ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැගීම වෙනුවෙන් තමන්ට ශක්තිමත් බලයක් අවශ්‍ය බවයි. ඒ සඳහා ‘ලොවෙත් නැති ජයග්‍රහණයක්’ මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ මෙරට ඡන්දදායකයෝ තුනෙන් දෙකකට වැඩි බලයක් එනම් පාර්ලිමේන්තුවේ ආසන 159 ක බලයක් ජාතික ජනබලවේගයට ලබා දීමට කටයුතු කළහ.
වසර 76 කට අධික කාලයක් මෙරට පැවති දූෂිත දේශපාලන ක්‍රමය සහ දුර්වල ආර්ථික කළමනාකරණයෙන් හෙම්බත් ව සිටින ජනතාව පැවති දේශපාලන ක්‍රමය වෙනසකට ලක් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබා දී තිබේ. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේ දී 42.31% සහ මහ මැතිවරණයේ දී 61.56% ක් ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ වෛරය වපුරන ලද දේශපාලන පරිසරයක් තුළ ය. මෙම මැතිවරණ ප්‍රතිඵලය මඟින් පෙන්නුම් කරනුයේ ‘තැටිය රත් වූ විට රොටිය පුව්චා ගැනීමට තැත්කරන’ බොහෝමයක් ප්‍රභූ දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන්ට තවදුරටත් ජනතාව මුළාවට පත් කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මැතිවරණ සටන, සටන් පාඨ මතවාද සහ විවිධ මැතිවරණ පොරොන්දු මතින් කෙළවර විය.
බලයට පත් නව ආණ්ඩුව ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දු අබමල් රේණුවකින්වත් වෙනස් නොකරන බවට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී ම සපථ කර ඇත. එවන් පසුබිමක 17 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අද ඇරැඹෙන්නේ අති විශාල ජනතා බලාපොරොත්තු සමුදායක් පොදි බැඳගෙනය. දේශපාලන වශයෙන් උතුර සහ දකුණ අතර බොහෝ කාලයක් පැවති පරතරය සහ බෙදීම මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් යම් අවම මට්ටමකට පත්වීමේ ධනාත්මක මානසික ආකල්පය මගින් පෙන්නුම් කරන්නේ ජනවාර්ගික සංහිදියාව ඇති කිරීමේ ඉඩ ප්‍රස්ථා විවර වී ඇති බවය. ඒ ධනාත්මක යථාර්ථයක් බවට පත් කිරීමේ අභියෝගය නව ආණ්ඩුව අභිමුඛයේ පවතී.
සාධාරණ සාමානාත්මතා සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ආණ්ඩුව කළ යුත්තේ කුමක්දැයි තේරුම් ගත යුතු අතර බහු සංස්කෘතික ජාතිකත්වයක් ගොඩනැගීම මගින් ජාතිකත්වය ගොඩනැගීමට අවස්ථාව උදා වී තිබේ.
මෙවර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය මගින් ඉතිහාසයේ කවරදාකටත් වඩා වැඩි මහජන වරමක් සහිත බලයක් ජාතික ජන බලවේගයට ලැබී තිබේ. වරක් ඇක්ටන් සාමිවරයා (Load Acton) බිසොප් ක්‍රයිටන් (Bishop Creighton) වෙත යැවූ ලියවිල්ලකින් කියා සිටියේ බලය මිනිසා දූෂණය කරන අතර වැඩි බලය වැඩිපුර දූෂණය කරන බවයි- ආණ්ඩුවට ලැබී ඇති තුනෙන් දෙකකට අධික බලය සම්බන්ධනයෙන් අදහස් දැක්වූ වර්තමාන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී ම කියා සිටියේ මේ අසීමිත බලය වගවීමකින් භාවිත කිරීමට තමන් ප්‍රමුඛ ආණ්ඩුව බැඳී සිටින බවය. 1748 දී චාල්ස් මොන්ටෙස්කියු තම නීතියේ සාරය (The Sprit of The Law) කෘතියෙන් ප්‍රකාශ කළේ බලය බෙදීම මගින් බලයේ සංවරණයක් ඇති කළ හැකි බවයි. එය එසේ නම් මෙරට ජනවාර්ගික සංහිදියාව ඇති කිරීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් දැන් හිමි වි තිබේ. ඒ සම්බන්ධ ව ආණ්ඩුවට අවස්ථා දෙකක් ඇත. පළමුවැන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් බලාත්මක කරනවාදැයි ආණ්ඩුව තීරණය කළ යුතු වීමයි. දෙවැන්න 16 වැනි ව්‍යවස්ථා සංශෝධනය සීයට සීයක් ක්‍රියාවට නංවනවාදැයි ආණ්ඩුව කල්පනා කළ යුතු වීමයි.
