ජීවිතයක් අහිමි කළ දුම්රිය අනතුර


මේ රටේ ජනතාව යනු කිසිදා ගෙවා නිමකළ නොහැකි මහා පාපකර්ම කර ඇති ජනතාවකි. ජීවිතය විඳවනවා හැරෙන්නට ජීවිතය විඳීමට කුඩාම හෝ අවස්ථාවක් ජනතාවට නැත. එකක් පසුපස එකක් වශයෙන් හඹා එන ප්‍රශ්න  සහ දුක් ගැහැටවලින් එම ජනයා මිරිකී-තෙරපී හෙම්බත්ව වී සිටිති. මේ සැහැසි ඉරණමෙන් මිදීමට ඇති මොහොතක් දිනයක් පෙනෙන තෙක් මානයේ නැත.

මෙම පෙරවදන, ඊයේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙනි. දුම්රිය රියැදුරු සංගමය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ආරම්භ කළේය. දුම්රිය රියැදුරු දෙවැනි පෙළට උසස්වීම් නොදීමේ ගැටලුවක් සම්බන්ධයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත. මෙම සටහන තබන මොහොත වනවිටත් වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැගෙමින් තිබිණි.

ඊළගට ලිවීමට තිබෙන්නේ හදවත රිදුම් දෙන පුවතකි.

ගම්පහ-මොරතොට පදිංචි 18 හැවිරිදි දිනිත් ඉඳුවර නමැති තරුණයා ඊයේ හොරපෙ දුම්රිය ස්ථානය අසලදී මිය ගියේය. ඒ ලෙඩක් දුකක් ඇතිවීමෙන් නොව දුම්රිය වර්ජනය නිසා හටගත් හේතුඵල පාදක කොටගෙනය. දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද අතරින් පතර දුම්රියක් දෙකක් ධාවනය කෙරී ඇත. ඒ  ඇතැම්විට නුවර ගිය දුම්රියේ රියැදුරා ඇතුළු සේවකයෝ යළි කොළඹ ඒමට විය හැකිය. එසේ නුවර සිට පැමිණි දුම්රිය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. ගම්පහදී තවත් විශාල පිරිසක් දුම්රියට ගොඩවූවෝය. ඒ මහ සෙනගට ඉඩ නොමැති හෙයින් පිරිසක් දුම්රියේ වහළට ගොඩ වූහ.

දුම්රියෙහි වහළෙහි ගමන් කිරීම නීති විරෝධිය.  එහෙත් ජනතාව එම අවදානම් මග තෝරා ගත්තේ විනෝදයට නොව වෙනත් විකල්පයක් නොමැති හෙයිනි. ඇතැම් විට මාසික දුම්රිය ප්‍රවේශ පත්‍රය ගත් විට හදිසියකදී වුව බසයෙන් යෑමට මුදලක් අත ඉතිරිව නොමැති විය හැකිය. මෙරට බොහෝ ජනයාගේ දුක්ඛිත ආර්ථික තත්ත්වය එපරිදිය. එහෙයින් වහළට නැග හෝ තම ගමන යෑමට එම ජනයා පෙළඹෙති. එය නීති විරෝධිය. එසේ ගමන් කරන්නවුන් නතර කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන්නේද නැත.

ගම්පහ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙහි වහළට නැග මොරටුව ප්‍රදේශයේ  කාර්මික විද්‍යාලයක ඉගෙනීමට  යන දිනිත් ඉඳුවරගේ හිස හොරපෙ දුම්රිය ස්ථානයේ වහලේ ගැටී පුපුරා ගොස් තිබේ. ඒ භද්‍ර යෞවනයාට සිය ජීවිත අහිමි වූයේ පුරවැසි අයිතීන් එලෙසින්ම හිමි නොවන, ඒවා විවිධාකාරයෙන් උල්ලංඝනය කෙරෙන රටක ඉපදීමේ පාප කර්මය නිසා නොවේද යන්න විමසා බැලිය යුතුය.

මෙරට ප්‍රධානම ප්‍රවාහන සේවය දුම්රිය සේවය වේ. දිනකට ලක්ෂ හතක අටක ජනතාවක් දුම්රියෙන් කොළඹ එති. දුම්රිය වැඩ වැරූවිට එම ජනයා හද්ද අසරණ වෙති. ඇතැම්විට කොළඹට පැමිණි ජනයාට නැවත ගම්බිම්බලා යා නොහැකිය. මෙරට පුරවැසියා මෙසේ ප්‍රාණ ඇපයට ගෙන තම වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමට තැත් කිරීම මිනිස් කසළ මෙන් පිටු දැකිය යුතු නිර්ලජ්ජිත, තුච්ඡ අමානුෂීය ක්‍රියාවකි.

ප්‍රභාකරන් තිස් වසරක් පුරා සිය පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කළේ උතුරේත්, නැගෙනහිරත් ජීවත්වන නිරායුධ සාමකාමී ජනයා පළිහක් වශයෙන් තබා ගෙනය. එහෙත් අවසානයේදී වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමකදී ඒ පාපයට ශාප ලබමින් ප්‍රභාකරන් මිය ගියේය. ඒ පාඩම නැවත නැවතත් සිහිපත් කර ගැනීම සෑම ආකාරයකම, සෑම වර්ණයකටම අයත් වෘත්තීය සමිතිවල වගකීමය.

ප්‍රවාහනය සම්බන්ධයෙන් රටක විශ්වාසය බිඳ වැටීම එම රටේ පැවැත්මට මාරාන්තික  තර්ජනයකි. එහෙයින් පළමුව කළ යුත්තේ ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් විශ්වාසය නිර්මාණය  කිරීමය. එය ආණ්ඩුවලට කළ නොහැකි බව ඔප්පු වී ඇති යථාර්ථය වේ. එසේනම් විකල්පය වන්නේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමය. කළහැකි ආයතනයකට පැවරීමය. මහජනයා ප්‍රාණ ඇපයට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හරහා වෘත්තීය සමිති මේ කරන්නේ දුම්රිය සේවය පෞද්ගලීකණය කිරීමට පාවඩ එළීමක්ද යන සාධාරණ සැකය මතුවේ.

(****)