![]() |
හමුදාව පොලූමුගුරු ගෙන පහරදීමට පෙර |
![]() |
තුවාලකරුවන් රෝහලට |
ජලය ඉල්ලා උද්ඝෝෂණය කිරීමේ සිද්ධි වාර්තාවන්නේ වියළි කලාපයේ ගොවි මහතුන්ගෙන් වුවද පානීය හා පාරිබෝගික ජලය දෙන්නැයි ඉල්ලා පසුගියදා දැවැන්ත උද්ඝෝෂණයක් වාර්තා වූයේ ගම්පහ රතුපස්වල ප‍්‍රදේශයෙන්ය. මහපොළොවෙන් තමන්ට නොමිලයේ ලැබෙන පිරිසුදු ජලය ප‍්‍රදේශයේ පිහිටා ඇති කම්හලකින් පිටකරන අපජලය මගින් දුෂණය වන බව පවසමින් ප‍්‍රදේශයේ ගම්මාන 12ක පමණ පවුල් පන්දහසකට අධික පිරිසක් මේ උද්ඝෝෂණය කළහ.
නැඳුන්ගමුව, ඌරුවල, රතුපස්වල, සිවිරළුමුල්ල, වැලිවේරිය, පිලිකුත්තුව, කිණිගම, ගල්ඔළුව, මාහරගම වැනි ප‍්‍රදේශ පමණක් නොව මෙම කාර්මාන්ත ශාලාවට කිලෝ ඉමීටර් 10ක් පමණ දුරින් පිහිටි බැළුම්මහර, ගොඩගෙදර, මිරිස්වත්ත ආදී ගම්වලට පවා මෙම ජල දුෂණ ගැටලූව බලපා තිබේ.
ජනතාව චෝදනා කරන්නේ සුන්දර ගම්මාන ලෙස පිහිටි තම ගම්මානවල තිබූ ස්වභාවික ජලය මෙම කාර්මාන්ත ශාලාවෙන් පිටකරන අපජලය මුසුවීමෙන් දුෂණයවී පානීය ජල අවශ්‍යතාව පමණක් නොව වැසිකිළියට ගොස් සෝදා ගැනීමට තරම්වත් තත්ත්වයේ නොමැති බවයි. 1995දී පිහිටුවන ලද මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව 1997දීත් ප‍්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වුවද එය නිශ්ඵල වූ බවද ප‍්‍රදේශවාසීහු කියති. රබර් අත්වැසුම් නිපදවන මෙම කර්මාන්ත ශාලාවේ ඒ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් (ඇසිඞ්) අනාරක්ෂිතව බැහැර කිරීම මීට හේතු වී ඇති බවද ඔවුන්ගේ චෝදනාවයි.
මීට වසර හත අටකට පෙර වැලිවේරිය - හීන්පන්විලදී විෂ සහිත කසිප්පු පානය කළ 21 දෙනෙක් මරණයට පත්වූහ. තවත් බොහෝ දෙනෙකුගේ ඇස් අන්ධ භාවයට පත්විය. මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයකු එම ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කළ ”එතනෝල්” නැමැති රසායනික ද්‍රව්‍ය රැුගත් ”බූලියක්” හොරකම් කරගෙන ගොස් කසිප්පුවලට අසාමාන්‍ය ලෙස කළවම් කර විකිණීම එම මරණවලට හේතුවිය. එම නිසා මෙම කර්මාන්ත ශාලාවට දැඩි විරෝධයක් එම වකවාණුවේදීද එල්ල විය.
මෙම ජල ගැටලූවට පිළියම් ඉල්ලා අදාළ බලධාරීන් දැනුම්වත් කරනු ලැබුවද ඊට විසඳුම් නොලැබිණි. ජල සම්පාදන මණ්ඩලය හා සෞඛ්‍ය අංශ ප‍්‍රදේශයේ ළිං වලින් ජල සාම්පල ලබාගෙන පරීක්ෂණ කර ප‍්‍රකාශ කළේ එම ජලයේ ආම්ලිකතාව (පී.එච්. අගය* ඉතා පහළ මට්ටමක පවතින නිසා ඒවා පානය කිරීමට නුසුදුසු බවය. පානය කිරීම පමණක් නොව මේ ජලයෙන් ඇඟපත පවා සේදීම අහිතකර බවද එම අංශ ජනතාවට අනතුරු හැඟවූහ.
