ජනහිතකාමී යතිවරයාණෝ


සුප්‍රසිද්ධ හික්කඩුවේ සුමංගල සඟ පරපුරෙන් පැවත එන කොළඹ හුණුපිටිය ගංගාරාමයේ භික්‍ෂුවක ලෙස මාතර ගල්බොඩ සිට පැමිණ වයස අවුරුදු දහයක දී ශාසනයට ඇතුළුවී පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර විහාරාධිපති හිමියෝ වසර 60ක ශාසනික සමාජ මෙහෙවරක නිරත වූහ. උන්වහන්සේ වර්ෂ 2024 අගෝස්තු 2 වැනි දින පස්වරු 12.45 ට පමණ අපවත් වූ අතර අද දින දැයෙන් සමුගනිති. උන්වහන්සේ පිළිබඳ මවිසින් රචිත, 2014 දී ප්‍රකාශයට පත් වූ ‘‘ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ’’ ග්‍රන්ථය පුරා උන්වහන්සේගේ සමාජ ශාසනික මෙහෙවර විවරණය කර ඇත.

එවකට ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ වයස අවුරුදු 16 කි. උන්වහන්සේගේ ගුරුහිමියන් වහන්සේ වන දෙවුන්දර වාචිස්සර හිමියන් හදිසි අනතුරකින් දෙඇස් අන්ධ වූ අතර උන්වහන්සේට උපස්ථාන කොට රැක බලා ගැනීම ද ගංගාරාම විහාරයේ කටයුතු කිරීමට ද උන්වහන්සේගේ දෙවුර මත පැටවුණි. මෙම කටයුතු ක්‍රම ක්‍රමයෙන් සාර්ථකව කිරීම නිසා ‘‘පොඩි හාමුදුරුවන්’’ ලෙස හැඳින්වීමට දායකයෝ පුරුදු වූහ. අද දක්වා ද උන්වහන්සේ හඳුන්වා දෙන්නේ එලෙසය. උන්වහන්සේට අනන්‍ය පුද්ගල කාඩ්පතක් නොමැතිව තිබූ අවස්ථාවේ දී මා විමසා සිටියේ ‘‘විහාරාධිපති’ ලෙස හඳුන්වා නොදෙන්නේ මන්ද? කියාය. උන්වහන්සේගේ පිළිතුර වූයේ හුණුපිටිය ගංගාරාමයේ විහාරාධිපති උන්වහන්සේ නොව ‘‘බුදුන් වහන්සේ’’ බවත් තමන් වහන්සේ යටහත් සේවකයකු බවත්ය.

හුණුපිටිය ගංගාරාමය උදෑසන 5.30 සිට රාත්‍රී 11 දක්වා විවෘතව පවතී. විශාල විදුලි වියදමක් දරාගෙන වුවද මෙසෙ පවත්වාගෙන යාමට හේතුව ලෙස පොඩිහාමුදුරුවන් පවසන්නේ ගංගාරාමය අවට කාර්යාල සහ රෝහල් පවතින අතර කාර්යාල යන්නවුන්ට ආශිර්වාදය සඳහා ද රෝගීන්ට රැකවරණ ප්‍රාර්ථනා සඳහා ද විහාරස්ථානය විවෘතව පැවතිය යුතුවූ නිසාය. බොහෝ විට ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස ආලින්ද කොටසේ, වේවැල් පුටුවක හිඳගෙන පුවත්පතක් බලමින් හෝ කිසිම උස් - පහත් භේදයකින් තොරව සැම සමඟ ආගිය තොරතුරු විමසීමේ යෙදෙන පොඩි හාමුදුරුවෝ අප දකින සුලභ දර්ශනයයි. ගංගාරාමයේ බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස, ජනතාවගෙන් ඈත්කොට තැබීම රන් වැටක් ඉදිකිරීම යෝග්‍ය බව පැවසූ අවස්ථාවේ දී පොඩි හාමුදුරුවන් දැඩිව පවසා සිටියේ බුදුන්වහන්සේ කෘතවේදී බව දැක්වූ බෝධින් වහන්සේ, ජනතාවට සමීපව ස්පර්ශ කිරීමට, මල් පූජා කිරීමට, පැන් වත් කිරීමට හැකි ලෙස තිබිය යුතු බවයි. එලෙසම බංගලිදේශයෙන් ලැබුණු කේෂ ධාතුන් වහන්සේලා ජනතාවට දැකීමට හැකි ලෙස තැබිය යුතු බව පොඩි හාමුදුරුවන් වහන්සේගේ අදහස වූ නිසා වීදුරු ආවරණයක් යෙදීමට කටයුතු කරන ලදී. ගංගාරාමයට පැමිණෙන දේශීය සහ විදේශීය සැමගේම හිස මත කරඬුව තබා, පිරිත් නූලක් තම අතේ බැඳ ගැනීමට ගංගාරාමයේ භික්‍ෂූන් වහන්සේලා සැදී පැහැදී සිටින්නේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ ආදර්ශය නිසාමය.

සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වැනි දින රාත්‍රිය, විශේෂයෙන්ම කොළඹ උත්සවශ්‍රීයක් ගනී. රාත්‍රි 12 කනිසම වදිද්දී, බෝධි පූජාවක් ගංගාරාම විහාර පරිශ්‍රයේ අරඹා අද දක්වාම ක්‍රියාත්මක වේ. එතැන් සිට ජනවාරි 1 වැනිදා ගංගාරාමයට පැමිණෙන සැමට උස්පහත් භේදයකින් තොරව මුදල් නෝට්ටුවක්, සීවලී රහතුන් වහන්සේගේ ඡායාරූපයක් හෝ යන්ත්‍රයක් සහ පිරිත් නූලක් සහිත කවරයක් ලබාදීම සම්ප්‍රදායක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාදාමය අප්‍රේල් මාසයේ සිංහල – දෙමළ අවුරුද්දේ ගනුදෙනුවක් ලෙසද ක්‍රියාත්මක වීමෙන් සනාථ වන්නේ ගංගාරාමය මුට්ටි කාසි නොගැසීමේ සම්ප්‍රදායෙන් මෑත් වූ පන්සලක් බවයි.

ගංගාරාමයේ දායක සභාවේ සභාපති, රන්ජිත් විජයවර්ධන මහතා පවසා සිටියේ ඔහු සහ ඥාති සොයුරු දිවංගත උපාලි විජයවර්ධන මහතා ළමාවියේ දී ගංගාරාමයට මවුපියන් සමග පැමිණිය ද එය ආගන්තුක අත්දැකීමක් වූ බවයි. එහෙත් ගංගාරාමයේ පොඩිහාමුදුරුවන් දරුවන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම නිසා ගංගාරාමයේ සියලු දරුවන් සැනසෙන පරිසරයක් නිර්මාණය වී ඇත. ප්‍රසිද්ධ විභාගවලට මුහුණ දෙන සෑම දරුවකුටම පිරිත් කළ පෑනක් ලබාදෙන අතර කුඩා දරුවන්ට සුරතල් වචනවලින් ආමන්ත්‍රණය කරමින් කුමන හෝ පැණි රසයක් ලබාදීම ගංගාරාමයේ සාමාන්‍ය පුරුද්දක් වී ඇත.

පොඩි හාමුදුරුවන් සහ ගංගාරාමය කිසිවිටක නිකාය/ ජාති, ආගම් භේද ප්‍රවර්ධනය නොකරයි. ගංගාරාමයේ භික්ෂූන් වහන්සේලා දානමය මෙන්ම ප්‍රසිද්ධ කටයුතුවලට සහභාගී වන්නේ සියම් නිකාය සාමාන්‍යයෙන් ඉටු නොකරන, අන් නිකායවලට ආවේනික වූ සිවුරෙන් දෙවුර වසාය. ගංගාරාමයේ බේරේ වැවේ සීමා මාලකය නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව වැනි විශිෂ්ට නිර්මාණ බිහිකළ ජෙෆ්රි බාවාය. සියලුම වියදම් දරන ලද්දේ මුසාජි පවුල වීම ගංගාරාමය සියලු ජාතීන්ට එකසේ සලකන කේන්ද්‍රස්ථානයක් වීම සනිටුහන් කරයි.

