ඊනියා ජාතික ලැයිස්තුව සඳහා වූ ප්‍රතිපාදන හඳුන්වාදෙන ලද්දේ 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. 1978 ව්‍යවස්ථාවේ 62 වැනි වගන්තිය 1988-5-28 දින සංශෝධනය කරනු ලැබිණි. මෙම වගන්තියට අනුව මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මන්ත්‍රීවරුන් 196 කි. ඊට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද කොට්ඨාස 160 ක් නියෝජනය කරනා ආසන 168 ක් තිබිණි. මෙකී වගන්තිය අනුව එම සංඛ්‍යාව 28 කින් වැඩි කරනලදී.
14 වැනි සංශෝධනයෙන් මන්ත්‍රී සංඛ්‍යාව 196 සිට 225 දක්වා වැඩි කරන ලදී. එහි මෙසේ දැක්වේ.
‘‘1978 ව්‍යවස්ථාවේ 62 වැනි ඡේදය මේ මගින් සශෝධනය කරනු ලැබේ. එම ඡේදයේ (1) වගන්තිය ඉවත්කොට ඒ වෙනුවට පහත උපවගන්තිය ඇතුළත් කරනු ලැබේ.’’
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව තේරී පත් වන මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනෙකුගෙන්, පාර්ලිමේන්තුව සමන්විත වනු ඇත.
මෙහි 225 දෙනකු තේරීපත්වන බව කියවුණද ඇත්තෙන්ම එහි ඇත්තේ තේරීපත්වන මන්ත්‍රීන් 196 දෙනකු පමණි. ඉතිරි 29 දෙනා පැමිණියේ 14 වැනි සංශෝධනයෙන් 8 වැනි වගන්තිය ප්‍රකාර හඳුන්වාදුන් ජාතික ලැයිස්තුවෙනි. මෙම සංශෝධනය අනුව තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කරන්නට මැතිවරණ කොමසාරිස්වරයාට ප්‍රතිපාදන සැපයුණේය.
එසේ පත්කළ යුතු වූයේ ඒ ඒ පක්ෂ විසින් ඉදිපත් කළ ලැයිස්තුවකට අනුවයි. එම ලැයිස්තුව නාමයෝජනා භාර දෙන අවස්ථාවේ පක්ෂ විසින් භාර දිය යුතුය. මැතිවරණයේදී එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අනුව පක්ෂ ලැයිස්තුවෙන් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය වේ. ඔවුන් තරඟකිරීමට නාමයෝජනා කරන අපේක්ෂක ලැයිස්තු වලට පිටින් පක්ෂවලින් නම් කරන නිසා ඒ අය කිසිසේත්ම මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් තේරී පත්වන්නෝ නොවෙති. එම නිසා 14 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කියැවෙන පරිදි පාර්ලිමේන්තුවට 225 ක් තේරී පත්වන බව කීම නිවැරදි නොවේ. මෙය වසරකට පෙර ක්‍රියාත්මකව තිබූ රටේ ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝණය කිරීමක් වූයේය. ඔවුන් 29 දෙනා පත්කළ මන්ත්‍රීවරුන් වශයෙන් හැඳින්විම වඩාත් හොඳ නිසියාකාර යෙදුමයි.
මැතිවරණ උදෙසා නාමයෝජනා භාර දෙන අවස්ථාවේ ඉදිරිපත් කළයුතු අපේක්ෂකයන් 29 දෙනාගේ ලැයිස්තුවෙන් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබන ඡන්ද සංඛ්‍යාව අනුපාතය අනුව මැතිවරණ කොමසාරිස්වරයා මෙම මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඒ ඒ පක්ෂ වලට වෙන්කර දියයුතු බව ඉහත කී සංශෝධනයෙන් කියැවේ. ඒ අය ඍජුවම ජනතා ඡන්දයෙන් පත් වන මන්ත්‍රීන් නොවුවද දේශපාලන පක්ෂවලට තමන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන් පත් කර ගැනීමේ හැකියාව ලැබේ. ඇත්තෙන්ම මෙය හොඳින් ගෙතූ බොරුවකි. මෙහිදී ඉවහල් කරගත් ක්‍රියාවලිය, නීතිවිරෝධී ක්‍රම වේදයකට නිත්‍යානුකූල නාමය ලබාදෙන, ජේ.ආර්. ගේ වංචාකාරි හා පීඩාකාරි උත්සාහයකි. ජනතාව වෙත පැවරී ඇති ස්වාධීපත්‍ය උල්ලංඝණය කොට දේශපාලන පක්ෂවල හිතවත් උදවිය පස්සා දොරින් පාර්ලිමේන්තුවට රිංගවීම සඳහා ජේ.ආර්. මෙම ක්‍රමය නිර්මාණය කළේය. මේ තම බලය සහ ශක්තිය පාර්ලිමේන්තුව තුළ වැඩිකොට තහවුරු කර ගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ගැසූ තවත් දූෂිත දේශපාලන උප්පරවැට්ටියකි.
