ජාතික සභාවෙන් වැඩක් වෙයිද?


රටේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පසුගියදා පැවැත්විණි. එහෙත් එය ආරම්භයේදීම රටේ ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් අඩු තරමින් ඇතුළත ප්‍රශ්නවත් විසඳාගෙන නැති බවක් පෙනී ගියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සභාවට සහභාගි නොවන බව දැනුම් දී තිබිණි. ජාතික සභාවට සහභාගි වන්නේ ද යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදී ගන්නා බවත් ඔහු කළ ප්‍රකාශයේ සඳහන් විය. කෙසේ වුවද මංගල රැස්වීම සඳහා එම පක්ෂයේ නියෝජිතයන් දෙදෙනකු සහභාගි වී සිටි බව පැවසිණි.

ආණ්ඩු පක්ෂය සමඟ එක්ව මුලින් කටයුතු කළ ශ්‍රීලනිපය තදින්ම ප්‍රකාශ කර තිබුණේ ජාතික සභාවට නොයන බවය. විශාල කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමෙන් පසුව ජාතික සභාවක් ඇති කිරීමට යන බවත් එවැනි වැඩපිළිවෙළකට තම පක්ෂය දායක නොවන බවත් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද කියා කිබුණේ ජාතික සභාවට තම පක්ෂය සහභාගි නොවන බවය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ශ්වය ද දෙමළ ජාතික සන්ධානය ද සහභාගි නොවන බව කියා තිබිණි.

පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ මේ ජාතික සභාව රටේ ආර්ථික හා දේශපාලනික ගැටලු‍ විසඳීමේ අරමුණින් පිහිටුවා ගන්නා බව මුල සිටම ප්‍රකාශ විය. කතානායකවරයා සභාපති වන අතර අග්‍රාමාත්‍යවරයා ද, සභා නායක, විපක්ෂ නායක, ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ප්‍රධාන සංවිධායකවරු සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 35කට නොවැඩි සංඛ්‍යාවක් ද ජාතික සභාවට ඇතුළත් වෙති.

ජාතික සභාවට මුලපිරෙන්නේ රටේ ඇතිවූ දේශපාලන අර්බුදයේ ව්‍යාතිරේඛයක් වශයෙනි. එම අර්බුදය හේතුවෙන් රටේ හිටපු ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඉල්ලා අස්වූහ. එයින් අනතුරුව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයකින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයටත් දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් පත් කරගනු ලැබූහ. ඒ සමඟ ප්‍රකාශ වුණේ රටේ ඇතිවී තිබෙන බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් ඇතිකර ගන්නා බවය. ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ඇරියුම් ලැබිණි.

පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයට සම්බන්ධ වූ කොටස් කිහිපයකට ද පාර්ලිමේන්තුවෙන් පිටත සිට එම ක්‍රියාවලියට සහාය දක්වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් එය යථාර්ථයක් බවට පත්වූයේ නැත. සර්වපාක්ෂික ආණ්ඩුව සිතුවිල්ලකට පමණක් සීමා විය. ඒ වෙනුවට ජාතික සභාව පිහිටුවූ බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුව බිහිවීම වැළැක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතින් බවට චෝදනා නැගිණි. කොටින්ම තමන් අතේ තිබෙන දේශපාලන බලය සුළු වශයෙන් හෝ බෙදාගැනීමට කිසිම අනුමැතියක් ඔවුන්ගෙන් ලැබෙන බවක් නොපෙනිණි. ජනවරම තිබෙන්නේ තමන්ට බව ඔවුන් දරන මතයයි. එය සත්‍යයක් නමුත් සියල්ල උඩු යටිකුරු වී ගියේ තමන්ගේ ආණ්ඩුව විසින් ගනු ලැබූ බරපතළ වැරදි තීන්දු හේතුවෙන් බව ඔවුහු වුවමනාවෙන්ම අමතක කරති.

ජනතාව ඉල්ලා සිටි දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවට ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ රාජ්‍ය ඇමැති සහ කැබිනට් ඇමැති ධුරය. එවැනි තත්ත්වයක් තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීමත් විහිළුවකි. ජාතික සභාවට ද එවැනිම ඉරණමකට මුහුණ දීමට තිබෙන ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුර තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවය. එම තනතුරු තම පක්ෂයට ලබා දෙන බවට ප්‍රකාශ කළත් එය තවමත් ඉටු නොවී ඇති බවද ඔහු පෙන්වා දී තිබිණි. එම තනතුරු දෙක විපක්ෂයට ලබාදීමට ආණ්ඩුව නීතියෙන් බැඳී නැත. එහෙත් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට ආණ්ඩුව විපක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට යාමට තීන්දු කර තිබේ නම් එවැනි තනතුරු ලබාදීමෙන් ආණ්ඩුවට විපක්ෂයේ විශ්වාසය දිනාගත හැකිවනු ඇත.

විපක්ෂය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් රටට යා හැකි ඉදිරි ගමනක් නැති බව තවමත් ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් තේරුම්ගෙන නැත. රටේ ජනතාව තමන්ට විඳින්නට සිදුව තිබෙන දැඩි පීඩාකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් සිටින්නේ බරපතළ පීඩනයකය. අමාත්‍ය තනතුරු, රාජ්‍ය අමාත්‍ය තනතුරු තව තවත් ලබාදීමෙන් ඔවුන්ගේ ගැටලු‍ විසඳෙන්නේ නැත.

ජාතික සභාව පිහිටුවීමේ මූලික අරමුණ ජනතාව මුහුණදෙන ගැටලු‍වලට විසඳුම් සෙවීම මිස ආණ්ඩු පක්ෂයේ ප්‍රශ්න විසදා ගැනීම නොවේ. ආණ්ඩුවේ බලධාරීන් මේ තත්ත්වය සැබෑ ලෙස තේරුම් නොගතහොත් රටේ ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් රට බරපතළ ව්‍යසනයක් කරා තල්ලු‍වීම වළක්වාගත නොහැකි වනු ඇත. එවිට මොනම ජාතික සභාවකින්වත් වැඩක් නොවනු ඇත.

(***)