ජාතික ප්‍රතිපත්තිවල වැදගත්කම හඳුනාගනිමු


කොවිඩ් ව්‍යසනය විසින් ලොවේ බොහොමයක් රටවල ආර්ථිකය හපකර දමනු ලැබීය. අපේ රටට ද එයින් ගැලවීමක් නොවීය.  එහෙත් හපවූ ආර්ථිකයක් හිමි වූ රටවල් අතුරින් බොහොමයක් යළිත් හිස ඔසවා තිබේ. එය එකවරම සිදුවූවක් නොවේ. කොවිඩ් වසංගතයට මුළු ලෝකයම යටවී වසර දෙකක් ගෙවෙන විට ආර්ථික කඩාවැටීම් මැද එසේ හිස එසවූ රටවල් යථා තත්ත්වයට පත්වීමද ක්‍රමානුකූලව හැඩ ගස්වාගෙන තිබිණි. ධනවත් රටවල් පමණක් නොව ධනවත් නොවන රටවල් ද මේ වන විට ආර්ථික වශයෙන් කිසියම් හෝ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වී සිටී. එහෙත් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අඳුරේ අතපත ගාමිනි.

ශ්‍රී ලංකාව මේ ඉරණමට මුහුණදී සිටියත් ඒ එකවරට ඇති වූ තත්ත්වයක් හේතුවෙන් නොවේ. දශක ගණනාවක් තිස්සේ වෙනස් නොවන ආර්ථික  රටාවකට හැඩගැසීමේ අනිටු විපාක හේතුකොට ගෙනය. මෙය ලෝකයේ ඕනෑම රටකට මේ තත්ත්වයට මුහුණදීමට සිදුවෙයි. ණය ලබා ගැනීම ආර්ථිකයේ එකම  ප්‍රාණ වායුව කර ගත් විට ණය ලබා ගැනීමේ මාර්ග අවහිරවෙන විට ආර්ථිකයේ හුස්ම හිරවීම බලාපොරොත්තු විය යුතුය. දැන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ එම තත්ත්වයටය.

මේ රටේ බොහොමයක් ආණ්ඩු බලයට පත් වන්නේ විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට වන පොරොන්දු පත්‍රයක්ද සමගිනි. ආහාර මිල අඩු කරන, විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා ලබා දෙන, ගොවීන්ට පොහොර අඩුමිලට නැතහොත් නොමිලේම ලබාදෙන, ජනතාවගේ අතමිට සරුකරන ආකර්ශනීය පොරොන්දු  අතරේ දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ද තිබේ. මෑත කාලීනව ගතහොත් වත්මන් රජය බලයට පත්වන්නේ රටට දේශපාලන සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව කියමිනි. ජාතික ආරක්ෂාව ද ප්‍රමුඛ මාතෘකාවක් විය. ඊට පෙර පැවති යහපාලනය බලයට පැමිණියේ හොරුන්, වංචාකරුවන් නැත්තටම නැති කරන බවට ප්‍රතිඥා දෙමිනි.

මෙවැනි උදාහරණ පසුගිය දශක දෙක තුන තුළින් ඕනෑ තරම් සොයාගත හැක. මේ සියලු පොරොන්දු අතදිගහැර ලබාදී ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු සියල්ලටම පාහේ හරිහැටි ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබිණි. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජාතික ආරක්ෂාව ද ස්ථිර ප්‍රතිපත්තියකට ගොනුකර ගැනීමට තවමත් අපි අසමත්ව සිටිමු. ආණ්ඩු බලයට පත්වන හැම වාරයකදීම මේ ක්ෂේත්‍ර හැම එකකම ගැටලු මතුවීමට එය ප්‍රධාන හේතුවක් වී තිබේ.