1970වන විට පැවැති ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා පත්වන මන්ත්‍රී සංඛ්‍යාව මේ නිසා 57 කින් වැඩි වූයේය. ජේ.ආර්. විසින් බදු ගෙවන්නාගේ හිස මත තැබූ පළමු අමතර භාරය මෙයයි. ඒ මගින් ජනතාවට කිසිදු වාසියක් අත් නොවුයේය. මේ අනුව ජාතික ලැයිස්තුව හඳුන්වා දීම ඇත්ත වශයෙන්ම හිතාමතාම කළ වරදකි.
විවිධ දේශපාලන පක්ෂ වලින් මෙවර ඉදිරිපත් කොට ඇති ජාතික ලැයිස්තු පිරිසක් බැලිමේදී මේ ක්‍රමයේ විරූපී බව ඔබට සාක්ෂාත් වනු ඇත. ආත්මාර්ථකාමී දේශපාලන පක්ෂ නායකයන් මෙය කොතරම් දුක්ඛිත මට්ටමකට ඇද දමා ඇතිද යන්නත් එමගින් පැහැදිලිවේ. ළඟ එන මැතිවරණයේදී රටේ කොහේ හෝ කිසිම ආසනයක් දිනා ගැනීමේ හැකියාවක් නැති තිස්ස අත්තනායක නායකත්වය දරන සජිත්ගේ සමගි ජන බලවේගයට විශේෂයෙන්ම මෙම කියමන අදාළවේ. හරීන් ප්‍රනාන්දුද මේ නිග්‍රහයට ලක්වන්නෙකි.
එජාප ජාතික ලැයිස්තුව දෙස බැලුවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටියයුතු වඩාත් වැදගත්ම නීතිසම්පාදකයකු සේ එහි ඉහළින්ම ජෝන් අමරතුංග ගේ නම වැඩඹෙනු පෙනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුව මෙවර තරමක් වෙනස්ය.
මේ රටේ ජනයාගේ ජීවිතය වෙනුවෙන් ජාතික ලැයිස්තුවට නම්කොට අැති අය කුමන මෙහෙවරක් කර ඇත්තේද යන්න විමතියට කරුණකි.
අවාසනාවකට ශාන්තිනී කෝන්ගහගේ විසින් කළ කෙටි සඳහන් කිරිමක් හැරෙන්නට මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිටතින් හෝ එහි ඇතුලතින් කිසිවකු සටන් වදින්නේ නැත. එම නිසා අගෝස්තුවේ පිහිටුවනු ලබන ඊනියා සභාවටද ඇතුළත් වන්නට අනවශ්‍ය පරපෝෂිත දේශපාලන හෙන්චයියන් 29 දෙනකුට දොර විවර කොට තිබේ. එමගින් දේශපාලකයන්ගේ වාසියට පමණක් හේතුවන ආකාරයට බදු ගෙවන්නන්ගේ කරපිට තවත් බරක් ගොඩ ගැසේ.
මා සිතන ආකාරයට ජාතික ලැයිස්තුවට මුල්වූ කාරණාව වන්නේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තුවට නම් කිරීමේ හැකියාව තිබීමයි.
1977 දක්වා පැවැති මේ ක්‍රමයේ ධනාත්මක හා ඍණාත්මක යන දෙආකාරයේම (මිශ්‍ර) ප්‍රතිඵල තිබිණි. ජෙනිංග්ස් මෙම ඉඩප්‍රස්ථාව තැබුවේ වෙනම අරමුණක් උදෙසාය. එහි නිර්ව්‍යාජ වූ වෙනම අභිප්‍රායක් තිබිණි. මැතිවරණයෙන් තරඟ කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නොහැකි නියෝජිතයකුට ඉඩ තැබීම එක් අරමුණකි. මුල් කාලයේ එසේ පත් කළ මන්ත්‍රීවරු සුදු ජාතිකයෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ මගින් වෘත්තිය සමිති නායකයන්ට සහ සුළු ජාතික නියෝජිතයන්ට අවකාශ සැලසුණේය. එමගින් දේශපාලන පක්ෂ වලට තමන් නියෝජනය කරන ප්‍රජාවගේ සිත් දිනාගැනීමට හැකිවිය. ඔවුන් පත් කළේ නීති සම්පාදනය කිරීමේ හැකියාව වරිධනය කිරීමේ පදනමින් නොවේ.