අභිනව ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ බිඳවැටී ඇති ආර්ථිකය ගොඩනැගීම සහ සම්පත් බෙදී යෑමේ විසමතාව කළමණාකරණය කරන්නේ කෙසේ ද යන්න ය. ජාතික ජනබලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තම ආර්ථික දැක්ම ඉදිරිපත් කොට තිබුණ ද ඔවුනට එය ඉටු කිරීමට සිදුව තිබෙන්නේ බිද වැටුණු ආර්ථිකයක් තුළ ක්‍රියාත්මක වන සුබසාධනවාදී ප්‍රතිපත්ති රාමුවක් තුළ ය.
වර්තමාන ආණ්ඩුව ඉදිරියේ පවතින තවත් අභියෝගයක් වන්නේ මෙරට විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමයි. බොහෝ කාලයක සිට අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් (NAM) අනුගමනය කරමු. අප එම ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යනවා ද? එසේ නැතිනම් බහු බැඳියාවකින් යුතු (Multi-Alignment) විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාදැයි තීරණය කළ යුතුය. දියුණු වෙමින් පවතින රටක් ලෙස ඇත්ත වශයෙන් ම අපට ගැලපෙන්නේ ලෝකයේ විවිධ රටවල් සමඟ විවිධ කාරණා සම්බන්ධයෙන් සමාන්තර සබඳතා පැවැත්වීමයි.
අනෙක් අතට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ද අතිශයින්ම වැදගත් කාර්යයකි. වර්තමාන ආණඩුවට ශක්තිමත් විධායක බලයක් ද, තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලැබීමෙන් පෙන්නුම් කරන්නේ එය වඩාත් පරෙස්සම් සහගතව භාවිත කළ යුතු බවය. වෙනත් ලෙසකට ප්‍රකාශ කළහොත් ආණ්ඩුව තමන්ට ලැබී ඇති බලය ක්‍රියාවට නැංවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් මතය. ව්‍යවස්ථාදායකය සහ විධායක ය එකම පුද්ගලයකු හෝ කණ්ඩායක් වටා ඒකරාශී වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරය. විධායක සහ අධිකරණය යන ආයතන තුන අතර බලතල බෙදීමක් පැවතීම අත්‍යවශ්‍ය ය. එවැනි තත්වයක් තුළ බලය ක්‍රියාවට නැංවිය යුත්තේ සංවරණය සහ තුලන සිද්ධාන්තය මත පදනම්ව ය. විශේෂයෙන් නීතියේ ආධිපත්‍ය සුරක්‍ෂිත කිරීමට නිදහස් සහ ස්වාධීන අධිකරණයක පැවැත්ම තහවුරු කිරීම අතිශයින්ම වැදගත් වන අතර එය ද නව ආණ්ඩුවට පැවරුණු තවත් ප්‍රධාන වගකීමකි.
පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව හයෙන් පහක බලයක් ලබාගත් අතර ඔහුගේ පාලන කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට විවිධ බලපෑම් කළේ ශක්තිමත් ව්‍යවස්ථායකයක් සහ විධායක බලයක් එක්සත් ජාතික පක්‍ෂය සතු වීමෙනි. එහෙත් වර්තමාන ජනාධිපතිවරයා පුන පුනා කියා සිටින්නේ තමන් නීතියේ ආධිපත්‍ය සුරක්‍ෂිත කිරීමට කටයුතු කරන බවත් කිසිදු ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයට හානි නොකරන බවත්ය. ජාතික ජනබලවේගයේ මැතිවරණ සටනේ තවත් ප්‍රධාන සටන් පාඨයක් වූයේ පවතින ක්‍රමය වහා වෙනසකට ලක් කළ යුතු බවය. ඇත්ත වශයෙන් ම ඔවුන් අදහස් කළ වෙනස සිදු කළ යුතු ආකාර දෙකකි.
එක් අතකට දේශපාලන නායකත්වය සහ දේශපාලන සංස්කෘතිය ධනාත්මක වෙනසකට ලක් කළ යුතු ය. අනෙක් අතට සමාජයේ පුරවැසියාගේ කාර්යභාරය ද වෙනස් වීමකට ලක් විය යුතු ය. නිදසුන් ලෙස සිංගප්පූරුව වැනි රටක සමාජ විනය (Social discipline) සකස් වී ඇති ආකාරයට අප ද වෙනස් විය යුතුය.