පොඩි හාමුදුරුවන් 1979 දී නවම් පෙරහර ආරම්භ කරන්නේ සංචාරක ප්‍රවර්ධනය වැනි ආර්ථීක හේතුවලට අමතරව පිරිහී යන සංස්කෘතික අංගයන් රැක ගැනීමටය. රංගනයේ යෙදුණු සෑම ශිල්පියකුටම පෙරහර අවසන් වූ පසුව පොඩි හාමුදුරුවන් තම අතින් මුදල් ලබාදීම කරන්නේ සමානාත්මතාවෙන් කටයුතු කරමින් ඔවුන් සියලු දෙනාම දිරි ගැන්වීමටයි.

පොඩි හාමුදුරුවන් සැමවිටම උජුපටිපන්න ගුණයෙන් පැහැදිලි, ඍජු තීරණ ගනිමින් එඩිතරව එම තීරණ ක්‍රියාත්මක කළ චරිතයකි. එම සෑම ක්‍රියාවකම පදනම වූයේ තම පෞද්ගලික සුබසිද්ධිය, වාසිය නොව ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය වීම ඉතා සුවිශේෂය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ග්‍රන්ථයේ දැක්වෙන සිද්ධි සමුදායෙන් කීපයක් දැක්වීම මගේ යුතුකමයි.

1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට ඉන්දියානු සංචාරයට පෙර ගංගාරාමයට පැමිණ පිරිත් නූලක් ගැටගසා යාම සිදු වුණි. ඉන්දු - ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට සිදුවන හානිය දුටු උන්වහන්සේ එයට විරෝධය පළකොට, විෂ්ණු දේවාලයේ දොරටු වසා දැමුවේ, ශ්‍රී ලංකාවේ අභිමානය ලැබෙන තුරු එය විවෘත නොකරන ලෙසට සත්‍යාක්‍රියා කරමිනි. සම්මාන උත්තමාචාරයට සහභාගී වූ නාවික භටයකු වීසින් ඉන්දීය අගමැතිවරයාට පහරදීමෙන් පසු දේවාලය විවෘත කරන ලදී.

ගංගාරාමයට සමීපව ඇති කාන්තා විද්‍යාලයක් වන බිෂොප් විද්‍යාලයය සමීපයෙන් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට සූදානම් වූ අවස්ථාවේ දී පොඩි හාමුදුරුවන් ඉදිරිපත්වී එය නවතා දැමුවේ කාන්තා විද්‍යාලයයක් සමීපයේ නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම යෝග්‍ය නොවන නිසාය.

බේරේ වැව වටා නුවර වැවට සමාන වලාකුළු බැම්මක් ඉදිකිරීම ආරම්භ වූ අවස්ථාවේ දී, ඉන් පරිසරයට වන දෘෂ්ටිමය හානිය වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා විසින් පෙන්වා දුන් අවස්ථාවේ දී පොඩි හාමුදුවන් ඉදිරිපත්වී, එය තවදුරටත් ඉදිකිරීම නවතා දමන ලදී.

පොඩි හාමුදුරුවන් බලවත් ලෙස රෝගාතුරවීමට මාස කීපයකට පෙර ගංගාරාමය අසල ඇති ‘සිටි සෙන්ටර්’ මගින්, පදිකයන්හට ගමන් කිරීමට බාධා කරමින් තාප්පයක් ඉදිවූ අවස්ථාවේ දී එයට විරුද්ධ වූ උන්වහන්සේ එය ඉවත් කරවා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් අදටත් සාමාන්‍ය ජනතාව නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසුණි.

අපවත්වී වදාළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ සැබැවින්ම ජනහිතකාමී යතිවරයාණන් වහන්සේ නමකි. ඒ අනුව උන්වහන්සේ ඍජු, එඩිතර තීරණ ගත් බවත් මොනවට සනාථ වේ. යමකු නැතිවීම යථාර්ථය මෙන්ම එම අඩුව පිරවීමට හැකිවීම ද පරම සත්‍ය වේ. එහෙත් ගංගාරාමයේ ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අඩුව පිරවීමට කිසිසේත් නොහැකිය. මක්නිසාදයත් උන්වහන්සේ සජීවී පුරාවෘත්තයක් ලෙස ජීවත්වූ නිසාය. ක්‍රියාවෙන් සහ වචනයෙන් ජනතාව සැනසූ පොඩිහාමුදුරුවන් වහන්සේ  ඒ පිනෙන්ම පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා!

 

(***)

​ජනාධිපති නීතීඥ​ ප්‍රසන්ත ලාල් ද අල්විස්