ජේ.ආර්. ගේ ජාතික ලැයිස්තුව සකස් කොට තිබුණේ පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි තමාගේ ප්‍රියතමයන් ඊට ඇතුළත් කර ගැනීම උපායශිලීව කරගැනීමටයි. ඔවුන්ට මැතිවරණයට මුහුණ දීමට ඇති බිය පසෙක තබා මහජන කැමැත්තට එරෙහිව සුව පහසු ජීවිත ගතකිරීමේ හැකියාව එයින් උදාවූයේය. 1978 ව්‍යවස්ථාඩවට සංශෝධන 16 ක් ගෙන එන්නට ජේ.ආර්. ඔවුන්ව භාවිත කළේ එය බලගන්වා අවුරුදු 2 ක් ඉක්ම යන්නටත් පෙරයි.
එසේ කරනු ලැබුවේ එජාපයේ වාසිය උදෙසාමය. වැටුප් ඉහළ දැමීම්, අවුරුදු පහකින් ලැබෙන පූර්ණ විශ්‍රාම වැටුප් තීරුබදු රහිත වාහන, බාර් පර්මිට්, රජයේ කොන්ත්‍රාත් වෙනත් මුල්‍ය වාසි වැනි අනන්ත වාසි සහ වරප්‍රසාද දෙස බලන්න. නිරන්තරයෙන්ම ඔවුන් හරහා ඒ ඒ දිස්ත්‍රික්ක වල සිදුවන මූල්‍ය අවභාවිතාවන්ද බොහෝය.
ජනාධිපති සිරිසේන මෙකී ප්‍රතිපාදන 2015 දී අවභාවිත කරමින් පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප ඡන්ද සංඛ්‍යාව සදාචාර විරෝධී ලෙස වැඩි කරගත්තේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අයද පත් කර ගනිමිනි. එස්.බී. දිසානායක හා විජිතමුණි සොයිසා එයින් දෙදෙනෙකි.
දේශපාලන වශයෙන් ප්‍රතික්ෙෂ්ප වූවන් පක්ෂ හරහා පැරිෂුට් ලැයිස්තුවට ඇතුළත්වී ඇති ආකාරයෙන් මෙහි දූෂිත බව තවදුරටත් පෙනී යයි. සාමාන්‍යයෙන් ඒවායේ ඉහළින්ම ඇත්තේ
ජනතාවගේ යහපත උදෙසා නීති සම්පාදනයකට කිසිම අයුරකින් දායක නොවන පෞද්ගලික හිතවාදී කම් මත නම් කරන ලද පුද්ගල නාමය. මෙය විශේෂයෙන්ම එජාපයටත් සජිත්ගේ ජනබල වේගයටත් අදාලය. මේ අය පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්විය හැකි එකම ක්‍රමය නම් එම පක්ෂ වලට එකදු ඡන්දයක් හෝ නොදී හැරිමය. එවිට මේ විකටයන්ට තමන්ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගත නොහැකි වනු ඇත. ඒ ආකාරයට ඡන්ද දායකයන්ට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමේ මහඟු කර්තව්‍ය අගේට කළ හැකිය.
මැතිවරණයෙන් අනතුරුව තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම මී ළඟ රජය ජාතික ලැයිස්තුව කටුගා ඉවත්කළ යුතු බවට මම දැඩිව නිර්දේශ කරමි. ඒ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 150 ට අඩු කළ හැකිය. එමගින් රටට වියදම් දැරිය හැකි පාර්ලිමේන්තුවක් ලැබේ. ඊළඟ දශකයේදී නව රජය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් එහි ජනප්‍රියත්වය අතිශයින් වැඩිවන බව මට සහතිකය. එවිට නිදහස ලැබී අවුරුදු 72 කින් පසුව හා රටේ අවුරුදු 205 ක යටත් විජිත පාලනයෙන් පසුව අවම වශයෙන් ජනතා හිතවාදි රජයක් බිහිවනු ඇත.
(*** ආචාර්ය සුදත් ගුණසේකර)