ජලය පානය කළ දරුවෝ බොහෝ දෙනෙක් ලෙඩ වූහ. එම ජලයෙන් ඇඟපත සේදු බොහෝ දෙනාගේ ඇඟ කසන්නට පටන්ගත්හ. විවිධ දද, කුෂ්ඨ වැනි රෝගාබාධ වැළඳිණි. තයිරොයිඞ් ග‍්‍රන්ථය ඉදිමීම වැනි රෝග පැතිරයන්නට පටන් ගත්තේය.
ජනතාව වීථි බැස්සේ මෙම පසුබිම මතය. පසුගිය 27 වැනිදා සෙනසුරාදා උදෑසන 7.30ට පමණ කොළඹxනුවර නව මාර්ගයේ රතුපස්වල හන්දියට පැමිණි දෙදහසක පමණ පිරිසක් එම මාර්ගයේ වාහන ධාවනය කිරීමට නොහැකි වන පරිදි මුළුමනින්ම හරස් කළහ. විරෝධතාව පටන්ගත්තේ එතැනිනි.
විරෝධතාව වැඩිවත්ම එම ස්ථානයට පොලිසිය පැමිණියේය. ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරුන් සමග ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඞී. කොමසාරු මහතාද එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් අමතා කථා කළද පලක් නොවිණි. පසුව පොලිස් අධිකාරිවරයා සමග උද්ඝෝෂකයන්ගේ නියෝජිතයන් කිහිපදෙනකු සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් සාකච්ඡා කළද එයින්ද පලක් වූයේ නැත. උද්ඝෝෂණයට නායකත්වය ලබාදෙමින් සිටියේ ගල්ඔළුව විහාරයේ විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ය. නැඳුන්ගමුවේ පාරම්පරික වෛද්‍යවරයකු වන ආසියාවේ උසම ඇත්රජුගේ හිමිකරුවා වන නැදුන්ගමුවේ හර්ෂ විජය වෙද මහතාද උද්ඝෝෂණයේ යෙදී සිටියේය. මෙම අවස්ථාවේදී උද්ඝෝෂණයට පැමිණි මහර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධූරයක් දරන හිමිනමකට ජනතාව දැඩි විරෝධය පා ජල බෝතල් වලින් පහර දුන් නිසා උන්වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කළේය.
පසුදින (28) උදෑසන සිට එතෙක් උද්ඝෝෂණය කළ පිරිස තව තවත් වැඩිවී රතුපස්වල මහජන ක‍්‍රීඩාංගණයට එක්රොක් වූහ. පෙරදින නව නුවර මාර්ගය පැය පහක් පමණ වසා සිටි උද්ඝෝෂකයන්ට පොලිසිය පොරොන්දුවූයේ ඉරිදා උදෑසන දේශපාලන බලධාරීන් ගෙන්වා සාකච්ඡුාවක් ලබාදෙන බවටය. එහෙත් ක‍්‍රීඩාංගණයට රැස්වී සිටි උද්ඝෝෂකයන් දහවල් 12 දක්වා දේශපාලකයන්ගේ පැමිණීම අපේක්ෂා කළද එය ඉටු නොවිණි. උද්ඝෝෂණයට නායකත්වය දුන් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ එදින දවල් 12ට මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
කර්මාන්ත ශාලාවේ නියෝජිත පිරිසක්ද පැමිණියහ.
නමුත් මෙම සාකච්ඡුා එතරම් වැදගත් එකක් නොවුනේ වගකිවයුතු දේශපාලන අධිකාරිය සහභාගි නොවූ නිසාය. කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරු ගණනාවක් ගම්පහ නියෝජනය කළද පවුල් පන්දහසකට පමණ ඇතිවී තිබෙන මේ දැවෙන ප‍්‍රශ්නය ඔවුනට එතරම් ප‍්‍රශ්නයක් වූයේ නැත. ජලය දුෂණය වන්නේ කුමන ගැටලූවක්දැයි සෙවීමට සහකාර දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කළද ඒ සඳහා සති දෙකක කාලයක් ගතවන බව ප‍්‍රකාශ විය.
දිසා ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවද අර්ථ විරහිත එකක් වූ බැවින් රතුපස්වල ක‍්‍රීඩාංගණයේ සිටි විරෝධතාකරුවෝ තව තවත් රැුඩිකල් වූහ. කර්මාන්ත ශාලාවෙන් මෙම හානිය සිදුවන බවට ඔවුන් කරුණු කාරණා රැසක් ඉදිරිපත් කරනු ලැබුවද කර්මාන්ත ශාලාව වසා නොදැමීම පිළිබඳව ඔවුන් කුපිත විය. පළමුව කර්මාන්ත ශාලාව වසාදමන ලෙසත්, දෙවනුව පිරිසුදු ජලය ලබාදෙන ලෙසත් ඔවුහු දිගින් දිගටම ඉල්ලා සිටියහ.
කර්මාන්ත ශාලාවේ සේවකයන්ට පිටව යන්නට නොහැකිවනසේ කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අසල විශාල පිරිසක් රැස්වී ටයර් පුළුස්සා දමමින් දැඩි නොසන්සුන් තත්ත්වයක් එම ස්ථානයේ ඇවිලී ගියේය. කුඩා දරුවන් කිහිල්ලේ ගසාගෙන උද්ඝෝෂණය කළ පිරිස ඉතා විශාල වූ නිසා පොලිසියටද දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීම බෙහෙවින් අසීරුවී තිබුණි. කුඩා දරුවන් පවා උද්ඝෝෂණයට එක්වෙමින් කියා සිටියේ තමන්ට ජලය ලබාදෙන ලෙසය. මේ පිළිබඳව කර්මාන්ත ශාලාවේ පාර්ශවය කියා සිටියේ ජලය දුෂණය වන්නේ තම කර්මාන්තශාලාව නිසා නොවන බවයි. කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කළමනාකරු උදිත සේනාරත්න මහතා පැවසුවේ තම කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාම නිසා ජාත්‍යන්තර සම්මාන පවා හිමිව ඇති ලොව හතරවැනි විශාලතම අස්වැසුම් නිෂ්පාදනාගාරය බවය. පරිසර ප‍්‍රතිචක්කීී‍්‍රයකරණ වැඩපිළිවෙල මෙහි හොඳින් ක‍්‍රියාත්මක වන බවද ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමේදී ඔහු පැවසීය.
මාරාන්තික උපවාසයේ යෙදී සිටින තෙරිපැහැයේ සිරිධම්ම හිමියන් ආහාර හා වතුර කිසිවක් නොගැනීම නිසා උන්වහන්සේගේ තත්ත්වය ක‍්‍රමයෙන් දුර්වලවන්නට විය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණ වතුර උගුරක් පොවන්නට උත්සාහ කළත් උන්වහන්සේ එය ප‍්‍රතික්ෂේප කළහ.
මේ අතර ජූලි 30 වැනි දින හවස්වන විට මෙම ගැටලූවට නිසි විසඳුමක් නොලැබේ නම් තමන් වහන්සේ ඇතුළු තවත් භික්ෂූන් පිරිසක් මාරාන්තික උපවාසයට එක්වන බව බැළුම්මහර සුචරිතවර්ධනාරාමාධිපති පොලොන්නරුවේ ධම්මානන්ද හිමියෝද උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියහ.
මුලින්ම මෙම ව්‍යසනය අනාවරණය වන්නේ රතුපස්වල සහ නැදුන්ගමුව යන ගම්මානවල පිදිංචි පිරිසකට ළිං ජලය පානය කිරීමෙන් පසු බඩ දැවිල්ල, විටින් වට උණ ගැනීම, බඩ ඉදිමීම, උගුර කැසීම වැනි රෝගාබාධ නිතර නිතර වැළඳී ඇති බැවින් ජලය නිසා එසේ වීද යන්න පිළිබඳ සැකකොට එම පිරිස් තම ළිං, ජලය ජල සම්පත් හා ජලප‍්‍රවාහන මණ්ඩලයට ගෙන ගොස් පරීක්ෂා කිරීමත් සමගය.
එහිදී ඔවුන්ට ලබා දුන් වාර්තා බොහොමයක පී.එච් අගය සදහන් වී තිබුණේ 4ත් - 5 ත් අතරය. ජාතික ජල ප‍්‍රවාහන මණ්ඩලය විසින් එම වාර්තා යටින් ලියා තිබුණේ මෙම ජලයේ ඇසිඞ් අන්තර්ගත බවත් බීමට ගන්නේ නම් සුදුසු පිළිවෙළකට පී.එච් අගය වැඩි කර භාවිත කළ යුතු බවකි. එහි යම් නිලධාරියෙකු අත්සන මෙන්ම මුද්‍රාවද තබා තිබුණි.
