කොරෝනා දෙවැනි රැල්ලක් ඒවිද? මහ මැතිවරණය පැවැත්විය හැකිද? තුනෙන් දෙකක් ගතහැකිද යනාදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ‘2020 මැතිවරණ වේදිකාවට එක්වූයේ එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එම්.එස්.එම්. මොහොමඩ් මහතාය.
ප්‍රශ්නය - ඔබ රටේ ජනතාව දැනගත්තේ මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය හා ෆයිට් කැන්සර් ව්‍යාපෘතියෙන්. දේශපාලනයට බැස්සේ සමාජ සේවය අතහැරලා ද?
පිළිතුර - දේශපාලනය කියන්නේ මේ රටේ නරා වළක්. දෙසිය විසි පහ එපා අලුතින් සියයක් කියලා මහජන මතයක් දැන් තිබෙනවා. මහජන මතයක් එහෙම නිර්මාණය වුණේ පාර්ලිමේන්තුව එපා වුණු නිසයි. මම එහෙම පාර්ලිමේන්තුවෙන් පිට සිට හඬ නගන කෙනෙක්. මම යන්නේ දේශපාලකයකු හැටියට නෙවෙයි. මම කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ. මගේ පාර්ලිමේන්තු වැටුපත් මම බැර කරන්නේ පිළිකා අරමුදලටයි. මම මැතිවරණ සටනට අවතීර්ණ වුණේම පිළිකාව හා සටන් කිරීමට දේශපාලන බලය ලබාගැනීමටයි.
ප්‍රශ්නය - ඒත් ඔබම නරා වළක් හැටියට දකින දේශපාලනයට ඔබත් පය ගැහුවේ ඇයි?
පිළිතුර - රටවල් අටක ශාඛා පිහිටුවා සාමාජිකයන් එක්දහස් පන්සියයක දායකත්වයෙන් පිළිකාව සමග සටන් කරන ආසියාවේ බලගතුම කණ්ඩායම පිහිටුවන්නට අපට හැකි වුණා. ලංකාවේ ඉතිහාසගත වන ව්‍යාපෘති කිරීමේ ශක්තිය හා දැනුම අපට ලැබුණේ එමගින්. පිළිකාවට එරෙහි සටනේදී ලක්ෂ තුනකට අධික මිනිසුන් ධන පරිත්‍යාග කරමින් එක්සේසත් වුණේ මා ශ්‍රී ලාංකිකයකු හැටියට සලකායි. තවත් වසර පහකින් ලංකාවේ ජනතාවගේ අංක එකේ මාරයා වන පිළිකාව පරාජය කිරීම අපේ අරමුණයි. එහෙත් ජනතාව වෙනුවෙන් දියත් කෙරෙන මේ වැඩපිළිවෙළට විරුද්ධව දියත් වන ඖෂධ මාෆියාවත් දේශපාලන වශයෙන් එල්ල වන ප්‍රහාරත් අපි දුටුවා. හැම දවසකම අපේක්ෂා රෝහලට රෝගීන් තුන්දහසක් ප්‍රතිකාර සඳහා එද්දී හැත්තෑ හයදෙනෙක් අලුත් රෝගීන් හඳුනාගනිද්දී මේ ගැන ලංකාවේ දේශපාලන නායකයන් සංවේදී නෑ කියලා අපි දුටුවා. ආධාර ව්‍යාපෘතියක් සඳහා වුණත් ඇමැතිවරයා හෝ රෝහල් අධ්‍යක්ෂ මුණගැහෙන්නම මාස ගණනක් යනවා. ඉතින් පිළිකාව පරාජයට දේශපාලන බලය ලබාගැනීමට දියවන්නාව තරණය කළ යුතුමයි කියන තැනට අපට එන්න වුණා.
ප්‍රශ්නය - ෆයිට් කැන්සර් පදනමට හෝ පිළිකා රෝගීන්ට දේශපාලන පක්ෂයක් නෑ. එහෙත් ඔබ දැන් පක්ෂයක් තෝරාගෙන තිබෙනවා. මේක ඔබේ සටනට තල්ලුවක් ද? හානියක් ද?
පිළිතුර - ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ නෑ. එක්සත් ජාතික පක්ෂය තමයි මාව තෝරාගත්තේ. ඉන්පසු අපේ කණ්ඩායම සමග සාකච්ඡා කරලා මේ සටනට අවතීර්ණ වුණේ අපේම ප්‍රධාන ඉලක්ක දෙක ජයගැනීමටයි. ඇත්තටම ෆයිට් කැන්සර් පදනමට කලින් කදීජා පදනමේ සභාපති හැටියට අධ්‍යාපනය, සෞඛ්‍යය හා වැන්දඹුවන් වෙනුවෙන් අපි වැඩ කළේ වසර විස්සක් තිස්සේයි. පිළිකා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රය දුන්නෙත් කදීජා පදනමෙන්. ‘පණ දෙන පනහ’ නමින් අලුත් ව්‍යාපෘතිය ආරම්භ කළේ ෆයිට් කැන්සර් පදනමින්. දැනටමත් ඊට එකතු වූ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදල ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සුරක්ෂිතව තිබෙනවා.
ප්‍රශ්නය - කොළඹ කියන්නේ එ.ජා.ප.යේ බලකොටුවක් වුණත් අද වනවිට එ.ජා.ප.ය නියෝජනය කළ මුස්ලිම් ජාතික ප්‍රබල දේශපාලකයන් ඉන්නේ සමගි ජනබලවේගය සමගයි. එකම කණ්ඩායම ඇතුළෙම අභියෝගයක් ඇවිල්ලා නේද?
