මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්ම ජීවිත හානියකින් පසුව හෝ ජයග්‍රහණයක් ලබන අය අපි දැක ඇත්තෙමු. මිනිස් වර්ගයා අතර ඇතිවන එබඳු ජයග්‍රහණ පිළිබඳ චර්යාවන් ආගමික ඉගැන්වීම් විවිධ ක්‍රීඩා ප්‍රමුඛ ක්‍රියාකාරකම් මගින් වඩාත් සුමට කිරීමක් කර ඇත.
එමෙන්ම පුද්ගල සමාජය අධ්‍යාපනික වශයෙන් ලබන සාක්ෂරතාව පමණක් නොව පුද්ගල මනසෙහි විවිධ විෂයය පිළිබඳ ඇති වූ පුළුල්වීමත් සමග ජයග්‍රහණ ලබා ගැනීම පිළිබඳ පැවති ගෝත්‍රික ස්වභාවයේ වෙනසක් සිදුවී ඇති බවද පිළිගත යුතුය. එහෙත් ජයග්‍රහණ හා පරාජය පිළිබඳ එම යුගයේ ප්‍රබලව තිබූ සිතිවිලි සැඟව තිබූ ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක වන ආකාරය ද ඇතැම් විට දක්නට ලැබේ.
දුරාතීතයේ සිටම ජයග්‍රහණ සඳහා යුද වැදීම දේශාන්තරව සිදු වූයේ බලය සඳහා පිය පුතුන් සහෝදර ඥාතීන් අතර ඇති වූ දේශපාලනික ක්‍රියාකාරකම් පිළිබඳ ලෝක ඉතිහාසයේ තොරතුරු අනාවරණය කරමිනි. ලංකා ඉතිහාසයේ ද බලය සඳහා වූ එබඳු යුද වැදීම් පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වේ. එසේම විවිධ සූදු ක්‍රීඩාවන්හි යෙදෙමින් අධාර්මික ධනෝත්පාදනය සඳහා යොමු වූ බොහෝ පිරිස් දියුණු යැයි සම්මත වර්තමානයෙහි ද ලොව පුරා දැකිය හැකිය. එමගින් බොහෝ රටවල් ආර්ථික ශක්තිමත් කර ගැනීම ද සිදු කෙරේ. ක්‍රි.පූ. හය වැනි සියවස හෙවත් බුද්ධ කාලයේ කහවණු සඳහා දූ කෙළියේ යෙදුණු අය පිළිබඳව තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයේ හමුවේ. මේ අනුව සූදු ක්‍රීඩාවේ විවිධ සත්වයන් යොදා ගනිමින් පමණක් නොව විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම වැනි උපයන ධනය විනාශයට හේතු වන බහුවිධ ක්‍රියාවන් ජයග්‍රහණය සඳහා තත්කාලීනව පැවති බව තථාගත දේශනාවලින් ද මනාව පෙන්වා දේ.
ජය පරාජය විඳ දරා ගැනීමේ ක්‍රමවේදය මැනවින් දේශිත බුදු දහම පමණක් උගන්වන ඉරුදින දහම් පාසල පමණක් නොව ඇතැම් විහාරස්ථ දායක සභා මෙන්ම ශාසනාරක්ෂක බල මණ්ඩල සහ දිස්ත්‍රික් හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලවල දක්නට ලැබෙන ගැටුම් පිළිබඳ අපට ඇත්තේ කම්පාවකි. යුද ජයග්‍රහණ සඳහා විනාශ කරන මිනිස් ජීවිත මෙන්ම පෞරාණික ස්මාරකාදී දේපළ මුදලින් තක්සේරු කළ හැකි නොවේ. මේ අනුව බැලීමේ දී ජයග්‍රහණය වෙනුවෙන් යුද වැදීම ජීවිත විනාශවීම ගැටුම් ඇතිකර ගැනීම කල කෝලාහල ඇති කර ගැනීම සදාතනික ක්‍රියාදාමයක් ලෙස ද නිගමනය කළ හැකිව තිබේ.
ජය පරාජය විඳ දරා ගැනීමේ නොහැකියාව නිසා අසීරුතාවට පත්වන අයුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ අවධානයට ලක් වී ඇති අයුරු ත්‍රිපිටක ධර්මයෙහි දක්නට ලැබෙන අතර ඒ සඳහා මනා විසඳුම් ද මැනවින් දක්වා තිබේ. ධම්මපද පාලියෙහි සඳහන් පහත ගාථා ධර්මය ඒ සඳහා මනා සාධක වශයෙන් දැක්විය හැකිව ඇත.
ජයං වේරං පසාවති
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති
හිත්වා ජයපරාජයං
මෙම තථාගත දේශනාවෙන් ප්‍රකට වන්නේ දිනන්නා හෙවත් ජයග්‍රාහකයා පරාජිතයා හෙවත් පරදින්නා තුළ වෛරය ඇති කරනුයේ මතු නොව ඔහු දුකට සන්තාපයට පත්වන බව හා මානසික බිඳ වැටීමකට ලක්වීම පිළිබඳවයි. එහෙත් සන්සුන් තැනැත්තා එම සන්සුන්භාවය නිසාවෙන් දිනුම් පැරදුම් සමසේ විඳිමින් සුවසේ විසීමේ හැකියාව ලබන බව තථාගත දහමින් ප්‍රකාශකොට ඇත. මෙහිදී සන්සුන් තැනැත්තා ලෙස රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන බව ද අමතක නොකළ යුතු අතර පුහුදුන් ස්වභාවය මත හඬන වැළපෙන ගැටෙන භාවිත ජීවිතවලට ගලපා ගත හැකි බව සියල්ලන්ම සිහිපත් කොට ගත යුතුව තිබේ. ව්‍යවහාරික ලෝකය සියලු ක්‍රියාදාමවලදීම මිනිස් ස්වභාවය වන්නේ වැළඳ ගැනීම හා ගැටුම් ඇති කර ගැනීම බව ධර්මයේ සඳහන්ව ඇත්තේ මතු නොව සියලු ක්‍රියාකාරකම්වල නිමාව මැදුම් පිළිවෙත විය යුතු බව අවධාරණය කරනුයේ ගැටුම් විරහිත සාමකාමී ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති කිරීම සඳහාය.