මේ සිද්ධිය කටින් කට ප‍්‍රදේශය පුරාම පැතිර ගිය අතර ඔවුන්ද තම ළිං ජලය ජල ප‍්‍රවාහන මණ්ඩලය වෙතද, විවිධ රසායනාගාර වෙතද රැුගෙන ගොස් පෞද්ගලික මට්ටමින් පරීක්ෂාකරද්දී එම වාර්තාද එසේම බව අනාවරණය විය.
එදින සවස ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ තිබූ සාකච්ඡාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතූළු ප‍්‍රදේශයේ දේශපාලනඥයින් පැමිණෙන බව කීවද පැමිණ සිටියේ ඉදිරිකීරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් රණතුංග මහතා ඇතුලූ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පමණි. ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට පැමිණ සිටි අතර අදාළ කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වයද පැමිණ සිටියේය.
ගම නියෝජනය කරමින් වෛද්‍යවරුන්ද, ඉංජිනේරුවන්, නීතිඳයින් සහ විද්වතුන්ද පැමිණ සිටි අතර මුල්ම සාකච්ඡාව නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර සිදුවිය.
මෙහිදී තත්ත්වය ඉතා උණුසුම් වූ අතර සමහර දේශපාලනඥයින් ජල සම්පත් හා ජල ප‍්‍රවාහන මණ්ඩලයට දෝෂාරෝපනය එල්ල කළේ ඔවුන් සැපයූ වාර්තාවල ”බීමට සුදුසු නැත යන්න” ලියා තිබු නිසා මෙම කලබලය ඇතිවූ බවය.
මෙහිදී එක් එක් ආයතන තම තමන්ට ඇඟිල්ල දිගු කරමින් සිටි නිසා ප‍්‍රශ්නය සඳහා සියලූ ආයතන එක්ව විසදුම් සෙවිය යුතු බව දිස්ත‍්‍රික් ලේකම් වරයා අවසානයේ පැවසීය.
මෙහිදී ජලසම්පත් හා ජල ප‍්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී එන්.කේ බංඩාර මහත්මිය පැවසූවේ මෙම ප‍්‍රදේශයේ ජල සාම්පල් 750 ක් පරික්ෂා කර ඇති බවත් හැම එකකම පී.එච් අගය තිබිය යුතු අවම අගය වන 6.5 ට අඩු බවයි. සුදුසු පිරිසුදු කිරීමක් කර පානය කළ යුතු බවත් කීවාය. මේ වන විට ග‍්‍රාම සේවක වසම් 20 ක මෙය පැතිරී ඇති බවත් කීවාය. මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කාර්යංශය පැවසූවේ වගුරු බිම් ආශ‍්‍රීතව පී.එච් අගය අඩුවන බවත් පොළවේ ඇති දෙයක් පසට එකතුවීම නිසා ජලයේ පී.එච් අගය අඩුවන බැවින් ඒ සඳහා පස් පරීක්ෂණයක් කළ යුතු බවත්ය. ඒ සඳහා සති දෙකක පමණ කාලයක් ගත වන බවද කීවේය.
මෙහිදී ජල කළමනාකරන පර්යේෂණ ආයතනයෙන් පැවසූවේ 2005 වසරේදී ශ‍්‍රී ලංකාවේ භූගත ජලයට අනාගතයේදී ඇති විය හැකි බලපෑම් පිළබඳ පර්යේෂණයක් කළ බවත් එහිදී අත්තනගලූ ඔය ආශ‍්‍රීත ජල පෝෂිත කලාපයේ පී.එච් අගය අඩු වෙන බව සොයා ගත් බවයි. එහි පර්යේෂණ වාර්තාව 2011 වසරේ අදාළ රජයේ ආයතන වල ඇති බවත් කීය. අවසානයේ තීන්දු වූයේ අදාළ සියලූ ආයතන වලින් පරීක්ෂණ වාර්තා සති දෙකක් ඇතුළත ලබා ගන්නා ලෙස කමිටුවක් පත් කිරීමයි. රාජ්‍ය ආයතන වලින් යම් යම් අඩුපාඩු සිදුවී ඇති බවද පිළිගත්හ.
ඡායාරූප සහ සටහන - දොම්පේ අජිත් මදුරප්පෙරුම, ගුවන්තොටුපල දීපා අධිකාරි