නව ආණ්ඩුව අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ පසුගිය ආණ්ඩු කඩා වැටීමට සහ අසාර්ථක වීමට බලපෑ කාරණා මොනවාද යන්න පිළිබඳව විමසා බැලීම ය. නිදසුන් ලෙස පසුගිය යහපාලන ආණ්ඩු සහ ගෝඨාභය රාජපක්‍ෂගේ පාලනය අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ එවකට බලයට පත් ආණ්ඩුවේ තීරණ සහ ප්‍රතිපත්ති කෙරෙහි තිරය පිටුපස සිට ඇති වූ බලපෑම්ය. බලපෑම් කරනු ලැබූ නිල නොලත් සහ සැඟවුණු නැතිනම් රහසිගත පුද්ගලයන් හෝ ආයතනවලින් සමන්විත ජාල (Deep state) මේ පිටුපස සිටි බව පෙනේ. නිදසුන් ලෙස පසුගිය කාලපරිචිඡේදයේ මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය මූල්‍ය අපරාධ සිද්ධීන් සඳහා සිදුකරනු ලැබූ බලපෑම කොතරම් ධනාත්මක එකක් ද යන්න ය. මේ සම්බන්ධව විය හැකි තවත් නිදසුනක් වන්නේ පාස්කු දින ප්‍රහාරය වැළැක්වීම සම්බන්ධ ව එවකට පැවති බුද්ධි අංශ කොතරම් සහයෝගයක් පැවති ආණ්ඩුවට ලබා දුන්නේ ද යන්න ය. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව මෙම කාරණය හොඳින් අධ්‍යයනය කළ අතර තම පාලනය සම්බන්ධයෙන් එවැනි අයගේ ක්‍රිකාරීත්වය පූර්වයෙන් හඳුනාගෙන එය කළමණාකරණය කර ගැනීමට වගබලා ගත යුතුය.
වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තහවුරු කිරීමට ප්‍රමුඛව කටයුතු කරන බව විවිධ අවස්ථාවල ප්‍රකාශ කොට ඇත. එහිදී ඔවුන් යහ පාලනය (good governance) පිළිබඳව අවධානය යොමු කරනවා ද එසේ නැතිනම් චීනයේ පවතින පිරිසුදු ආණ්ඩුකරණය (clean government) භාවිතා කරනවා ද? චීනය ප්‍රකාශ කරන්නේ තමන් පිරිසුදු ආණ්ඩුක්‍රමයට ප්‍රමුඛතතාව ලබා දෙන බවයි. එනම් දූෂණය, කාර්යක්‍ෂමතාව ඵලදායිතාව ප්‍රතිචාරාත්මකභාවය පිළිබඳව වැඩි ප්‍රමුඛතාවක් දක්වන බවයි. එසේත් නැතිනම් අප වැනි රටවලට ගැලපෙන ප්‍රමාණවත් යහපාලනය(good enough governance) භාවිත කරනවාද යන්න තීරණය කළ යුතු ය. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට ආර්ථික ස්ථාවරත්වය සහ කාර්යක්‍ෂමතාව තහවුරු කිරීම සඳහා වගවීම විනිවිදභාවය සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීමට තමන් කැප වන බව ඔහු පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පවා කියා සිටීම ධනාත්මක තත්වයකි.
විපක්‍ෂයේ අසාර්ථකභාවය හමුවේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීම් ඉදිරියේ සිදුවිය හැකි අතර පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට පක්‍ෂ මාරු කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉවත් කිරීම සඳහා නව පනතක් කඩිනමින් ගෙන ඒම වැදගත්ය. තව ද දේශපාලන ක්‍රමය තුළ ඇති ව්‍යුහාත්මක වෙනස්කම් වන ආර්ථික ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම, රැකියා හිඟය, ග්‍රාමීය සංවර්ධනය නඟා සිටුවීම, දේශීය ව්‍යවසායකයන් සවිබලගැන්වීම, ඇතුළු නිෂ්පාදනය ආර්ථිකයකට ගමන් කිරීම මගින් දේශීය සහ විදේශීය ණය ගෙවීමේ උපාය මාර්ග කෙරෙහි ද අවධානය යොමු කරමින් නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මඟින් ආර්ථික කළමණාකරණය කළ යුතුය. එසේම නොනිල වශයෙන් රාජ්‍ය පරිපාලන ආයතන තුළ වංචාව සහ දුෂණය ක්‍රියාත්මක වන අතර බෙහෝ රාජ්‍ය නිලධාරීන් හසු නොවී වංචා දුෂණ සිදු කිරීම කාලාන්තරයක් තිස්සේ සිදුකරගෙන යන තවත් නරක තත්වය නව රජය මෙම දූෂීත සංස්කෘතිය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගැනීමට කටයුතු කළ යුතුය. මීට අමතර ව සංචාරක කර්මාන්තය වැනි අංශ පිළිබඳව ද සැලකිය යුතු අවධානයක් යොමු කිරීමට කාලය එළඹ තිබෙන අතර තමන් ලැබූ මැතිවරණ ජයග්‍රහණ සැබෑ ජනතා ජයග්‍රහණය බවට පත්වන්නේ ඉහත කාරණා කෙරෙහි ආණ්ඩුව දක්වන කැපවීම සහ උනන්දුව මතය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)