ඉහත සඳහන් ගාථාවේ ජයං යන්නෙන් දක්වා ඇත්තේ දිනන්නා හෙවත් අනුන් පරදවා ජය ලබන තැනැත්තා වන අතර වේරං පසවති යනුවෙන් සඳහන් වන්නේ වඩිම්බුව ඇතිකර ගැනීම හෙවත් සතුරන් ඇති කර ගැනීම වන්නේ මතු නොව දිනන්නා සහ පරාජිතයා අතර ඇති කර ගන්නා වෛරය පිළිබඳවය. දුක්ඛංසේති යනු ලැබූ පරාජයෙන් සතර ඉරියව් වෙන්ම දොම්නස් වීම හෙවත් නොසතුටින් කල් ගෙවීම වන අතර උපසන්තො යන පදයෙන් ප්‍රකාශ කරනුයේ සන්සිඳුන පුද්ගලයා පිළිබඳවය. මෙසේ උතුම් සැනසීම ලබා සුවසේ වාසය කරනුයේ සිදුවූ කෙලෙස් ඇති මහ රහතන් වහන්සේ පිළිබඳවය.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් දේශනාව සඳහා පාදක වී ඇත්තේ යුදමය හෙවත් දේශපාලනික පරාජයක් වීම වර්තමානයේ ලංකාවේ දේශපාලනික පොරපිටිය හා සැසඳෙන බව පෙනී යයි. ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට තථාගතයන් වහන්සේ සමීපව ඇසුරු කළ දේශපාලනඥයන් දෙදෙනෙකු ලෙස කොසොල් රජු හා අජාසත් රජු සඳහන් වෙයි. කොසොල් රජුගේ නැගනිය හෙවත් බිම්බිසාර රජුගේ පුත්‍රයා වූ අජාසත් රජු පීතෘ ඝාතකයෙකු බව ඉතා ප්‍රකට කරුණකි. කොසොල් රජුගේ බෑණනුවන් වූ අජාසත්ත තම මාමණ්ඩිය සමග සටන් වැදී ඇත්තේ කසී රට එක් පැත්තක අයිතිය ලබා ගැනීම පිණිසය. මෙම සටනින් කොසොල් රජු පළමුවෙන්ම පරාජයට පත් වූයේ මතු නොව දෙවෙනි වරද පරාජයට පත් වූයේය තෙවන වර ද පරාජයට පත් කොසොල් රජු ඉතා දොම්නස්ව නොසතුටින් යුතුව ඉමහත් පසුතැවීමකට ලක් වූ අතර තමා වැන්නකු ඉතා බාල වියෙහි වූ කෙනෙකුට පැරදීම මහත් නිගාවක් ලෙස සිතමින් ඉතා පීඩාකාරීව ආහාරපානාදියෙන්ද තොරව හුදකලා වූයේය. ඇමතියන් ඇතුළු බොහෝ දෙනා රජු අස්වසාලීමට උත්සාහ ගත්තද ඒවා අසාර්ථකව ප්‍රචලිත වූයේ මතු නොව ඒ බව දෙවුරම් වෙහෙර වාසි භික්ෂූන්ට ද දැන ගැනීමට ලැබුණි. මේ පුවත් භික්ෂූන්ගෙන් දැන ගත් බුදුරජාණන් වහන්සේ ජය පරාජය විඳ දරා ගත යුතු ආකාරයත් එය වෛරයක් බවට පත් කොටගෙන තමන් පීඩාවට පත් නොවිය යුතු බවත් සන්සිඳුන සිතැත්තෝ ජය පරාජය සමව විදහාමින් සුවසේ වෙසෙන බව දේශනා කොට වදාරමින් ව්‍යවහාරික සමාජය සර්වකාලීනව සනහාලූහ.
මහා ප්‍රජාපතී ගෝතමියගේ පැවිදිවීමත් සමග භික්ෂුනී සමාජයෙහි ආරම්භය සිදුවූ බිනර පුර පොහෝ දිනය වූ අද දිනය ලෝකවාසී කාන්තාවන් පූජනීයත්වයට පත් වූ දිනයයි. විවිධ අසීරුතාවලට පත්කොට මූලික මිනිස් අයිතිවාසිකම් ද අහිමිකර සිටින තත්කාලීන කාන්තා සමාජය දිව්‍ය බ්‍රහ්මාදීන්ගෙන් ද වැඳුම් පිදුම් ලබන පිරිසක් බවට පත් කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ගන්නා ලද එම තීරණය වර්තමානයේ ද ශාසන ප්‍රතිෂ්ඨාපනය සඳහා හේතු වූ බව සඳහන් කළ යුතුව ඇත. එවන් උතුම් දිනයක් වූ අද දිනයෙහි ජය පරාජය සමසේ විඳ ගත හැකි උතුම් නිවන් සුවයෙහි සැනසීම ලබා ගැනීම සඳහා උත්සුක විය යුතුව ඇත.
(***)
(ඡායාරූපය - අන්තර්ජාලය ඇසුරිණි)