පිළිතුර - තරගයක් තිබෙන එක ඇත්ත. ඒත් එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා පිරිසක් සිටිනවා. ඔවුන් කැපුවත් කොළ. වෙනස් වෙන්නේ නෑ. මම අපේක්ෂකයකු හැටියට අලුත් වුණාට ජනතාව මාව පුද්ගලයකු හැටියට දන්නවා. ඔවුන් මට අභියෝගයක් නෙවෙයි. මොකද වසර ගණනක් තිස්සේ දේශපාලනයේ නිරත වෙලත් ඔවුන් කරපු දෙයක් නෑනේ. ඉතින් මට අවස්ථාවක් ලැබේවි කියලා මට විශ්වාසයි.
ප්‍රශ්නය - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ හරහා වාර්ගික ඡන්ද ආමන්ත්‍රණයට තවත් ඉඩක් තිබුණේ නැද්ද?
පිළිතුර - ෆයිට් කැන්සර් පදනමට කදීජා පදනමට පහරදෙන්න අන්තවාදීන් පාවිච්චි කළේ මගේ වාර්ගිකත්වය. මම මුස්ලිම් වුණාට ඉගෙනගත්තේ බෞද්ධ පාසලක. සියයට හැත්තෑපහක්ම ඉන්නේ සිංහල යාළුවෝ. අපි මේ පොළොවට ආදරෙයි. ඒත් ඇත්ත කිව්වොත් මේ වෙනකොට සිංහල මුස්ලිම් විරසකයක් මේ පොළොවේ ඇතිකරලා තිබෙනවා. හරි මුස්ලිම් ජන නායකයන් බිහි නොවීම මීට මූලික හේතුවයි. ජන නායකයන් යැයි කියාගන්න අයට තිබෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයි. එහි ප්‍රතිඵලය වුණේ මුස්ලිම් ප්‍රජාව ලංකාව තුළ අසරණ වී කොන්වීමයි. දැන් අලුත් පාර්ලිමේන්තුවටත් මේ පරණ සෙට් එකම මන්නාරමෙන් හෝ නුවරින් දිනලා ඒවි. එතකොට නැවත ප්‍රශ්නයක් ඇතිවෙන්න නොදී සමගි පාලමක් හදන්න අපි වගේ මිනිස්සුන්ට පුළුවන්. මිනිස් ශරීරයේ උපදින පිළිකාවත් සිතේ උපදින ජාතිවාදය නමැති පිළිකාවත් දෙකම පරාජය කරන්න මේ සමාජයට එවිට හැකිවේවි.
ප්‍රශ්නය - “අපට බුරියානි ඡන්දය අලියට කියපු කාලය ඉවරයි. අපට දැන් බුරියානි වගේම ඡන්දත් ලැබෙනවා” කියලයි අගමැතිවරයා නම් කියන්නේ?
පිළිතුර - නෑ. එහෙම වෙන්න හේතුවක් නෑ. කොරෝනාවලින් මියගිය අයට ආදාහනය වගේම භූමදානය දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලින් අවසර දුන්නා. ලෝකයේ අනෙක් රටවල් එකසිය අසූදෙකක් පිළිගත් ඒ නිර්දේශ ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නෑ. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට සිය නෑසියන්ගේ මරණවලදී ආගමික වතාවත් කරන්න දුන්නේ නෑ. අනෙක් අතට මුස්ලිම් ජන නායකයන් යැයි කියාගන්නා අයවත් මේ ගැන ලොකු හඬක් නැගුවේ නෑ. මේ නිසා මුස්ලිම් ජන සමාජයට ආණ්ඩුව ගැන ලොකු බියක් හා අවිශ්වාසයක් ඇති වී තිබෙනවා. ඉතින් ඡන්දය තියා බුරියානිවත් ලැබෙන්නේ නෑ කියන එක පැහැදිලියි.
ප්‍රශ්නය - මද්‍රසා පාසල්, කාති උසාවි, බුර්කාව සතියක් ඇතුළත තහනම් කරන්නැයි අපේ ජන බල පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා. සංහිඳියාව නිර්මාණයට යන ඔබට මේ ගැන ඇති අදහස මොකක් ද?
පිළිතුර - විශේෂයෙන්ම කිව යුත්තේ අන්තවාදයක් නඩත්තු වෙන්නේ තවත් අන්තවාදයක් මතයි. ඒ නිසා අප ශ්‍රී ලාංකිකයන් හැටියට සියලු අන්තවාද පරාජය කළ යුතුයි. මේක එක්වරම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. විදේශයේ සිට පැමිණි අන්තවාදයට මුස්ලිම් සමාජය පළි නෑ. හාමුදුරුවරු මෙහෙම එකපාරම කිව්වාම මුස්ලිම් සමාජයේ ලොකු කැළඹීමක් ඇතිවෙනවා. මුස්ලිම් සමාජය මේ තත්ත්ව ගැන හොඳ අවධානයකින් ඉන්නේ. ඒ නිසා සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුව තිබෙනවා. සිංහල ජනතාව අන්තවාදී නෑ. ඔවුන් සමග ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් විසඳාගත හැකියි. දේශපාලකයන් තමයි මේ රට විනාශ කරන්නේ. ඒක අපරාධයක්. මොකද එක්සත් වී නැගී සිටින්න අපට පුළුවන්.
(*** සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ)