ජාතික ආණ්ඩු කාටද? කුමටද?


ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා ලබන සතියේ එනම් අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නට යන බව ඩේලි මිරර් පුවත්පත ඉකුත් සඳුදා වාර්තා කොට තිබිණි.

මෙය කට කතාවක් ලෙස නොව නිශ්චිත මූලාශ්‍ර සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් පළවූ පුවතක් හෙයින් එය බැරෑරුම්ව සැලකීමේ වරදක් නැත. ජනාධිපතිවරයා තමන් සමඟ මෙම අදහස පළ කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන තුනක පමණ වූ විස්තීර්ණ මූල්‍ය පහසුකමක් සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇති කරගත් එකඟතාව පිළිබඳ විවාදය ලබන අඟහරුවාදා (අප්‍රේල් 25) පැවැත්වෙන බවත් එහිදී ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවලට මෙම ආරාධනාව කරන්නට යන බවත් ගනේෂන් මහතා ප්‍රකාශ කොට තිබිණි. ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ තමන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක දී යැයි ද ගනේෂන් මහතා ප්‍රකාශ කොට තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් දැන් පවතින්නේ ද ජාතික ආණ්ඩුවකි. පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පක්ෂය වෙනත් පක්ෂ සමඟ ගොඩ නගන ආණ්ඩුව ජාතික ආණ්ඩුව කැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවසයි. එහිදී වෙනත් පක්ෂ වෙනුවෙන් බහු වචනයෙන් සඳහන් වුවද එක් පක්ෂයක් තිබුණ ද ඒ ජාතික ආණ්ඩුව වලංගු වේ. එසේම එම අනෙක් පක්ෂයට එක් මන්ත්‍රීවරයකු සිටිය ද එය වලංගු වේ.

දැනට පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසින් හවුලේ පවත්වාගෙන යනු ලබන ආණ්ඩුවකි. එහි එජාප නියෝජනය කරන්නේ එම පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන එජාප සභාපති වජිර අබේවර්ධන මහතාය.

ඒ අනුව ජනාධිපතිවරයා අලුතින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නීතියෙන් අවශ්‍යතාවක් නැත. එහෙයින් ජනාධිපතිවරයා මෙමඟින් එජාපයෙන් කැඩී ගොස් සමඟි ජන බලවේගය පිහිටුවා ගෙන සිටින පිරිස යළි තම නායකත්වය යටතට ගැනීමට උත්සාහ කරන බව පෙනේ. ඔහු මෙම කාරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් වූ ජාතික ජන බලවේගය ගැන  නම් සිතන්නටවත් නැත. මන්දයත් ජවිපෙ කෙසේවත් වත්මන් ආණ්ඩුවට එක් නොවන බව ඉතා පැහැදිලිය.

සමඟි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට යන බවට පසුගිය සති කිහිපයක් තිස්සේ විවිධ කට කතා පැතිර යයි. ඇතැම් ඒවා කටකතාම නොව බොහෝ දුරට සිදුවිය හැකි ඒවා බව ද පෙනි යයි. යම් යම් විවේචන සහිතව වුවද සජබ මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන්  වික්‍රමරත්න හා කබීර් හෂිම් යන මන්ත්‍රීවරු දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කරනු ලැබ ඇති වැඩපිළිවෙළ අගය කරති. ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ප්‍රතිපත්තිම යැයි ද ඔවුහු පවසති. ඔවුන් ආණ්ඩුවට එක්වනු ඇතැයි මතයක් පැතිර පවතින්නේ ඒ නිසාය.

එහෙත් තමන් තුළ එවැනි අදහසක් නැතැයි ඒ තිදෙනා පවසති. ජනවරමක් නැති ආණ්ඩුවකට තමන් එක්වන්නේ නැතැයි හර්ෂ ද සිල්වා මහතා පසුගිය බදාදා ජනමාධ්‍යයනට පැවසීය. ජනවරම නම් දේශපාලනඥයන්ට එතරම් වැදගත් නැත. එහෙත්  පසුගිය මාස දෙකේ කරනු ලැබූ ජනමත විමසුම් දෙකකදීම ජවිපෙ හා සජබට ඉතා ඉහළ ජනප්‍රසාදයක් තිබුණු අතර පොදුජන පෙරමුණට හා එජාපට තිබුණේ සියයට 4ක පමණ ඉතා සුළු ජනප්‍රසාදයකි. අනෙක් කාරණය නම් ආණ්ඩු පාක්ෂිකයන් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට ආධාර දෙන්නට එකඟ වූ දිනයේ රතිඤ්ඤා පත්තු කොට ප්‍රීති වුව ද එම වැඩපිළිවෙළේ ඉතිරි කොටස ඉතා දුෂ්කර ගමනක් බව ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති ඒ තිදෙනා දනිති.

