල නොවේ.
වෙනත් කෙනකු ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවුල් වනු ඇතැයි යන්න ඊළඟට මතු කෙරෙන ප්‍රශ්නයයි. සමඟි ජනබලවේගය යනු එජාපයේ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙන යන පක්ෂයකි. ඇත්ත වශයෙන්ම එම පක්ෂයේ ප්‍රධානීන් එජාපයෙන් වෙන්වූයේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මත නොව රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මැතිවරණ ජයගත නොහැකිය යන පදනමිනි. එහෙයින් ප්‍රේමදාස මහතා බලයට පත්වුවද මෙම වැඩසටහන අවුල් නොවනු ඇත.
අනුර දිසානායක මහතාද පසුගිය දිනෙක රූපවාහිනී සංවාදයකදී පැවසුවේ මූල්‍ය අරමුදලට නොයා වෙනත් ක්‍රියාමාර්ගයකට යා හැකිව තිබුණද දැන් තමන් බලයට පත් වුවද මූල්‍ය අරමුදලේ වැඩසටහන නතර කළ නොහැකි බවය. ඒ අනුව කවුරුන් ජනාධිපති වුවද එම වැඩසටහන ඉදිරියට යනු ඇත.
ජනාධිපතිවරණය සඳහා යන වියදම සම්බන්ධයෙන් එජාප නායකයන් ඉදිරිපත් කරන තර්කයද අතියින්ම දුර්වලය. ජනාධිපතිවරණය කල් දැමිය හැක්කේ ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණි. එම සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් (ඡන්ද 150ක්) සහ ජනමත විචාරණයක් මගින් මහජන අනුමැතියක් අවශ්‍ය වේය යන්න විශේෂඥයන්ගේ මතයයි. රටපුරා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යන වියදම හා රටපුරා ජනමත විචාරණයක් පැවැත්වීමට යන වියදම බොහෝ දුරට සමානය. වියදම පිළිබඳ එජාප නායකයන් ඉදිරිපත් කරන තර්කය ඒ අනුව බිඳ වැටේ.
ජනාධිපතිවරණයකින් ජයගත නොහැකි වික්‍රමසිංහ මහතා ජනමත විචාරණයකින් ජයගන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය බදාදා ප්‍රශ්න කර සිටියේය. එම ප්‍රශ්නයම එදිනම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාද මතු කොට තිබිණි. ඒ අනුව නාස්තියක් වන්නේ එජාප නායකයන් පවසන පරිදි ජනාධිපතිවරණයක් පැවැත්වීම නොව ජනමත විචාරණයක් පැවැත්වීමය.
මේ සියල්ල නොතකා ජනාධිපතිවරණය කල් දැමීම සඳහා එජාපය ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම් එම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එල්ලවන අභියෝගයට මුලින්ම මුහුණ දීමට සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ එය සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත.
එහිදී දැන් මෙම මතයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වුවද එය පාර්ලිමේන්තුවට පැමිණියහොත් ඔවුන් ඊට සහාය දෙන්නට ද ඉඩ තිබේ. 2022 සිටම ඔවුන් ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ සියල්ලට සහාය දී තිබේ. ඔවුන් පමණක් නොව ඊළඟ මහ මැතිවරණයෙන් ජය ගැනීම ස්ථිර නැති සුළු පක්ෂවල නායකයන් ද ඇතුළු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඊට පක්ෂ විය හැකිය. ඔවුනට එහිදී ඇති විය හැකි එකම බාධකය එම සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම රහස් ඡන්දයක් නොවීමය.
එම කඩුල්ලද පැනගත හොත් එම සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙනු ඇත. ජනතාව මෙවැන්නකට ඡන්දය දෙනු ඇත් ද යන්න එහිදී මතුවන ගැටලුවකි. එහෙයින් එජාපයට 1982 ජනමත විචාරණයේ දී මෙන් මෙහිදී ද මැතිවරණ දූෂණය, කුමන්ත්‍රණ හා මැරවරකම්වල පිහිට පැතීමට සිදුවනු ඇත. එහෙත් වත්මන් එජාපය එතරම් ශක්තිමත් නැත.
1982 දී එජාප ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත් වූයේ ඊළඟ වසරේ අවසන් වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් හය වසරකින් දීර්ඝ කර ගැනීම සඳහාය. එම අරමුණ සඳහා 4 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන ලද අතර එය තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයෙන් සම්මතවී ජනමත විචාරණයක් මගින් ජනතාව ද අනුමත කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එදා එජාපය හමුවේ තිබූ අභියෝගය මහ මැතිවරණයකින් ජය ගැනීම නොව 1977 මැතිවරණයෙන් තමන් ලද හයෙන් පහක බලය තවදුරටත් පවත්වාගෙන යාමය. එම හයෙන් පහක බලය නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය.
එහෙත් ජනමත විචාරණය ජයගත හැකි ද යන ප්‍රශ්නය එජාපය හමුවේ තිබිණි. ඒ අනුව මුලින්ම විපක්ෂය දඩයම් කිරීම ඇරඹිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඉන්දියාවේ නැක්සලයිට් කොමියුනිස්ට් පක්ෂය මෙන් බලය අල්ලා ගැනීමටත් එහිදී ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රීලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මිය ද ඝාතනය කිරීමට සැලසුම් කොට ඇති බවට ආණ්ඩුව චෝදනා කළේය. මුලින්ම මෙම මතය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහ මහතාය.
මෙම චෝදනාව යටතේ ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්ව සිටි රත්නසිරි වික්‍රමනායක, විජය කුමාරතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය ද ඒ වනවිට අහෝසි කරනු ලැබ තිබිණි.
ජනමත විචාරණය අතිශයින්ම දූෂිත එකක් විය. විරුද්ධ පක්ෂවල ප්‍රචාරක කටයුතු මැරවරයෝ කඩා කප්පල් කළහ. බොහෝ තැන්වල විරුද්ධ පාක්ෂිකයන්ගේ ඡන්ද කාඩ්පත් පැහැර ගනු ලැබූ බවත් අමතර ඡන්ද කාඩ්පත් මුද්‍රණය කොට බෙදා හැර තිබූ බවත් ඡන්ද මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක විරුද්ධ පක්ෂවල ඡන්ද නියෝජිතවරුන් පළවා හරිනු ලැබූ බවත් බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දී ඡන්ද දායකයන් තමන් සලකුණු කළ ඡන්ද පත්‍රිකා ඡන්ද නියෝජිතයන්ට පෙන්වා ඡන්ද පෙට්ටි තුළට දැමූ බවත් විරුද්ධ පාක්ෂිකයන් විශාල වශයෙන් බිය ගැන්වීමට ලක් කෙරුණු බවත් ජනමත විචාරණය පිළිබඳ මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතාගේ වාර්තාවේ සඳහන් වේ.
ඒ වනවිට ආණ්ඩුවේ ඉදිරි පෙළ නායකයන් වූයේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලි වැනි පිරිසකි. වත්මන් එජාපය හා සජබ එදා පැවැති ඒ එජාපයේ බෙදී ගිය අතු දෙකකි.
(*** එම්.එස්.එම්. අයුබ්)