ප්‍රතිපත්ති ස්ථිර නොවන විට ආණ්ඩු මාරුවන හැම අවස්ථාවකදී රට වෙනස් වෙයි. මේ වෙනස්වීම් රටේ ආර්ථිකයේ යහපතට වඩා අයහපතට හේතු වී ඇති බව දැන් රට තුළ පවතින තත්ත්වය දැඩිව පෙන්වා දෙයි. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රටේ ආර්ථිකය කඩාවැටුණු බව සැබෑවක් වුවද එයින් ගොඩඒමට අපට නොහැකි වූයේ මෙතෙක් රට මෙහෙයවා ඇති සියලු ආණ්ඩු මගින් රටේ ආර්ථිකයට ස්ථිර පදනමක් දැමීමට අපොහොසත් වී තිබීම හේතුවෙන් බව පිළිගත යුතු වෙයි. අපට නොහැකි වෙද්දී ආසියාවේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් තමන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට සමත් වූයේ මේ හේතුවෙනි. වියට්නාමය, මැලේසියාව වැනි රටවල් ද එසේමය. අපේ රට අද ඉන්දියාවෙන් පමණක් නොව බංග්ලාදේශයෙන් පවා ණය ඉල්ලන තැනට ආර්ථික වශයෙන් වැටී ඇත්තේ ප්‍රතිපත්තිවල වැරැද්දෙන් බව අවබෝධ කර ගැනීමට ආර්ථික විශාරදයකු වීම අවශ්‍ය නැත.

දේශපාලන පක්ෂවලට බලය ලබා ගැනීම සඳහා ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, විදේශ සහ ජාතික ආරක්ෂාව වැනි විෂයන් යොදා ගැනීම හේතුවෙන් රට බංකොලොත් වන තත්ත්වයකට අද පත්ව තිබේ. මෙයින් ගැලවීමට නම් කෙටි කාලීන විසඳුමක් වශයෙන් මුල්‍ය අරමුදල හෝ වෙනත් මාර්ගයකින් හෝ රට තුළට ඩොලර් ලබාගැනීම අවශ්‍යය. දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් මේ වැදගත් ක්ෂේත්‍රවලට ජාතික ප්‍රතිපත්ති හඳුන්වාදීම අත්‍යවශ්‍යය. එසේ ප්‍රතිපත්ති සැකසීමේදී හෝ තිබෙන ප්‍රතිපත්ති වර්තමානයට ගැළපෙන සේ ප්‍රතිසංස්කරණ කිරීමේදී හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීම සිදුවිය යුතුය. එවැනි සාමුහික වගකීමෙන් තොරව සකස්කරන ප්‍රතිපත්ති මඩේ සිටුවන ඉනි බවට පත්වෙයි. ආණ්ඩුවක් මාරු වූ විගසම ප්‍රතිපත්ති ද ගැලවී යයි. එය නොසිදුවිය යුතුය.

 ඉන්දියාවේ ආර්ථික ප්‍රතිපත්තිය, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති මීට ඉතාම බලවත් උදාහරණ වෙයි. ආණ්ඩු වෙනස්වූ පමණින් මේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. එම ප්‍රතිපත්ති කාලානුරූපව රටේ අවශ්‍යතාවලට ගළපා ගැනීමට ඕනෑම ආණ්ඩුවකට අයිතිය තිබුණත් ඒවායේ මූලික හර පද්ධති වෙනස් වන්නේ නැත. මේ නිසාම  එම …රටවල හැම ආණ්ඩුවක් යටතේම ලබන්නේ වර්ධනයකි.

අපේ රටේ ස්ථිර ජාතික ප්‍රතිපත්ති සැකසීමට බලයට පත්වන ආණ්ඩු අකැමැති වන එක හේතුවක් වන්නේ එය බඩගෝස්තරවාදී දේශපාලනයට බාධාවක් වන බැවිනි. සොරකමට, දූෂණයට, වංචාවට ඉඩක් නොලැබෙන බැවිනි. එම වැරදි සිදුකර අසුවන අයට නීතියෙන් දඬුවම් ලබාදීම ද එම ප්‍රතිපත්තිවලම කොටසක් බැවිනි. ඉන්දියාවේ සමහර ඇමැතිවරුන් ධුරයේ සිටියදීම සිරගත වූ අවස්ථා යෙදුණේ එම ප්‍රතිපත්තිවල මහිමයෙනි. අපේ රටේ නම් එවැන්නක් අසන්නටවත් නැත.

ශ්‍රී ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩගැනීමට දැන්වත් වෙනස් නොවන ප්‍රතිපත්තිවලට අනුගත විය යුතු බව සඳහන් කළ යුතු ය.

(***)