ඒ අනුව දැන් ආණ්ඩුවට එක්වී තම දේශපාලන අනාගතයට හානි කරගත යුතුදැයි සිතා ඔවුන් ජනවරම ගැන කතා කරනවා විය හැකිය.

කෙසේ වෙතත් කළුතර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නම් ආණ්ඩුවට එක්වීමට එක පයින්ම කැමැත්තෙන් සිටින බව පෙනේ. එහෙත් ඇමැතිකමක් නොලැබෙන්නේ නම් ඔහු ද එසේ ආණ්ඩුවට එක් නොවනු ඇත. ඔහුට ඇමැතිකමක් දෙන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේම පොදු පෙරමුණේ මන්ත්‍රීවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාට ද ඇමැතිකමක් දිය යුතු යැයි පොදුජන පෙරමුණ කියා සිටින බව ද වාර්තා වේ.

මෙය ඇමැති ධූර වැනි තනතුරු සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගේ ආකල්පය පෙන්වන්නකි. ඔවුනට ඇමැතිධූරයක් යනු මන්ත්‍රීවරයකුගේ සුදුසුකම් අනුව ඔහුට රට ගොඩ නැඟීම සඳහා පැවරෙන වකීමක් නොව ඔහුට මහජන මුදලින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීම සඳහාත් මහා පරිමාණයෙන් ධනය ගොඩ ගසා ගැනීම සඳහාත් මඟ පාදන සන්තෝෂමකි.

කෙසේ වෙතත් සජබයෙන් තනි තනි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමේ අදහසක් ජනාධිපතිවරයා තුළ නැතැයි කියැවේ. පුද්ගලයන් වශයෙන් නොව පක්ෂ වශයෙන් විපක්ෂයේ පක්ෂ ආණ්ඩුවට එක් විය යුතු යැයි ජනාධිපතිවරයා පැවසූ බව පසුගිය දා වාර්තා විය. තමන් අත්හැර ගොස් සජබ පිහිටුවා ගත් තම පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වය හා බිම් මට්ටමේ සාමාජිකත්වය යළි තමන්ට අවනත කර ගැනීම එමඟින් ඔහු අපේක්ෂා කරන බව පෙනේ.

ලබන වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට තරග කළ හැකි වන්නේ එසේ බලය ගොනුකර ගැනීමෙන් පමණි. වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂක වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේ තරග කරනු ඇතැයි මතයක් පැතිර පැවතුණ ද දැනට පෙනෙන අන්දමට නම් එහි සම්භාවිතාව ඉතා අඩුය. රාජපක්ෂවරුන් ඔහුගෙන් තමන්ට අවශ්‍ය දේ කර ගත්ත ද ඔහුට දිගට ජනාධිපතිධුරය දරන්නට ඉඩදී තම පරම්පරාවේ අනාගතයට හානි කරගන්නට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය.

අනෙක් කාරණය නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ධුර කාලය අවසන්වීමට පෙර තවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාව අනුව අවසර නැති වීමයි. ඒ අනුව වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ධුරය සඳහා තරග කරන්නේ නම් එසේ කළ හැක්කේ 2024 අවසානයේදීය. ඒ වනවිට ජනමතය කෙසේ වෙනස් වී තිබෙනු ඇත්දැයි කිව නොහැකිය. ආණ්ඩුව පෙන්වන තරමට මූල්‍ය අරමුදලෙන් යමක් වේවිදැයි දැන්ම කීමට ද නොහැකිය.

දැනට එජාපයේ ඡන්ද පදනම අනුව සජබ හෝ පොදුජන පෙරමුණේ හෝ සහයෝගයෙන් තොරව එජාප ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්  එහි ප්‍රතිඵලය 2020 මහ මැතිවරණයේ දී ලැබූ ප්‍රතිඵලය හෝ ඊට වඩා ඉතා සුළු වෙනසක් ඇති ප්‍රතිඵලයක් වනු ඇත. ආර්ථිකය සෑහෙන පමණ යහපත් වී එය ජනතාවට දැනුණේ නැත්නම් ලබන වසරේ අග භාගය වනවිට පොදුජන පෙරමුණේ ඉරණම ද ඊට සමානවනු ඇත. ඒ අනුව සජබ දිනා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහය තේරුම් ගත හැකිය.

 කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් නැතුවා නොවේ. රටේ ආර්ථික අර්බුදය තවමත් එසේමය. මූල්‍ය අරමුදලේ විසඳුම බරපතළ බුද්ධි ගලනයකට හේතු වී ඇති බවක් ද පෙනේ. මෙය සාමුහිකව විසඳිය යුතු ප්‍රශ්නයක් වුවත් එවැනි දේශපාලන සාමුහිකත්වයක් අවංකව ක්‍රියාත්මක වීමට තරම් පොදු වැඩ පිළිවෙළක් ඇතිකර ගත හැකිද යන්න ගැටලුවකි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාවට නැංවීම එතරම් පහසු කටයුත්තක් නොවේ. සජබ හා පොදු පෙරමුණ යන පක්ෂ දෙකම එවැන්නකට එක්වේද යන්න සැක සහිතය. ජවිපෙට ජන පදනමක් දැන් ගොඩනැඟී තිබුණ ද එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන තුනකි. දැනට ජනාධිපතිවරයාගේ ශක්තිය පොදුජන පෙරමුණයි. ශක්තිමත් විකල්පයක් නැතිව ඔහුට එය අත් හළ නොහැකිය.

ආණ්ඩුවට එක්වීමෙන් ලැබෙන පෞද්ගලික වාසි නිසා සජබ බොහෝ දෙනා එසේ එක්වීමට කැමැති වනු ඇත. එහෙත් දුරදිග සිතන අය ඒ සඳහා දෙවරක් සිතන්නට ඉඩ තිබේ. මෑත කාලීන ජනමත විසමසුම් අනුව ජවිපෙ හා සජබ සිටින්නේ බොහෝ ඉදිරියෙනි. සෞඛ්‍ය හා සමාජ ක්‍රම වර්ධනය සඳහා වූ ස්වාධීන පර් යේෂණ ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IPH) පසුගිය මාසයේ පැවැත් වූ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයේ (SLOTS) ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනප්‍රසාදය සියයට 43ක් විය. සජබ සියයට 30 ජනප්‍රසාදය දිනා සිටි අතර පොදුජන පෙරමුණට හා එජාපයට ලැබුණේ සියයට 4ක ජනප්‍රසාදයකි. මෙය පැහැදිලිවම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයකි.

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල හා ඒ සමඟම තෙල්මිල අඩු වී බස් ගාස්තු ද අඩුවීම ඒ තත්ත්වය වෙනස් කළාද යන්න පැහැදිලි නැත. තෙල් මිල අඩුවී බස් ගාස්තු තරමක් අඩු වුව ද ඒ  සියල්ල යටපත් කරන තරමේ විදුලි බිලක් මේ වනවිට සෑම නිවසකටම ලැබී තිබේ. වෙනත් භාණ්ඩ මිල අඩුවී ද නැත. බදු ප්‍රශ්නයේ හරි වැරැද්ද කුමක් වුවද එය මධ්‍යම පන්තියට තදින් දැනී තිබේ.

පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මෙරට අති බහුතරය සිටින්නේ දෙගිඩියාවෙනි. ඒ පිළිබඳව කාලයක් තිස්සේ ගොඩ නඟනු ලැබ ඇති මතය අනුව ජනතාව ඊට එකඟ නැත. එහෙත් එම ආයතනවල ඉහළ සිට පහළට ප්‍රසිද්ධියේ කෙරෙන දූෂණ හා එම ආයතනවලින් සේවය ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා හා අවමානයන් නිසා බොහෝ දෙනා ඒවා පෞද්ගලීකරණය කිරීමට ද එකඟ වෙති. වෘත්තීය සමිතිවලට ඒවා අදාළ ද නැත.

මේ කරුණු සැලකිල්ලට ගන්නා විට සජබ බොහෝ දුරට ආණ්ඩුවට එක් නොවීමට ඉඩ තිබේ. එසේම පක්ෂයක් වශයෙන් එන්නැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය අනුව එය තවත් දුෂ්කර විය හැකිය. එහෙත්  මහින්ද රාජපක්ෂ මහතා මෙන් තනි තනිව සජබයෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගත හොත් සජබයට ඇතැම් විට පක්ෂය බේරා ගැනීම සඳහා ආණ්ඩුවට එක් වීමට සිදුවිය හැකිය. මෙය තම පළමු ජනාධිපතිධූර කාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට කළ දෙයකි. එහෙත් සජබ ආණ්ඩුවට එක්වුව ද ආණ්ඩුව රට ගොඩ ගැනීම හා ගොඩ නැඟීම සඳහා කරනු ඇත්තේ දැන් කරන දේමය. වැදගත් වන්නේ එම වැඩ පිළිවෙළ ජනතාවගේ ප්‍රශ්න විසඳනු ඇත්ද යන්නයි.

(*** එම්.එස්.එම්. අයුබ්)